නඩේසන් මහත්තයා | සිළුමිණ

නඩේසන් මහත්තයා

යුරෝපයේ සිටින ලාංකිකයන් අතර වැඩිපුර සිටින්නේ දෙමළ ජාතිකයෝ ය. මේ බොහෝ දෙනෙක් 1983 ජූලි කලබල නිසා හා යුද්ධය නිසා රටින් පිටවූ අයයි. මා ජර්මනියේ දී කළ සමීක්ෂණයකට අනුව ඒ දෙමළ ජාතිකයන්ගෙන් වැඩි පිරිසක් ලංකාව හැරදමා පැමිණ ඇත්තේ යුධ සමයේ දී ය. එහෙත් ඔවුහු තවමත් ලංකාවේ සිටින තමන්ගේ නෑදෑයන් සමග ගනුදෙනු කරති. සමීක්ෂණයට සහභාගිවූ අය අතරින් සියයට හැටක් පමණ එක් වරක් හෝ ලංකාවට ගොස් තිබිණි. ඉන් ද්වනිත වන සත්‍යයක් වන්නේ ලංකාව තවමත් ඔවුන්ගේ සිත් තුළ ඇති ප්‍රියමනාප චිත්ත රූපයක් බවයි. අවස්ථා කීපයක දී මා වෙත ඊමෙල් පණිවුඩ එවමින් නඩේසන් මහතාට මා හමුවීමට අවශ්‍ය බව ප්‍රකාශ කරන ලදී.

තවත් දින කීපයකින් මා ඉදිරියේ වූයේ ප්‍රසන්න පෙනුමැති වැඩිහිටියෙකි. හෙතෙම ව්‍යක්ත ලෙස සිංහල භාෂාව හසුරුවනු අයුරු මා මවිතයට පත් කෙළේය. අප දෙදෙනාට කතා කිරීමට භාෂාව ප්‍රශ්නයක් වූයේ නැත. එසේම ඔහු මහාමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය සඳහා රටපුරා සැරිසරා ඇති හෙයින් ලංකාව ගැන බොහෝ දේ කතා කරන්නට ද හැකි විය. ඔහු ගේ වාග් විලාසය කෙනෙකුගේ සිත තදින් ම ඇද බැඳගනී. ඔහු ගේ කතාබහ අනුව ඔහු වැඩි කාලයක් ජීවත්ව ඇත්තේ උතුරේ නොවේ. ඔහු ගේ අත්දැකීම් ඉතා රසවත්ය. එවන් අයෙක් යුරෝපයට සේන්දු වුණේ ඇයිදැයි යන්න මගේ සිතේ පැන නැඟි ප්‍රශ්නයකි.

“ඔබ යුරෝපයට ආවේ ඇයි?” මම කුහුලින් මඩිනා සිත් ඇතිව ප්‍රශ්න කෙළෙමි. ඒ ප්‍රශ්නයත් සමග ඔහු ගේ මුහුණේ ඉරියව් වෙනස් වනවා මම නිරීක්ෂණය කෙළෙමි.

“ඒක දිග කතාවක්. අපි වැඩිපුර ජීවත් වුණේ සිංහල අය එක්ක. ඒ අයගෙන් අපිට කවදාවත් කරදරයක් වෙයි කියලා හිතුණේ නැහැ. ඒ වුණත් කළු ජූලිය මගේ ජීවිතයත් අඳුරු කළා”

මට දැනුණේ ඒ ප්‍රශ්නය අසා මා වස වැරැද්දක් කළ බවකි. “සමාවෙන්න අතීතය හරා ඇවිස්සුවාට.”

“අපෝ නැහැ. ඔබ දැන ගන්න ඕනේ මේ කතාව. 83 ජූලි කලබලයේදී අපි හිටපු පැත්තේ දෙමළ අයගේ ගෙවල් කඩන්න පටන් ගත්තා. ඒත් අපේ නිවසට කරදරයක් වුණේ නැහැ. අපේ ගෙවල් ඉස්සරහා හිටිය සිංහල අය අපිට කරදරයක් වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වුණත් එක් දවසක් කට්ටියක් අපේ ගෙදරටත් පැන්නා. මගේ නෝනා දොර හැරියේ. එත් එයාට ආයේ අපි දිහා බලන්න ඉඩ ලැබුණේ නැහැ. එයාට කඩු පහරක් වැදුණා. දරුවෝ දෙන්නා ගෙදරින් එළියට පැන්නා. මම නෝනා බේරා ගන්න හැදුවා. මට ඇහැරුණේ දවස් කීපයකට පස්සේ. ඇඟ පුරාම තුවාල. අපේ ගේ ගිනි තියලා කියලා මම දැන ගත්තා. දරුවන් බේරුණා.” ඔහුගේ දෑස්වලින් කඳුළු නොගැලුවත්, හදවතින් හඬන ඔහු ගේ හඬ මට ඇසිණි. මම අසරණව ඔහු දෙස බලා සිටියෙමි. දැඩි පීඩනයක් සහිත දුකක් මගේ සිත හරහා ගමන් කරනවා මට දැනිණි.

“ඉන් මාසයකට පස්සේ අපි පිටරට ආවා. විවිධ තැන්වල රක්ෂා කළා. දැන් විශ්‍රාමිකයි.”

සිදුවූ දෙයට මම ඔහුගෙන් සමාව ඉල්ලුවේ මා සිංහලයෙකු වීම නිසා ය.

“ඒක අතීතයේ සිදුවීමක් පමණයි. අපි දෙගොල්ලන්ට ම ඒ විනාශය වළක්වා ගන්න තිබුණා. ඒකෙන් සිද්ධ වුණේ අපි දෙගොල්ල අතර විශ්වාසය පලුදු වීම පමණයි.” මම ද ඔහු ගේ අදහස අනුමත කෙළෙමි.

“නඩේසන් මහත්තයා දැන් මොකද කරන්නේ?”

“මම කාලයක් තිස්සේ දරුවන්ට උගන්නනවා. දෙමළ දරුවන් සිටින පාසලක් භාරව කටයුතු කළා. දැන් මම දෙමළ දරුවන්ට සිංහල උගන්වනවා.”

ඒ වදන් මට අදහන්නට නොහැකි තරම් විය. “ඇයි ඔබ සිංහල උගන් වන්නේ?”

“එකිනෙකා ගේ භාෂාව නොදැනීම නිසා අප අතර බැම්මක් ඇති වෙලා තියෙනවා. මෙහේ ඉන්න දෙමළ දරුවෝ එක් වරක් හරි ලංකාවට යනවා. ඒ අය සිංහල ටිකක් දන්නවා නම් ඒක ප්‍රයෝජනවත් කියලයි මට හිතුණේ.”

මම ඔහුට සමුදුන්නේ බොහෝ දේවල් හිතට එකතු කරගෙනයි. නඩේසන් මහත්තයා ගේ ළබැඳි කතාව මට කිසි දිනෙක අමතක වන්නේ නැත. තවත් දිනෙක අප හමුවනු ඇත. නැවතත් අප දෙන්නාට බොහෝ දේ කතා කරන්නට හැකියි.

 

අදහස්