ක්‍රිකට් පසුබෑමේ ඇඟිල්ල දිගු කළ යුත්තේ කාටද? | සිළුමිණ

ක්‍රිකට් පසුබෑමේ ඇඟිල්ල දිගු කළ යුත්තේ කාටද?

ආසියානු කුසලාන ක්‍රිකට් පරාජයෙන් පසු එළඹෙන එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා පිල නම් කිරීමේදී තේරීම් කමිටුවත් පුහුණුකරු හතුරුසිංහත් යළි අනාගෙන ඇත. සියලු පවු ඇන්ජෙලෝ මැතිව්ස් පිට පටවා ඔහු නායකත්වයෙන් පමණක් නොව එක්දින කණ්ඩායමෙන් ද ඉවත්කර තිබේ. නැවත වරක් නායකත්ව ඔටුන්න චන්දිමාල් වෙත පවරා ඇත. තේරීම් කමිටුවත් එසේමය. හතුරුසිංහ ද ඔහුගේ සහායක පුහුණුකරුවන්ද එසේමය.

‍‍මෙවර ආසියානු කුසලානයේ දී සිදුවූ දේ පිළිබඳ කීමට ක්‍රිකට් බලධාරීන් කැඳවූ මාධ්‍ය හමුවේදී තමන් වෙතින් කිසිදු අතපසුවීමක් සිදුවූ බවට තේරීම් කමිටුවත් හතුරුසිංහවත් පිළිගන්නා අයුරු අපි නුදුටුවෙමු.

ජයග්‍රහණයේ දී එහි අයිතිය බෙදා ‍ගන්නවුන් අප ර‍ෙට් ඕනෑ තරම් ඇතත් පරාජයේ දී එහි වගකීම බෙදා ගන්නවුන් නොමැති බවට මෙය හොඳම උදාහරණයකි.

මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙනු වෙනුවට හතුරුත් ලැබ්‍රෝයිත් පෙරළා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කරනු අප දුටුවෙමු. හතුරුට පෙරත් ඔහුගෙන් පසුවත් ශ්‍රී ලංකා පිල පුහුණුකරන්නට පුහුණුකරුවන් නොසිටියේ හෝ නොසිටිනු නොවේ‍. ලැබ්‍රෝයි හැරුණුවිට ඊට වඩා හොඳින් තේරීම් කමිටු සභාපති ධූරයක් දරන්නට සුදුස්සකු නැතිවා නොවේ. මේ සියල්ලෝම රටක් නියෝජනය කරන ක්‍රීඩකයන් ද ඇතුළුව වෘත්තිකයෝ ය. ඒ වෙනුවෙන් විශාල ගෙවීමක් ද ලබන්නෝ ය. මේ සියල්ලටම වඩා ඔවුන්ගේ නියෝජනය වන්නේ රටය. එනිසා ඔවුන් තම වෘත්තිය තුළ සිටියදී රටටම වගකිව යුතු ද වේ. ක්‍රිකට් බලධාරීන් ද සැමවිටම අමතක කරන්නේ මෙයමය.

හතුරුසිංහ බංග්ලාදේශයෙන් ගලවා ශ්‍රී ලංකාවට ගෙනා ක්‍රියාදාමය තුළ අපේ ක්‍රිකට් බලධාරීහු දිගින් දිගටම සිදුවෙමින් තිබුණු පරාජයන්ගේ අවමානයෙන් බේරා ගැනීමට ඔහු ඉල්ලූ සෑම දෙයක්ම දුන්නේය. මෙතෙක් කිසිදු ජාතික පුහුණුකරුවකුට නොගෙවූ වැටුපක් සමඟ මෙතෙක් ක්‍රිකට් ව්‍යවස්ථාව තුළ ‍නොතිබූ තේරීම් කමිටු සාමාජිකත්වය හා සංචාරවල තේරීම්වල පූර්ණ අයිතිය ඇතුළු වෙනත් පහසුකම් රැසකින් හතුරුසිංහ පුදනු ලැබීය. බංග්ලාදේශය ද එම වැරැද්දම සිදු කළ අතර අවසානයේ හතුරුසිංහ ඔවුන්ට ද කොකා පෙන්වා මෙහි පැමිණියේය. මුෂ්‍ෆිකර් රහීම්, ෂකිබුල් හසන් යන හිටපු බංග්ලාදේශ නායකයන් ඇතුළු ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව පැරදවූ පසු නාග නැටුම් පෙන්වූයේ ද හතුරුසිංහට ය.

තිලාන් සමරවීර ඕස්ට්‍රේලියාවේ සිට පිතිකරණ පුහුණුකරු ලෙස ගෙන්වා ගත්තේ ද හතුරුසිංහගේ වුවමනාවටය. හොඳට ලකුණු ගැසූ කුසල් මෙන්ඩිස්ලා දැන් පන්දුවෙන් දෙකින් දැවී යන්නේ ද ඔහුගේ පිතිකරණ පුහුණුව යටතේ ය. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අඩුම ලකුණු සංඛ්‍යාව තම පන්දු වාර 35 ක් තුළ සියලු ම පිතිකරුවන් දැවී යන්නේ ද මෙවන් පසුබිමකය. ආරම්භක පිතිකරුවන් මැද පෙළට දමා මැද පෙළ පිතිකරුවන් ආරම්භක පිතිකරුවන් වන්නේත් වරින් වර පිතිකරු ලැයිස්තුව වෙනස් වන්නේත් හතුරු - තිලාන් චින්තනය යටතේ ය‍. එහෙත් මුළු තරගාවලිය පුරාම එකම පිතිකරු ලැයිස්තුවකට තරග වැදුණු ඇෆ්ගන් ක්‍රීඩකයෝ අලුත් උපක්‍රම නොමැතිව පන්දුවාර 30 ක් යනතුරු කඩුලු රැ‍කගෙන සිටිමින් අවසන් පන්දුවාර 10 උපරිම ලකුණු රැස්කිරීමේ පැරණිම න්‍යාය අනුව යමින් තරගාවලියේ ලකුණු 250 ක සාමාන්‍ය‍යක් රඳවා ගෙන තරග ජය ගැනීමට ද සමත්වූහ.

පන්දු දෙකක් භාවිතය නිසා මේ වනවිට බොහෝ කණ්ඩායම් මුල් පන්දු වාර 15 දී එකල සනත් - කලු යුගලය මෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමේ න්‍යායයෙන් බැහැරව කඩුලු සුරක්ෂිතව තබා අවසන් පන්දු වාරවලදී උපරිම ලකුණු රැස් කිරීමට දැන් පුරුදුව තිබේ. එහෙත් ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් එක් දින තරග දෙස බලන විට අප මුලින් වැරෙන් පන්දුවට පහරදීමට ගොස් පන්දුවාර 25 ක් තුළ මුල් කඩුලු 5 දැවී ගිය විට සෙසු කඩුලු 5 ද එකා පස්සේ එකා දැවී යාම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව ඇත.

ක්‍රිකට්වල සාම්ප්‍රදායික රටාවටම යා යුතුව නැත. සාම්ප්‍රදායික ක්‍රිකට් රටාව වෙනස් කර සාර්ථකත්වය ලැබූ කණ්ඩායම්වලට කලක් ශ්‍රී ලංකාව හොඳම උදාහරණයක් විය. එහෙත් ක්‍රීඩාවේ මූලික සිද්ධාන්ත අමතක නොකළ යුතුය.

ක්‍රීඩකයකුට එක් ස්ථානයක ස්ථාවර වීමට හා විශ්වාසනීයත්වය ගොඩනංවාලීමට ඉඩදීම එක් සිද්ධාන්තයකි. එහෙත් පසුගිය වසර දෙක තුළ තරගයෙන් තරගයට හෝ එසේත් නොමැති නම් සංචාරයෙන් සංචාරයට ක්‍රීඩකයන් දුසිම් ගණනින් මාරු කිරීම කොතරම් සිදුවුණිද? බොහෝ රටවල නවක තරුණ ක්‍රීඩකයකුට මුල් වරට අවස්ථාවක් දෙනවිට බොහෝ අවස්ථාවල ඔවුන් තරග දිනා දෙන්නෝද වන්නෝය. ඒ අදාළ තේරීම් කමිටු නිවැරැදි වේලාවට නිවැරැදි තේරීමක් කල් යල් බලා සිදු කිරීම නිසාය. පාකිස්ථානයේ ඉමාමුල් හක්, එංගලන්තයේ කරන් එයට හොඳ නිදසුන්ය.

පසුගිය වකවානුවේ කල් යල් බලා නොගෙන අවිශ්ක ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, වැනි ක්‍රීඩකයන් මෙන් ම ගෙනැවිත් එකවරම හලා දැමූ උදාර ජයසුන්දර, ඇන්ජෙලෝ පෙරේරා වැනි ක්‍රීඩකයන් මීට සාපේක්ෂව අපේ තේරීම් කමිටුවල තේරීම්වලට උදාහරණය.

ස්ථාවර තේරීම් ප්‍රතිපත්තියක් නොමැතිකම, ස්ථාවර පිතිකරු ලැයිස්තුවක් හා පන්දු යැවීමේ ස්ථාවරත්වයක් නොමැතිකම, දුර්වල පන්දු රැකීම, දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මට්ටම කඩා වැටීම, පාසල් මට්ටම හා අන්තර් ක්‍රීඩා සමාජ මට්ටමේ ඇති පරතරය, කළකිරීම හෝ මුදල් අවශ්‍යතාව මත දේශීය තරගාවලි හැරදමා බුරුතු ගණන් ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ගැසීමට යෑම, ක්‍රිකට් පරිපාලනයේ අදූරදර්ශී බව හා අකාර්යක්ෂමතාව, දූෂණය, පුහුණු අංශයේ දුර්වලතා, උවමනාවට වඩා වැඩි තරගාවලි, ක්‍රීඩකයන් තුළ කැපවීම අඩුවීම, පූර්ණ කාලීන තේරීම් කමිටු නොමැතිකම, ඒ ඒ පුහුණුකරුවන් හා තේරීම් කමිටු තම තමන්ගේ කාලසීමාව ගැන මිස ඉදිරියක් ගැන සිතා කටයුතු නොකිරීම, ක්‍රීඩකයන්ගේ ඒජන්තවරුන්ගේ අනිසි බලපෑම්, ක්‍රිකට් පරිපාලන‍යේ සිටින්නවුන් තම තමන්ගේ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයන් ගැන තේරීම් වලදී සිදුකරන බලපෑම්, නායකයන් කණ්ඩායම තුළ කල්ලි බිහි කර ගැනීම යන කරුණු රැසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පසුගමනට හේතුව‍ූ බව කිවයුතුය.

තත්ත්වය මෙසේ නම් සියල්ල ඇන්ජලෝ මැතිව්ස් කර පිට දමා කිසිවකුට අත් පිසදා ගැනීමට නොහැක. මේ දැන් සිදුවන්නේ කලක් මුළුල්ලේ සිදුවන ක්‍රියාදාමයක අතුරු ඵලයන්ය.

මේ සියල්ල වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා ද තේරුම් ගන්නේ නම් තවමත් අපේ ක්‍රිකට් ගොඩ ගැනීම ප්‍රමාද නැත. තමන්ට හා තම ලේකම්වරයාට ක්‍රිකට් ගැන ඇත්තේ අල්ප දැනුමක් හෙයින් ක්‍රිකට් පරිපාලනය පවතින නඩුව අවසන් වී නිලවරණයක් පවත්වන තෙක් හෝ දැනුමැති සුදුසු පුද්ගලයන් කිහිප දෙනෙකුට පවරන්නේ නම් වත්මන් අර්බුදයට යම් සහායක් බලාපොරොත්තු විය හැකිය.

මීට වසර 22 කට පෙර අප ලෝක ශූරතාව දිනද්දී අපට සිටියේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් වැටුප් ගෙවූ පුහුණුකරුවෙකි. වත්මන් ක්‍රීඩකයන්ට තිබෙන අවම පහසුකමක් ‍හෝ එවක ක්‍රීඩකයන්ට නොතිබිණි. පාලක මණ්ඩලයට ද අද තරම් අසීමිත මුදල් සම්භාරයක් නොවීය. එහෙත් පරිපාලකයන්ට නිවැරැදි දැක්මක් තිබිණ. ක්‍රීඩකයන්ට අධිෂ්ඨානයක් හා කැපවීමක් තිබිණ. අපට ලෝකය ජයගන්නට හැකිවුණේ එනිසාය.

එසේ නම් අද බංග්ලාදේශයට හෝ ඇෆ්ගනිස්ථානයට මෙතරම් අජූත ලෙස පැරදීමට හේතුවක් නොමැත. හේතු හදාගෙන ඇත්තේ අපමය. එක් එක් අයට ඇඟිලි දිගු නොකොට මේ සියල්‍ලන්ම තමන්ට ද ඇඟිල්ලක් දිගු කරගන්නේ නම් අපේ ක්‍රිකට් ක්‍රීඩාව හෙට දවසේ යළි ගොඩ ගත හැකිය. නො එසේ නම් හොංකොං හා නේපාලයත් අපව අබිබවා යන දිනය වැඩි ඈතක නොවේ.

අදහස්