යෝධ ඇළේ වතුර කඳ අනු­රා­ධ­පු­රේට යැව්වේ ගණන් හිලව් ඇති­වයි | සිළුමිණ

යෝධ ඇළේ වතුර කඳ අනු­රා­ධ­පු­රේට යැව්වේ ගණන් හිලව් ඇති­වයි

කලා­වැවේ සිට තිසා වැවට ජලය ගෙන යන්නට ධාතු­සේන රජ සමයේ ඉදි­කළ පුරාණ යෝධ ඇළ යනු පරි­සර හිත­කාමී වාරි ව්‍යාපෘ­ති­යක් සඳහා හොඳ උදා­හ­ර­ණ­යකි. වසර එක්ද­හස් පන්සි­ය­ය­කට පෙර නිමවූ මේ යෝධ ඇළ නිම්නයේ මිනිස් ජීවි­ත­වල අසි­රිය දකි­මින්, ඔවු­නගේ ජන ජීවි­තය, සංස්කෘ­තික බැඳීම්, පාරි­ස­රික සබ­ඳතා සහ නව ප්‍රව­ණතා සාකච්ඡා කෙරෙන සංචා­රක ලිපි පෙළක පෙර කොටස් පසු­ගිය සිළු­මිණේ පළ­විය. මේ සතියේ පළ­වෙන්නේ එහි පස් වැන්නයි.

දහ­වල එළැඹ තිබේ. මුළු රජ­ර­ට­ටම දැනෙන නිය­ඟයේ පීඩාව නොදැ­නෙන යෝධ ඇළ බැම්ම දිගේ යන අපේ ගමන යළිත් ඇරඹී තිබේ. අපේ තනි­යට මේ මොහොතේ අප හා සිටින්නේ හිමංසු බණ්ඩාර ඇති­පොල මහ­තාය. ඒ මඟ පෙන්වී­ම­ටත්, අතී­තයේ යෝධ ඇළේ ජල පාල­නය සිදුවූ ආකා­රය ගැන වැද­ගත් පැහැ­දිලි කිරී­ම­ක­ටත් අපේ­ක්ෂා­වෙනි.

නිර­න්තර සෙව­ණත්, හමන මද­න­ලත් නිසා වෙහෙ­සක් ගතට නොදැනේ. යෝධ ඇළ බැම්මේ දිගින් දිග­ටම රටා­ව­කට සිටුවා ඇති විසල් ගස් පෙළ සැක­සුණු හැටි හිමංසු බණ්ඩාර ඇටි­පොල මහ­තා­ගෙන් විම­සුවේ එහි කිසි­යම් විද්‍යා­ත්මක පද­න­මක් වේ දැයි දැන­ග­න්න­ටය.

----අලි බැම්මට ඒම වළ­ක්වන්න තල්වැ­ටක්-----

“යෝධ ඇළ බැම්ම තමයි රජ කාලේ ඉඳන් මලය රටත් රජ­ර­ටත් සම්බන්ධ කරපු ප්‍රධාන මාර්ගය වුණේ. යෝධ ඇළ බැම්ම ඉදි­ක­රන කොටම මේක දිගේ ඉංග්‍රිසි අකුරේ W හැඩේට හිට­වලා තියෙන්නේ තල් ගස්. දෙපැ­ත්තෙන් එන වල් අලි බැම්මට ගොඩ­වීම වළ­ක්වන එක තමයි ප්‍රධාන අර­මුණ. අලි­යෙ­කුට ගස් දෙක අත­රින් රිංගන්න බැරි පර­ත­ර­ය­කින් තමා තල් ගස් හිට­වලා තියෙන්නේ. හැතැ­ප්ම­කට විතර දුර­කින් තමා අලි මංක­ඩක් තියල තියෙන්නේ. එත­කොට අලි ගොඩ­වු­ණ­හම කැඩෙන්නේ ඒ ටික විත­රයි…”

ඒ අනුව අපි ගමන් කර­මින් සිටින්නේ රජ මාව­ත­කය. අතීත රජ දවස අසු පිටින් එන රාජ පුරු­ෂ­යින් මේ මඟ දිගේ ඉහළ පහළ යන්නට ඇත. ඔවු­නගේ තේජස් සහ­ගත ගමන අත­ර­තුර කාල සිටා­ණන් පර­පු­රෙන් පැවැ­තෙන ගොවි ජන­තා­ව­ගෙන් යෝධ ඇළ නිම්න­යද සරු­සාර වන්නට ඇත. ඉඳ­හිට ඒ ගොවි­බිම් මැදින් ඇවිද එන අලි­යෙකු දෙපස උව­ම­නා­වෙන් බලා ඇළ බැම්මට ගොඩ­ව­න්නට ඇත්තේ වෙන්කළ අලි­මං­ක­ඩ­කිනි. අපූරු සිති­විලි සිත්තම් අත­රින් නැඟෙන ඊළඟ පැනය අද යෝධ ඇළ බැම්මේ පෙනෙන අනෙ­කුත් ගස් ගැනය.

එත­කොට කුඹුක් ගස්, මී ගස්, කොහොඹ ගස් හිට­ව­පුව නොවෙ­යිද?

“නෑ. ඒවා ඉබේ හැදිච්චා. තල් ගෙඩි කන්න එන කුරු­ල්ල­න්ගෙන් බිමට වැටුණු ඇට­ව­ලින් පැළ වෙච්චා. දැන් ඒවා මහ ගස්. මේ තල් වැට නිසා අද­ටත් මේ පැත්තට අලි එන්නේ නෑ.”

පරි­සර හිත­කා­මී­ත්වය අතින්ද, තාක්ෂ­ණය අතින්ද, ආර්ථික වටි­නා­කම අතින්ද සැලකූ කල යෝධ ඇළ යනු අනු­මාන කළ නොහැකි වටි­නා­කම් රාශි­යක් සහිත ව්‍යාපෘ­ති­යකි. අද දවසේ රටේ මහා ගැට­ලු­වක් වන අලි මිනිස් ගැටු­මට පිළි­ය­මක් ලෙස තල් වැට භාවිත කළ නොහැ­කිද? ගම් වදින අලි පාල­න­යට ගමක් වටා නිසි ලෙස සිට­වන තල් වැට­කින් ද, ඒ අත­ර­තුර තෝරා ගන්නා මංකඩ කිහි­ප­ය­කින් අලි සංක්‍ර­මණ තීරු ඇති කළ නොහැ­කිද? පරි­සර විද්‍යා­ඥ­යින් සහ­ප්‍ර­ති­පත්ති සම්පා­ද­ක­යින් මේ ගැන අව­ධා­නය යොමු කළ­හොත් හොඳ ප්‍රති­ඵ­ල­යක් ලබා­ගත හැකි වනු ඇත.

මිහි­න්තලේ ආස­න්නයේ පිහිටි මර­ද­න්කල්ල නමැති පිටි­සර ගම යෝධ ඇළ බැම්මේ පිහිටි ගමක් නොවේ. එහෙත් යෝධ ඇළ බැම්මද අයත් නුවර කලා­වියේ පිහිටි ගමකි. එහි උපන් ගැමි සුවඳ විඳි මිනි­සෙකු විසින් සිංහල ගීත සාහි­ත්‍යයේ මෙතෙක් බිහිවූ හොඳම මව්ගුණ ගීතයේ පද පෙළ නිර්මා­ණය කර තිබේ. සදා­ත­නි­කව විඳිය හැකි එම අපූරු ගීතය යෝධ ඇළේ යන අපට අම­තක කළ නොහැක්කේ ඒ පද පෙළෙහි යෝධ ඇළ ගැනද සට­හන් කර ඇති නිසා­වෙනි. නැසී ගියද ජන හද­ව­ත්වල නොනැසී ජිව­ත්වන රන්බණ්ඩා සෙනෙ­වි­ර­ත්න­යන්ගේ පද­වැ­ල­කින්ද, ගුණ­දාස කපුගේ ගේ ගාය­න­යෙන් සහ සංගී­ත­යෙන්ද හැඩවූ ඒ ගීතයේ මිහිර සිතින් විඳි­මින් යෝධ ඇළ දිගේ ඉදි­රි­යට යන්නට උත්සාහ කළෙමි.

දව­සක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංඟා ගෙන මා
ඔබ තෙමුනා අම්මේ…...
පායන තුරු හිටි පිය­වර
හිටියා ඔබ අම්මේ…..

නුවර වීදි යට කර­ගෙන
නින්දා වැහි වැගි­රුන දා
බිරි­ඳ­කගේ සෙනෙහෙ ගියා
යෝධ ඇළේ නැම්මේ ...
ඔබෙ සෙනෙ­හස සුවඳ දිදී
දැනුණා මට අම්මේ.

නුවර කලා­විය යනු කාට කාටත් නිතර ඇසෙන හුරු පුරුදු නමක් වුවද එහි අරුත දන්නෝ විර­ලය. කෝට්ටේ රාජ­ධා­නි­යේද, මහ­නු­වර රාජ­ධා­නි­යේද ප්‍රාදේ­ශීය පාලන ඒක­ක­යක් වූ නුවර කලා­විය අනු­රා­ධ­පු­රෙය් නුවර වැවත්, කැකි­රාව කලා­වැ­ව­වත්, පද­විය පිහිටි පද­විය වැවත් යන වැව් ත්‍රිත්ව­යෙන් පෝෂ­ණය වූ බිම් ප්‍රදේශ එක්කොට නිර්මා­ණය වූ ප්‍රදේ­ශ­යයි.

ලංකා ඉති­හා­සයේ අව­සන් වරට රට එක්සේ­සත් කළ කෝට්ටේ සය වැනි පරා­ක්‍ර­ම­බාහු රජ­තුමා විසින් යාපා පටුන සපු­මල් කුම­රුට පවරා දීමෙන් පසු ඉතිරි ප්‍රදේශ පාල­නය කිරීමේ පහ­සුව සඳහා දිසා­වන් දොළ­ස­කට බෙදා දිසා කොඩි දොළ­හක් ද සහි­තව දිසා­ප­ති­ව­රුන් පත් කරන ලදී. ඒ අනුව “ගජ­සිංහ” කොඩිය පව­රා­දෙ­මින් නුවර කලා­විය දිසාව නිර්මා­ණය වී ඇත්තේ කෝට්ටේ යුග­යේදී බවට සැල­කිය හැකිය.

---ඒ කාලේ කලා­වැව කැල­යක්-----

කාල සිටා­ණ­න්ගෙන් පැවැත ආ පැරණි යෝධ ඇළ ආශ්‍රිත වැසියෝ කෝට්ටේ යුග­යෙන් පසු වෙනත් සශ්‍රීක ප්‍රර­දේ­ශ­ව­ලට විතැන් ව ඇත්තාහ. 1818 කැරැ­ල්ලේදී ඉංග්‍රී­සී­න්ගෙන් සැඟව පලා ආමා­තලේ වැසි­යන් බොහෝ දෙනකු පදිංචි වී ඇත්තේ යෝධ වැවේ ඉහ­ත්තාවේ, මඩා­ටු­ගම, ගල්කි­රි­යා­ගම අවට ප්‍රදේ­ශ­ව­ලය. කැරැ­ල්ලට සම්බන්ධ වූ කැප්පෙ­ටි­පොළ දිසාව පවා ඉංග්‍රිසි අත්අ­ඩං­ගු­වට පත්වන්නේ කලා­වැව ඉහ­ත්තාවේ ගම්රො­දක දීය.

“අපේ මුතුන් මිත්තෝ මෙහෙට සංක්‍ර­ම­ණය වෙලා තියෙන්නේ ගල්කි­රි­යා­ග­මින්. ගල්කි­රි­යා­ග­මට එන්න කලින් මාතලේ හිටපු අපේ පර­ම්ප­රාවේ උද­විය ඉංග්‍රී­සී­න්ගෙන් වුණු තාඩන පීඩ­නත් එක්ක තමයි පහු­බැ­හැල තියෙන්නේ. මගේ මව් පර­ම්රාවේ ඥාතියෝ තමයි ගල්කි­රි­යා­ග­මින් යෝධ ඇළට ඇවිත් තියෙන්නේ. එත­කොට කලා­වැව හිඳිල ගිහින්, බැමි එහෙම කැඩිලා. විශාල කැල­යක් විදි­යට තමයි කලා­වැව තිබිලා තියෙන්නේ. ගොඩක් බැදි ගම් කලා­වැව ඉහ­ත්තාවේ තියෙද්දි අපේ සීයලා ආච්චිලා කලා­වැ­වෙන් පහ­ළට ඇවිත් පදිංචි වෙලා තියෙන්නේ. ඒ 1850න් පස්සේ කාලෙක” හිමංසු බණ්ඩාර ඇති­පොල මහතා යෝධ ඇළේ දිය­වර පහස ලබ­න්නට තමන්ට උරුම වූ අතී­තය විස්තර කරන්නේ එලෙ­සය.

“ඒ කාලේ යෝධ ඇළක් තිබිලා නෑ...ඒත් තැනින් තැන ගම් වැව්, කුළු වැව් ඉති­රි­වෙලා තියෙ­නවා. අපේ මුත්ත­ලාත් ගම් වැවක් පාමුල වගා­වක් කර­ගෙන ඉඳලා තියෙ­නවා.”

1818 කැරැ­ල්ලෙන් අඩ­සි­ය­ව­ස­කට පමණ පසුව වල්වැදී තිබුණු රජ­ර­ටට අව­ධා­නය යොමු­කළ ඉංග්‍රි­සීහු එහි තම පරි­පා­ලන කට­යුතු ආරම්භ කෙළෝය. එහිදී කලා­ගම් කෝර­ළයේ රටේ මහ­ත්මයා තන­තුර පිරි­නැ­මුයේ මාතලේ රත්වත්තේ පර­ම්ප­රාවේ ලොකු­බ­ණ්ඩා­ර­ටය. 1862 දී මේජර් පෝබ්ස් සහ ජෝර්ජ් ටර්නර් යන නිල­ධා­රීන් දෙදෙනා විසින් බිඳී ගිය කලා­වැව සොයා­ගත් අතර එය ප්‍රති­සං­ස්ක­ර­ණය කර රජ­රට ජන­ප­ද­ක­ර­ණය ඇර­ඹී­මට ඉංග්‍රිසි රජය තීර­ණය කළේය. එම කට­යු­ත්තේදී සේව­ක­යින් සප­යා­දීම පැවැ­රුණේ ලොකු බණ්ඩාර රත්වත්තේ රටේ මහ­ත්ත­යා­ටය.

“ඉංග්‍රි­සීන් වැව හැදු­වට පස්සේ යෝධ ඇළේ ජල පාලන කට­යුතු සඳහා අන්ත දෙකෙන්ම නිල­ධා­රීන් දෙදෙ­නෙකු පත් කළා.ඒකෙන් යෝධ ඇළේ ඇර­ඹුමේ ජල පාලන කට­යුතු පැවැ­රුණේ අපේ මුත්තා කෙනෙ­කුට. අනෙක් කෙළ­වරේ ජල පාල­නය පැවැ­රුණු කෙනා ඉඳල තියෙන්නේ තිසා වැව ඉහ­ත්තාවේ. මේ ගෙවල් දෙක­ටම කියල තියෙන්නේ යෝධ ඇළේ ගෙදර කියලා”

“මුත්තට පැවු­රුණු රජ­කා­රිය මොකද්ද?”

“යෝධ ඇළේ වතුර පාර අඩි අටක් උසට පව­ත්වා­ගෙන යාම තමයි පැවැ­රුම. මුත්තා දින­ප­තාම මේ තත්ත්වය බලල සට­හන් තියා­ගන්න ඕන… අනු­රා­ධ­පුර අන්තයේ යෝධ ඇළේ ගෙදර කෙනාගේ රාජ­කා­රිය තමයි ඒ වතුර ප්‍රමා­ණය ලැබෙ­න­වද කියල තහ­වුරු කරන එක. මුත්ත තියන සට­හන් රටේ මහ­ත්තයා හරහා ඉංග්‍රිසි ආණ්ඩු­වට යැව්වා.”

“එච්ච­රද?”

“යෝධ ඇළේ අතුරු ඇළ­වල් බලා­ගන්න වෙන වෙනම වෙල් වදා­නේලා හිටියා.ඒවා මුත්තට පැවැ­රුණේ නෑ. අනු­රා­ධ­පු­රේට වැඩි වැස්සක් ඇවිත් තිසා වැව පිරෙන වෙලා­වක යෝධ ඇළේ වතුර තාව­කා­ලි­කව අඩු කරන එක, නව­ත්වන එකත් මුත්තට පැවැ­රුණු රජ­කා­රි­යක්. ඒකට ලැබුණු සන්නස් පත්‍ර­යක් අපේ පවුලේ තිබිලා තියෙ­නවා දැන් ඒකට වෙච්ච දෙයක් නෑ. වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව හැදු­ණාට පස්සේ මේ රාජ­කා­රිය එයාල පව­ර­ගත්තා.”

අම­ණ­ක්ක­ට්ටුව ධාතු­සේන ගොවි සංවි­ධා­නයේ ලේකම් තන­තුර දරණ පනස් නව හැවි­රිදි හිමංසු බණ්ඩාර ඇති­පොල මහතා දෙදරු පියෙකි. සාමා­ජි­ක­යින් එක­සිය විස්ස­කට වඩා සිටින මෙම ගොවි සමි­තියේ සාමා­ජි­කයෝ කුඹුරු අක්කර දෙසිය දහ­යක් හා අතුරු බෝග ලෙස ලූනු, මිරිස් සහ එළ­වළු වගා කරති.

ඔහුගේ නිවෙ­සට අදද කියන්නේ යෝධ ඇළේ ගෙදර කියාය. එහෙත් ඉංග්‍රි­සීන් විසින් රාජ­කා­රිය පව­රනු ලැබූ සිය මුත්තා සිටි සැබෑ ‘යෝධ ඇළේ ගෙදර’දැන් ඇත්තේ ගරා වැටෙ­මිනි. අපි යෝධ ඇළ බැම්මේ සිට මීටර පන්සි­ය­යක පමණ දුරක් වන බූටෑව මැදින් ගොස් පැරණි ‘යෝධ ඇළේ­ගෙ­දර’දැක ගත්තෙමු.

කළු­ග­ලෙන් බැඳි අඩි­යක් පමණ ඝන­කම් බිත්ති­ව­ලින් සම­න්විත එම නිවෙසේ විශාල උළු­වහු සහ ජනෙල් පවා තව­දු­ර­ටත් හඳු­නා­ගත හැක. සම­හර ඇතුළු බිත්ති බැඳ ඇත්තේ ගඩො­ලිනි. ඒ ගඩොල්ද වත්මනේ අප දකින සාමාන්‍ය මැටි ගඩො­ලට වඩා විශා­ලය. යෝධ ඇළ හා බැඳුණු අතීත මතක සට­හන් මිනිස් මන­සින් වියැකී යන්නට පළ­මුව ඒවා සොයා යන්නට ලැබුණු අව­ස්ථාවේ නිසි ඵල ලබ­මින් මෙවන් තොර­තුරු දැන­ග­න්නට ලැබීම ගැන නම් ඇත්තේ සතු­ටකි. ආර­ම්භක කෙළ­වරේ කලා­වැවේ ‘යෝධ ඇළේ ගෙදර’

සොයා ගත් ලෙසින්ම තිසා වැව කෙළ­වරේ ‘යෝධ ඇළේ ගෙදර’ද සොයා ගත යුතුය. ඒ සඳහා බොහෝ දුර යායු­තුව ඇත. එහෙ­යින් අපි සමු ගතිමු.

ඔබ­ටත් පැරණි යෝධ ඇළ ගැන කිය­න්නට යමක් වේ නම් [email protected] ලිපි­න­යට දන්වන්න.

යෝධ ඇළේ ගොවීන් සොයා හේන් කුඹුරු දිගේ ගියෙමු

(නවා­තැන් පහ­සු­කම් සැපයූ ගාමිණී එදි­රි­සිංහ මහ­තා­ටත්, සංචා­රය සඳහා අවශ්‍ය පාපැදි සම්බ­න්ධී­ක­ර­ණය කළ වජිර ප්‍රසන්න ඉලං­ග­සිංහ මහ­තා­ටත්, තොර­තුරු සහ අද­හස් දැක්වූ නලීන් මිණි­පුර මහතා ඇතුළු ගම්වැ­සි­ය­න්ටත් ස්තූතියි!)

ඡායා­රූප - චතුර හේමාල්
ඥානේන්ද්‍ර ප්‍රදීප් පති­රණ

අදහස්