වයඹ කර කරන නියගය | සිළුමිණ

වයඹ කර කරන නියගය

* කුඩා වැව් සියල්ල හිඳිලා
* වසර දෙකක් තිස්සේ පොළො­වට දිය බිඳක පහස නෑ
* පවුල් ලක්ෂයකට වියළි ආහාර
* වතුර බෙදන්න බවු­සර් සිය ගණ­නක්

‍බොරලු පාර අවු­ස්ස­මින් ඉදි­රි­යට ඇදෙන වතුර බව්ස­රය දෙස මම බලා­සි­ටි­යෙමි. ඇවි­ස්සුණු දුවිලි අනු­කම්පා විර­හි­තව විය­ළුණු ගහ­කොළ වසා ගනී. දුඹුරු පැහැති පරි­ස­රය මතින් නොසැලී හිඳින්න වෙර දරන ගහ­කොළ කඳුළු හෙළයි. පිනි බිඳක පහස නොලද තණ­කොළ අව­පැහැ වී ගොසිනි. ඔබ මේ කිය­වන්නේ කෙටි කථා­වක පරි­සර වර්ණ­නා­වක් නම් නොවේ. මේ වයඹ පළාතේ වර්ත­මාන තත්ත්ව­යයි. අවු­රුදු දෙක­කට අධික කාල­යක් වැහි පොදක පහස නොලද ඇත්තන් පිපා­සිත වග අමු­තු­වෙන් කිව යුතු නැත. වයඹ පළාතේ දුෂ්කර ගම්මා­න­ව­ලට අත්ව ඇති මේ ඉර­ණම කිසි­වකු කිසි දිනක බලා­පො­රොත්තු වූවක් නම් නොවේ.

කුරු­ණෑ­ගල දිස්ත්‍රි­කයේ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස හයක පවුල් 91677 ක ලක්ෂ­ය­කට අධික පිරි­සක් නිය­ඟ­යෙන් පීඩා­වට පත්ව සිටිති. ගිරි­බාව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සය නිය­ඟය උග්‍රම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සය වන අතර අනෙක් කොට්ඨාස වනුයේ මහව, ගල්ග­මුව, අඹ­න්පොළ, ඇහැ­ටු­වැව සහ බමුණා කොටු­වයි. ගිරි­බාව ප්‍රාදේ­ශිය ලේකම් කොට්ඨා­සයේ පම­ණක් පවුල් 2523 ක 7063 ක් පමණ නිය­ඟ­යෙන් පීඩා විඳිති.

පුත්ත­ලම දිස්ත්‍රි­ක්කයේ ප්‍රාදේ­ශිය ලේකම් කොට්ඨා­සය හයක පවුල් 18836 ක පුද්ග­ල­යින් 62528 ක් නිය­ඟ­යෙන් බැට කති. එහි නිය­ඟය උග්‍ර ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සය වන්නේ මහ­කු­ඹු­ක්ක­ඩ­ව­ලයි. පල්ලම, මුන්ද­ලම, කරු­ව­ල­ග­ස්වැව, නව­ග­ත්තේ­ගම සහ වනා­ත­වි­ල්ලුව ද දැඩි­ලෙස නිය­ඟ­යෙන් පීඩා­වාට පත්ව ඇත්තේය. මහ­කු­ඹු­ක්ක­ඩ­වල ප්‍ර‍ාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ පවුල් 7197 ක පුද්ග­ලයෝ 22694 ක් පීඩා­වට පත්ව සිටිති.

නිය­ඟය නිසා මේ පළා­ත්වල කුඩා වැව් සිය­ල්ලම පාහේ සිඳී ගොසිනි. ළිංවල ජලය නොමැත. අඩි පනහ හැට ගැඹු­රට ළිං හෑරු­වද ජලය නොමැත. මේ නිසාම බව්සර යොදා­ගෙන ගමින් ගමට පානීය ජලය බෙදා හැරීම ආරම්භ කර ඇත. මේ වෙනු­වෙන් කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල, ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය සහ ප්‍රාදේ­ශීය සභා සතු බවු­සර් 107 ක් පමණ යොදා­ගෙන ඇත. මහව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ පවුල් 2177 ක් ගල්ග­මුව පවුල් 786 ක් අඹ­න්පොළ පවුල් 1687 ක් ගිරි­බාවේ පවුල් 2523 ක් ඇහැ­ටු­වැව පවුල් 1335 ක් සහ බමු­ණා­කො­ටුව කොට්ඨා­සයේ පවුල් 248 ක් ඉන් පානීය ජලය ලබා ගනිති.

අඹ­න්පොළ අයි. ඇම්. පිය­දාස ගොවි­තැන ජීව­නෝ­පාය මාර්ගය කර­ගත් අයෙකි. නිය­ඟය හේතු­වෙන් ඔහුගේ සියලු බලා­පො­රොත්තු සුන්ව ඇත්තේය.

“එකම රටේ පැත්තක ගංව­තුර තවත් පැත්ත­කට නිය­ඟය. පාරෙ බැහැලා යන­කොට ඇඟ පිච්චෙන තර­මට අව්ව සැරයි. අවු­රුදු තුනක විතර කාල­යක හරි­හැටි වැස්සක් නෑ. වගා­වක් කර­ගන්ඩ තරම් වතුර වැව්ව­ලට එකතු වුණේ නෑ. කන්න පහක් හයක් වගා නැතුව ආදා­යම් මාර්ග ඇහි­රිලා. මේක නම් කරු­ම­යක්. දැන් ඉතින් තැන තැන ගිහින් කුලී වැඩක් හොයා නොග­ත්තොත් පවුල් පිටින් මැරෙ­න්ඩයි වෙන්නෙ”

පල්ලම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ පවුල් 6967 ක් නිය­ඟ­යෙන් පීඩා­වට පත්ව ඇති අතර මුන්ද­ලම කොට්ඨා­සයේ මෙම පවුල් සංඛ්‍යාව 4165 කි. කරු­ව­ල­ග­ස්වැව කොට්ඨා­සයේ පවුල් 320ක්, නව­ග­ත්තේ­ගම කොට්ඨා­සයේ පවුල් 122 ක් සහ වනාත විල්ලුවේ පවුල් 65 ක් නිය­ඟ­යෙන් පීඩා­වට පත්ව සිටිති.

නිය­ඟ­යෙන් පීඩා­වට පත් ජන­තාව වෙත නියං සහ­නා­ධාර ලෙස වියළි ආහාර ද්‍රව්‍ය ලබා­දීම සිදු කෙරේ. සාමා­ජි­ක­යින් දෙදෙ­නකු හෝ ඊට අඩු පවුල් සඳහා රුපි­යල් 4000 ක වියළි ආහාර ද්‍රව්‍ය සහ සාමා­ජි­ක­යින් තුන හෝ ඊට වැඩි පවුල් සඳහා රුපි­යල් 5000 ක වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කෙරෙයි. මේ වන විට වට හයක් (06) එසේ නියන් සහ­නා­ධාර බෙදා හැරීම සිදු කර ඇත. පුත්ත­ලම දිස්ත්‍රි­ක්කයේ පවුල් 45000කට සහ කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක‍්කයේ පවුල් 92000 කට මීළඟ අදි­යරේ නියන් සහ­නා­ධාර ලබා­දී­මට සැල­සු­ම්කර ඇත.

නව­ග­ත්තේ­ගම ඒ. සී. කරු­ණා­රත්න මහතා ගොවි­කම රජ­කම ලෙස සල­ක­මින් වසර පන­හ­කට අධික කාල­යක් තිස්සේ වගා කට­යු­තු­වල යෙදෙ­මින් පවුලේ සමෘ­ද්ධිය උදා­කර ගත්තේය. ජල හිඟය දැන් ඔහුගේ ‍ගොවිතැන් කට­යු­තු­ව­ලට මහත් බාධා­වක්ව පවතී.

“අවු­රුදු අසූ­ව­කට ආසන්න කාල­යක් අපි අත් විදපු ලොකුම නියං කාලය මේක. වැව් සේරම හිඳිලා. ළිංවල ජලය නෑ. මුළු පරි­ස­ර­යම කර­වෙලා ගිහින්. ලොකු ලොකු ගස් ටික නොතිබ්බ නම් කාන්තා­ර­යක් වගේ. වගා­ව­ලට, නාගන්ඩ, බොන්ඩ මේ කිසි දේකට වතුර නෑ. බොන වතුර බව්ස­ර­ව­ලින් ගෙනත් දෙන එක අපට ලොකු සහ­න­යක්. පවුල් තිහ හත­ළි­හ­කට එක බැරල් එකයි. පැය බාගෙන් ඒ වතුර බැර­ලය ඉවර වෙනවා. ඒ තැන්ව­ලත් පෝලිම්. දවස් දෙක තුන­කට වර­ක්වත් වතුර ගෙනත් දෙනවා නම් හොඳයි. වතුර දෙන්ඩ ගත­වන කාලය හොඳ­ටම වැඩියි.”

එච්. එම්. ප්‍රියන්ත මහතා අපට මුණ ගැසුණේ පානීය ජලය මිලට ගෙන යමින් සිටි­ය­දීය.

“ගම්මාන හත අටක්ම බොන්ඩ වතුර ගන්නේ නාකො­ල­ගහේ නල ළි‍ඳෙන්. වෙන නොමිලේ බොන්ඩ වතුර ටිකක් ගන්ඩ තැනක් නෑ. ෆිල්ටර් වතුර ලීට­ර­යක් රුපි­යල් තුන්දා­හ­සක් විතර වැය වෙනවා. කිසිම ආදා­ය­මක් නැතුව කොහො­මද බොන වතු­රට රුපි­යල් තුන්ද­හ­සක් වැය කරන්නේ. පාසල් යන දරු­වන්ට පවා පාසලේ බොන්ඩ හොඳ වතුර ටිකක් නෑ. ඇතැම් දින­වල පාස­ල්ව­ලට බවු­සර් මගින් පානීය ජලය බෙදා දෙනවා. ඒක අපට ලොකු සහ­න­යක්. ඒත් නිය­ඟය ඉදි­රි­ය­ටත් තිබු­ණොත් කන්ඩත් නැතුව බොන්ඩන් නැතුව මැරෙන්ඩ තමයි වෙන්නේ”

නිය­ඟ­යෙන් පීඩා විදින ජන­යාට යම් සහ­න­යක් හෝ සැල­සී­මට අඹ­න්පොළ ප්‍රාදේ­ශීය ලේකම් එච්.එම් සී. ජේ. හේරත් මෙන­විය දරන්නේ දැඩි ප්‍රය­න්න­යකි.

“අඹ­න්පොළ කොට්ඨා­ස­යට නිය­ඟය උග්‍රයි. වැව් ළිං මේ සිය­ල්ලම පාහේ හිදිලා අපට හැකි උප­රි­ම­යෙන් මේ සඳහා පිළි­යම් යොද­නවා. අඹ­න්පොළ කොට්ඨා­සයේ වසම් 24 ක ජන­තා­වට අවශ්‍ය පානීය ජලය බෙදා­හැ­රීම මේ වන විටත් සිදු කර­නවා. ඊට අම­ත­රව ආග­මික ස්ථාන, පාසල්, රෝහල, ආයු­ර්වේද රෝහල, සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­නය, ගොවි­ජන සේවා මධ්‍ය­ස්ථා­නය ඇතුළු ආය­ත­න­ව­ල­ටත් ජලය බෙදා දීම සිදු කර­නවා. පවුල් හත අට­කට එක බැරල් එක බැගින් ලබා දී සති­ය­කට වාර දෙකක් විතර පානීය ජලය ගම්ව­ල­ටම ගෙනි­හින් දෙනවා. පැමි­ණිලි කිසි­වක් නෑ. ජන­තා‍වගේ අව­ශ්‍යතා සලකා බලා ඔවුන්ගේ ඉල්ලී­ම්ව­ලට අනුව හැකි උප­රිම සහන සල­ස­නවා”

කුරු­ණෑ­ගල දිස්ත්‍රික් ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ සහ­කාර අධ්‍යක්ෂ විරාජ් දිසා­නා­යක මහතා ද විප­තට පත්වූ­වන්ට සහන සැල­සීමේ නිර­තව සිටී.

“නිය­ඟ­යෙන් පීඩා­වට පත් ජන­තාව වෙත පානීය ජලය සහ සහ­නා­ධාර බෙදා හැරීම විධි­මත්ව සිදු කර­නවා. ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස හයක පුද්ග­ල­යින් 25001 ක් සඳහා පානීය ජලය ලබා දෙනවා. වට හයක් නියන් සහ­නා­ධාර ලබා දී තිබෙන අතර හත්වන වට­යට බෙදා දීම­ටත් අනු­මැ­තිය ඉල්ලා තිබෙ­නවා. පානීය ජලය ලබා­දීම සඳහා පම­ණක් මේ වන විට රුපි­යල් මිලි­යන පහ­කට අධික මුද­ලක් වැය­කර තිබෙ­නවා. දිස්ත්‍රික් ලේක­ම්තු­මාගේ උප­දෙ­ස්මත ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­වල සහ­යෝ­ග­යෙන් මෙම සහන සැල­සීම අඛ­ණ්ඩව කර­ගෙන යනවා”

අනිල් ගාමිණී විජේ­රත්න

Comments