උතුරට කුරුඳු ගෙනා සූර ගොවියා | සිළුමිණ

උතුරට කුරුඳු ගෙනා සූර ගොවියා

රජ රටට වැසි ලැබෙන්නේ ඊසාන දිග මෝස­මෙනි. එයත් අවු­රුද්දේ මාස හත­ර­කට ආසන්න කාල­යක් පමණි. මෙම මාස හතරේ වැටෙන වැහි වතුර පොද රැක ගැනී­මට අපේ අතීත මුතු­න්මිත්තෝ වැව් අමුණු ඉදි කළහ. අද­ටත් ඔවුන් දායාද කළ වාරි පද්ධ­තිය රට සහ­ලින් ස්වයං­පෝ­ෂිත කිරී­මට ඉහළ දාය­ක­ත්ව­යක් ලබා දෙයි. වන්නියේ මහා පරි­මාණ වාරි පද්ධ­තියේ පිහිට නොලැ­බෙන ගොවියෝ මාස් කන්නයේ මධ්‍ය පරි­මාණ හා කුඩා පරි­මාණ වැව්ව­ලින් ජල පහ­සු­කම් ලබා­ගෙන වගා කට­යුතු කරති. තවත් පිරි­සක් අහස් දියේ පිහි­ටෙන් හේන් ගොවි­තැ­න­ටද යොමුවී සිටිති. සාම්ප්‍ර­දා­යික වී හා හේන් ගොවි­තැ­නට හුරුවී සිටින වන්නියේ මිනි­සුන්ට මතු දිනයේ කුරුඳු වගා­වෙන් ජීවි­තය ජය­ගත හැකි බව වව්නි­යාව , නාම­ල්ගම ,පදිංචි ඩබ්. ජී. විම­ල­සිරි ගොවි­ම­හතා කියයි. ඔහු වන්නි­යට කුරුඳු හඳු­න්වා­දීමේ පුරෝ­ගා­මි­යාය.

මාස ගණ­නක් දිගු නිය­ඟය ගහ කොළ කහ පැහැ ගන්වා ඇත. කෙසෙල්, ගස්ලබු වැනි වගා වියළී පර­ඬැල් වී ඇත. එහෙත් ඒ අතර සරු­සාර වගා ද ඇත. එය ගොවි මහ­තුන්ගේ උත්සා­හයේ ප්‍රති­ඵ­ල­යක් බව අනුර කියයි. කථා­බහ අත­රින් අපි විම­ල­සිරි මහ­තාගේ වගා බිමට ගොඩ වුණෙමු. එය සැබැ­වින්ම කාන්තාර පරි­ස­රයේ ක්ෂේම භූමි­යකි. කෙසෙල්, පොල්, ගස්ලබු, වැල් දොඩම්, මඤ්ඤොක්කා හා බතල ආදී සරු­සාර වගා ඔහුගේ උත්සා­හ­යට සාක්ෂි දරයි. ඔහුගේ කුරුඳු වගාව සරු­සා­රය. වගා බිමේ තැනින් තැන යමින් ඔහු අපට කුරුඳු වගාව ගැන පැහැ­දිලි කළේය.

“අපේ ජන­තාව පුරු­දු­වෙලා ඉන්නේ මාස් කන්නයේ සම්ප්‍ර­දා­යික හේන්ව­ගා­වට. උතුරේ අපට හේන්වල බටු, මිරිස් හා වට්ටක්කා හදලා දියුණු වෙන්න අමා­රුයි. එයට හේතුව හැමෝම කන්නෙට එළ­වළු වගා කළාම එක­වර අස්වැන්න වෙළ­ද­පො­ළට එනවා. එවිට මිල පහළ යනවා. අපට අපේ­ක්ෂිත ලාභ­යක් ලැබෙන්නෙ නැහැ. යල මහ දෙක­න්නය වගා කරන්න ස්ථීර ජල සැප­යු­මක් නැති නිසා මම කල්පනා කළා වැඩි ආදා­ය­මක් ලබා ගන්න පුළු­වන් ස්ථීර වගා­ව­කට යොමු­වෙන්න. එහෙම හිතලා මීට අවු­රුදු හත­ර­කට කලින් මම වව්නි­යාවේ, නාම­ල්ගම මගේ ඉඩමේ කුරුඳු වගාව පටන් ගත්තා. අත්හදා බැලී­මට කළ මෙම වගාව සාර්ථක වුණා. මේ වගා­වෙන් මුලින්ම මම කුරුඳු කිලෝ දහ­යක් තැළුවා.

මම හිතුවා දකුණු පළාතේ හැදෙන විදි­හ­ටම උතුරු පළාතේ කුරුඳු වගා කරන්න පුළු­වන් කියලා. මම කුරුඳු පැළ 500ක් ඇල්පි­ටි­යෙන් ගෙනැ­විත් හිටෙව්වා. මුල් කලේදි මම ඈත නළ ළිඳ­කින් වතුර ඇදලා පොල්ක­ටු­වෙන් පැළ­ව­ලට දැම්මා. කෙහො­ම­හරි පැළ 200ක් රැක ගත්තා. හිතු­වට වඩා හොඳට කුරුදු පැළ හැදුණා. මට ඊළ­ගට තිබුණු අභි­යෝ­ගය තමයි පොතු ගලවා ගැනීම. දකුණේ හැදෙන කුරු­ඳු­වල වගේම හොඳට උතුරේ කුරු­ඳු­ව­ලත් පොත්ත ගැල­වුණා. දකුණු පළාතේ හැදෙන කුරු­ඳු­වල වගේම ඉහළ ප්‍රමි­ති­යක් මෙම කුරු­ඳු­ව­ලත් තිබෙ­නවා. මම ඉන් ලොකු ජය­ග්‍ර­හ­ණ­යක් ලැබුවා. උතුරේ පර්යේ­ෂණ මට්ට­මින් මම කළ කුරුදු වගාව සාර්ථක වුණා. දැන් මම දිග­ටම මගේ ඉඩමේ කුරුඳු වගා කර­නවා. ඒ වගේම මේ වගා­වට යොමු­වී­මට කැමති අයට මඟ පෙන්වීම කර­නවා.”

වව්නි­යාවේ, බෝග­ස්වැව නැවත පදිං­චි­කළ ජන­තාව බෙහෝ අප­හ­සුතා මැද ජීව­ත්වන පිරි­සකි. ත්‍රස්ත­වා­ද­යට පෙර මෙම ප්‍රදේ­ශ­වල පදිං­චිව සිටි අය වගේම නාය යෑම් සුනාමි ආදි ස්වභා­වික ආප­දා­ව­ලට ගොදුරු වූ පවුල් මෙහි වෙති. නිය­ඟය බොහෝ පිරි­ස­කගේ ගොඩ ගොවි­තැන් විනා­ශ­කර ඇත. මාස් කන්න­යට එළ­වළු වගා කළත් එයින් ලැබෙන ආදා­යම වස­රක් ජීව­ත්වී­මට ප්‍රමා­ණ­වත් නැත. කුලි­යක් සොයා ගැනී­ම­ටද වව්නි­යා­වට යායු­තුය. එවන් අසීරු තත්ත්ව­ය­කට පත්වී සිටින ජන­තා­වට විම­ල­සිරි මහතා හොඳ පූර්වා­ද­ර්ශ­යක් ලබාදී ඇත.

විම­ල­සිරි මහ­තාගේ වගා කට­යු­තු­ව­ලට යෝධ ශක්ති­යක් ලබා­දෙන්නේ බිරිය එච්. එස්. සිරි­යා­වතී මහ­ත්මි­යයි.

“කුරුඳු ගහ හැදෙන්නේ හෙවණේ. හෙව­ණට කෙසෙල් හදන්න පුළු­වන්. ඒ වගේම ඉඟුරු හදන්න පුළු­වන්. ඉඟුරු

සහ කෙසෙ­ල්ව­ලින් කුරු­ඳු­ව­ලට කලින් ආදා­යම් ගන්න පුළු­වන්. අපේ ඉඩමේ කුරු­දු­ව­ලට අම­ත­රව කෙසෙල්, දොඩම්, ගස්ලබු, කිලෝ­පේර, වැල් දොඩම් වගා­කර තිබෙ­නවා. අපි මේවා­යින් සැල­කිය යුතු ආදා­ය­මක් ගන්නවා.

ගමේ අනිත් ගොවියෝ වට්ටක්කා කිලෝ 100 ක් පොළට අරං ගිහිං ගෙද­රට අවශ්‍ය බඩු­මුට්ටු ටික අරං එන කොට මම කුරුඳු කිලෝ දෙකක් මල්ලේ අරං ගිහිං ඊට වඩා මුද­ලක් අර­ගෙන බඩු මුට්ටු අරං එනවා” ඇය අභි­මා­න­යෙන් යුතුව පැව­සු­වාය.

අපේ මුතු­න්මි­ත්තන් වගා­ක­ට­යුතු කළේ කාබ­නික පොහොර භාවි­ත­යෙනි. රසා­ය­නික පොහොර භාවි­තයේ අනිටු විපාක විඳින වත්මන් ගොවි ජන­තාව ඉන් මුදවා ගැනී­මට රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආය­තන ගණ­නා­වකි. පාර­ම්ප­රි­කව හේන් වගා­වට යොමුවූ රජ­රට ගොවීන්ට කුරුඳු වගා කිරීම නව අත්දැ­කී­මක් වනු ඇත. මෙම ජන­තා­වගේ ජීවන තත්ත්වය නැංවීමේ මූලි­ක­ත්වය ගෙන සිටින ප්‍රධා­න­තම රාජ්‍ය නිල­ධා­රියා මහ­වැලි එල් කලා­පයේ නේවා­සික ව්‍යාපාර කළ­ම­නා­කාර පත්ම­සිරි ජය­නාද මහ­තාය. ඔහු වෙහෙ­ර­තැන්න මහ­වැලි කොට්ඨාශ කළ­ම­නා­කාර එච්. ජී. ඩී. කුමාර, නාම­ල්ගම ඒකක කළ­ම­ණා­කාර කමල් රෝහණ ජය­ති­ලක සහ කෘෂි­කර්ම නිල­ධාරී වික්‍රම දයා­වංශ යන නිල­ධා­රීන් සමඟ බෝග­ස්වැව ගමින් ගමට යමින් මාස් කන්නයේ වගා කට­යුතු පිළි­බඳ ගොවීන් හා සාකච්ජා කරයි.

“අපේ මූලි­කම අර­මුණ ගොවි ජන­ජී­වි­තය නගා සිටු­වී­මයි. දැනට වසර දෙක තුනක සිට වගා කරන නිසා පොළො­වත් ඉතා සාර­වත්. මේ පොළොවේ තවම තියෙන්නේ විනාශ නොවුණු පසයි. මෙහි මොනවා හැදු­වත් හොඳට හැදෙ­නවා. ඉදි­රි­යේදි මේ කුරුඳු වගාව ව්‍යාප්ත කරන්න අදාළ අංශ­වල අව­ධා­නය යොමු­ක­ර­ව­නවා. ඒ සදහා අන­වශ්‍ය ලෙස කැලෑ එළි නොකර ගහ­කොළ රැක ගැනී­මත් කළ­යු­තුයි. නව වගා­වන්ගේ සාර්ථ­ක­ත්වය මෙන්ම ගොවීන් හා නිල­ධා­රීන් අතර ඇති බැඳීම මත මහ­වැලි එල් කලා­පයේ දුෂ්කර බව පහ­සු­වෙන් ජය­ග­ත­හැ­කිය.” ජය­නාද මහතා පැව­සීය.

ප්‍රසන්න සිල්වා

Comments