වැඩිහිටි දින කරන අයට මේ වගෙ තැන් පේන්නෙ නැද්ද? | සිළුමිණ

වැඩිහිටි දින කරන අයට මේ වගෙ තැන් පේන්නෙ නැද්ද?

* මෙතැ­නට පිටින් ආහාර ලැබෙ­න්නේම නැහැ.
* රෑට හයි­යෙන් රේඩියෝ එක දමා නොති­බ්බොත් බය වෙනවා.

කළු­තර කටු­කු­රුන්දේ රීටා පෙරේරා සොයු­රිය තම සැමි­යාගේ වියෝ­වෙන් පසු ඇගේ දිවිය දුගී දුප්ප­තු­නට හා අස­ර­ණ­යන් සඳහා කැප කළා. රෝගීන්ට ඇප උප­ස්ථාන කළා. දිනක් ආරෝග්‍ය ශාලා­ව­කින් ටිකට් කපා ගත් රෝගි­ය­කුට යෑමට තැනක් හෝ බාර ගැනී­මට ඥාති­යකු හෝ නොමැති බව දැන රෝගි­යාට තම ගෙදර ආලි­න්දයේ ඉදුම් හිටුම් දී තිබෙ­නවා. 1983 ජන­වා­රි­යේදි තමයි පළමු මාක් ශ්‍රි නිවෙස ආරම්භ කර තිබෙන්නේ. ඉන් පසුව දිනෙන් දින රෝගීන් ඇය­ගෙන් උදව් පතා පැමිණ තිබෙ­නවා. ඒ කිසි­වකු ඇය හරවා යවා නෑ. නිවෙසේ ඉඩ ප්‍රමා­ණ­වත් නොවෙද්දී පොල් අතු මඩු­වක් ගෙදර මිදුලේ සාදා අස­ර­ණ­වූ­වන් එහි රඳවා ඇප උප­ස්ථා­න­කර තිබෙ­නවා. එහෙම තමයි මාක් ශ්‍රි ආය­ත­නය ආර­ම්භ­කර තිබෙන්නේ. ඉන් පසුව කලක් යද්දි අස­ර­ණ­වූ­වන්ගේ ප්‍රමා­ණය තවත් වැඩි වෙලා. ඒ බව ගරු ජුලි­යන් තිසේරා පිය­තු­මාට සැල­වී­මත් සමග (කළු­තර කටු­කු­රුන්ද මීසම් සේවක පිය­තුමා) මෙම නිවෙ­සට උදවු උප­කාර ලබා දී එහි නේවා­සික පිය­තුමා ලෙස මෙතැන විධි­මත් ලෙස අස­රණ අයට උව­ටැන් කිරීම ආරම්භ කළා.” මෙසේ පව­සන්නේ වත්ම­නෙහි මෙම ස්ථානය බාර ප්‍රසන්න ක්‍රිස්ටෝ­පර් පිය­තු­මාය.

එතැන සිටින බොහෝ දෙන­කුගේ කන් නොඇසේ. දෑස් නොපෙනේ. කටට කෑම­ටික ළං කරද්දී කුරු­ල්ලන් කට අරි­න­වාක් මෙන් කට හරිති. කුඩා ළම­යි­න්ටත් අන්ත ලෙසින් කැත කුණු සැම තැන තවරා ගනිද්දී ඔවුන් රැක බලා ගැනී­ම­ටත් ඔවුන් වෙනු­වෙන් පේවී සිටී­ම­ටත් වෙනම පිරි­සක් උව­ම­නා­මය. ඔවුන් පිරි­සු­දුව තබා ගැනීම ලෙහෙසි නැත.

“නෑදෑ­යන් මේ වගේ අය නිවා­ස­ව­ලට ගෙනැ­විත් දාලා ගියාට පසු බල­න්න­වත් ආපහු එන්නේ නෑ. එහෙ­මත් කෙනෙ­කුගේ තමයි ගෙද­ර­කින් එන්නේ. ඒකත් අවු­රු­ද්ද­කට වරයි. ඇතැම් දව­ස්ව­ලට රාත්‍රි­යට විදු­ලිය විසන්ධි වූවිට මර හඬ දී කෑ ගස­නවා. මේ අය පුරු­දු­වෙලා තියෙන්නෙ ආලෝ­කය සහ ශබ්දය අනුව ජීව­ත්වන්න. ඔවුන්ට දිවා රෑ ගුව­න්වි­දු­ලිය ශබ්ද නඟා ක්‍රියා­ත්ම­කව තබන්න ඕනෑ. එහෙම නොකො­ළොත් මොවුන් කෑ ගස­නවා වට­පි­ටාව දෙව­නත් වෙන්න. ඒ වෙලා­වට වට­පිට අය එය හිරි­හැ­ර­යක් යැයි කිය­මින් අපට චෝදනා කර­නවා. ඉතින් අපි මොකද කරන්නේ. මේ දරු­වන්ට මෙන්ම වැඩි­හි­ටි­ය­න්ටත් වැඩි ආයු­කා­ල­යක් නෑ. මම හිතන්නෙ ඔවුන් මේ ලෝකෙට ඇවිත් ඉන්නෙ අපිට අපේ ජීවි­ත­වල වටි­නා­කම කියා දෙන්න”ප්‍රසන්න ක්‍රිස්ටෝ­පර් පිය­තුමා පැව­සුවේ පසු­ගිය දිනෙක කළු­තර කටු­කු­රුන්ද මාක් ශ්‍රි නිවෙ­සට ගොඩ වැදුණු අපට එතැන තොර­තුරු විස්තර කර­මිනි.

කුඩා විය මෙන්ම මහලු වියද සුන්ද­රය. කාගේත් ආද­ර­යට හා කරු­ණා­වට ලක්වන්නේ මේ අව­ධීන් දෙකය. එහෙත් සාර­ධ­ර්ම­ව­ලින් පෝෂ­ණය ලැබූ ශ්‍රි ලාංකික සංස්කෘ­තික සමා­ජයේ මේ වෙද්දී ඇතැම් දරු­ව­න්ටත් වැඩි­හි­ටි­ය­න්ටත් ළමා නිවාස හා වැඩි­හිටි නිවා­ස­යන්හි රැක­ව­ර­ණ­යට ලබා ගැනී­මට සිදුව තිබේ. අතීත සමා­ජ­යට ආග­න්තු­කවූ ළමා නිවාස හා වැඩි­හිටි නිවාස වත්මන් අවි­වේකී හා වෙන­ස්වන ජීවන රටාව හමුවේ නැති­වම බැරි අංග­යක් බවට පත්ව තිබෙන්නේ ඒ නිසායි. එවන්වු ආය­ත­න­ව­ලින් සිදු­වන සේවය මෙතැ­කැයි කියා නිම­කළ නොහැක්කේ පාරක් පාරක් ගානේ යමින් බස් හෝල්ට්වල හා ගස් යට ගෙවනා ජීවි­ත­ව­ලට සෙව­ණක් දෙන්නේ මේ නිවාස නිසාය.

මීට දශක කිහි­ප­ය­කට පෙර වැඩි­හි­ටි­යාට අපේ සමා­ජයේ තිබුණේ ඉහළ පිළි­ගැ­නී­මකි. වැඩි­හිටි රැක­ව­ර­ණය ඔවු­නට පවු­ලෙන්ම ලැබුණි. පර­ම්පරා තුන හත­රක සෙනෙ­හස ලබ­මින් එදා බොහෝ වැඩි­හි­ටියෝ ප්‍රිති­මත් දිවිය පෙවෙ­තක් ගත කළහ. එහෙත් අද ඇතැම් වැඩි­හි­ටියෝ සරණ පතා ගෙයක් ගෙයක් පාසා ඇවිද යති. ඔවුන්ට පිහි­ටක් වන විවි­ධා­කා­රයේ නිවාස ඇතත් ඒ අත­රින් සැබෑ පිහි­ටක් ලැබෙ­නුයේ කෙත­රම් සුළු ප්‍රමා­ණ­ය­කින්ද? මන්ද වැඩි­හිටි නිවාස කියා­ගත් බොහො­ම­යක සිදු­වන වංච­නික ක්‍රියා අප කොතෙ­කුත් අසා ඇති නිසාය.

වැඩි­හිටි නිවාස බොහො­ම­යක් අත­රින් කළු­තර කටු­කු­රුන්ද මාක් ශ්‍රි ආය­ත­න­යෙන් වැඩි­හිටි සහ දරු­වන් වෙනු­වෙන් සිදු කෙරෙන සත්කා­රය සුළු පටු නොවේ.

මේ වෙද්දී මාක් ශ්‍රී නිවාස සංඛ්‍යාව නව­යකි. ඒ සිය­ල්ලම පිහිටා ඇත්තේ කළු­තර අවට ප්‍රදේ­ශ­ය­න්හිය. වර්ත­මා­නයේ ළමා නිවෙස් පරි­පා­ල­නය ගරු ලෙස්ටර් විජේ­සූ­රිය පිය­තුමා යටතේ සහ

ආබා­ධිත හා වය­ස්ග­ත­වූ­වන්ගේ නිවෙස් පාල­නය ප්‍රසන්න ක්‍රිස්ටෝ­පර් පිය­තුමා යටතේ ද පවතී. මේ සිය­ලුම නිවෙ­ස්වල ආබා­ධිත හා අස­ර­ණ­වූවෝ 300කට ආසන්න සංඛ්‍යා­වක් වෙති.

මේ සෑම නිවෙ­සක්ම එකි­නෙ­කට වෙනස්ය. මමා පාපා නිවෙසේ සිටින්නේ ආබා­ධිත දරු­වන්ය. එහි බොහො­ම­යක් ගොඩ­නැ­ගිලි ඉදි­කර ඇත්තේ පිට­රට යුව­ළ­කගේ මුදල් අධා­ර­යෙනි. ඔවුන් තමන්ගේ අව­සන් කැමැ­ත්තට අනුව සියලු දේපළ මේ නිව­සට භාර කර මේ වන විට ජීව­තුන් අතර නැත. දරු­වන් එම දෙපළ ආද­ර­යෙන් අමතා ඇත්තේ ‘මමා හා පපා’ ලෙසය. දැන් ඒ නිව­හන හඳු­න්වන්නේ ඒ ආද­ර­ණීය නමිනි. එහි වෙසෙන දරු­වන් අත­රින් බොහො­ම­යක් මෙලොව එළි­යක් නොද­කින කිසිම රසක් ගුණක් නොතේ­රෙන දරු­වන්ය. එහෙත් ඔවුන්ට ක්‍රිස්ටෝ­පර් පිය­තු­මාගේ හඬ පුරු­දුය. පිය­තුමා තමන් දැකී­මට එන­තුරු ඔවුහු බලා සිටිති.

මේ ආය­ත­නයේ ශාන්ත තෙරේසා නිවෙස වෙන්ව ඇත්තේ මන්ද මාන­සික වැඩි­හිටි කාන්තා­වන් වෙනු­වෙනි. අප එහි යද්දී ප්‍රසන්න ක්‍රිස්ටෝ­පර් පිය­තුමා ද එහි විය. පිය­තුමා වට­කර ගත් කාන්තාවෝ කීප දෙනෙක් එතු­මාට දුක් ගැන­විලි ඉදි­රි­පත් කර­මින් සිටි­යහ. “අනේ පාදර් මගේ නෙට් එක කඩා වැටුණා”

“මේ බලන්න මගේ කකුල තුවාල වෙලා. මාව වැටුණා”

පිය­තුමා ඒ සැමට ආද­ර­යෙන් සවන් දෙන්නේය. ඔවුන් අස්ව­ස­න්නේය. ශාමලී හා එළි­ස­බෙත් මෙතැ­නට පැමිණ ඇත්තේ ඉතා කුඩා අව­දි­යේය. දැන් ඔවුන් දිවියේ සැඳෑ සමය ගත කරති. ඉම­ල්කාගේ දෑත් නැත. ඇය පසෙ­ක­ටවී නිවි සැන­සිල්ලේ දෙප­යින් පාපිසි ගොත­න්නීය. ආබා­ධි­ත­බව නොතකා කිසි­යම් කාර්ය­යක නිර­ත­වන ඇය අන් අයට ආද­ර්ශ­යකි.

“පාපි­ස්සක් ගොතන්න කොත­රම් වෙලා­වක් යන­වා­දැයි මම ඇගෙන් විම­සු­වෙමි. දවස් තුනක් විතර යනවා . කාට හරි කියලා රෙදි ගෙන්න ගන්නවා. මෙහෙට එන අය පාපිසි ගන්නවා. මේ වැඩ ඉගෙන ගත්තෙ මෙහෙට එන ගුරු­ව­රි­ය­ගෙන්. ඇය තමයි අපට මල් හදන්න, පාපිසි ගොතන්න කියල දුන්නේ”

ඒ අතරේ තවත් තරු­ණි­යක් අප වෙත එන්නීය. “අක්කා මොන­වද අපට ගෙනාවේ මාල ගෙනාවේ නැද්ද?” ඇය විම­සයි. “ආපහු එන­කොට මාලයි, වළ­ලුයි ගේන්නකෝ” ඒ ඔවුන්ගේ ආසා­වන්ය.

මොවුන්ද අප අතර සිටින අපේම සොහො­යුරු සොහො­යු­රි­යන්ය. මවු­පිය නෑදෑ ආද­රය රැක­ව­ර­ණය නොමැ­තිව ‍ගෙවන ජීවි­ත­ය­කට මේ අය දැන් පුරු­දුව සිටිති. ඔවුන් එතැන ජීවි­තය ගෙවන්නේ සැන­සි­ල්ලෙනි. එක්ව අහර පිසිති. එකි­නෙ­කාට උදවු කර ගනිති. ලෙඩට දුකට පිහිට වෙති. මේ අයට වෙන සර­ණක් නැත. ඔවුන්ගේ නඩ­ත්තුව සුළු­පටු නොවේ. එයට ගන්නා වෙහෙස සිතා ගැනී­මට පවා අසී­රුය. අසී­රුතා රැසක් මැද වුවද සියලු නිවාස පවත්වා ගෙන යෑම සිය අර­මුණ බව පිය­තුමා පව­සයි.

“ඇත්තම කිය­න­ව­නම් මේ නිවාස පව­ත්වා­ගෙන යෑම ඉතාම අසි­රුයි. මේවාට පිටින් ආහාර පාන ලැබෙ­නවා අඩුයි. ඇතැම් නිවා­ස­ව­ලට ලැබෙ­න්නෙම නැහැ. නිවාස නව­යට මස­කට ලක්ෂ තිස්ප­හ­කට වැඩි මුද­ලක් වැය වෙනවා. මේ අයට ආහාර, බෙහෙත් හා ඇඳුම් ඇතුළු සියලු සනී­පා­ර­ක්ෂක පහ­සු­කම් සැල­සිය යුතුයි. මෙහි සිටින සියලු දෙනාම රෝගීන්. ඔවුන්ට බෙහෙත් අව­ශ්‍යයි. ඒ සඳහා රජයේ රෝහ­ල්වල ක්ලිනි­ක්ව­ලට රැගෙන යන්න ඕනෑ. ඒ සඳහා වෙන­මම වාහ­න­යක් අව­ශ්‍යයි. මම වග­කිව යුත්ත­න්ගෙන් කිහි­ප­ව­රක්ම ඉල්ලුවා නිවාස නව­යට එක­දි­නක ඇවිත් මස­කට වරක් ක්ලිනික් එකක් ලබා­දෙන්න කියා. තව­මත් ඒ ඉල්ලීම ඉටු­වුණේ නැහැ.

පෑවිල්ල කාලෙට අපට වතුර නැතිව යනවා. නිවාස පිරි­සිදු කිරී­ම­ට­වත් කිසි­වකු ඉදි­රි­ප­ත්වන්නේ නැහැ.බොහෝ වෙලා­වට වැඩක් පලක් කර­ගන්න පුළු­වන් අය අනිත් අයට උදවු කර­නවා. එහෙ­ම­වත් බැරි අය පිරි­සිදු කර­වන්න කන්‍යා­රා­ම­වල සොයු­රි­යන් ගෙන්ව­නවා. මම පුළු­වන් විදි­හට දන්න කියන අයට කියා වියළි ආහාර ගෙන්න ගන්නවා.” පිය­තුමා අපට ශීත­ක­ර­ණය හැර පෙන්වයි. එහි නොයෙක් වර්ගයේ ආහාර පානය. මේවා නොලැ­බු­ණොත් මොවුන් සාගි­න්නේය. බස් හෝල්ට්වල, මහා මාර්ග­වල දමා ගිය මේ දරු­වන්ට ‍අපි අනු­කම්පා කළ යුතු වෙමු.

ඔවුන්ට බත් කට­කින් හෝ පිහි­ටක් වෙන්න ඔබ­ටත් හැකි­යා­වක් තිබේ­නම් එය මහඟු පින්ක­මකි. ළමා හා වැඩි­හිටි දිනය යනු­වෙන් ලේබල් අලවා උත්සව පැවැ­ත්වී­මෙන් මේ අස­ර­ණ­වූ­වන්ගේ කුස පිරෙන්නේ නැත. මොවුන් ඔබ එන­කම් බලා සිටින්නේ කන්නට යමක් ගෙන එතැයි යන අපේ­ක්ෂා­වෙනි.

ඔවුන්ට පිහි­ට­වී­මට ඔබ­ටත් හැකිය. දුර­ක­ථ­නය - 0777922009

නයනා වෑත්තෑව
ඡායා­රූප- ශාන් රූප­ස්සර

Comments