මහින්දලට ඕනේ ජවිපෙ හවුලට ගන්න | සිළුමිණ

මහින්දලට ඕනේ ජවිපෙ හවුලට ගන්න

ජනතා විමුක්ති පෙරමුණට ගම් මට්ටමින් පවා තිබුණු ජන සහභාගීත්වය සහයෝගය අඩුවෙලා තිබෙන බව පැහැදිලි වනවා.

සහයෝගය අඩුවෙලා නැහැ. නමුත් මේ රටේ තියෙන අර්බුදවලට සාපේක්ෂව සහ අප ගන්නා වෙහෙසට සාපේක්ෂව ඡන්ද නොමැති බවක් අපට පෙනෙනවා. නමුත් ඡන්දවලින් ම අපේ ප්‍රගතිය මනින්නෙ නෑ. පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට දිවයිනෙන් මන්ත්‍රීවරු 436ක් පත්වුණානෙ. ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ ලබපු වැඩි ම මන්ත්‍රිවරු සංඛ්‍යාවයි ඒ. ඡන්ද ලක්ෂ 7කට අධික ප්‍රමාණයක් අපට හිමිවුණා. බිම් මට්ටමේ අපට සහයෝගයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අවශ්‍යතාවක් ඒ අය දකිනවා. නමුත් මෝරපු ප්‍රමාණය තවම අඩු වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ යන ක්‍රමවේදයට එක්සත් ජාතික පක්ෂයේ වන්න පුළුවන්, මහින්ද පාර්ශ්වයෙන් වන්න පුළුවන් මෛත්‍රි පාර්ශ්වයෙන් වෙන්න පුළුවන්. ජනතාව ඒ ඒ දේශපාලන කණ්ඩායම් කෙරෙහි කලකිරී සිටින බවක් පැහැදිලිවම පේනවා.

ඒ පක්ෂ කෙරෙහි කලකිරෙන ජනතාව ඔබ පක්ෂය වෙත යොමු කර ගැනීමේ වැඩපිළිවෙළක් තිබෙනවා ද?

ජනතාව අපේ ක්‍රියාදාමයට එකතු කර ගත යුත්තේ දැනුමින් හා අවබෝධයෙන්. ඒ සඳහා අප දැන් ක්‍රියාත්මක වී ඉන්නෙ. අප බලාපොරොත්තු වන්නෙ ලබන වසර වන විට පුළුල් බහුජන පෙරමුණක් ගොඩ නඟන්න. එයට දේශපාලන පක්ෂ එකතු වන්නේ නැහැ. මේ රටේ උගත්, බුද්ධිමත්, වියත් ආචාර්ය මහාචාර්යවරුන්, කලාකරුවන්, නීතිවේදින්, පරිසරවේදින්, වෘත්තිකයන්, සමාජ සේවකයන්, ගොවි නායකයන් මෙන් ම පූජ්‍ය පක්ෂයත් මේ වන විට දැකල තියෙන්නෙ මේ රට යන්නෙ වැරැදි පාරක බව. රට නිවැරැදි මාර්ගයට යන්න ඕන කියන අදහසක් ඒ අය තුළ තියෙනවා. එම නිසා රට නිවැරැදි මාවතකට ගත යුතුයි යන ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසයක් තියෙනවා. එම නිසා ‘ජාතික විද්වත් සංවිධානය’ නමින් යුත් සංවිධානයක් පසුගිය දිනක මහරගමදී රැස්වී තීන්දුවක් ගත්තා. ලබන වසරේ පුළුල් පෙරමුණක් හදනවා කියලා ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණත් සම්බන්ධ කර ගැනීමට ඒ අය කටයුතු කරන බවට දැනුම් දුන්නා. මේ වන විට එම සංවිධානය එක් එක් විෂය ක්ෂේත්‍ර සඳහා ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ සකස් කරමින් සිටිනවා. ලබන වසරේ ගොඩනැ‍ඟෙන මේ පෙරමුණට එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශයකුත් එළියට එනවා. එය ජනතාවට හොඳ මාර්ගයක් වේවි. මේ දිනවල අප ජනහමු පවත්වනවා.

ඔබ පක්ෂයේ නායකයා පහුගිය දිනක ප්‍රසිද්ධියේ පැවසුවා මහින්ද රාජපක්ෂත් හොරෙක්. රනිල් වික්‍රමසිංහත් හොරෙක්. නඩුවක් ගිය දවසට උසාවියෙදි බලා ගනිමු කියලා. සාක්ෂි තියෙනවා නම්, ඇයි නීති මාර්ගයට යන්නෙ නැත්තෙ?.

පවතින ආණ්ඩු ක්‍රමය යටතෙනෙ අධිකරණය පවා පවතින්නෙ. ඒ රජය සතුවනෙ. පහුගිය ආණ්ඩු‍වත් මේ ආණ්ඩුවත් දූෂණය හොරකම රජ කළා. හොරු අල්ලන්න ආපු මේ ආණ්ඩුවත් කරන්නෙ ඒ ටිකමනෙ. ආණ්ඩුව යටතේ ඇති අධිකරණයෙන් අපට 100% ක සාධාරණයක් බලාපොරොත්තු වන්න බැහැ. නමුත් අපට පුළුවන් අයුරින් අල්ලස් හෝ දූෂණ කොමිසමට ‘එෆ්.සී.අයි.ඩී’ යට පැමිණිලි කර තිබෙනවා. අධිකරණ ක්‍රියාමාර්ගත් පුළුවන් අයුරින් ගන්නවා. මේ සියල්ලේ පරීක්ෂණ වාර්තා අප අතට එන්නෙ නැහැ. ඒ සියල්ල යන්නේ නීතිපතිට. නීතිපති හරහා තමයි නඩු දමන්නෙ. ඒ වගකීම රජය පැහැර හරිමින් ඉන්නෙ. අපි පැමිණිලි කරලා තිබුණට ආණ්ඩුව ඒ පැමිණිලි විභාග කරන නිසි ක්‍රමවේදයක් හදන්නෙ නැහැ.

ඔබතුමාම කියනවා රනිල් වික්‍රමසිංහ මහතාට අවුරුදු ගණනාවක් ආණ්ඩු පිහිටුවන්න බැරිව බලා හිටිය කියලා. එහෙම නම් ඇයි ඔබ පක්ෂයත් ‘රනිල් - මෛත්‍රී’ හවුලට බලය තහවුරු කරන්න සහාය ලබා දුන්නෙ.

ඒ විදියට විග්‍රහ කර ගැනීම වැරදියි. අන්ත දූෂිත පාලනයක් ඉවත් කරන්න ජනතාව පෙළ ගැසී සිටියා. ඒ දූෂිත පාලනය අවසන් වෙලා පාලනය අපට ලැබුණා නම් හොඳයි. අපට අවශ්‍යතාවක් නැහැ එක් හොරු කණ්ඩායමක් පන්නල අලුත් හොරු කණ්ඩායමක් ගේන්න. බලයට පත් කෙළේ ජනතාවනෙ. ජනතාව අපට බලය ලබා දුන්නා නම් මෙවන් තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. අපි වත්මන් ආණ්ඩුවේ දූෂණ වංචා හෙළි කරද්දී ජනතාව ආයිත් පරණ හොරු කණ්ඩායම පත් කළොත් පසුව කියාවි තිබුණ එක මීට වඩා හොඳයි කියලා. අපි කියන්නෙ මේ දෙගොල්ල ම නරකයි. මේ ක්‍රමයම නරකයි. ඉදිරියේදී හෝ ජනතාවාදී පෙරමුණක්, පක්ෂයක් වටා ජනතාව එක් රැස් විය යුතු වනවා.

කොහොම වුණත් ඔබ පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙන ඒමට කටයුතු කරන බවක් කියැවෙනවා. රහස් ‘ඩීල්’ එකක් තියෙනවද?

ඔය බිල්ල මවන්නෙ කවුද? විමල් වීරවංශ, උදය ගම්මන්පිල වගේ මහින්ද පාර්ශ්වයනෙ. එයාල දකිනවා තනියෙන් ගිහින් මේ ආණ්ඩුව වට්ටන්න බැහැ. ඒක නිසා ජනතා විමුක්ති පෙරමු‍ණ මේ ආණ්ඩු පෙරළීමට හවුල් කරගෙන ආණ්ඩුව පෙරළලා එයාලට ඔටුනු පලඳා ගන්න. අපට ඔටුන්න වට්ටන්න ඕන. නමුත් ඒක බලාපොරොත්තු වන හොර පෙරමුණට ඒ ඔටුන්න දීලා හරියන්නේ නැහැ. ඔටුන්න වැටෙන්න ඕන ජනතාවගේ ඔළුවටයි. අපට තියෙන්නෙ වෙනම ප්‍රතිපත්තියක් වෙනම ගමනක්. අපට ඔය කාවවත් දිනවන්න හෝ පරදන කාර්යයක් නෙමෙයි ජනතාවට සහන සලසන ක්‍රමවේදයක් අවශ්‍ය වන්නෙ. අපේ ප්‍රතිපත්ති තියෙන්නෙ රනිල්ට, මහින්දට හෝ මෛත්‍රීට විරුද්ධව නෙමෙයි. ඒ අයගේ ප්‍රතිපත්තිවලට විරුද්ධවයි.

ජවිපෙට මන්ත්‍රි ධුරවලින්වත් ජනතා සේවයක් සිදු වන බවක් පෙනෙන්නට නැහැනෙ.

බලය තියෙන අය තමයි ඇමැතිකම් මඟින් ජනතා සේවයට වැඩි දායකත්වයක් දරන්නෙ. අපට බොහෝ විට මේ අය කරන දූෂණ වංචා නවත්වන්නට අවධානය යොමු කරන්න වෙලා. උදාහරණයක් හැටියට බස්නාහිර පළාත් සභාවට 640,000 ක බැගින් පුටු මිලදී ගන්න යෑම. ඒ වගේම ඌව පළාත් සභාවේ මන්ත්‍රිවරු 34 දෙනාම රුසියානු සංචාරයක් සඳහා සූදානම් වුණා. රුසියාවේ මාර්ග සංවර්ධනය බලන්න. අපි ඒක හෙළි කරා. ජනාධිපතිතුමා ඒක නැවැත්වුවා. අපි කෝටි ගණනාවක් ඉතිරි කළා.

පක්ෂයේ සැලකිය යුතු බලයක් රාජ්‍ය අංශයට තිබුණා. එය අඩපණව ගොස් වගෙයි.

රාජ්‍ය අංශයෙ විශාලම බලයක් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණටයි. එයට වැඩි දියුණු වනවා මිස අඩු වෙන්නෙ නැහැ. නමුත් හැමවිටම බොරුවට එළියට බැහැලා දඟලලා අනෙක් අයට ලකුණු දාල දෙන්න අපි සූදානම් නැහැ. ජනතාවට දඩයි බදුයි ගහන එකයි හැර මේ ආණ්ඩුව ජනතා සුබ සිද්ධිය ඇති කරන ආණ්ඩුවක් නෙමෙයි. ඒ වෙනුවෙන් දැවැන්ත ජනතා උද්ඝෝෂණයකට මුහුණ දෙන්න ආණ්ඩුවට සිදු වෙනවා. ඒ ගැන මේ වන විට අපි ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්නෙ.

සංවාදය - තාරක වික්‍රමසේකර

Comments