සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය | සිළුමිණ

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය

හෙට බබළවන තරු 6000ක් කොළඹට රොදබඳිති

මෙරට හතළිස් පන් ලක්ෂයක් වු පාසල් සිසු දරු දැරියන්ගේ ශාරීරික සුවතාව හා ක්‍රීඩා කෞශල්‍යය නගාසිටුවීමට හා ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනා ගෙන ඔවුන්ගේ නිසග හැකියාවන් ඔප මට්ටම් කරන, සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළ ඔක්තෝබර් 1 වැනිදා සිට 5 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රිඩාංගණයේදී පැවැත් වෙයි.

1984 වසරේදී එවකට අධ්‍යාපන ඇමැතිව සිටි වත්මන් අග්‍රාමාත්‍ය තුමාගේ සංකල්පයකට අනුව පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශීෂ්ට දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ජාතික තලයට ඔසවා තැබීමේ අරමුණින් ආරම්භ කරන්නට යෙදුණු “සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය මෙවර 34 වැනි වරටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අංශය විසින් සංවිධානය කරයි.

මෙරට පාසල් දූදරුවන් 39000කට අධික පිරිසකගේ සහභාගීත්වය ඇතුව තරග ඉසව් 29ක් වෙනුවෙන් පැවැත් වෙන 34 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර ලෙස මලල ක්‍රිඩා තරගාවලිය ඔක්තෝබර් 01 වැනි ද සුගතදාස ක්‍රිඩාංගණයෙදී ඇරඹේ. දින 5ක් පුරා පැවැත් වෙන අවසන් අදියරට 6000ක මලල ක්‍රීඩක ක්‍රීඩිකවන් සහභාගී විමට නියමිත අතර ආසියාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී සහ දකුණු අසියාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී දක්ෂතාවයන් දැක්වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලිය නියෝජනය කිරීමට නියමිතය.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළට පළමු වරට හට් බෝල් ක්‍රීකට් ක්‍රිඩාව හදුන්වා දී ඇති අතර පළාත් නමය නියෝජනය කරමින් කණ්ඩායම් 9ක් හා ක්‍රීකට් ක්‍රීඩාවේ නියැලෙන කොළඹ පාසල් 7ක් මෙවර තරගාවලියට ඇතුළත්ව ඇත.

2018 “සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උත්සවය ඔක්තෝබර් 1 වැනි දා පස්වරු 2.00ට සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ නීර්මාතෘ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විමට නියමිත අතර ඔක්තෝබර් 5 වැනි දා පස්වරු 4.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ ජයසංකේත ප්‍රදානය සිදුකිරීමට නියමිතය.

34 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළේ ගිනි සිළුව රැගෙන යාම ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගයේ මීටර් 400 රන් පදක්කම්ලභී, අකුරම්බොඩ ජාතික පාසලේ අරුණ දර්ශණ හා දකුණු ආසියාතික මලල ක්‍රීඩා තරගයේ රන් පදක්කම් හතරක් දිනාගත් මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලයේ අමාශා ද සිල්වා විසින් සිදු කිරීමට නියමිත අතර ක්‍රීඩා ප්‍රතිඥාව දී පසිඳු කොඩිකාර විසින් සිදුකිරීමට නියමිතය.

ලංකා බැංකුව විසින් ක්‍රීඩා උලෙළේදී දක්ෂතා දක්වන ක්‍රීඩික ක්‍රී‍ඩිකාවන් 62දෙනෙකුට මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිත අතර අනෙකත් ක්‍රිඩක ක්‍රීඩිකාවන් උදෙසා රන්, රදී හා ලෝකඩ පදක්කම් පිරිනැමිමට නියමිතය.

තරගාවලියට සහභාගිවන කොළඹින් බැහැර සියලු දූදරුවන්ගේ නවාතැන් පහසුකම් හා ආහාර පාන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සපයනු ලබයි.

විනිසුරුවරුන් 4800කගේ සහාභාගීත්වය ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අංශය විසින් තාක්ෂණික කටයුතු සම්පාදනය කරනු ලබයි.

 ඡායාරූප - ද පපරේ

Comments