මෛත්‍රී ජනපති ජගත් නායකයන් අබියස කළ අවධාරණය | සිළුමිණ

මෛත්‍රී ජනපති ජගත් නායකයන් අබියස කළ අවධාරණය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන මහ සමුළුව අමතමින් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද අවධාරණයන් මෙන්ම අනාවරණයන්ද ඒ සබා ගැබ තුළ සිටි ජගත් රාජ්‍ය නායකයන්ගේ මතු නොව, ජගත් ප්‍රජාව නියෝජනය කරමින් සිටි සියල්ලන්ගේම හදවත් තුළ දැනුදු රැව්-පිළිරැව් දෙමින් තිබෙනු නිසැකය. මෛත්‍රී ජනාධිපතිවරයා කී ආකාරයටම ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය ශත්කිමත් කළ, මානව නිදහස අර්ථවත් කළ, මාධ්‍ය හා අධිකරණ ස්වාධීනත්වය තහවුරු කළ ස්වාධීන රාජ්‍යයකි. ඒ වනාහි මෙයින් තෙවසරකට පෙර තිබුණු සමාජ දේශපාලන ස්වරූපයට ඉඳුරා වෙනස් පරිසරයකින්, පිරිපුන් සමඟි සම්පන්න රටකි. එමතු නොව; කාලගුණික හා දේශගුණික විපර්යාස මඟින් පීඩනයට පත් වුවද ඒවාට ශක්තිමත්ව මුහුණ දෙමින්ම දුගී භාවය, රෝග උවදුර ඇතුළු ප්‍රජාවගේ අන්ධකාර ඉරණම වෙනස් කිරීමේ සාධනීය සැලසුම් හා විධිමත් මෙහෙයුම් සමඟ අද රට ගමන් කරමින් තිබෙන බවද සත්‍යයකි. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර මිත්‍රත්වයේ උණුසුම් හැඟීම් හුවමාරු කරගැනීමටත්, ජගත් නායකයන් සමඟ අවබෝධයෙන් නව සබඳතා ගොඩනඟාගත හැකි නොබැඳි පිළිවෙත ඔස්සේ භක්තිමත්ව ක්‍රියා කිරීමටත් ආසන්න අතීතය තුළ මෛත්‍රී පාලනය සමත් වී තිබෙන බවද ජනාධිපතිවරයාගේ අවධාරණය විය.

මෛත්‍රී ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන ගමන වඩාත් ප්‍රජාතන්ත්‍රවාදි හා සාධාරණ මානුෂික පරිවර්තනයකට යොමු කරන ලද ආකාරය පිළිබඳ විවේචන, ඇද-කුද ඉදිරිපත් වුවද එය සැබැවින්ම නව ඇරඹුමකි. පෞද්ගලික ජයග්‍රහණ හා සුඛවිහරණ හුවා දැක්වීම වෙනුවට පොදු ජන සිතුම් පැතුම් හා අපේක්ෂාවන් කෙරෙහි වඩාත් සංවේදී වු නායකයකු ලෙස මෛත්‍රි ජනාධිපතිවරයාට පිළිගැනීමක්ද හිමි වී තිබේ. මෑතකදීත් දෙමළ සංන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා කියා සිටියේ මෛත්‍රී යනු විශ්වාසවන්ත රාජ්‍ය නායකයකු බවය.

ලොමුදැහැගන්වන ප්‍රකාශයක්

උතුරේ දෙමළ ජනතාවගේ කඳුළු අලෙවි කිරීම වෙනුවට ඒ කඳුළු උල්පත් වසාදැමීමේ මෙහෙවරක නිරත වීමට මෛත්‍රී ජනාධිපතිවරයාට හැකි විය. ප්‍රතිවාදීන්ගේ චෝදනාවක් වූයේ මෛත්‍රී රට නොබෙදා රැක දුන් හමුදාවලට අකෘතඥ වූ බවය. මේ එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතා මෛත්‍රී කළ ප්‍රකාශයෙන් බිඳකි.“ලෝකයේ ඉතා ප්‍රබල ත්‍රස්තවාදි සංවිධානය තමයි අපේ ආරක්ෂක හමුදාව විසින් පරාජය කරනු ලැබුවේ. ඒ නිසා තමයි අද ශ්‍රී ලංකාව බෙදෙන්නේ නැතිව ස්ථිර සාමයක් ඇති රටක් විදිහට පවතින්නේ. ශ්‍රී ලංකාවේ ස්ථිර සාමයක් ඇති කිරීම සඳහා අපේ ආරක්ෂක හමුදා විසින් කරනු ලැබූ ඒ යුග මෙහෙවර මෙහිදී මා ගෞරවයෙන් සිහිපත් කරනවා.”

ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා පත්‍ර එල්ල කරන්නා වූද මානව හිමිකම් කඩ කළ වර්ගවාදීන් ලෙස අවමන් කරන්නා වූද තවමත් දෙමළ ඩයස්පෝරාවේ පරණ කණ්ණාඩියෙන්ම ශ්‍රී ලංකාව දෙස බලන කාගේත් සිරුර ලොමුදැහැගන්වනසුලු ප්‍රකාශයක් නොවේද මේ? දෙමළ ඩයස්පෝරාවේ ඊළාම් පෙරහරේ කුලීකරුවන් බවට පත්ව සිටින රාජ්‍ය නොවන සංවිධානවල ඊනියා මානව හිතවාදීන් දුර්මුඛ කරවන ප්‍රකාශයක් නොවේද මේ? එපමණක්ද? රණවිරු අයිතිය තම ප්‍රවේණියක් බවට පත් කරගත් අයට යුද ජයග්‍රහණය යැපීමේ මඟක් ලෙස භාවිත කරන කණ්ඩායම්වලටත් මේ ප්‍රකාශය සර්වාංගයම හිරි වට්ටනසුලු එකක් නොවේද?

මෛත්‍රී ජනාධිපතිවරයා ජගත් රාජ්‍ය නායකයන්ගෙන් කරන යුක්තිසහගත ඉල්ලීම මෙයයි:

“යුද්ධය අවසන් වෙලා වසර 10ක් ගත වන අවස්ථාවක, අලුත් විදියට මාගේ මාතෘ භූමිය දෙස බලන්න කියා මා ඉතා ගෞරවයෙන් යුතුව ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රබල යුද්ධයක් තිබී එය අවසන් කරන ලද සාමකාමි රටක, ජාතික සංහිඳියාව ශත්කිමත් කරන රටක, ජාතික සමගිය ශක්තිමත් වූ රටක, නැවත යුද්ධයක් ඇති වීම වැළැක්වීමට සියලු කටයුතු කර ඇති රටක, මානව හිමිකම් පුළුල් ලෙස අරක්ෂා කරන රටක, ආර්ථික දියුණුව සමෘද්ධිය ළඟා කරගැනිමට ඔබ සියලු දෙනා අලුත් අදහස් ඇතිව නව සිතිවිලි සමග අපට සහයෝගය දෙන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපේ තිබෙන්නා වූ ප්‍රශ්න අපට විසඳාගන්න දෙන්න කියා මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. රටක ස්වාධීනත්වය ඉතා වැදගත්. ඒ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් අප විසින් කරන්නා මානුෂීය මෙහෙවර, ප්‍රජාතන්ත්‍රවාදය ශත්කිමත් කිරීමේ පුළුල් කාර්යයන් සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය ඉල්ලා සිටිනවා.”

යුක්තිසහගත ඉල්ලීම

මෛත්‍රී ජනාධිපතිවරයා මේ නඟන්නේ මෙරටේ ජාතික සංහිඳියාව, වාර්ගික මිත්‍රත්වය, ස්වාධීනත්වය, ඒකීය රටක නොබෙදී සිටිමේ අදිටනින් යුතු ජනතාවගේ හෘදයසාක්ෂියේ ප්‍රතිරාවය විනා අන් දෙයක් නොවේ. එය දණින් වැටී කරන අයැදුමක් නොව, දෙපයින් සිට හිස කෙළින් තබාගෙන කරන ලද සොඳුරු ආඥාවක් වැන්න. මේ පණිවිඩය ජගත් ප්‍රජාවට දැනෙන, ඔවුන්ට මඟහැරිය නොහැකි සත්‍යයේ ප්‍රතිරාවයයි.

බලය අත්හැරීමේ පෞරුෂය

ජගත් නායකයන් අබියස මෙබඳු අධිෂ්ඨානශීලි ස්වරයකින් තම මාතෘභූමියේ සෛවරීත්වය, අභිමානය විදහා පෑමට තරම් ආත්ම ශක්තියක් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා තුළ වූයේ කෙසේද? එයට දිය හැකි කෙටිම පිළිතුර නම් මෛත්‍රී ජනාධිපතිවරයා තුන්වන ලෝකයේ මෙන්ම ඉන් බාහිරවද මෙතෙක් කිසිවකු නොකළ ආකාරයේ බලය අත්හළ නායකයකු පිළිබඳ පරමාදර්ශය වී සිටීමය. බලය ඔහුට සුවයක් නොවීය. එහෙත් ආඥාදායකයකුගේ බල තන්ත්‍රය බිඳදැමීමට තරම් ප්‍රබල මනසක් ඔහුට තිබිණි. මේ නූතන ප්‍රජාතන්ත්‍රවාදියා විසින් අලුත් කරන ලද ශ්‍රී ලංකාව දෙස අලුත් ඇසකින් බැලීමට ජගත් ප්‍රජාව සූදානම් විය යුතුමය. ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට නොයෙක් ආකාරයේ මායා රූප ඉදිරිපත් කරන දෙමළ ඩයස්පෝරාවත්, ඔවුන්ට ආවඩන රාජ්‍ය නොවන සංවිධානවල පෙරමුණේ රාලලාත් සුරැකීමට එක්සත් ජාතීන්ගේ සමාජිකත්වය දරන රටවලට දැන් ඉඩක් තිබේද? ලෝකයේ රටවල් 193ක සමාජිකත්වය දරන ප්‍රමුඛ සංවිධානයක් අබියස සිදු කෙරෙන පැහැදිලි කිරීම්, අර්ථදැක්වීම් උඩුසුළ‍ඟේ පාවී යන දේවල් ලෙස සලකන අයද සිටිති. එහෙත් අපි එහි ඊට වඩා ගැඹුරක් දකිමු.

මැන්ඩෙලා ආදර්ශය

මේ ජගත් මහ සමුළුව ඇමතීමට පෙර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවට සහභාගි වෙමින් ප්‍රකාශ කළේත් වත්මන් ලෝකය මැන්ඩෙලා වැනි විශිෂ්ටයන්ගේ ගමන්මඟ වෙත යොමු වීමේ අවශ්‍යතාවයි. නෙල්සන් මැන්ඩෙලා යනු හිට්ලර්ගේ නාසිවාදයටත් වඩා බිහිසුණු වර්ණ භේදවාදයෙන් පීඩාවට පත් වූ අප්‍රිකානු ජනතාවගේ විමුක්තිය උදෙසා කොන්දේසි විරහිතව සටන් කළ විමුක්තිවාදියකුගේ පරමාදර්ශි චරිතයකි. දිගු කාලයක් මුළුල්ලේ කළු ජාතීන් සතු භෞතික හා ආධ්‍යාත්මික වත්කම් සියල්ල උදුරාගත් සුදු අධිරාජ්‍යවාදයට එරෙහිව නැඟී සිටි මහාපුරුෂයකු නෙල්සන් මැන්ඩෙලාගේ ආත්මය තුළ අපි දකිමු. මැන්ඩෙලාගේ විශිෂ්ටත්වය වන්නේ ඔහු අප්‍රිකානු ජාතිකවාදයටත් පක්ෂපාති නොවුණු, වාර්ගික යුද්ධය නොඉවසූූ මානව හිතවාදියකු වීමය. ඔහු ඉතා නිවැරදිව පසක් කරගත් කරුණක් වූයේ නිදහසට කළු-සුදු භේදයක් නැති බවයි. තවත් මිනිසකුගේ නිදහස පැහැරගන්නා මිනිසා ද්වේෂයේ පිළිබිඹුවකැයි ඔහු හඬගා කීවේය.

මෛත්‍රී ජනාධිපතිවරයාගේ අවධාරණය වන්නේද සිංහල දෙමළ ජනවර්ග අතර, ඔවුන්ගේ සිත්සතන්වලට කිඳා බස්වා තිබෙන වෛරය දුරලීම අපගේ ජාතික වගකීම බවය. මෙහිදී මෛත්‍රී ජනාධිපතිවරයා ජගත් ප්‍රජාවට උපුටා දක්වා තිබෙන අදහසද අතිශයින් වැදගත්ය. එය ලෝකයේ පහළ වූ අසමසම මහා කාරුණිකයන් වහන්සේ ලෙස පූජාවට බුහුමනට පාත්‍ර වූ බුදුන් වහන්සේගේ ධර්ම පාඨයකි. යම් පුද්ගලයකුගේ පාදයක සියුම් උලක් හෝ කටුවක් හෝ ඇනුණු කළ දැනෙන වේදනාව දැඩිය. එයින් ඇති වන කම්පාවද ඉමහත්ය. එසේම එම උල හෝ කටුව හෝ ඉවත් කර වේදනාවෙන් මිදුණත් යළියළිත් ඒ වේදනාවේ කම්පනය දැනෙනු වැළැක්විය නොහැකිය. යුද්ධය පිළිබඳ සමැරුම්ද එවන් වේදනාකාරි, සෝතැවුල් දැනවීම්ය.

අවෛරයේ සිසිලස

මෙරටේ ජනවර්ග දෙකක් අසාමන්‍ය පීඩාවට පත් කළ බිහිසුණු ගැටුම නිම වුවද ඒ ගැටුමෙන් බිඳී ගිය ආත්මය සුවපත් කිරීම දුෂ්කර බව ඒ බුදුවදනින් තහවුරු කර තිබේ. මේ තිස් අවුරුදු යුද ශාපයේ ගොදුරු බවට පත් සිංහල, දෙමළ පමණක් නොව මුස්ලිම් ජනතාවගේද කඳුළු, සුසුම්, විලාප මොනතරම් මේ අවකාශය තුළ ගිගුම් දෙනු ඇත්ද? මිහිකත රත් පැහැ ගන්වමින් ගලා ගිය ලේ ගංගා කොතරම්ද? වෙඩි හඬට තිගැස්සුණු දරුවන්, ගැහැනුන්, පිරිමින් යනාදි සියලු ජනතා හදවත් තුළ තැන්පත් වී තිබෙන වේදනාබර මතක කොතරම්ද? මේ මානසික පීඩනය ගිනියම් කර යළිත් මේ මවු පොළොව දවා ලන ගින්නක් ඇති කිරීමට මාන බලන්නෝද සිටිති. යුද්ධයක අමිහිරි මතක දුරලීම වචනවලින් කළ නොහැකි බව අපි දනිමු. එහෙත් එදා යුද්ධයෙන් වැනසී ගිය ජපන් ජාතිකයන්ට සැනසිල්ල උදා කළේත් ‘වෛරයෙන් වෛරය නොසන්සිඳේ’ යන බුදු වදනය. එදා එය සිහිපත් කරන ලද්දේත් අපේ රාජ්‍ය නායකයකු වූ ජේආර් ජයවර්ධනය. මෙදා මෛත්‍රී ජනාධිපතිවරයා මතක් කරන්නේත් ඒ බුදු සිසිල මඟින් සිත් නිවා ලීමටය.

මෛත්‍රී ජනාධිපතිවරයාගේ දේශපාලන දර්ශනය ප්‍රභාවත් කළ මහාත්මා ගාන්ධි පරමාදර්ශය වන්නේද යුද්ධය මානව වර්ගයාගේ විනාශයට හේතු වන බවය. ගාන්ධිතුමන් විසින් බොහෝ අවස්ථාවල කරන ලද අවධාරණයක් වූයේ ආගම, දේශපාලනය, ආර්ථිකය යන හැම තැනකදීම ‘මම’ හා ‘මගේ’ යන වදන් මකාදැමිය යුතු බවයි. පුද්ගල නිදහස අර්ථවත් වන්නේ ඒ මමත්වයෙන් නිදහස් වූ සමාජයක බවයි.

අද ශ්‍රී ලංකාවේ දේශපාලනයද ‘මම’ හා ‘මගේ’ යන නරකම වචනවලින් සම්පූර්ණයෙන්ම ගිලගනු ලැබ තිබේ. මෛත්‍රී ජනාධිපතිවරයා විසින් ජගත් මහ සමුළුව අබියස අවධාරණය කරන ලද පරිදිම අද ලොවට මෙන්ම අපටද අවශ්‍ය මනුෂ්‍යත්වයේ උදාරත්වය කේන්ද්‍ර කරගත් සමාජ දේශපාලනයක් හා සත්චාරිත්‍ර ප්‍රතිපදාවකි. යුද්ධය නිමවා වසර දහසක් ගත වුවත් පක්ෂවල න්‍යාය, මතවාද විනා මානව වර්ගයාගේ නිදහස හා ආධ්‍යාත්මික ශාන්තිය උදෙසා වූ ධර්මයට අපට ළං විය නොහැකි වී තිබේ. වේදනා සමනය කරන සාධාරණ හා යුක්තිගරුක මානවවාදි සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වූ යුග මෙහෙවරකට යොමු වූ දේශපාලනයක් අපට අවශ්‍යව තිබෙන බවට මෛත්‍රී ජනාධිපතිවරයා ජගත් ප්‍රජාවට මෙන්ම අපගේ හෘදයසාක්ෂියටද ආමන්ත්‍රණය කර පවසා තිබේ. අප එකිනෙකා වෙන වෙනම භක්ති පූජා කරන ධම්මපදය, බයිබලය, කුරානය මෙන්ම භගවත් ගීතාවද මේ මනුෂ්‍යත්වයේ උදාරත්වය, තහවුරු කරන අමාධාරාවන් බව කී දෙනෙක් පසක් කරගෙන සිටිත්ද?

මනුෂ්‍යත්වයේ දේශපාලනය

කෙසේ හෝ වේවා ජනාධිපතිවරයාගේ අවධාරණයන් තුළ ජගත් ප්‍රජාවට දෙන පණිවිඩයට අමතරව අපට අදාළ කොටසක් තිබෙන බවද සඳහන් කළ යුතුය. ඉකුත් යුද සමයේ සිදු වූ සියල්ල නිවැරදිය. එහිලා කිසිදු අසාධාරණයක් සිදු නොවීය යන අදහසද නිවැරදි නැත. මෛත්‍රී ජනාධිපතිවරයා මේ මහා සමුළුව ඇමතූ සිවුවන අවස්ථාව වන විට රටක් ලෙස අප ලබා තිබෙන ජයග්‍රහණයන් ගැන අපට සැහීමකට පත් විය හැකිය. එහෙත් ජගත් රාජ්‍ය නායකයන් අතර අප දෙස වපරැසින් බලන්නෝද සිටිති. විදේශ අතපෙවීම්, මැදිහත්වීම්, තර්ජන ගර්ජන පිළිබඳ ඉතිහාසය යුද්ධයටද වඩා පැරණි එකකි. එහෙත් අපගේ වගකීම් නිසි ලෙස ඉටු කර තිබේ නම් එබඳු මැදිහත්වීම් බලපෑම් අපට මැඬලිය හැකිය. විදේශීය අධිකරණ හා විදේශීය විනිසුරන් පිළිබඳ යෝජනාවලට ජනාධිපතිවරයා එකඟ නොවීම නිවැරදිය. එහෙත් ඒ පිළිබඳ දේශීය යන්ත්‍රණයක් තිබිය යුතු බවට ජනාධිපතිවරයාද එකඟ වෙයි. දෙමළ ඩයස්පෝරාව අපට නඟන ඒ චෝදනාව ජගත් මානව හිමිකම් කවුන්සිලය ඇතුළත මෙන්ම ඉන් පිටතද රැව් දෙන්නකි. අප ඒ පිළිබඳ සජීව ලෙස ප්‍රතිචාර දක්වන්නේ නම් කිසිවකුට අපේ වැඩවලට ඇඟිලි ගසන්නටද ඉඩක් නැත.

ශ්‍රී ලංකාව පලස්තීන ජනතාවගේ නිදහස් අරගලයට පක්ෂ බව මේ සමුළුවේදීත් මෛත්‍රී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. ලෝක බලවතුන් අබියස අපේ අදීනත්වය ප්‍රකාශ කිරීමට අපේ රාජ්‍ය නායකයාට හැකි වී තිබෙන්නේද මානව නිදහස ගරු කරන, ප්‍රජාතන්ත්‍රවාදි හිමිකම් සුරකින දේශපාලනයක නිමග්න වී සිටින නිසාය.‍

සැබැවින්ම අපට වුවමනා මානව හිමිකම් සුරකින, ජාතික සමඟියකින් පිරිපුන් රටකි. එනිසා අතුරුදන් වූ අය පිළිබඳ තොරතුරු සොයාගැනීමට එකඟව සිටින රටක් ලෙස එහි ප්‍රතිඵල විවෘතව ප්‍රකාශයට පත් කිරීමටද අප සමත් විය යුතුය. එවිට අපේ නිදහසේ ස්වර්ග රාජ්‍යයට කිසිවකුට ඇඟිලි ගැසීමට ඉඩක් නැත. නිවහල් දේශයක නිදහස් මිනිසුන් වශයෙන් අප නැඟී සිටීම කිසිවකුට වළක්වා ලීමටද නොහැකි වේ.

අදහස්