මං දිනුවෙ හැරෙන්නවත් බැරි දැවැන්තයො ඉන්න වෙළෙඳපොළක් | සිළුමිණ

මං දිනුවෙ හැරෙන්නවත් බැරි දැවැන්තයො ඉන්න වෙළෙඳපොළක්

  • මම සල්ලි නැතිව බිස්නස් කරන්න පුරුදු වුණු කෙනෙක්
  • හැමෝම තේ විකුණද්දිමං විකිණුවෙ තේ ගෑවුණු අලුත් සංකල්පයක්

සම්ප්‍රදායට වඩා වෙනස් ලෙස සිතන ඔහුට අනුව, ප්‍රාග්ධනය යනු මුදල් නොවේ. එකම ක්ෂේත්‍රයක

දැවැන්තයින් අත‍ෙර් වුවද හිස්තැන් ඇති බවත්, ඒවා හඳුනා

ගතහොත් විසල්

වපසරියක් දක්වා යා හැකි බවත් ඔහු

ක්‍රියාවෙන් ඔප්පු කළේ, හරි හැටි මූල්‍යමය

ප්‍රාග්ධනයක් අත

නැතිවමය.

පැරැණි ඖෂධ වට්ටෝරු තේ පානයක් තරමට ප්‍රණීත කළ ඔහු, ඒ සඳහා වෙනම ‘මාකට්’ එකක් නිර්මාණය කළේද

ගොඩනැඟුවේ ද ඒ වෙනස් විදියට සිතීමේ ප්‍රතිඵලයක් ලෙසය.

 ශ්‍රී ලංකා තේ කර්මාන්තය ‘ෆැඩ්නා’ ඉන්නෙ කොහොම තැනකද...

‘ග්‍රීන් ටී’ කැටගරියෙ, සියයට පණහකට වඩා වෙළෙඳපොළ කොටසක අපි ඉන්නවා. ෆැඩ්නා කියන්නෙ සාමාන්‍ය තේවලින් ඔබ්බට ගිය වෙනස් සංකල්පයක්.

මොකක්ද ඔය කියන වෙනස් සංකල්පය...

මිනිස්සු තේ බොන්නෙ පුරුද්දට. ඒ පුරුද්ද ජීවිතේ අවශ්‍යතාවක් වෙනුවෙන් වුණොත්, ශරීරයට ලැබෙන ප්‍රයෝජනය වැඩියි. ඒ කියන්නෙ දෛනික ජීවිතේ ප්‍රශ්නයක් විසඳගන්න තේ කෝප්පයක් බොනවා නම්... ඒක වෙනස් දෙයක් නේද? අපි කළේ අන්න ඒ දේ.

තේ කෝප්පයක් කොහොමද දෛනික ජීවිතේ ප්‍රශ්නෙකට උත්තරයක් වෙන්නෙ...

ශරීරයට, ලෙඩ දුක්වලට මොන තරම් හොඳයි කිව්වත් බෙලිමල් ටිකක් රණවරා ටිකක්, මුරුංගා කොළ, නැත්නම් පිළිකා සෛල නසන අනෝදා කොළ ටිකක් තම්බලා බොන්නෙ කීයෙන් කී දෙනාද... දෛනික ජීවිතේ වැඩ එක්ක කාටවත් ඕවා හොයන්න වෙලාවකුත් නැහැ. ස්වාභාවික ඖෂධ, තේ එක්ක මුසු කර හෝ නොකර, පුංචි සැෂේ පැකට්ටුවක් විදියට ජනතාවට හුරු කරපු එකයි මං කළේ. ඉතින්, ගැස්ට්‍රයිටීස් හෝ දියවැඩියාව පාලනය කරගන්න, බඩ අඩු කරගන්න, ඇඟ හැඩ කරගන්න වගේ, ප්‍රශ්න ගණනාවකට උත්තර මේ පුංචි සැෂේ පැකට්ටුව ඇතුළේ තිබෙනවා.

ඔබට හැප්පෙන්න තියෙන්නෙ අපේ රටේ තේ දැවැන්තයො එක්ක...

ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. මං තරග කරන්න කාලයවත් ශ්‍රමයවත් වැය කරන්න කැමැති කෙනෙකුත් නෙවෙයි, පුංචි කාලෙත් හැම ක්‍රීඩාවක් ම වගේ කරලා ඒ හැම දෙයක්ම අත්හැරියා. ක්‍රීඩාවෙදි තියෙන්නෙත් ජය - පරාජය. මං පරාජයට කැමැති නැහැ. පරාජය බාර ගන්නෙත් නැහැ. ඒ නිසාම තරග කරන්නෙත් නැහැ. මෙච්චර තේ දැවැන්තයො ඉන්න රටක මං තේ ව්‍යාපාරයට අත ගැහුවෙත් දිනුවෙත්, තරග කිරිල්ල පැත්තක තියලා වෙනස් මඟක් හොයාගත්තු නිසා.

මොකක්ද Fadna අර්ථය...

Food and Nature (Pvt) Ltd කියන කොම්පැනියේ නමේ, මුලකුරු වලින් හැදූ නමක්. සොබාදහමෙන් ආහාර... කියන අර්ථයයි එහි ගැබ්ව තිබෙන්නේ. අද මේ නම මිනිස්සු අතරට ගියාට, මුලින් ම අහපු දවස්වල සමහරු කිව්වෙ ෆැන්ඩා කියලා. සමහරු ෆැන්ටාත් කිව්වා. අන්තිමේ නුහුරු නම හුරු වුණා.

කොහේද ඔබේ ෆැක්ටරිය තිබෙන්නෙ...

2004 පටන් මෙච්චර දේ කළාට අදටත් මට ෆැක්ටරියක් නැහැ. ඇත්තට ම ෆැක්ටරියක් අවශ්‍යත් නැහැ. ඉහළ ම ප්‍රමිතියට සහ ඉහළ ම කොලිටියට වැඩේ කරන පැකේජින් සමාගම් මේ රටේ ඕ‍ෙන තරම් තිබෙනවා. මේවා බොහොමයක් පිටරටට යවන නිෂ්පාදන පැක් කරන ආයතන. අනික ඔවුන් ගේ වගේ ම, අපේ QC කෙනකුත් එතැන ඉන්නවා. ඉතින්, ඉඩම් හොයලා ෆැක්ටරි ගහලා සල්ලි යටකරගෙන ‍කරදර වෙනවට වඩා මේ ක්‍රමය ලේසියි. ලාබයි.

ඒ කියන්නෙ ඔබට අවශ්‍ය මිනිස් ශ්‍රමය අවමයි...

නැහැ. මගේ ම ෆැක්ටරියක නොවුණට, කොහේ හරි වක්‍රව අපිට වැඩ කරන්නෙත් මිනිස්සුනේ. අපේ පොඩි ප්‍රඩක්ෂන් කොටසක් තිබෙනවා. මැනේජ්මන්ට් ටීම් එක, බෙදා හැරීමේ ජාලය හැරුණුකොට බෙහෙත් ඖෂධ හා අමුද්‍රව්‍ය සැපයුම්කරුවන්, තේ සැපයුම්කරුවන්, දලු කඩන්නන් පවා වක්‍රව සම්බන්ධයි. ඍජුව විශාල සංඛ්‍යාවක් නොවුණට ෆැඩ්නා නිසා වක්‍රව රැකියා අවස්ථා උදාවී ඇති ප්‍රමාණය අති විශාලයි. ෆැක්ටරියක් නැති වුණාට වැදගත් ම දේ තමයි, අපිට ඕනෑම මොහොතක ඕනෑම ලොකු ඕඩරයක් බාර ගන්න පුළුවන්. ලංකාවේ ඕනෑ ම ධාරිතාවක ෆැක්ටරියක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඕනෑම ප්‍රමාණයක මිනිස් ශ්‍රමයක් අවශ්‍ය සැණින් අපිට ලබා ගන්නත් පුළුවන්.

සමහර ආයතනවල පියන් කෙනෙක් ගන්න වැටුප රුපියල් හතළිස්දාහට එහා. ඔබේ සේවකයො ගැන ඔබටත් එහෙම ආඩම්බර වෙන්න පුළුවන්ද...

ආඩම්බර වෙන්න, මේ ආයතනයේ පියන්ලා ඇත්තෙත් නැහැ. අපිට කියලා වෙනම ඩ්‍රයිවර්ස්ලා ඇත්තෙත් නැහැ. මගේ වාහනේ ඩ්‍රයිවර් මමමයි. වැඩකරන අයත් ඒ වගේ. තමන්ගෙ වැඩ තමන් කරගන්නවා.

ඔබ මේ සීත කාමරේට වෙලාද ඔක්කොම ප්‍රශ්න විසඳන්නෙ...

ෆැක්ටරිවලට ගිහින් බලන්න කියලා දෙයක් නැහැ. ඒ නිසා මැෂින් ගැන වද වෙන්න දේකුත් නැහැ. මං සේවකයො ගැන විශේෂයෙන් හොයන්නෙ වැඩේ හරියට නොකෙරුණොත් විතරයි. තමන්ට දී තිබෙන බලය සහ නිදහස තුළ වැඩේ බාර කෙනා ඒ දේ හරියට කළ යුතුයි. එතකොට තව කෙනකුට ඇඟිලි ගහන්න දෙයක් එතැන නැහැ. මං අයිතිකරු හෝ සභාපති කියලා හැම දේටම ඇඟිලි ගහන සිරිත කොහොමටවත් මගේ නැහැ. හැබැයි ඒකෙන් කියන්නෑ, මං මේ කාමරේ ඇතුළෙ ඉඳගෙන ම ප්‍රශ්න විසඳනවා කියලා. සියයට සියයක් මං මගේ බිස්නස් එකේ ඉන්නවා.

පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක් ද...

අවුරුදු දහයෙ ‍එකොළහෙ විතර ඉඳන් ස්වාධීනව හිතපු, වැඩකරපු ළමයෙක්. ශිෂ්‍යත්වෙ පාස්වෙලා කොළඹ ආවම මට එහෙම කරන්න සිද්ධ වුණා. තාත්තා ඇල්පිටිය ගමේ ග්‍රාම සේවක. අම්මා විදුහල්පති. ගෙදර ඉන් කල් ඒ දෙන්නගෙ නීති රීති සහ විනය ඇතුළෙ ජීවත් වුණාට, කොළඹ බෝඩින් ජීවිතෙය හුඟක් දේ කර ගන්න වුණේ තනියම. එක අතකට දෙමවුපියො ඒ දුන්නු නිදහස නිසා තමයි අපි හිතන්න පුරුදු වුණේ. හොඳයි - නරකයි තේරා වෙන්කර ගන්න පුරුදු වුණේ.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

මුලින් ම ඇල්පිටිය ආනන්ද කනිෂ්ඨයෙ. ඊළඟට ශිෂ්‍යත්වෙ පාස්වෙලා කොළඹ ආනන්දයෙ. ඒ නිසා මල්ලිටයි - නංගිලා දෙන්නටයි වඩා මට ගෙදර ඉන්න ලැබුණෙ අඩුවෙන්.

මොනවටද ඔබ දක්ෂ වුණේ...

කිසිම දේකට විශේෂ දක්ෂමක් නොතිබුණාට හැමදේම ටික ටික හරි කළා. උසස් පෙළට මැත්ස් තෝරා ගත්තෙත් මගේ ම කැමැත්තට. ඒත් මැත්ස් කරලා විශ්වවිද්‍යාලෙ යන්නවත් ඉංජිනේරුවෙක් වෙන්නවත් කිසිම අරමුණක් හිතේ තිබුණෙ නැහැ. උසස් පෙළින් පස්සෙ කරන්න මොනවද කියලවත් හිතිලා තිබුණෙ නැහැ. ඒත් හැමදේටම යටින් හිත ඇතුළෙ වද දුන්නෙ, ‘මොනවා හරි කරන්න ඕනේ! මගේ ම දෙයක් කරන්න ඕනේ”... කියන සිතිවිල්ල.

ඉතින්, උසස් පෙළින් පස්සෙ මොකද කළේ...

අහම්බයකින් බාටා කොම්පැනියෙ රස්සාවක් ලැබුණා. එදා ඉන්ටවීව් ගිය දවසෙ තමයි පළමු වතාවට මං සුද්දෙක් එක්ක කතා කළේ. මං කියන දේ සුද්දට තේරෙන්නෙ නෑ. සුද්දා කියන දේ මට තේරෙන්නෙ නෑ. අන්තිමේ මොන හේතුවකට හරි ඒ මනුස්සයා මාව මැනේජ්මන්ට් ට්‍රේනි කෙනෙක් හැටියට තෝරා ගත්තා.

කොච්චර කල් ඔබ සපත්තු කර්මාන්තයෙ හිටියද...

අවුරුදු අටක්. ඒ කාලය තුළ මං සපත්තු කර්මාන්තයෙ ප්‍රඩක්ෂන් ලයින් එකක් ප්ලෑන් කරන හැටි හොඳට ම ඉගෙන ගත්තා. වැඩිය මහන්සි නොවී ජොබ් එක කරන හැටිත් හොයා ගත්තා. ඒ කාලෙ ටොප් මැනේජ්මන්ට් එකේ හිටියෙ සුද්දො. ඊළඟ තනතුරුවල හිටියෙ අ‍ෙප් අය. මළොත් මිසක් කවුරුවත් ඒ තනතුරු දාලා ගියේ නැහැ. මට තේරුණා, වෘත්තීය ජීවිතේ ඉහළට යෑමක් නැහැ කියලා. එහෙම හිතපු මං වගේ තරුණ නිලධාරින් දෙන්නෙක් ම රස්සාව දාලා ගිහින් එයාලගෙ ම පොඩි බිස්නස් පටන් ගත්තා. මාත් තීරණයකට ආවා.

මොනවද ඔබ කළේ...

ගාමන්ට් බිස්නස් එකක් පටන් ගත්තා. ටික කලක් කළා. එන්න එන්න තරගෙ වැඩියි. ඒ පාර ගාමන්ට් අත්හැරලා, චීනෙන් සහ ජ’මනියෙන් CFL බල්බ් ගෙන්වා බෙදා හරින්න ගත්තා. ඒ කාලෙ CFL රටට අලුත් දෙයක්. මිනිස්සු දන්නෑ. බල්බ් එක ගැන කියා දෙමින් තමයි විකුණන්න වුණේ. ටික දවසක් යනකොට අඩු කොලිටියට ගාණ අඩුවට පේමන්ට් එකේ තොග ගහලා විකුණන්න ගත්තා. අන්තිමේ ඒ බිස්නස් එකත් නැත්තට ම නැති වුණා.

ඒ තමයි ඔබේ ජීවිතයෙ වැරැදුණු පැරැදුණු තැන්...

මගේ ප‍ළවෙනි බිස්නස් දෙක ම ෆේල් බව ඇත්ත. ඒත් කොයිම වෙලාවකවත් මං හිතුවෙ නැහැ, මට වැරදුණා කියලා. මං පැරදුණා කියලා. මං ආයෙමත් ආහාර නිෂ්පාදන අංශයෙන් පොඩි පොඩි බිස්නස් පටන් ගත්තා. ඊළඟට මට ඕනෙ වුණේ එක්ස්පෝර්ට් මාකට් එකට මොනවා හරි කරන්න.

බිස්නස් දෙකකින් පාඩු ලබපු ඔබට ආපහු ප්‍රාග්ධනයක් කොයින්ද...

ඒ වෙනකොට මට බැංකු ණයක්වත් ගන්න බැහැ. බිස්නස් වැහිලා. මාව ක්‍රිබ් එකට ගිහිල්ලා. මට හිතන්න වුණා, ‘කොහොමද මං ණය නොවී ජීවත් වෙන්නෙ...’ කියලා. වයිෆ් ජොබ් එක කළ නිසා ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා. ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික සපයා ගත්තෙ කන්ටැක්ට්ස් වලින්. ඒ වෙද්දි මට ක්‍රෙඩිට් එකට බඩු දෙන්න තරම් හිතවත්කම් ජාලයක් මං ගොඩ නඟාගෙන තිබුණා. පිටකොටුවෙ ගබෝස් ලේන් එකේ බෙහෙත්කඩ වීදි දිගේ මං ඒ බඩු උස්සගෙන අනන්ත වාරයක් ඇවිදලා ඇති. එක ගෝලයයි මට හිටියෙ. අපි දෙන්නා එකතු වෙලා බෙලිමල්, රණවරා, ඉරමුසු... ඔය ‍ෙග්න හැම දේම හෝදලා වේළුවා. හිතවතකු ගේ ග්‍රයින්ඩින් මිල් එකකට දීලා කුඩු කරගන, ටී පැකින් කරන තැනකට දීලා සැෂේ කර ගත්තා. ඇත්තට ම ඒ අමාරු වෙලාවෙ මට ප්‍රාග්ධනය වුණේ, මගේ හිතවත්කම්. යාළු මිත්‍රකම්.

ෆැඩ්නා, ආරම්භය ද ඒ...

ඔව්. 2004 අවුරුද්දෙ ඉරමුසු, බෙලිමල් සහ රණවරා තේ වගේ සැෂේ කරලා සුපර්මාකට්වලට දැම්මෙ මේවායේ ගුණ දන්නෙ මධ්‍යම පාන්තික පාරිභෝගිකයො කියලා හිතාගෙන. ඒත් හොඳම සේල් එක තිබුණෙ ක්‍රෙස් කැට් එකේ. ඉහළ ම පැලැන්තියෙ පාරිභෝගිකයින් දක්වපු ප්‍රතිචාර ගැන මං පුදුම වුණා. ‘නැචුරල් ප්‍රඩක්ට්ස්’ සංකල්පය ඒ දවස්වල වඩාත් ප්‍රචලිත වෙමින් තිබුණෙ ඒ ඉහළ පැලැන්තිය අතරේ. 2007, ගොරකා මිශ්‍ර කරලා හදන ෆැඩ්නා ‘ෂේප් අප් ටී’ බිහි‍ වෙන්නෙ, ඔය ලබපු උත්තෙජනයෙන්.

හරි ම වෙලාවෙදි මුණගැහෙන හරි ම පුද්ගලයින් ජීවිතයට කරන බලපෑම අත්විඳ තිබෙනවද...

ඔව්. ඒ දවස් වෙන‍කොට මගේ ගනුදෙනුව තිබුණෙ ෆුඩ් සයන්ටිස්ටිලා එක්ක. ආයුර්වේද ඩොකටර්ස්ලා එක්ක. මට මුණගැහුණු විශේෂ ම පුද්ගලයා තමයි, එවකට කෘෂිකර්ම අමාත්‍යාංශයේ, රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් අංශය බාර අධ්‍යක්ෂවරයාව සිටි, ඩොක්ට විජේරත්න. ‘ෂේප් අප් ටී’ එක වැඩි දියුණු කරන හැටි කියලා දුන්නෙ එතුමා. ඊළගට එතුමාගේ තාක්ෂණයට අපි විවිධ නිෂ්පාදන ඩිවලොප් කරන්න ගත්තා. ඔහුගේ මුණගැසීම, ඔහු හා වැඩ කිරීම, ජීවිතයට සාධනීය ලෙස බලෑවේ එහෙමයි. ඊළඟට සුපර්මාකට්වලට අවශ්‍ය අලුත් සංකල්ප පිළිබඳ මං දැනුවත් වුණේ නිහාල් මහත්මයාගෙන්. තනිකර ‘තේ’ මතම රැඳී නොසිට, මං හොයපු වෙනස් මඟ හදාගන්න උදව් කළේ මෙවැනි හිත හොඳ මිනිස්සු.

ඔබට අනුව ව්‍යාපාරයක් සාර්ථක වෙන්න බලපාන හේතුවක් කියන්න...

හරි මොහොතෙදි හරි ම දේ හඳුනා ගැනීම. තේ දැවැන්තයො එක්ක හැරෙන්නවත් බැරි මාකට් එකකට මං ආවේ ඉරමුසු, බෙලිමල්, තේ බවට පත්කරගෙන. ඒ තිබුණු හිඩැස හඳුනාගෙන. වැදගත් ම දේ වෙළෙඳපොළේ ඇති ඒ අවස්ථා හඳුනා ගැනීමයි. හැමෝම තේ විකුණනවා. මං තේ ගෑවුණු අලුත් සංකල්පයක් විකුණනවා. එතෙනින් නොනැවතී ඒ සංකල්පය දියුණු කරනවා. වෙනස් කරනවා. මට සාර්ථක වුණේ ඒ ක්‍රමය.

මේ හැමදේම කරන්නෙ ජ්‍යොතිෂය විශ්වාස

කරගෙනද...

මට ජ්‍යොතිෂය විශ්වාසයක් නෙවෙයි. ජීවිතයට ගයිඩ් ලයින් එකක්. විශේෂයෙන් ව්‍යාපාර අවදානම් වලදි මං ඒ ගයිඩ් ලයින් එක පාවිච්චි කරනවා. ග්‍රහයන්ගෙන් හරි අවදානම අඩු කර ගන්න පුළුවන් නම් ඇයි ඒක නොකරන්නේ? ව්‍යාපාර කරද්දි මං කිසිම අනවශ්‍ය අවදානමක් ගන්නෑ, ‍‍

ආගම එක්ක තිබෙන්නෙ කොහොම බැඳීමක් ද...

මං බෞද්ධයෙක්. ඒත් පන්සල්වලට වඩා ජීවිතයට ළං කර ගෙන තිබෙන්නෙ බෞද්ධ ධර්මය. විශේෂ හේතුවකට ඇරෙන්න මං පන්සල් යන්නෑ, ආගම පිස්සුවක් කරගෙනත් නෑ. ධර්මය අවබෝධ කරගත් කෙනකුගෙ ජීවිතය සැහැල්ලුයි. මං ඒ සැහැල්ලුව විඳිනවා.

ඔබ දරුවන්ට සමීප තාත්තෙක් ද...

මට ඉන්නෙ එක දුවයි. තවම වයස දහයයි. මං තමයි එයාගෙ හොඳම යාළුවා. මං බෞද්ධ. මගේ බිරිය කතෝලික. මගේ දුවට මේ ආගම් දෙකේම ආභාසය තිබෙනවා.

ඔබේ බිරිය ව්‍යාපාරවලට සම්බන්ධයිද...

ඔව්. බිරියත් මමත් පමණයි මේ ව්‍යාපාරයේ හවුල්කරුවන්. සපත්තු හදපු මං, ටී ‍‍ෆීල්ඩ් එකට එද්දි මට හුඟක් උදව් කළේ නතාලි, මගේ බිරිය. ඒ වෙන‍කොට එයා ලංකාවෙ දැවැන්ත තේ සමාගමක වැඩකරමින් හිටියේ. ගොඩනැගෙමින් සිටි ව්‍යාපාරයක් හැටියට ඒ දැනුම, සබඳතා මට හුඟක් උදව් වුණා.

ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳම ආදර්ශය කුමක් ද...

මං සල්ලි නැතිව බිස්නස් කරන්න පුරුදු වූ කෙනෙක්. මං තවමත් කැමැති එහෙමයි. ලොකු ඔෆිස් එකක්, වාහනයක්, සෙකට්‍රි කෙනෙක් නැතිව බිස්නස් එකක් පටන් ගන්න බැහැ කියලා හිතන අයට මාව හොඳ ආදර්ශයක් වේවි. අදටත් මට සෙකට්‍රි කෙනෙක් නැහැ. හොඳ හිත සහ මානව සබඳතා හරියට පවත්වා ගන්නවා නම් ව්‍යාපාරයකට හුඟක් දුර යන්න පුළුවන්. මට පියන් කෙනෙක් නැති වුණාට ඩ්‍රයිවර් කෙනකුත් නැති වුණාට සෙකට්‍රි කෙනෙකුත් නැති වුණාට මං හැමදේමත් කර ගන්නවා. ඖෂධීය තේ හදලා විදේශ විනිමය රටට ගේන්නත්, රටට රස්සා ටිකක් හදලා, වගාකරුවන්ට අත දීලා ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නත් මට පුළුවන් වුණේ මට ම ආවේණික, මේ හිතන විදිය හින්දා.

ඡායාරූප - ශාන් රූපස්සර

 

අදහස්