පාසල් ක්‍රීඩාවේ අලුත් අස්වනු නෙළීමට කාලයයි | සිළුමිණ

පාසල් ක්‍රීඩාවේ අලුත් අස්වනු නෙළීමට කාලයයි

ක්‍රීඩා කෞශල්‍යයන්ගෙන් පරිපූර්ණ වූ ලාංකේය දූපුතුන් ගමින් - නගරයට, නගරයෙන් - පළාතට සහ පළාතෙන් - ජාතික තලයට ඔසවා තබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළ හෙවත්, ලාංකේය පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා මහා මංගල්‍යය වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. තිස් හතරවැනි වරටත් පැවැත්වෙන මෙකී තරගාවලිය නිමාවට පත්වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා මහා මංගල්‍යයට වාර්තාගත සහභාගිත්වයක් සටහන් කරමින් හතළිස් දහසකට ආසන්න පිරිසක් තරග බිමට පිවිස සිටිති. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළ යනු නිසි කළමනාකාරීත්වයකින් ක්‍රියාත්මක කර ගන්නේ නම් හොඳ දෙවැනි පෙළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකර ගත හැකි ප්‍රතිලාභවලින් පිරිපුන් තැනක් බව අමතක කළ යුතු නොවේ.

තිස් හතරවැනි සමස්ත ලංකා ක්‍රීඩා උලෙළේ වැඩිම අවධානයක් දිනා ගත් මලල ක්‍රීඩා තරගාවලියට සුගතදාස පිටියේදී වැස්සෙන් බාධා ඇතිවූ නමුත් එහිදී මතුවූ දක්ෂතා වැස්සකට දිය කර හැරිය නොහැකි බව රහසක් නොවේ. එහෙත් එකී දක්ෂතා අනාගතයට රැගෙන යාමේ අභියෝගයට ඇති පිළිතුර නම් අභියෝගයකි. ඒ පිළිබඳ විවාදයක් නැත. ටස්මන් කොලිං, ප්‍රේමසිරි රත්නායක, උදාන ලිවේරා, චාමිනි රිද්මා, ඒ. මහේෂා, තමාරා රුක්මාලි ඇතුළු තවත් දිග් ගැස්සිය හැකි නම් පෙළක් බොහෝ දෙනකුට නුහුරු නුපුරුදු වාද විවාද ඇවැසි නැත. එපමණක් ද නැත. මනෝජ් පුෂ්පකුමාර, දහම් මාධව ද සිල්වා, ප්‍රදීප් රණසිංහ, ඔෂාන් රංජිත්, ඉන්දික පරණගම, ළහිරුනි පීරිස්, බී. සී. ජයමාන්න, ශලනි මහලියන, මේනකා නිලන්ති කළුපහණ, කලනි සෙනෙවිරත්න වැනි ලාංකේය මලල ක්‍රීඩා කෙත පෝෂණය කිරීමට හැකියාවක් තිබූ මෙකී නම් පෙළ සිහිපත් වන විට ඇතිවන්නේ ද කනගාටුවකි. මන්ද යත් ඔවුහු සිය අතීතයම ලාංකේය මලල ක්‍රීඩාව වෙනුවෙන් දියත් කර හැරි නිසාවෙනි.

එහෙත් ඒ ගැන එදා සිතන්නට කිසිවකු නොසිටි නිසාත්, ක්‍රීඩාවේ නිරත වීමට ඇවැසි අත්වැල නොලැබීම නිසාත්, ජීවත්වීම වෙනුවෙන් ක්‍රීඩාව කැප කරන්නට සිදුවිය. ගියවර සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගාවලියේ වයස් කාණ්ඩ වෙනස් වුවද, 17 න් පහළ බාලිකා මීටර් 200 ඉසව්වට ටානියා වැන්හියර් 1986 වාර්තා කළ තත්පර 25.00 ට සහ මීටර් 400 ඉසව්වට වාර්තා කළ තත්පර 55.9 ට මෙවර තරගාවලිය ඇරැඹෙන විටත් අභියෝගයක් නැත. එනම් එකී වාර්තා දශක තුනක් ද ඉක්මවා තිබීම තුළ අපේ මෙතෙක් ගමන් මඟ පැහැදිලිය.

අදටත් සුගත් තිලකරත්නගේ, සුසන්තිකා ජයසිංහගේ, දමයන්ති දර්ශාගේ හෝ ශ්‍රියානි කුලවංශගේ දක්ෂතා අසලට පැමිණීමටවත් වැඩ පිළිවෙළක් නැති නිසාම ඔවුන්ට එදා සිදුවූයේ සිය ලේ ඇට මස් නහර ක්‍රීඩා පිටිවලට දියවී යන තෙක්ම දුවන්නටය. මොවුන් පවා සිය ජයග්‍රහණ එදා රටට අත්පත්කර දුන්නේ භෞතික පරිසරය යම් පමණකට හෝ පරිපූර්ණ වූ වටපිටාවක් තුළය. එස්. බී. දිසානායක සහ සුනිල් ගුණවර්ධන මහතුන්ගේ යම් ක්‍රියාදාමයන් පිළිබඳ විවේචන එල්ල වුවද ජයග්‍රහණයන්ට පදනම එස්. බී. සහ සුනිල් දෙපළගේ සුසංයෝගයේ ව්‍යාපෘති බව අවිවාදයෙන්ම පිළිගත යුතුය.

මේ අලුත් අස්වනු නෙළීමට සූදානම් විය යුතු කාලයයි. ක්‍රීඩාවට ළැදි කාගේ කාගෙත් ඒකරාශිවීමකින් අලුත් ක්‍රීඩා සංස්කෘතියකට පය ගැසිය යුතු කාලවකවානුවකි. ඒ සඳහා මේ ගෙවෙන නිමේෂය පවා අත් නොහැර ප්‍රයෝජනයට ගන්නේ නම් ක්‍රීඩාව ගැන අද කෙසේ වෙතත් හෙට බොහෝ සොඳුරු දෑ අකුරු කරන්නට ඉඩකඩ විවරවනු ඇත. මෙකී සමස්ත ක්‍රීඩා තරගාවලියේ පිපෙන මල් කැකුළු හෙට ලාංකේය ක්‍රීඩා කෙත සුවඳවත් කිරීමට පෝෂණය කිරීමට ප්‍රමාණවත්ය. ඒ සඳහා නායකත්වය දෙන්නට බලධාරින් පසුබට නොවන්නේ නම් හෙට මේ මල්කැකුළු දසතම සුවඳවත් කරනු නියතය. ඒ සඳහා මේ දූපුතුන්ගේ පිටුපසින් නොව කොන්ද කෙළින් තබා ගෙන මොවුන් ඉදිරියෙන් සිට ගැනීමට, ගමන් කිරීමට බලධාරීන් වගබලා ගත යුතුය. බලධාරින් ගැන මේ දූදරුවන් තුළ පවතින්නා වූ විශ්වාසය පලුදු නොවීමට වගබලා ගැනීම ද ඔවුන්ගේ පරම යුතුකමකි.

එහෙත් අද සිදුවෙමින් පවතින්නේ බල අරගලයන්ට මැදිව මහා පුටුවට පොර බදන්නන් බුරුතු පිටින් එකිනෙකා ඇනකොටා ගැනීම් පමණි. එදා සුසන්තිකාගේ ජයග්‍රහණයට තෙත් වූ දෙනෙත්වලට අද සිදුවී තිබෙන්නේ පණ අදින ජයග්‍රහණයන් දෙස බලා අඬා වැලපෙන්නට බව මේ කල්ලි ගැසී බල අරගලයන්ට පොර කන්නන්ට නොතේරීම අපේ ක්‍රීඩාවේ කරුමය මිස වෙනකක් නොවේ.

 

අදහස්