අලුත් සහල් මංග­ල්ලෙට විජි­ත­පුර පන්ස­ලට යන කලා­වැවේ මුස­ල්මා­නුවෝ | සිළුමිණ

අලුත් සහල් මංග­ල්ලෙට විජි­ත­පුර පන්ස­ලට යන කලා­වැවේ මුස­ල්මා­නුවෝ

වසර එක්ද­හස් පන්සි­ය­ය­කට පෙර නිමවූ යෝධ ඇළ නිම්නයේ මිනිස් ජීවි­ත­වල අසි­රිය දකි­මින්, ඔවු­නගේ ජන ජීවි­තය, සංස්කෘ­තික බැඳීම්, පාරි­ස­රික සබ­ඳතා සහ නව ප්‍රව­ණතා සාකච්ඡා කෙරෙන සංචා­රක ලිපි පෙළක පෙර කොටස් පසු­ගිය සිළු­මිණේ පළ­විය. මේ සතියේ පළ­වෙන්නේ එහි සය වැන්නයි.

අපි දැන් සිටින්නේ කලා­වැව වානේ සිට කිලෝ­මී­ටර් දෙක තුනක් උතු­රෙනි. අම­ණ­ක්ක­ට්ටුව ගම්මා­න­යට පිවි­සෙද්දී යෝධ ඇලේ දකුණු පසින් පෙණුනු විජි­ත­පු­ර­කන්ද දැන් පෙනෙන්නේ අපේ වම් පසිනි. ඒ අනුව අපි මේ යන්නේ ඉංග්‍රිසි යූ අකුරේ හැඩ­යට ආපසු හැරී යන ගම­නකි. එය වඩාත් හොඳින් අව­බෝධ කර­ගත හැක්කේ 1:50000 සිති­යම පරී­ක්ෂා­වෙනි.

ඉපැ­රණි යෝධ ඇළේත්, 1978 දී ඉදි­කෙ­රුණු නව ජය­ග­ඟේත් වෙනස එයයි. නව ජය­ගඟ හැකි­ත­රම් කෙටි දුර­කින් අනු­රා­ධ­පු­ර­යට ළඟා­වෙද්දී, යෝධ ඇළ නැළ­විල්ලේ සැන­සිල්ලේ සමෝච්ඡ රේඛා දිගේ ඉදි­රි­යට ගලා යන්නේ වංගු සහිත මාර්ග­ය­කය. නව යෝධ ඇළේ වතුර ඉක්ම­නින් තිසා වැවට ළඟා­වු­වද ඒ සමඟ රොන් මඩද, ජලයේ මිශ්‍රව ඇති ඛනි­ජද, ඒ මඟින් ඇති­වන කිවු­ලද හරි හරි­යට තිසා වැවට එක්වේ. එහෙත් පැරණි යෝධ ඇළ එසේ නොවේ. එහි ජලය ගලා යන්නේ සෙමිනි. පළමු සැතැ­පුම් දාහ­තක දුර­ටම ඇත්තේ සැත­පු­ම­කට අඟ­ලක් බැගින් වු බැස්මකි. සැතැ­පුම් 54 ක දුරක් හෙමින් ගලා යන යෝධ ඇළ තිසා වැව දක්වා දුර­කදී උප­රි­මව පල්ලම් බසින්නේ අඩි 30ක් පමණි. මේ නිසා සෑම වංගු­ව­ක­දීම “දිය­කළි” නිර්මා­ණය වීම මගින් ගලා යන රොන් මඩ ප්‍රමා­ණය අවම වී තැන්පත් වීමත්, ඒ සම­ඟම විවිධ ඛනිජ ද්‍රව්‍ය තැන්පත් වීමත් නිසා ගලා යන ජලයේ ගුණා­ත්ම­ක­භා­වය ඉහළ යයි.

සුද්දන් පුදුම කළ වැව් තාක්ෂ­ණය

අතී­ත­යේදී යෝධ ඇළට ජලය එක් වූයේ කලා වැවෙන් පම­ණක් නොවේ. යෝධ ඇළ ඉහ­ත්තා­වෙන් වූ වැව් පද්ධ­ති­ව­ලින් ගලා ආ ජල­යද එක්ව ඇත්තේ යෝධ ඇළ­ටය. එහෙත් නව ජය­ගඟ ඉදි­වූයේ යෝධ ඇළට ඉහ­ළින් නිසා, දැන් ඉහළ පිහිටි වැව් පද්ධ­ති­ව­ලින් ගලා එන ජලය එක් වන්නේ “නව ජය­ගඟ” ටය. නමුත් යෝධ ඇළෙන් පහ­ළට පැවැති පැරණි වැව් පද්ධති තව­මත් හඳු­නා­ගත හැකිය.

“යෝධ ඇළ කියන්නේ නිකම්ම ගලා­ගෙන ගිය ඇළක් නොවේ. යෝධ ඇළට ඉහ­ළින් තියෙන වැව් පද්ධ­ති­ව­ලින් ගලා­ගෙන ආ වතුර කඳ යෝධ ඇළට එකතු වුණා. යෝධ ඇළෙන් ගලා­ගෙන යන වතුර පහළ වැව් පද්ධ­ති­ව­ලට එකතු වුණා. හරි­යට ඉස්කෝලේ විද්‍යා­පා­ඩ­මට උග­න්වන ස්නායු පද්ධ­තිය රෑප සට­හනේ වගේ. අපේ වැව කියන නිර්මා­ණ­ය­ටත් වඩා සුද්දා පුදුම වුණේ මේ වැව්ප­ද්ධ­ති­වල තාක්ෂ­ණේට. මේකට අපි කියන්නේ එල්ලං­ගාව කියල. ලෝකේ හොඳම එල්ලං­ගාව තියෙන්නේ හබ­රණ. හබ­ර­ණට කිට්ටු හොරි­විල ගමේ.”

යෝධ ඇළට සම්බන්ධ එල්ලං­ගා­වන් තිස් හත­රක් තිබේ. මහ­ක­ණු­මුල්ල, මානෑව, කිර­ලෝ­ගම වැනි පැරණි එල්ලංගා පද්ධ­ති­ව­ලින් වැව් සිය­ය­කට අධික සංඛ්‍යා­වක් යෝධ­ඇළ හා සම්බන්ධ වී තිබිණි. නමුත් නව ජය­ගඟ මඟින් මේ සබ­ඳ­තාව බිඳ දමා, ඉහ­ළින් වූ වැව් පද්ධති සියල්ල නව ජය ගඟට සම්බන්ධ කොට ඇත. එයින් සිදුව ඇත්තේ ඉහ­ත්තාවේ වූ එල්ලංගා පද්ධ­ති­වල ජලය යෝධ ඇළෙන් පහළ වැව්ව­ලට ගලා නොයා­මය.

පැරැ­න්නන් යෝධ ඇළ හැඳින්වූ විශේ­ෂණ නාම

1920 දශ­කයේ යෝධ ඇළට නොදුරු මානෑව නම් ගමේ විසූ තේව­හාමි මුත්තා විස්තර ලේඛ­න­යක් ලියා තිබේ. ඒ සිය ගම ආශ්‍රි­තව පිහිටි වැද­ගත් ස්ථාන ගැනය. ගම පහ­ළින් ගලා­යන යෝධ ඇළ ගැනද එහි සට­හන් කර ඇත. යෝධ ඇළ ගැන පැරණි ලේඛන සොයා යන මට මේ පොත ගැන දැන­ග­න්නට ලැබුණේ මහ­ග­ල්ක­ඩ­වල ජය­බිම ත්‍රිපි­ටක ධර්මා­ය­තන පරි­වේ­ණා­ධි­පති, මානෑවේ විම­ල­ර­තන හිමි­යන්ගේ සට­හ­න­කිනි.

එම පොතේ යෝධ ඇළට නුවර කලා­වියේ ගැමි­යන් දුන් විශේ­ෂණ නාම කිහි­ප­යක් හඳු­නා­ගත හැකිය. ඒ නම් සහ ඒ වෙනු­වෙන් දක්වා ඇති හේතුන්ද මානෑවේ විම­ල­ර­තන හිමි­යන් සට­හන් තබා ඇත්තේ මෙලෙ­සය.

මීරිය නදී :- මීරිය යනු සාග­ර­යයි. සාග­ර­යක් බඳු කලා වැවෙන් අරම්භ වී සාග­ර­යක් බඳු තිසා වැවෙන් අව­සන් වන නිසා මේ නදිය මීරිය නදිය නමින් හඳු­න්වනු ලැබේ.

අශ්වාර නදී :- සැඩ පරුෂ බව­කින් තොරව නිහ­ඬව ගලන ගඟකි යෝධ ඇළ. වෙනත් ගංගා­වල මෙන් ප්‍රච­ණ­කාරී ස්වභා­ව­යක් දරුණු සැඩ පහර සහි­තව සතුන්ට හා කෙත් වතු­ව­ලට හානි කරන ස්වභා­ව­යක් මේ නදියේ ගතිය නොවේ. මේ සිත් ගන්නා නදිය හැම­වි­ටෙම නිහ­ඬව ගලන බැවින් මෙය අශ්වාර නදිය නමින් හඳු­න්වනු ලැබේ.

කින්නර නදී :- කින්නර යනු සංස්කෘත භාෂා­වෙන් කිඳු­රාට කියන නමකි. බොහෝ­විට තරුණ කාන්තා­වන් රජ සමයේ රාජ කුමා­රි­කාවෝ මේ ගඟෙහි නෑමට වැඩි කැමැ­ත්තක් දක්වති. ඔවුන් ගඟ මැදට විත් කෙළි සෙල්ල­මින් පීනන විට කිඳු­ර­ඟ­නන්ගේ ස්වරූ­ප­යක් ගනී. එම නිසා කින්නර නදිය නමින් හැඳින්වූ බව ඇතැ­මෙක් පව­සති.

ඉසින් බැසි නදී :- රහ­තන් වහන්සේ හා ඍෂි­ව­රුන් පැන් පහසු වන නදිය බැවින් ඉසින් බැසි නදිය නමින් හඳු­න්වනු ලැබේ.

ජය­ස්ථාල නදී :- කඳු මිටි­යා­වත් ජය ගමි­නින් ගමන් කරන බැවින් ජය­ස්ථාල නමින් හඳු­න්වනු ලබයි. වර්ත­මා­නයේ භාවි­ත­වෙන ජය ගඟ යන නාම­යට වඩා මෙහි ගැඹුරු අරු­තක් ඇති බව පෙනේ. ජය ගඟ යන නාමය කුමන අර්ථ­යක් සඳහා යොදා ගත්තද යන්න පැහැ­දිලි නැත. ජය­ස්ථාල නදිය පසු කලෙක ජය ගඟ නමින් හඳු­න්ව­න්නට ඇත.

යෝධ කුණ්ඨ නදී. :- විවිධ හැඩ­යන් ගනි­මින් කෙත්වතු සරු කර­මින් ගමන් ගන්නා බැවින් යෝධ කුණ්ඨ නදිය නමින් හඳු­න්වයි.

ඇළේ පිහි­ටෙන් කෙරෙන ගොඩ­මඩ ගොවි­තැන්

යෝධ ඇළත්, නව ජය­ග­ඟත් ගලන්නේ මානෑව කන්දට බට­හි­රෙනි. මානෑ­වේදී යෝධ ඇළ අස­බඩ විසූ තේව­හාමි මුත්තා හෙවත්, ‘එක­සිය අටේ මුත්තාගේ’ වග­තුග සොයා යා යුතුය. එතෙක් යෝධ ඇළේ සිහිල් ජල­කඳේ පිහි­ටෙන් අම­ණ­ක්ක­ට්ටු­වේත්, අල­හ­ප්පෙ­රු­ම­ග­මත් යසට දිලෙන ගොවි­බිම් සොයා යා යුතුය.

යෝධ ඇළේ පහ­ළින් සරු­වට කෙරෙන්නේ මඩ ගොවි­තැ­නය. අත­රින් පතර ගොඩ ගොවි­තැ­නද කෙරේ. ඊට අම­ත­රව සරු­සාර පොල්වතු ගණ­නා­වක් ද හමුවේ. අම­ණ­ක්ක­ට්ටුව ගමේත්, තෙලි­යා­වැව, හුංගා­විල ගම්වල වෙසෙන්නේ ඉංග්‍රිසි ආණ්ඩු­වෙන් ඉඩම් ලබා ගෙන පැමිණි අයය. ඒ කලා­වැව යළි ප්‍රති­සං­ස්ක­ර­ණ­යෙන් පසු සිදු­කළ ජන­ප­ද­ක­ර­ණයේ මුල් පිය­වරේ ඉඩම් ලද පිරි­සයි. අල­හ­ප්පෙ­රුම ගමේ පදිං­චිව ඉන්නේ පසු­කා­ලී­නව ඉඩම් අල්ල­ගත් පිරි­සය.

“අපිට ඉඩම් දුන්නේ අක්කර දහ­තුනේ නීතිය යටතේ. දැන් ඉන්නේ ඉඩම් ගත්ත අයගේ සිව්වෙනි පර­ම්ප­රාව. දරු මුනු­බු­රන්ට බෙදිලා ගිහින් දැන් තියෙන්නේ එක්කෙ­නෙ­කුට අක්ක­රේක දෙකක බිමක්… ගොවි­තැ­නෙන් ලාභ ගන්න නම් ඒ ගාණ මදි….” ඒ අම­ණ­ක්ක­ට්ටුව ගොවි සංවි­ධා­නයේ ලේක­ම්ව­ර­යාගේ හඬය.

යෝධ ඇළේ ජල­යෙන් වගාව කෙරෙන්නේ බැම්මට පහ­ළින්ම පම­ණක් නොවේ. යෝධ ඇළේ ඉහ­ත්තා­වේද ගොඩ ගොවි­තැන සිදු වෙන්නේ යෝධ ඇළේ ජල­යෙනි. භූමි­තෙල් හෝ ඩීසල් භාවිතා කර පණ­ග­න්වන වතුර මෝට­ර­ය­කින් බට යොදා වගා­බිම් වලට ජලය යොදා වගා කරයි.

විජි­ත­පුර විහා­රයේ විෂ්ණු දේවා­ලයේ කපු තන­තුර දරණ සෙනෙ­වි­රත්න මහ­තාද යෝධ ඇළ ඉහ­ත්තාවේ පන්සල් ඉඩ­මක ගොවි බිමක් පව­ත්වා­ගෙන යයි.

“මගේ ඉඩමේ මේ දව­ස්වල තියෙන්නේ වම්බටු. ඊට අම­ත­රව බණ්ඩක්කා ටිකක් තියෙ­නවා. ගස්ලබු වගා­ව­කුත් තියෙ­නවා. වාරෙ­කට වම්බටු ගෝනි 5-6ක් කඩා­ගන්න පුළු­වන්. ඊට පස්සේ ඒකත් අර­ගෙන දඹු­ල්ලට යනවා. දඹු­ල්ලෙදි එදා දවසේ යන මුද­ලට විකු­ණලා රෑ වෙන්න පෙර ගෙද­රට එනවා..”

“වතුර ගන්නේ කොහො­මද?”

“පහ­ළින් යන රේල් පාරට යටින් යෝධ ඇළට බට­යක් දාලා, ඒකෙන් මෝටරේ ගහල වතුර ගන්නවා.”

යෝධ ඇළේ බැම්ම දිගේ යන අපට යෝධ ඇළේ සිට ඉහ­ත්තා­වට ඇතිරූ ප්ලාස්ටික් වතුර බට සහිත ගොවි බිම් ගණ­නා­වක් දකි­න්නට පුළු­වන් විය. ඒ අතර මිරිස් වගා, කර­විල වගා, මාළු මිරිස් වගා ගණ­නා­වක් දැක­ගත හැකි­විය.

හත­ළිස් හැවි­රිදි ආබ්දින් ජුන­යිඩ් හිටපු උපා­ධි­ධාරි ගුරු­ව­ර­යෙකි. දැන් ඔහු ගුරු­කම අත­හැර දමා වගා­වට යොමුවී සිටී. අක්කර දෙකක කුඹුරු වගා­වක් ඔහුට හිමිය. ඊට අම­ත­රව තවත් අක්ක­ර­යක පමණ ඉඩක මිරිස්, මාළු මිරිස් සහ තක්කාලි වවයි. පිය උරු­ම­යෙන් ආ අක්කර දෙකක පොල්ව­ගා­වක් දැන් අයත්ව ඇත්තේ ජුන­යිඩ්ගේ සහෝ­ද­ර­ය­ටය.

“වතු­රෙන් නම් කිසිම කර­ද­ර­යක් නෑ. යෝධ ඇළ නිසා. මෙහෙට වල් අලි කර­ද­රත් නෑ. වැඩිම කර­දරේ රිල­වු­න්ගෙන් රකින එක. මොන­රුත් හිටි ගමන් එනවා.”

අපි ජුන­යිඩ්ගේ ගොවි­බිම බල­න්නට ගියෙමු. මොට්ටැ­ක්කි­ලි­යෙන් හිස වසා­ගත් ඔහුගේ පවුලේ සහෝ­ද­රි­යන් කිහිප දෙනෙකු තක්කාලි සහ මාළු­මි­රිස් තෝරා අසු­ර­මින් සිටින්නේ දහ­වල් වන්නට පෙර දඹු­ල්ලට යැවිය යුතු නිසාය. ජුන­යිඩ්ගේ ඉඩ­මට යාව ඇත්තේ ඔහුගේ සොහො­යු­රාගේ ගොවි­බි­මය. ඔහු වවා ඇත්තේ අමු­මි­රිස් සහ තක්කා­ලිය. ඒවා නෙළ­න්නට පැමිණ සිටින්නේ සිංහල කාන්තා­වන් කිහිප දෙනෙකි. අප එහි යන­විට ඔවුන්ගේ තේ වෙලා­වය.

“අපි ඉන්නේ දිය­වර ගම්මානේ. අපේ හරි­යට යෝධ ඇළේ වතුර එන්නේ නෑ. අපි වගා­වක් කර­න­ව­නම් අහස් දියෙන් විත­රයි. මේ කාලෙට වැස්ස නැති නිසා අපිට ගොවි­තැන් නැහැ. ඒ නිසා යෝධ ඇළෙන් පහළ ගොවි­බි­ම්වල දවසේ කුලි­යට වැඩ­ක­ර­නවා. සාමා­න්‍ය­යෙන් දවසේ වරු­වක් වැඩ කළාම එක්කෙ­නෙ­කුට රුපි­යල් දාහක් විතර හොයා­ගන්න පුළු­වන්.”

එතැන් සිට ඈත බලන විට පෙනෙන්නේ මැදි­වියේ ගොවි­යෙකු සහ ඔහුගේ බිරිය යැයි සිතිය හැකි මොට්ටැ­ක්කි­ලි­යෙන් සැර­සුණු කාන්තා­වක තනිව වැඩ කරන ගොවි බිමකි. ගොවියා කඩි­යෙකු මෙන් ලියැ­දි­ව­ලට පැන වතුර බඳී. ඊළඟ මොහොතේ ඔහු එළ­වළු ගෝනි­යක් කර තබා­ගෙන ගොවි බිමේ ඉදි­රි­පස පාරට රැගෙන යයි. එතැන අමු­මි­රිස් ගෝනි දහ­ය­කට ආසන්න ප්‍රමා­ණ­යක් ගොඩ ගැසී ඇත. තක්කාලි පෙට්ටි කිහි­ප­යක්ද වේ.

“මම ජවාඩි. අම­ණ­ක්ක­ට්ටුව ගමේ. අපි දවල් දොළ­හට කලින් අස්වැන්න කඩල ගෝනි කරල සූදා­නම් කර­නවා. දොළහ වෙන­කොට ඩිමෝ බට්ටෙක් එනවා. ඒකට විලා­සම ගහල බඩු පට­ව­ගෙන දඹු­ල්ලට යනවා. බඩු අඩු දව­සට අපිත් ඒකේ නැඟලා යනවා. නැත්නම් අපි බයි­ක්වල යනවා.”

වන අලි වෙනු­වට එන රිලා හා මොනර කර­දර

යෝධ ඇළ බැම්මෙන් පහළ කෙත් වතු­යා­යක් දිගේ ආපසු ඉදි­රි­යට එන අපට යළිත් හමු­වන්නේ ජුන­යිඩ්ය.

“බයි­සි­කල් පැද­ගෙන ඇවිත් මහ­න්සිත් ඇතිනේ. ඉන්න මම කුරු­ම්බ­යක් දෙකක් කඩ­න්නම්”

ප්‍රති­ක්ෂේප කර­න්නට හේතු­වක් නැත. අප කැමැ­ත්තෙන්ම ඔහුගේ ආග­න්තුක සත්කා­රය විඳ ඔහුට ස්තූති කර යළිත් මඟට පිළි­පන්නේ යෝධ ඇළ බැම්ම දිගේ යන අපේ ගමන යළි අර­ඹ­න්න­ටය.

සිති­යමේ හැටි­යට අප පසු­ක­ර­මින් සිටින්නේ අයි­ල­ප්පෙ­රු­ම­ග­මය. යෝධ ඇළ බැම්ම පාමු­ලින් ඇර­ඹෙන වෙල්යායේ සීමා මායිම් ඇස් මාන­යට හසු වන්නේ නැත. ඒ නිල්ල මැදින් පොල් රුප්පා­වක් පසු­බිම් කොට පෙනෙ­නුයේ ‘අයි­ල­ප්පෙ­රු­ම­ගම මුස්ලිම් පල්ලිය’යි. “ගමයි පන්ස­ලයි- වැවයි දාගැ­බයි” සංක­ල්ප­යට තරම් ඉපැ­රණි ඉති­හා­ස­යක් නැතත් අනු­ර­පුර රජ දවස සිටම වරින් වර මෙර­ටට පැමිණි මුස්ලි­ම්වරු අපේ රටේ වැව් ගම්වල සැරි­සැ­රූහ. 1872 වන විට කලා­වැ­වේද මුස්ලිම් ජන­පද බිහිවී තිබුණු බව ලේඛ­න­වල සඳ­හන්ය. අදත් කලා­වැව අවට ගොවි­තැන ජිව­නෝ­පාය කර­ගත් මුස්ලිම් ජනයා බහු­ත­ර­යක් හඳු­නා­ගත හැකිය.

“අපට කියල වගා­වෙදි කරන විශේෂ චාරිත්‍ර නෑ. හැබැයි අපිත් අවු­රු­ද්ද­කට සැර­යක් කිරි ඉතු­රුම් මංග­ල්ලෙට, අලුත් සහල් මංග­ල්ලෙට සිංහ­ලයෝ එක්ක එක හිතෙන් එකතු වෙනවා. ඒක අපේ දෙයක් නොවේ කියන හැඟී­මක් අපිට නෑ. කලා­වැවේ සිංහ­ල­යි­න්ටත් අපිව ආග­න්තුක නෑ. ඕනම ගෙද­ර­කට ගොඩ­වෙලා තේකක් බීලා, විටක් කාලා යන්න පුළු­වන් තර­මට අපි එක­මු­තුව ඉන්නවා”

මව මරා උපන් නව ජය­ගඟ කුමරා ගැන කතාව ලබන සතියේ

(නවා­තැන් පහ­සු­කම් සැපයූ ගාමිණී එදි­රි­සිංහ මහ­තා­ටත්, සංචා­රය සඳහා අවශ්‍ය පාපැදි සම්බ­න්ධී­ක­ර­ණය කළ වජිර ප්‍රසන්න ඉලං­ග­සිංහ මහ­තා­ටත්, තොර­තුරු සහ අද­හස් දැක්වූ නලීන් මිණි­පුර මහතා ඇතුළු ගම්වැ­සි­ය­න්ටත් ස්තූතියි!)

[email protected]

Comments