ඔස්තාර්ගේ අයිස්ක්‍රීම් කතා | සිළුමිණ

ඔස්තාර්ගේ අයිස්ක්‍රීම් කතා

  • විජාතික කුමන්ත්‍රණ දකින දේශප්‍රේමියෝ
  • අවිධිමත් ආර්ථික ක්‍රමෝපායන්
  • ඩොලරය ඉදිරියේ අවප්‍රමාණය
  • 'අන්දරේ' වර්ගයේ විහිළු සැපයූ බන්දුල

එක්තරා මිනිසෙක් අශ්වයෙක් පිට නැඟ ගමනක් යමින් සිටියේය. කපටි මිනිසුන් පිරිසකට අශ්වයා පැහැර ගන්නට උවමනා විය.ඒ අනුව උපායක් සිතූ කපටියෝ තීන්දුවකට ආහ. මුල් ම කපටි මිනිසා අශ්වයා පිට යන මිනිසා අසලට විත් මෙහෙම කීවේය. 'මොකෝ මේ බූරුවෙක් පිට යන්නේ? 'අශ්වයාට බූරුවා කීම ගැන නුරුස්නාවක් ආවත් මිනිසා ඉදිරියට ම ගියේය. ටික දුරක් යනවිට කපටි මිනිසුන්ගේ කල්ලියේ අනෙකාත් ඉදිරියට ආවේය.'ආහ්, උදේම බූරුවෙක් පිට නැඟලා යන්නේ...' ඔහු අශ්වයා පිට යන මිනිසාට කීවේය. දෙදෙනකු එකම දේ කීම ගැන මිනිසා තරමක් සසල විය.'ආහ් ලොක්කා ලජ්ජා නැද්ද බූරුවෙක් පිට යන්න...' තවත් කපටියෙක් කීවේය. මෙහෙම ඉදිරියට යන අතර අනෙක් කිහිපදෙනාම මෙලෙස 'අශ්වයාට,'බූරුවා' ලෙස පැවැසීය. අන්තිමට අශ්වයා පිට ආ මිනිසා ම හිතුවේ තමන්ට වැරදී ඇති බව ය. අනෙක් සියල්ලෝ ම බූරුවෙක් ලෙස අශ්වයාට කියන්නේ, නියත වශයෙන්ම ඌ බූරුවෙක් නිසා විය යුතු යැයි මිනිසා සිතුවේය. ඔහු අශ්වයා පිටින් බැස්සේය. අශ්වයා අතහැර දැම්මේය. ඉතිරි දුර පයින් ගියේය. මේ කතාව මේ වෙලාවේ ලංකාවේ දේශපාලන අලකලංචියට හොඳටම පෑහෙන්නේ ය.

ඒකාබද්ධය යහපාලන අශ්වයා 'බූරුවෙක්' ලෙස අන්දන්නට වෑයම් කරමින් සිටී. අශ්වයා පිට යන්නන් මෙය අවබෝධකර නොගත්තොත් වෙන්නේ ව්‍යසනයකි. අර කතාවේ හැටියට අශ්වයා බූරුවෙක් කොට 'ඇන්දවූයේ' එහි ගිය මිනිසා පමණ ය. අද ඒකාබද්ධය රටම අන්දවන්නේ ය. එකම බොරුව සියවරක් කී විට සත්‍යයක් වෙන බව ලෝක උදාහරණය වුවත් එකම බොරුව දහවතාවක් කීවොත් එය පරම සත්‍යය ලෙස මේ රටේ බොහෝ දෙනා සලකති. හමන සුළඟ පවා විජාතික කුමන්ත්‍රණයක් ලෙස දකින 'දේශප්‍රේමියෙකු' සිටී. ඔහු විමල් වීරවංශ ය. හීනෙන් වාතයක් ගියත් කුණාටුවක් ලෙස දකින 'ප්‍රාඥයකු සිටී. ඔහු 'ගම්මන්පිලය'.

රුපියලක් පාරේ වැටී තිබුණත් එය මහා ව්‍යසනයක් ලෙස දකින ආර්ථික ඔස්තර් කෙනෙක් සිටී. ඔහු බන්දුල ගුණවර්ධන ය. මේ තිදෙනාගෙන් බන්දුල ගුණවර්ධන මේ දිනවල නින්දක් නැතිව ආර්ථික විශ්ලේෂණ ඉදිරිපත් කරයි. ඔහු මේ වැඩේ පටන් ගත්තේ අද ඊයෙක නොවේ, ආර්ථික පර්යේෂණ ඒකකය නමින් බැනර් එකක් ගසා ඒ ඉදිරියේ වාඩිවී ලංකාවේ ආර්ථික තත්ත්වය මාසයකට දෙපාරක් තුන්පාරක් විග්‍රහ කරන එක ඔහු පටන් ගත්තේ මීට වසරකට පමණ පෙර සිට ය. දැන් එය උග්‍ර වෙලා ය. ඔහුට අනුව 'රුපියල ඉවරය. ආයේ නැගිටිනවා බොරු ය. ඉතිහාසයේ පළමු වතාවට රට ඉවර වෙලා ය. ඉක්මනින් කළ යුත්තේ මහින්දට රට බාර දීමය. 'ඔය බන්දුලගේ විග්‍රහය ය. බන්දුල කියන විදිහට කතාව ඇත්තද? ඇත්ත නම් එය සාහසික අපරාධයක් ය. හැබැයි අටේ පන්තියට ගිය කෙනෙක් වුණත් දන්නා දෙයක් තිබේ. ඒ බන්දුලගේ තියරියත්, කතාවත් බේගලයක් කියා ය.

රුපියල කඩා වැටීම ගැන කියන කතාව සත්‍යයකි. හැබැයි ඔවුන් සඟවන සත්‍ය ඊට වඩා බිහිසුණු ය; කැත ය. අගෝස්තු මස විසි දෙවැනිදා වන තෙක් ගතවූ මාස කිහිපයක කාලය තුළ, ලෝකයේ බොහෝ රටවල මුදල් ඒකක සමඟ ඇමරිකානු ඩොලරය දක්වන විනිමය අනුපාතිකයේ අනපේක්ෂිත අයුරින් උච්ඡාවචන වනු දැකගත හැකි විය. ඇමරිකානු ඩොලරය ද එතරම්ම ස්ථායී ව දිගු කලක් නොපැවති අතර, එහි යම් යම් ක්ෂණික වෙනස්කම් දක්නට ලැබිණි.

මෙහිදී ශ්‍රී ලංකාව බඳු පරිධියේ රටවල ආර්ථිකයන්ට, මෙබඳු උච්ඡාවචනයන්ගේ සෘජු මෙන්ම වක්‍ර අහිතකර බලපෑම්වලට මුහුණ දීමට සිදු වේ. සෘජු බලපෑම වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය ඒකකයක් ලෙස 21 වැනි සියවසේ භාවිතයට ගැනෙන, ජාත්‍යන්තර ගනුදෙනු සඳහා අත්‍යවශ්‍ය ඇමරිකානු ඩොලරයක් මිලදී ගැනීමට ශ්‍රී ලාංකේය විනිමය වැඩි ප්‍රමාණයක් වැ‍ය කරන්නට සිදුවීම සහ එය පිටුපස ඇති ප්‍රාග්ධන හානියයි. වක්‍ර ප්‍රතිඵලය වන්නේ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අමුද්‍රව්‍යවල මිල ඉහළ ‍යෑම, ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ හා සේවා මිලට ගැනීමට ඉදිරිපත් වන රටවල ආර්ථික ශක්තිය ක්ෂය වීම, මෙන්ම ඩොලරය අතරමැදි මුදල් ඒකකය ලෙස ගෙන, කරනු ලබන ගනුදෙනුවලින් අත්විය හැකි වාසි අවම වීම ය.

නමුත්, තත්ත්වය මෙසේ තිබියදී, දේශීය මුදල් ඒකකය ඩොලරය හමුවේ අවප්‍රමාණ වීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවල දෝෂයක් ලෙසට ලඝු කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ දරමින් සිටී. මෙසේ නැඟෙන චෝදනාවලට සත්‍යතාවක් ඇත්ද?....

මේ විග්‍රහයට ප්‍රවිෂ්ට වීමට පෙර, ඇමරිකානු ඩොලරය පසුගිය මාස කිහිපය තුළ ලෝකයේ නම ගත් වෙනත් මුදල් ඒකක සමඟ තුලනය වූ ආකාරය පිළිබඳ ව සලකා බැලීම වටී.

අගෝස්තු මස 22 වැනිදා වන විට චීන මුදල් ඒකකය වන යුවාන් මුදල් ඒකකය පිට පිටම පස්වන මාසයටත් ඇමරිකානු ඩොලරය හමුවේ පහත වැටෙමින් තිබිණි. මේ පිළිබඳව ඇතැම් ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂකයන් පළ කරන ලද අදහස වනුයේ, චීනය සමඟ ද්වි පාර්ශ්වික වෙළඳ ගනුදෙනු නියාමනය කරන අරමුණින් යුතුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රෙජීමය විසින් ගන්නා ලද ඇතැම් බදු ක්‍රියාමාර්ගවලින් චීන සමාගම්වලට සහ චීනය සමඟ ගනුදෙනු කරන ඇමරිකානු සමාගම්වලට ගෙවන්නට සිදුව ඇති අතිරික්ත බදු මුදල්වලට හසු නොවීමේ හෝ ගෙවන බදු මුදල් අවම කිරීමේ අරමුණින්, චීනයේ නිෂ්පාදනය කරනු ලබන දේවල වටිනාකමට ඇමරිකානු ගැනුම්කරුවන් ගෙවන ඩොලර් ප්‍රමාණය අඩු කිරීමට චීනය හිතාමතාම මෙසේ යුවාන් ඒකකය ඇමරිකානු ඩොලරය හමුවේ පහත හෙළමින් සිටින බව ය.

එවැනි විශ්ලේෂණවල සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත්, චීන රෙජීමයේ මුදල් ඒකකය ඇමරිකානු ඩොලරය හමුවේ පසුබෑම, චීනයෙන් ලැබෙන ණය, ආයෝජන සහ වෙළඳ ආදායම් ආදිය මත මූල්‍ය වටිනාකමේ ස්ථාවරත්වය රඳා පවතින රටවල මූල්‍ය ඒකකයන්ද ඇමරිකානු ඩොලරය හමුවේ පසුබස්වන්නට සෘජු ව හෝ වක්‍ර ව හේතු සාධක වන බව අමුතුවෙන් කිව යුතු නැත.

පසුගිය මාස කිහිපය තුළ ඇමරිකානු ඩොලරය හමුවේ පසුබැස ඇත්තේ ද, අවප්‍රමාණ වී ඇත්තේද, චීන යුවාන් ඒකකය පමණක් නොවේ.

පසුගිය මාස තුනට බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම ඇමරිකානු ඩොලරය හමුවේ 3.93% කින් අවප්‍රමාණ වූ අතර, රුසියානු රූබලය 10.41% කින් අවප්‍රමාණ විය. චීන යුවාන් ඒකකයේ පසුගිය මාස තුනේ සමස්ත පසුබැස්ම 7.45% ලෙස වාර්තා වන අතර, ඉන්දියානු රුපියල 2.56% කින්ද, සිංගප්පූරු ඩොලරය 2.30% කින්ද, කැනඩා ඩොලරය 1.47% කින්ද, ජපන් යෙන් ඒකකය 1.98% කින්ද ආදි වශයෙන් අවප්‍රමාණ විය. කොරියානු වොන් ඒකකය 3.19% කින්ද, ඔස්ට්‍රේලියානු ඩොලරය 3.93% කින්ද අවප්‍රමාණ විය. යූරෝවද ඇමරිකානු ඩොලරය හමුවේ 1.51% කින් පසුබෑවේය... .

ලෝකයේ ප්‍රබලතම සහ ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු සඳහා වැඩි පිළිගැනීමක් ඇති මෙන්ම, ශ්‍රී ලංකාවට විදේශ විනිමය සංචිතය සහ විදේශ ගනුදෙනු පැත්තෙන් වැඩිම බලපෑමක් කරන ලෝක මට්ටමේ මුදල් ඒකක එසේ ඇමරිකානු ඩොලරය හමුවේ පසුබෑම ශ්‍රී ලංකාවේ රුපියලේ වටිනාකම ඩොලරය ඉදිරියේ අවප්‍රමාණය වීමට විශාල වශයෙන් බලපාන බව නොරහසකි. මේ රටවල් ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කරන්නේ බොහෝ සෙයින් ඩොලරය පොදු මූල්‍ය ඒකකය වශයෙන් ගෙන වන අතර, එහිදී ඔවුන් කරන ගනුදෙනුවලට ලබාගත හැකි ඩොලර් ප්‍රමාණය සාපේක්ෂව අඩු වේ. ඊට අමතරව ශ්‍රී ලංකාවට මුදල් එවනු ලබන විදේශ රැකියාවල නියුතු වූවන්ට ද, තමන් නේවාසිකව සිටින රටවල මූල්‍ය ඒකක ඩොලරය හමුවේ පසුබැසීමට පාත්‍ර වීම බලපායි. මේ බහුජාතික සමාගම්වලට තුන්වෙනි ලෝකයේ රටවල ගනුදෙනුවලදී වැඩි වාසි සලසන පරිදි, ඩොලරයටකට එ් රටවල මුදල් ඒකකවලින් ගෙවිය යුතු ප්‍රමාණය හෙවත් ඩොලරය සමඟ විනිමය අනුපාතිකය පහළ මට්ටමක රඳවා ගැනීමේ ක්‍රමය ඇමරිකාව අහෝසි කරමින් සිටින්නේ, ඔවුන් විදේශ රටවල එසේ තම වාසියට ක්‍රියාත්මක වීම නිසා, ඒ රටවලට ගිය, ඇමරිකාවේ තිබිය යුතු රැකියා සියල්ල යළි ඇමරිකාවට ගෙන්වා ගන්නා අටියෙනි.

තත්ත්වය මෙසේ වනවිට ඩොලරයේ නැඟීම ගෝලීය බලපෑමක් සහිත බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ බලපෑම ශ්‍රී ලංකාවේ මූල්‍ය ඒකකය වන රුපියලට පමණක් නොදැනී තිබෙන්නට හේතුවක් නැත.

බොහෝ කාලයක් තිස්සේ උවමනාවෙන් ම පාලනය කරනු ලදුව පැවති ඩොලරය එසේ ශක්තිමත් කරන ලද්දේ වසර 23 කට පමණ පසුව ය. අවසන් වරට ඩොලරයේ එබඳු නැඟීමක් ඇති කරන ලද්දේ ද, එය මෙතරම් කලක් පවත්වන ලද්දේද 1995 වසරේදීය. එ් නිසා ඩොලරය බොහෝ කලකට පසුව ශක්තිමත් වන විට සහ එය හමුවේ ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑම් සහිත අනෙකුත් මූල්‍ය ඒකක පසුබසින විට, රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණ වීම දේශීය ආර්ථික ප්‍රතිපත්තිවල වරදක් නොවන බව වටහා ගත යුතුය.

මෙයට අමතරව පසුගිය රජයේ පාලන සමයේදී එක දිගට ගිනි පොලියට ගන්නා ලද ණය මුදල් පියවීමට සිදුව තිබීම ශ්‍රී ලංකාවේ ඩොලර් ඉල්ලුම වැඩි කිරීමටත්, එ් නිසා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමටත් හේතුවක් ව තිබේ. මෙය මෙවර චෝදනා මුඛයෙන් කතා කරනු ලබන බොහෝ දෙනා උවමනාවෙන් අමතක කිරීමට රුචිකර හේතුවකි. රුපියලේ කතාව එසේ තිබියදී ඔවුන් සාමූහිකව ගොතන අනෙක් මිත්‍යා ගැන ද කිය යුතුය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ වියපත් මාපිය යුවළක් වේල් ගණනක් ආහාරයට යමක් නොමැතිව මුරුංගා කොළ ආහාරයට ගෙන ඇති බවට ජාතික මාධ්‍ය විසින් ප්‍රචාරය කරනු ලැබීය. මේ වනාහී 'ටොන් පචය'කි. අනෙක් අතට ඔවුන් කියනු ලබන ජීවන වියදම ඉහළ යෑම ගැන කතාව තනිකරම 'ගොබෙල්ස්' කතාවකි; මිත්‍යාවකි.අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක් ඇතුළත් ඉහත සටහනේ පසුගිය 2014 සැප්තැම්බර් - 2018 සැප්තැම්බර් මිල ඉහළ යෑමක් වාර්තා වන්නේ ඩීසල් සහ සීනිවල පමණක් ය. ඒද මහින්ද යුගයේ තරමට තවමත් කිට්ටුවෙලාවත් නැත. ලෝකය ම ආර්ථික අර්බූධයක තිබියදීත් ආණ්ඩුව තවමත් මහින්ද බලයෙන් පහවන විට තිබූ භාණ්ඩ හා ආහාර මිලට කිට්ටුවී නැත. එහෙත් මාධ්‍ය සමහරක් මිත්‍යාව ජප කරමින් සිටී. ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යෑම, රුපියල අවප්‍රමාණය වී තිබුණත් තවමත් රාජපක්ෂ යුගයේ ආර්ථික අහේනිය මෙරට නැත. ගෑස් මිල සියයට 27.67ක් ද, පෙට්ට්‍රල් මිල සියයට 7.41ක් සහ භූමිතෙල් මිල සියයට 33.96ක් වැනි අගයන්ගෙන් සමන්විත අතර රාජපක්ෂ යුගයේ මේවායේ මිල ගනං ඇඟ හිරිවැටෙන සුලුය. ඒ මදිවට භූමිතෙල් සහනාධාරය ඉල්ලූ ධීවරයන්ට වෙඩි තමා මරා දමන්නට තරම් සාහසික වූයේ ඔවුන් ය.

ටින් මාළු මිල සියයට 21.74කින් ද, මුංඇට මිල සියයට 17.11කින් ද, තිරිඟුපිටි මිල සියයට 2.87ක් වැනි අගයකින් ද කිරිපිටි වර්ග තුනේම මිල රාජපක්ෂ යුගයේ අවසාන කාර්තුවට වඩා සියයට 13.21ක් වැනි අගයකින්ද පහල මට්ටමක තිබේ.රාජපක්ෂ යුගයේ මේවායේ මිල තිගැස්සෙන සුළුය. 2006-2014 යනු වසර 30කින්වත් නිවැරදි කළ නොහැකි ආර්ථික අගාධයකට රට දක්කාගෙන ගිය වසර 9ක් ලෙස ඉතිහාසගත ය. ලෝකයේ තීරණාත්මක රටවල් කිහිපයක් ම ග්‍රහණයෙන් සියතට ගත් චීන ආර්ථික සර්පයා අන් කවරදාටත් වඩා අඬුපඬු දිගහැරිය වකවානුවකි. අවිධිමත් ආර්ථික ක්‍රමෝපායන්ගෙන් ඒකාන්තව රට වළ පල්ලට යන බව ඔවුහු දැන සිටියහ. එහෙත් රට වෙනුවට බලය පමණක් ස්වකීය ඒකායන පරමාර්ථය කරගත් 'කණ්ඩායමකින්' බලාපොරොත්තු විය හැකි අන් යමක් නැත.

2004 වර්ෂයේ පත් කළ තිස්ස දේවේන්ද්‍ර වැටුප් කොමිසමෙන් යෝජනා කරන ලද්දේ එවකට රාජ්‍ය සේවයේ වැටුප් ලබන සේවක සංඛ්‍යාව වූ ලක්ෂ 07ක ප්‍රමාණයෙන් 33%ක් අඩු කළ යුතු බවයි. ඒ ඒ තරමට ම භාණ්ඩාගාරය හිස්ව තිබූ නිසාය.

2004දී ලක්ෂ 07ක් වූ රාජ්‍ය සේවක පිරිස පසුගිය ආණ්ඩුව 2014 වන විට ලක්ෂ 14 දක්වා වැඩි කළේය. ඒ සමඟ ම රාජ්‍ය සේවක වැටුප් බිල රාජ්‍ය ආදායමෙන් 35% දක්වා වැඩි කළේය. වැඩි කරන ලද රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට සිදුවූයේ රුපියල් 10, 000ට වඩා අඩු වැටුප් ලබන අයගෙන් ලබා ගන්නා බදු මුදලිනි.

රාජ්‍ය ණය ප්‍රමාණය ගත් කළ 2014 දළ දේශීය නිෂ්පාදිතය 76% දක්වා වැඩි වී තිබූ අතර එය රාජ්‍ය ආදායමට සාපේක්ෂව බැලූ විට හය ගුණයක ප්‍රමාණයකි. ණය ගෙවීම සඳහා පමණක් රාජ්‍ය ආදායමෙන් 33%කට වඩා ගෙවීමට සිදුවිය.

2014 වන විට විදුලි බල මණ්ඩලයේ මෙහෙයුම් පාඩුව රුපියල් බිලියන 11.7ක් වූ අතර එයාර් ලංකා සමාගමේ මෙහෙයුම් පාඩුව රුපියල් බිලියන 29ක් විය.

මේවායේ ඉහළ පුටුවල සිටියේ රාජපක්ෂවරුන් හෝ ඔවුන්ගේ ඥාතීන් ය.

2010දී මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්ගේ ප්‍රධානත්වයෙන් බදු කොමිසමක් පත් කළ අතර වැටෙන රටට මුක්කුවක් සොයා ගැනීම එහි අරමුණ විය. මේ දිනවල ආර්ථික ඔස්තාර්ලා ලෙස විචාර ඉදිරිපත් කරන බන්දුල ගුණවර්ධන හිටියේ නෑසූ කන් ව ය. බලයේ සිටි වසර 09 කාලය තුළ රාජපක්ෂලා විසින් තම දේශපාලන බලය පවත්වා ගැනීමට රාජ්‍ය මූල්‍යය නන්නත්තාරකොට දැමූහ.

බන්දුල ගුණවර්ධන මහතා එවක ප්‍රකට ව සිටියේ 'ජනප්‍රිය විහිළු' සපයන කවටයකු ලෙසට ය. ඔහු එවක ඉදිරිපත් කළ විහිළු කතා අදටත් ජනප්‍රිය ය. වයිමගේ පුතාටවත් කරන්න බැරි වැඩ ගැන කී හෙතෙම, වරක් රුපියල් 2500කින් පවුලකට මාසයක් ජීවත් විය හැකි යැයි 'අන්දරේ' වර්ගයේ විහිළුවක් කළේ ය. ගණන් ගිය එළවළු වෙනුවට ඒ කාලෙට ලාභ එළවළු ගන්න කීවේත් ඔහු ය.

මෙහෙම විහිළු සැපයූ බන්දුල ගුණවර්ධනයෝ මේ ආණ්ඩුවට ආර්ථිකය හදන හැටි ගැන කියාදෙන්නට පැමිණීම අරුම පුදුම විහිළුවකි.

එදා මහින්ද ආණ්ඩුවේ ආර්ථික විනාශය ඉදිරියේ බන්දුල වචනයකින් කිසිම විවේචනයක් කළේ නැත. එහෙත්, විමල් වීරවංශ ඒ විපත ගැන කීවේය. ඒ අතින් බන්දුලට වඩා විමල් ඉදිරියෙන් ය.

'අද වන විට විදේශ ණය ප්‍රමාණය බිලියන 5000කට වැඩියි. මෙහෙම ගියොත් අපිට එක්තරා අවස්ථාවක් එනවා මේ ණයට අදාළ වාරික ගෙවාගත නොහැකි. එහෙම වෙලාවක් එන්න තියෙන ඉඩකඩ වැඩියි. දිගු කාලීන ආර්ථික ජයග්‍රහණ බලාගෙන නම් ඉදිරියට යන්නේ අපි සියල්ලටම පෙර මේ ණය උගුලෙන් එළියට එන්නෙ කොහොමද කියලා කල්පනා කළ යුතුයි..."

විමල් වීරවංශ 29-11-2011

වසර නවයක් ආණ්ඩු කළ රාජපක්ෂ ආණ්ඩුවේ බන්දුල ගුණවර්ධන මහතාට ආර්ථික පැත්තක් බාර වූයේ නැත. එහෙත් ඔහු ඒ නොලැබුණත් 'අනුන්ගේ පව්' සෝදන එක කළේය. කොටස් වෙළෙඳ පොළේ ආයෝජන ආපසු රැගෙන යන්නට නීතියෙන් ඉඩදී තිබීම වරදක් බව කියන බන්දුල නැමැති ආර්තික ඔස්තාර් වැඩිදුරටත් කියන්නේ, ඩොලර් ආපසු ගෙන යන්නට බැරිවන ලෙස නීති තදින් තියාගත යුතු බවයි. ඒ කතාව සමාන වන්නේ රුපියල් දෙදාස් පන්සීයෙන් පවුලකට ජීවත් වෙන්න පුළුවන් යැයි ඔහු ම කී කතාවට ය. තමන් කැමැති විටෙක මුදල් ගන්නට නොහැකි තැනක විදේශිකයකු මුදල් ආයෝජනය කරනවාද? අද කෙසේ වෙතත් එදා නම් කරවිල කා ජීවත් වූ පවුල් හමු විය. 'පවුලක් කරවිල කාලා නේද සතියක්ම?' කියා එදා සමහර අමාත්‍යවරුන්ගෙන් අහනවිට උන් උත්තර දුන්නේ 'කරවිල පිළිකාවලට හොබ්බ්ද බෙහෙතක්' කියා ය. අද පූචානම් කතා කියන්නේ එහෙවු ඉතිහාසයක අය ය. 'මාධ්‍යවේදීන්ට ගහනවා නේද, මාධ්‍ය භාර ඇමැති හැටියට ඔබ කොහොමද මැදිහත් වෙන්නේ?' කියා එවක මාධ්‍ය ඇමැතිගෙන් අහනකොට ඔහු කීවේ 'මොනවා කරන්නද, මට තියෙන්නේ තැඹිලි ගෙඩියක් අරන් බලන්න යන එක විතරයි' කියා ය. අද එයාලා බුදු වෙච්ච ගාන ය. ආර්ථිකය ගැන පම්පෝරි ගහන බන්දුල තරම් න්‍යායික ආර්ථික දැනුමක් විමල්ට නැත. හැබැයි එදා ආර්ථික අහේනිය වෙලාවේ 'මහින්දෝදය' හදමින් සිටි බන්දුල රාජපක්ෂගේ අර්ථික අවපාතය ගැන 'හුම්' කීවේ නැත.කොහොමත් එදා බන්දුලට ආර්ථිකය ගැන මෙලෝ 'අලබෝලයක්' බන්දුලට දුන්නේත් නැත.හැබැයි බලයෙන් පහ වුණාම බන්දුල 'ආර්ථික ඔස්තාර්'ය.

මානාභරණ

අදහස්