පරිසර හිතකර බිස්නස් වෙනුවෙන් හරිත ණය 1 Green loan | සිළුමිණ

පරිසර හිතකර බිස්නස් වෙනුවෙන් හරිත ණය 1 Green loan

නව ව්‍යවසායක පරපුරක් මෙරට තුළ බිහි කිරීමේ බලාපොරොත්තුවෙන් රජයේ සෘජු මැදිහත්වීම මත ආරම්භ කරන ලද “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා“ සහන පොලී ණය යෝජනා ක්‍රමය එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ එවැනි පරමාර්ථයකින් ආරම්භ කරන ලද සාර්ථකම ණය යෝජනා ක්‍රමය ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකිය.

මෙම “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා“ රජය සහන පොලී ණය යෝජනා ක්‍රමය යටතේ වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 50,00 දක්වා ඉහළ නැංවීම , නව රැකියා අවස්ථා මිලියනයක් බිහි කිරීම, සියයට 5 කට වඩා වැඩි වාර්ෂික ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යාම හා මෙරට ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස හඳුනාගත් තරුණ පිරිස්, කාන්තාවන් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් රටට බරක් නොවන ලෙස දෙපයින් නගා සිටුවීමට පිඹුරුපත් සකස් කර ඇත.

ලංකා මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ප්‍රධාන රාජ්‍ය බැංකු ත්‍රිත්වයක සහයෝගය ඇතිව මේ සාර්ථක ලෙස රට පුරා ක්‍රියාවට නැගෙන මෙම ණය යෝජනා ක්‍රමය යටතේ හඳුන්වා දී ඇති තවත් සුවිශේෂී ණය වැඩසටහනක් ලෙස “හරිත ණය 1 “(green loan)හඳුන්වා දිය හැකි වේ. පොලිතින් වලට විකල්ප නිෂ්පාදන හඳුන්වා දීම, සුළු පරිමාණ සංචාරක හෝටල් දියුණු කිරීම, කාබනික පොහොර නිෂ්පාදනය දිරි ගැන්වීම හා ත්‍රිරෝද රථ සඳහා ජී පී එස් තාක්ෂණය සහිත නවීන මීටර් පද්ධති සවි කිරීම සඳහා අවශ්‍ය ණය ලබා දීම මෙම “හරිත ණය 1“ ලබාදීමේ ප්‍රධාන පරමාර්ථය යි.

ඉහත කරුණු පිළිබදව අවධානය යොමු කර බලන විට මෙම “හරිත ණය 1“ වැඩසටහන අපගේ පරිසරය ආරක්ෂා කිරීම අරමුණු කරගත් ණය යෝජනා ක්‍රමයක් ලෙස ද එය නිර්වචනය කළ හැකි ය.

කාලයක් පුරා පොලිතින් නිෂ්පාදනය හේතුවෙන් මෙරට තුළ පරිසර දූෂණය දැඩිවම සිදුවුණු අතර එමගින් සිදු වුණු හානිය කෙතරම් දැඩි වුවාද කිවහොත් මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට පොලිතින් නිෂ්පාදන තහනම් කිරීමට ද පියවර ගැනුණි. පොලිතීන්වලට විකල්ප නිෂ්පාදන හඳුන්වාදීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් දිරි ගැන්වීමට මෙම ණය යෝජනා ක්‍රමයට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා වී තිබේ. එසේම රසායනික පොහොර වෙනුවට මෙරට වගා කරුවන් අතර කාබනික පොහොර ප්‍රචලිත කිරීම ද වර්තමාන රජයේ අරමුණ වී ඇති අතර හරිත ණය වැඩසටහනෙන් එම කාබනික පොහොර නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් දිරි ගැන්වීම අගය කළ යුතු කාරණයකි. රසායනික පොහොර භාවිතයෙන් සිදු වන ජල දූෂණය නිසා කෘෂිකාර්මික ප්‍රදේශවල පදිංචි බොහෝ පිරිසක් වකුගඩු රෝග ආදී විවිධ රෝගාබාධ වලට ගොදුරු වී සිටින අතර කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ රජයේ උත්සාහයට එය ද එක් හේතුවක් වී තිබේ.

තවද මේ වන විට ශීඝ්‍රයෙන් සංවර්ධනය වන අපගේ සංචාරක ව්‍යාපාරය සඳහා සහන සැලසීමට ද මෙම“ හරිත ණය 1“ වැඩසටහනෙන් සිදු කෙරේ. ඒ අනුව දෙස් විදෙස් සංචාරකයින් සඳහා පහසුකම් සලසන සුළු පරිමාණ සංචාරක හෝටල් දියුණු කර ගැනීමට ද මෙම ණය ඉල්ලුම් කළ හැකි වේ.

ඒ අනුව ඉහත සඳහන් කළ සියලු අවශ්‍යතා සඳහා රුපියල් මිලියනයක් දක්වා වන ණය මුදල් මෙම “හරිත ණය 1“ වැඩසටහන හරහා ඉල්ලුම් කිරීමට පහසුකම් සළසා ඇත. මෙම ණය නැවත ගෙවීමේ දී වසරක සහන කාලයක් ද සහිතව වසර 10 ක කාලයක් හිමි වන අතර පොලි අනුපාතය ලෙස අයකරනු ලබන්නේ සියයට 6.75 ක් පමණි. මෙම ණය ඉල්ලුම් කිරීමේදී බැංකුවට පිළිගත හැකි සුරැකුම් ඉදිරිපත් කළ යුතුය.

“හරිත ණය 1 “ වැඩසටහන යටතේ මෙරට ත්‍රීරෝද රථ කර්මාන්තයේ යෙදෙන ත්‍රීරෝද රථ රියැදුරන් සඳහා ද විශේෂ ණය මුදලක් හඳුන්වාදීමට පියවර ගෙන ඇත. එනම් ත්‍රීරෝද රථ සඳහා ජී. පී. එස් . තාක්ෂණය සහිත මීටර් පද්ධති සවිකර ගැනීම සඳහා රුපියල් විසි දහසක් දක්වා වන ණය මුදලක් ලබාදීමට පියවර ගෙන තිබීමයි. ඒ සඳහා පොලිය ලෙස අයකරනු ලබන්නේ සියයට 6.71 පමණි. “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා “ වැඩසටහන යටතේ දේශීය ව්‍යවසායකයින් බලාපොරොත්තු වන “හරිත ණය 1“ හී පොලී සහනාධාරය ලබා දීමට පමණක් මේ වසර සඳහා රුපියල් මිලියන 60 ක මුදලක් වෙන් ව තිබේ.

“එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා“ සමස්ත වැඩසටහන තුළ නව රැකියා අවස්ථා මිලියනයක් බිහි කිරීමට හැකි වෙතැයි අපේක්ෂාව වී ඇති අතර “හරිත ණය 1“ ඉල්ලුම් කරන දේශීය ව්‍යවසායකයින්ට ද එලෙස ලබා ගන්නා ණය මුදල් යොදවා පරිසර හිතකාමී තම ව්‍යාපාර හා නිෂ්පාදන තවදුරටත් පුළුල් කිරීමට ඒ හරහා දහස් සංඛ්‍යාත නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමටත් හැකි වෙතැයි තක්සේරු කර තිබේ.

Comments