බීජය හඳුනා ගැනීම | සිළුමිණ

බීජය හඳුනා ගැනීම

මං අහපු ප්‍රශ්නෙට ජෛන හාමුදුරුවො ගොළු ගැහුණ. මං වගේ කොල්ලෙක් ඒ විදිහෙ ප්‍රශ්නයක් අහයි කියල ඔහු හිතලවත් තිබුණෙ නෑ. මට ඒ පුංචි වයසෙදි එහෙම ප්‍රශ්න කරන්ඩ පුළුවන් වුණේ කොහොමද කියන ප්‍රශ්නෙට එකම උත්තරේ තමයි එදා මං කිසිම අධ්‍යාපනයක් නොලබපු, කොටින්ම මළපොතේ අකුරක්වත් නොදන්න කොල්ලෙක් කියන එක. දැනුම නිසා තමයි ඔබ හුඟක්ම කපටි වෙන්නෙ. මං අහපු ප්‍රශ්න ඕනැම නූගත් දරුවෙක් අහන්න පුළුවන් ප්‍රශ්න. මිනිස්සු අහිංසක දරුවන්ට කරල තියන ලොකුම අපරාධෙ තමයි අධ්‍යාපනය ලබා දීම. දරුවන් බේරා ගැනීම එකත් එකටම ලෝකයේ අන්තිම විමුක්ති අරගලය වෙන්න පුළුවනි.

එදා මං හරි අහිංසකයි. කිසිම උගත්කමක් තිබුණෙ නෑ. ලියන්ඩ කියන්ඩ බෑ. අතේ ඇඟිලි ගණනට වැඩිය ගණන් කරන්ඩත් බෑ. අද වුණත් මං යමක් ගණන් කරනකොට පටන් ගන්නෙ ඇඟිලිවලින්. එක ඇඟිල්ලක් එහා මෙහා වුණොත් ඔළුව අවුල් වෙනව.

ඉතිං මගෙ ප්‍රශ්නෙට ජෛන භික්‍ෂුවට උත්තර නැතුව ගියා. එතකොට අපේ ආච්චි භික්‍ෂුවට කිව්ව ‘ඔබවහන්සෙට උත්තර දෙන්ඩම වෙනව. හිතන්ඩ එපා ඒක පුංචි එකෙක් අහපු ප්‍රශ්නයක් කියල. මාත් අහන්නෙ ඒකම තමයි. මමයි ඔබ වහන්සෙට දානෙට ආරාධනා කරපු දායිකාව’ කියල.

ඉතින් මම ඔබට කියන්නම් ජෛන භික්‍ෂුවක් ගෙදරකට දානෙට වැඩම කළාම සාම්ප්‍රදායිකව සිදුවන දේ. ඒ තමයි දානෙන් පස්සෙ ගෙදර ඇත්තන්ට ආශීර්වාදාත්මක ධර්මයක් දේශනා කිරීම. ඉතින් ආච්චි භික්‍ෂුවට මෙහෙම කිව්ව. ‘මමයි දානෙ පිළිගන්වන්නෙ. මාත් අහන්නෙ ළමය අහපු ප්‍රශ්නෙ ම යි. ඔබ වහන්සෙ හත්වෙනි අපායට ගිහින් තියනවද? නැත්තං නෑ කියල අවංකවම කියන්ඩ. හැබැයි එහෙම නං ඔබ වහන්සෙට කියන්ඩ බෑ හත්වෙනි අපායක් තියනව කියල’

භික්‍ෂුව ප්‍රහේලිකාවකට මැදිවුණා. ඔහුගෙ ඔළුව අවුල් වුණා. ලස්සන කාන්තාවක් තමාගෙන් උත්තරයක් බලාගෙන ඉන්න එක ඔහුට දරාගන්ඩ බැරුව ගියා. ඒ හින්දද කොහෙද ඔහු පිටවෙලා යන්ඩ හැදුව. ‘නවතින්ඩ! යන්ඩ එපා! කව්ද එතකොට මේ ළමයගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ? ඒ තියා දරුවට තවත් ප්‍රශ්න වගයක් අහන්ඩත් තියනව. ළමේකුගෙ ප්‍රශ්නවලින් පැනල යන්ඩ හදන ඔබ වහන්සෙ මොන ජාතියෙ මනුස්සයෙක්ද හැබෑට?’ ආච්චි කෑගැහුව.

භික්‍ෂුව නතරවුණා. ‘හාමුදුරුවන්ට උත්තර දෙන්ඩ බැරි හින්ද මං දෙවෙනි ප්‍රශ්නෙ අල්ලලදානව. එයා පළමුවෙනි ප්‍රශ්නෙටවත් උත්තර දුන්නෙ නෑ. ඒ හින්ද මං තුන්වෙනි ප්‍රශ්නෙ අහනව. එයාට ඒකට උත්තර ඇති’ මම කිව්ව.

භික්‍ෂුව මා දිහා බැලුව.‘ඔබ වහන්සෙට මා දිහා බලන්ඩ ඕනැ නං මගෙ ඇස් දිහා බලන්ඩ’ මම කිව්ව. ලොකු නිශ්ශබ්දතාවක් පැතිරුණා. කිසිකෙනෙක් කිසිදෙයක් කිව්වෙ නෑ; හාමුදුරුවො හිස පාත්කර ගත්ත.

‘එහෙනං මං අහන්නෙ නෑ. මගෙ ප්‍රශ්න දෙකකට උත්තර ලැබුණෙ නෑ. තුන්වෙනි එක අහන්නෙ නැත්තෙ ආරාධනා පිට ගෙදරට ආව කෙනා ලැජ්ජාවට පත් වෙන හින්ද. මං ප්‍රශ්න අයින්කර ගන්නම්’ මං කිව්ව. එහෙම කියල මං පිරිසෙන් මිදිල එළියට ගියා. ආච්චිත් මං පස්සෙන් ආ එක ගැන මං සන්තෝස වුණා.

හාමුදුරුවන්ට සමු දීල පිටත් කරල ඇරියෙ සීයා. හාමුදුරුවො ගිය හැටියෙ සීය ආච්චි ළඟට කඩා පාත්වෙලා ‘ඔහෙට පිස්සු හැදිලද? ඔහේ කරදර කරන්ඩම ඉපදිච්ච මේ කොල්ලට උල්පන්දම් දුන්න මදිවට මගෙ ගුරු හාමුදුරුවො පිටත්වෙලා යන්ඩත් කලින් ගෙයින් එළියට බැස්සෙ ඇයි?’කියල ඇහුව.

‘එයා මගෙ ගුරුහාමුදුරුවො නෙමෙයි. මං තඹේකට ගණන් ගන්නෙ නෑ. ඒ තියා ඔහේ අද කරදරකාරයෙක් කියල හිතන මේ දරුව එක්තරා බීජයක්. ඒ බීජෙන් මොන ජාතියෙ පැළයක් හැදෙයිද කියල දන්නෙ කවුද?’ ආච්චි ඇහුවා.

අද මං දන්නව ඒ බීජෙන් පැනනැගුණෙ මොකක්ද කියලා. උත්පත්තියෙන් ම කරදර ඇති නොකරන කෙනෙකුට බුදුවෙන්ඩ බෑ. මං තමයි සෝ්බා නමැති බුදුවරයා; පෙරදිගයි අපරදිගයි මුණගැසීම මමයි.

මගෙ ඉදිරි අනාගත ජීවිතය, මං මොනවිදිහෙ කෙනෙක් වෙයිද කියන එක තේරුම් ගන්ඩ එදා දවසෙ මගෙ හැසිරීම වැදගත් වෙනව. මොකද ඔබ බීජය හඳුනා නොගත්තොත් ඔබට වෘක්ෂය මගහැරී යා හැකියි. එහි මල්පල මඟහැරී යා හැකියි. ඒ තියා අතුපතරින් එබෙන සඳේ දර්ශනය පවා මඟහැරී යා හැකියි.

මේ සිද්ධිය වුණේ කවද්ද අන්න එදා පටන් මම හැම ජාතියෙම ස්වපීඩකත්වයන්ට විරුද්ධයි. ඇත්තෙන්ම මම ඒ වචනයෙ තේරුම දැනගත්තෙත් හුඟක් පස්සෙ කාලෙකදි. වචනෙන් වැඩක් නෑ. මම දන්නදා ඉඳල හැම වර්ගෙකම තාපස ව්‍රතවලට විරුද්ධයි. ඒ වචනෙ පවා ඒ සන්දියෙ මං දැනගෙන හිටියෙත් නෑ. ඒ වුණත් මට ඒවයෙ මොකක්දෝ දුර්ගන්ධයක් වගේ දෙයක් දැනිල තිබුණ. ඔබ දන්නව මං ඔය කොයිකොයි ජාතියෙත් ස්වපීඩකත්වයන්ට ආසාත්මිකයි කියල. මට ඕනැ කරන්නෙ හැම මනුස්සයෙකුම පුළුවන් තරම් හොඳින් පුළුවං තරම් දීර්ඝ කාලයක් ජීවත් වෙනව දකින්ඩයි. ඒ උපරිම වයසත් ඉක්මවන්ඩ පුළුවන් නම් වඩාත් හොඳයි. අතිවිශිෂ්ටයි. ඒ නිසා ඔබ දීර්ඝකාලයක් ජීවත් වෙන්ඩ! නවතින්ඩ එපා! ගෝඩෝ එනකන් බලා ඉඳල කාලය නාස්ති කරගන්ඩ එපා!

ජීවිතය අවසන් කර ගැනීමේ අදහසට මං විරුද්ධ නෑ. යමෙක් එහෙම තීරණය කරන්ඩ පුළුවනි. ඒක ඔහුගේ අයිතිය.

නමුත් මං ඒ දිවි තොර කර ගැනීම දීර්ඝකාලීන වධවේදනාවක් බවට පත් කර ගන්න එකට විරුද්ධයි. අර ශාන්ති සාගර් නමැති ජෛන භික්‍ෂුව මිය ගියේ ආහාර නොගෙන දවස් එකසිය දහයක් දුක්විඳල. සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අයෙකුට කෑම නොකා ලේසියෙන් ම දවස් අනූවක් ගත කරන්ඩ පුළුවන්. සෞඛ්‍ය තත්ත්වය අතිවිශේෂ මට්ටමේ ති‍ෙයනව නම් ඊට වඩා වැඩි කාලයක් ඉන්ඩ පුළුවනි.

 

ලබන සතියට...

අදහස්