ගෙදර සංචාරක හෝටලයක් කරන්න හෝම් ස්ටේ හරිත ණයක් | සිළුමිණ

ගෙදර සංචාරක හෝටලයක් කරන්න හෝම් ස්ටේ හරිත ණයක්

ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන්ම විදේශිකයකයන්ගේ ආකර්ෂණයට ලක්වූ දිවයිනකි. විවිධ යුග වලදී ආසියාව,යුරෝපය ආදී රටවල් රැසකින් සංචාරකයින් අපේ රටේ ස්වභාව සෞන්දර්ය රස විඳීමට මෙරටට පැමිණ ඇති බවට ඉතිහාසයේ විවිධ පුරාවෘත්තයන් හී සටහන්ව තිබේ. කෙසේ වුවත් 1960 දශකයේ පමණ සිට විශාල පිරිසකට ජීවිකාව සපයන හා මෙරටට වැඩිම විදේශ ආදායමක් ලබාදෙන කර්මාන්තයක් බවට එය වර්ධනය වීම ඇරඹුණු අතර දශක තුනකට වැඩි කාලයක් මෙරට ආර්ථිකයේ කොදු නාරටිය කඩා දැමූ කුරිරු යුද්ධයේ අවසානයෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ කැපී පෙනෙන සීග්‍ර වර්ධනයක් දකින්නට ලැබුණි.ඒ අනුව පසුගිය වසර අවසානය වන විට එම වසරේදී පමණක් ලක්ෂ විසිපහකට ආසන්න සංචාරකයින් පිරිසක් මෙරට සංචාරය සදහා පැමිණ ඇති බවට වාර්තා පොත් හී සටහන්ව ඇති අතර 2020 වසර වන විට සංචාරක කර්මාන්තය තුළින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක ආදායමක් ඉපැයීම ආණ්ඩුවේ අරමුණ වී තිබේ.

විදේශීය සංචාරකයින් වැඩි පිරිසක් මෙරට සංචාරය සදහා උනන්දු වන ප්‍රධාන සාධකයක්ව ඇත්තේ ශ්‍රී ලංකාව වටා ඇති දර්ශනීය මුහුදු තීරයයි. තවද ගංගා,දිය ඇළි,කදු හෙල්, වනාන්තර වැනි මෙරට ස්වභාව සෞන්දර්යේ අසිරිය විදීමටද , මෙරට තුල පිහිටි ආගමික හා සංස්කෘතික ස්ථාන, ඓතිහාසික නටබුන් දැක බලා ගැනීමටද, විනෝදය,ව්‍යාපාරික කටයුතු හා සාකච්ඡා සම්මේලන ආදිය සදහා සහභාගී වීමටද, ශ්‍රී ලාංකික ජනතාවටම ආවේණික ප්‍රණීත ආහාරපාන රස විදීමටද, ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය හා සුහදතාවය පිළිබඳව ලොව පැතිර ඇති කීර්තිය අත් දැකීමටද මෙම සංචාරකයින් අතර වැඩි උනන්දුවක් ඇති බව කියවේ.

ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඉතාලිය, සෞදි අරාබිය, චීනය, රුසියාව, තායිලන්තය, ඇමරිකා එක්සත්ජනපදය, ජපානය, ඉන්දියාව, නෙදර්ලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල් රැසකින් මේ වන විට සංචාරකයින් වැඩි පිරිසක් මෙරටට පැමිණෙන බව වාර්තා වන අතර එලෙස පැමිණෙන විදේශීය සංචාරකයින් සදහා අත්‍යවශ්‍ය වන කාමර පහසුකම් වලින් තවමත් අප රට පරිපූර්ණ වී නැත. කර්මාන්තය තුල ඇති වී ඇති ප්‍රබෝධය හා වර්ධනයත් සමග හෝටල් හා නිවාඩු නිකේතන රැසක් පසුගිය කාලය තුල අලුතෙන් ඇරඹුණද තවදුරටත් මෙම ක්ෂේත්‍රය සදහා අවශ්‍ය කාමර සංඛ්‍යාව වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එහි එක් පියවරක් ලෙස වසර 2025 වන විට ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත් කිරීමේ අරමුණින් හා මෙරට ව්‍යව්‍යසායක පාරාදීසයක් බවට පත් කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය” යටතේ දෙස් විදෙස් සංචාරකයන් සඳහා ආකර්ෂණීය නවාතැන් පහසුකම් ප්‍රවර්ධනය කිරීම සදහා “හෝම් ස්ටේ හරිත ණය යෝජනා ක්‍රමය” නමින් ඉතාම සුවිශේෂ ණය යෝජනා ක්‍රමයක්ද හදුන්වා දීම සදහා කටයුතු යොදා තිබේ.

දෙස් විදෙස් සංචාරකයන් සඳහා හොඳ නවාතැන් පහසුකම් සහිතව නිවසකට යාබදව ඇනෙක්සියක් හෝ සත්කාරක කුඩා නිවහනක් ඉදි කර ගැනීම සදහා වැය වන මුදල ණය මුදලක් ලෙස මෙහිදී ඉල්ලුම් කළ හැකි අතර සංචාරක ප්‍රදේශවල නිවාස පිහිටි එම නිවාසවල අයිතිය සින්නක්කරව ඇති අය සදහා මෙම ණය මුදල් ලබා දීමටද තීරණය වී ඇත.

“හෝම් ස්ටේ හරිත ණය යෝජනා ක්‍රමය” යටතේ මෙලෙස දෙස් විදෙස් සංචාරකයන් සඳහා නවාතැන් පහසුකම් සහිතව නිවසකට යාබදව ඇනෙක්සියක් හෝ සත්කාරක කුඩා නිවහනක් ඉදි කර ගැනීම සදහා රුපියල් ලක්ෂ පනහක් දක්වා ණය මුදලක් ලබා ගත හැකි අතර එම ණය මුදල සඳහා අය කරන ලබන පොලී මුදලෙන් හරි අඩකටත් වඩා ගෙවනු ලබන්නේ රජය විසින් වීම විශේෂත්වයකි. ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගන්නා ණය සදහා අය කෙරෙන 13.5% පොලී මුදලෙන් 7.5%ම බැංකු වෙත ගෙවීම රජය මගින් බාර ගෙන ඇත. ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශිය සංවර්ධන බැංකුව මගින් “හෝම් ස්ටේ හරිත ණය” මුදල් ලබා ගත හැකි වන අතර ණය මුදල ආපසු ගෙවීම සඳහා අවුරුදු දහයක කාලයක් ද ලබා දී ඇත.

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති අතර ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශිය සංවර්ධන බැංකුව යන ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවල ආරම්භ කර ඇති “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” කවුන්ටර‍යේ සබඳතා නිලධාරියා මගින් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මගින් මෙම “හෝම් ස්ටේ හරිත ණය යෝජනා ක්‍රමය” පිළිබද වැඩි විස්තර ලබා ගත හැක.

මේ අතර මෙම ණය මුදල් ලබා දෙනු ලබන බැංකු මගින් මුදල් අමාත්‍යාංශය වෙත වාර්තා කර ඇති ආකාරයට සංචාරක කර්මාන්තය බහුල ලෙස ප්‍රචලිත වී ඇති ප්‍රදේශ රැසකම පදිංචි පිරිස් මෙම ණය ලබා ගැනීම සදහා උනන්දුවක් දක්වන බව කියවේ. දැනටද සංචාරක කර්මාන්තය තම ජීවිකාව කර ගත් පිරිස් හා රටේ ආර්ථික පරිසරය තුළ ඇති වී ඇති නව ප්‍රවණතා හදුනා ගත් නව ව්‍යවසායකයින් රැසක්ද ඒ අතර වෙති. මේ අතර “මෙම එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය” හදුන්වා දීමේ තවත් ප්‍රධාන අරමුණක් සැබෑ කරමින් “හෝම් ස්ටේ හරිත ණය යෝජනා ක්‍රමය” යටතේ ණය ලබා ගෙන මෙම නවාතැන් පහසුකම් අලුතෙන් ආරම්භ වූ පසු තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට නව රැකියා අවස්ථාවන්ද හිමි වනු ඇතැයිද ගණන් බලා තිබීම විශේෂත්වයකි.

Comments