Brain Wash කරවීම හෙවත් නවකයන්ට බැටළු හම පෙරවීම | සිළුමිණ

Brain Wash කරවීම හෙවත් නවකයන්ට බැටළු හම පෙරවීම

එදා නවකවධයේ සුන්දර අත්දැකීම් අප අත්වින්දේ වැඩි ඈතක නොවේ. ජීවිතයේ බොහෝ හැල හැප්පීම් මැද පසු කාලයේ ජීවිතය ගෙවුණද තවමත් ඒ සුන්දර අත්දැකීම් ඒ ආකාරයෙන්ම රසවිඳිමින් සිහිපත්කිරිමේ අවස්ථාව අපට හිමිය. ඒ පාසල් දිවියෙන් අනතුරුව සුහද සිසු හිතකාමි විශ්වවිද්‍යාල ප්‍රවේශයක ආරම්භයක් අප සතුවූ නිසාවෙනි. එහෙත් මේ වන විට යම් යම් තැන්වල ඒ සුන්දර අත්දැකීම් තරමක් ඉතිරි කරමින් නවකවධයේ අසුන්දරත්වය ඉස්මතු වන්නේ නවකවධයෙන්ම සරසවි ජීවිතය සදහටම එපා කරවමිනි. ලිංගිකත්වය, ම්ලේච්ඡත්වය මෙන්ම දරුණු වධයන්ගෙන් යුත් මේ නවකවධයේ ප්‍රවේශය ඔබ අප සිතනවාට වඩා බොහෝ සෙයින්ම වෙනස්ය. මේ බැටළුහම පොරවාගත් නවකවධයේ ම්ලේච්ඡ ප්‍රවේශයන් පසුගිය සති කිහිපයේම සිළුමිණ අපි අනාවරණය කළෙමු. එසේ කළේ තවත් පිරිසකට සරසවිය එපා කරවා බොරු බිල්ලකු මවා පාන්නට නොව මේ අරුම නොවන නරුම කරුම නවකවධය සරසවියෙන් සඳහටම තුරන් කරන්නටය. මේ එහි තවත් එක් පැතිකඩකි.

අද දහසක් සිසුන් දහතුන් වසරක් දුක්විඳවන්නේ විශ්වවිද්‍යාලවලට ප්‍රවේශයක් ලබාගන්නටය. ඒ කෙසේ වෙතත් 2016 හා 2017 අධ්‍යයන වර්ෂ දෙකේදි පමණක් සිසුන් 1989 දෙනෙකු මේ දුර්ලභ අවස්ථාව සිය කැමැත්තෙන්ම අතහැර ගොස් ඇත්තේ කිසිවක් කර ගැනීමට නොහැකි වූ තැනය. එසේ සිය කැමැත්තෙන්ම මේ දුලබ අවස්ථාවන් පැහැර හැරීමට මේ සිසුන්ට පාදක වු පසුබිම් කරුණු කාරණාද නැතුව නොවේ. සාමාන්‍යයෙන් වර්ෂයකට සිසුන් 250‍ 000 ක් පමණ උසස් පෙළ කරද්දි එයින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන්නේ 150000 කි. එයිනුත් විශ්වවිද්‍යාලයට ඇයැදුම් කළ හැක්කේ සිසුන් 75 000 කට පමණි. මේ අතරිනුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විශ්වවිද්‍යාල ප්‍රවේශයට තෝරා ගන්නේ 30 000 ක සිසු පිරිසකි. මෙය එක් අතකින් කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලිම තරම් වු දුෂ්කර වෑයමක් යැයි බොහෝ දෙනෙකුට පසක් වන්නේ අතළොස්සකට පමණක් ඒ මහැඟි අවස්ථාව උරුම වන නිසාය. මෙසේ දුෂ්කර වෑයමකින් ප්‍රවේශය ලැබූ කෙනෙක් මෙසේ ආරම්භයේදිම දහසක් බලාපොරොත්තු හැරයන්නේ සරසවි බිමේ ක්‍රියාත්මක වන මේ අමානුෂික නවකවධය හේතුවෙන් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව මෙන්ම විශ්වවිද්‍යාල පාලනාධිකාරියන් විසින් සොයා ගෙන ඇත්තේය.

මේ වන විට යම් යම් දේශපාලන න්‍යායන් පිටුපස හඹා යන පිරිස් විසින් මේ අමානුෂික නවකවධය විශ්වවිද්‍යාල තුළ ස්ථාපිත කර ඇත්තේ සරසවියට නවක සිසුන් ප්‍රවේශ වීමටත් පෙරය. ඔවුහු මේ හරහා සිසුන්ගේ සරසවි පිවිසිමට ආරම්භයක් සපයන්නේ Brain Wash හෙවත් මනස් ශෝධනයෙනි. බටහිර රටවල Brain Washable Age ලෙස හදුන්වන්නේ වයස අවුරුදු 16 ත් 21 ක් අතර අවධියය. මේ කාලයේ සිදුවන ශාරීරික වෙනස්කම් හේතුවෙන් යම් කෙනෙකුගේ Brain Wash කරවිම හෙවත් ‘මනස් ශෝධනය’ කිරීම මේ අවධියේ අපහසු කරුණක් නොවන්නේ ය. ඉංග්‍රීසි භාෂාව කතා කරවීම තහනම් කරමින් හෝ එසේත් නැතිනම් පුස්තකාල පරිහරණය තහනම් කරමින් හෝ එසේත් නැතිනම් ඇඳුම් පැලඳුම් හෝ කන බොන දේ තහනම් කරමින් සරසවි ප්‍රවේශයේදිම මෙසේ කටයුතු කරන්නේ සිසුන් සරසවි සංස්කෘතියට හුරුකරවීමේ අරමුණින් යැයි පුරෝකථන කරමිනි. එහෙත් එසේ සඳහන් කළත් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ මේ නවකවධයට ප්‍රවේශයක් සැපයීම බව එම සිසුන්ට අවබෝධ වන්නේ මෙසේ පොරවන බැටළු හමින් සැබෑ වෘක්කයන් මතුවන විටදිය. එහෙත් ඒ වන විට සිදුවිය යුතු සියල්ල සිදුවී අවසන්ය. එහෙත් බැටළුහම පෙරවාගත්තායින් පසු දැනෙන තාවකාලික උණුසුම පරිද්දෙන් මෙවැනි කටයුතුවල අවසානය බොහෝ ඛේදනීය වේ.

‘වාත කාලය’, General Body (GB),Welcome Party, අවුරුදු උත්සව, ඇරපා ඇරපීන් පත් කිරීම, ධර්ම දේශනාව, Going down party වැනි විවිධ අවස්ථාවන් උප සංස්කාතිකාංග ලෙස නම් කර ඇත්තේ මේ ම්ලේච්ඡ නවකවධයන්ට ප්‍රවේශයක් සපයන්නටය. එසේම සද්භාවයෙන්ම සංවිධානය කරතැයි රටට ලෝකයාට පෙන්වමින් මේ නවකයින්ගේ සිත් දිනා ගැනිමට උත්සාහ කරන්නේ මේ දරුණු නවකවධයන්ට පොහොර දමන උත්තම උත්තමාවියන්ම වීම මෙහි ඇති හාස්‍ය ජනක කරුණකි. විශ්වවිද්‍යාල භූමිය නවකයින්ට පුරුදු පුහුණු කිරීමට යැයි පවසමින් නවකයින් වෙනුවෙන් විවිධ දෑ සංවිධානය කරන අතර මෙයින් ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ මෙසේ පැමිණෙන නවකයින්ගේ මනස ශෝධනය හරහා නවකවධයට පසුබිම සකස් කිරිමය. මොවුන්ගේ වාතකාලයේ විශ්වවිද්‍යාලයේ යම් යම් ගේට්ටු භාවිත කිරීම තහනම් කිරීම, වාත කාලයේ නේවාසිකාගාර තුළ මධ්‍යසාර භාවිත කිරීම තහනම් කිරීම, ජ්‍යෙෂ්ඨ සිසුන් සමඟ හා වෙනත් පීඨවල සිසුන් සමඟ මධ්‍යසාර භාවිත කිරීම තහනම් වීම (එයින් අදහස් වන්නේ පසුව විශ්වවිද්‍යාල තුළ මධ්‍යසාර පානය කිරීම යෝග්‍ය බවද?), welcome party යෙන් පසුව ප්‍රේම සබඳතා ඇති කරගැනීමට හැකි වුවත් පෙම්වතුන් ලෙස ප්‍රසිද්ධියේ හැසිරීම තහනම් වීම, ඩෙනිම් කලිසම හෝ කමිස විශ්වවිද්‍යාලය තුළට ඇඳිය නොහැකි වීම, welcome party යෙන් පසුව කොට කලිසම හා ටී ෂර්ටය ඇඳිය හැකි වීම, පළමු වසර පුරාම ඩෙස් බංකු වල හිඳ ගත යුතු බව, එසේම පළමු වසර පුරාවටම පිරිමි ළමයින් රැවුල කොණ්ඩය නොවැවීම හෝ welcome partyට කලින් අංක 2 න්ම කොණ්ඩය කැපීම මෙන්ම ගැහැනු ළමයින් චීත්ත ගවුමින් සැරසීම අනිවාර්ය වීම, වාත කාලයෙන් පසුව පුස්තකාලය පරිහරණය කළ හැකි වන්නේ අයිස් ක්‍රීම් පාටියෙන් පසුව වීම මේ අතර මවා ගත් සාර ධර්ම කිහිපයකි.

සාමානාත්මතාව, සරලබව, කීකරුකම, නීතිගරුක විම, සමූහ සිරිත් පිළිපැදීම වැනි ධනාත්මක යැයි හැඟෙන කරුණු කාරණා ඔස්සේ මේ මනස් ශෝධනයේ අරමුණ වන්නේ මේ කුරිරු නවකවධයට පසුබිම සැකසිම හා ඇතැම් පසුගාමී දේශපාලන මත දරන්නන්ගේ හීනමාන න්‍යාය ක්‍රියාවේ නැංවිමට පසුබිමක් සැකසිමය.

මේ පිළිබඳ සාක්ෂි බොහෝමයකි. මේ වන විට එසේ බැටළුහම පෙරවාගත් සමානාත්මතා න්‍යායෙන් බැටකෑ සිසුහු බොහෝමයක් සරසවි ජීවිතයට අකාලයේ ආයුබෝවන් කියා ඇත්තේ ඒ තුළ සැඟවුණු භයානක වෘකයා ඉස්මතු වීමෙනි. මේ ඒ දරුවන්ගේ දෙයතින් ලියැවුණු සාක්ෂිය.

“2018/5/6 වැනි දින xxxxx විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ welcome දවස තුළ සිදුවූ මෙම නවකවධ ප්‍රශ්නය සිදුවූයේ පූර්ව සූදානමක සිටය. මීට කලින් පහරදීම් බැන වැදීම් සිදුවු නමුත් මෙතරම් දරුණු වේයැයි අප සිහිනෙන්වත් නොසිතූවෙමු.....2018 මැයි මස 5 වන දින අපව රාත්‍රී 11 ට පමණ නේවාසිකාගාර වලින් ඉවතට රැගෙන ගියේ ය. එදින වෝර්ඩන් සර්ද නොසිටි බැවින් අපට කීමට කවුරුත් නොසිටියහ. නමුදු අප නේවාසිකාගාරයෙන් පිටතට යද්දි මුරකරු කුටියේ වූ පොතේ අත්සන් තබා ගියෙමු. ශ්‍රවණාගාරයට යාමට පෙර ඒ ළඟවූ xxxxx මාවතට අපි ගෙන්වා ගතිමු. එතැන සිනියර්ස්ලා 7-8 දෙනෙකු පමණ සිටියහ. ඒ සියල්ලෝම දමිල අය වූහ. ඔවුන් සමහරක් මත්පැන් පානය කර සිටියහ. පළමුව ඔවුන් බීමට ආරාධනා කළහ. අප බීම ප්‍රතික්ෂේප කළ හෙයින් ඔවුන් අපට අතින් හිසට, පිටට වේගයෙන් පහර දුනි. තවද එකිනෙකාට පහර දීමට අනුබල දුනි. සමහර සිසුන්ට බලෙන් බියර පෙවීය. බලෙන් බියර් පොවා පහර දුනි...........මේ ආකාරයෙන් උදැසන 5 වන තෙක් අපව තබා ගත්තේය. ඔවුන්ගේ අතට නිල්පාට ස්ප්‍රේ එකක් හමුවි අපට පෝලිමට පැමිණ කලිසම ගලවන ලෙස අණ කෙරීය. ඉන්පසු අපගේ පශ්චාද් භාගය නිල් පාටින් පාට කළේය. මේ කාලය තුළ ඔවුන් අපට වතුර පොදක්වත් ලබා දීමට කටයුතු නොකළ අතර මා විසින් අමාරුවෙන් අවසර ලැබ වතුර ගෙන ඒමට කටයුතු කළෙමි. මා වතුර ගෙන එන අතරතුර xxxxx ශිෂ්‍යයා ක්ලාන්ත වි වේදිකාව මත වැටි සිටියේය. ඔහුගේ තත්ත්වය දරුණු අතට පත්වු විට පවා ඔහුව රෝහල කරා ගෙන යෑමට ඔවුහු බාධා කළේය.......” මේ නවකයින් ලක්වූ තවත් එක් පිළිගැනීමේ සුහද හමුවක ඇතුළාන්තයකි.

මෙවැනි ඛේදනීය තත්ත්වයන් දරා ගැනීමට නොහැකි වු බොහෝ සිසු පිරිසක් මේ වන විට දරුණු මානසික පිඩාවන්ට ලක්වි හාමාරය. එසේම මේ වන විට මේ බොහෝමයක් සිසුන් සරසවි අතහැර ගොස් ඇති අතර තවත් විශාල ප්‍රමාණයක් මේ දරුණු නවක වධකයන්ගෙන් බේරීමට සරසවි මාරුවීම් කර ඇත්තේ කෙසේ හෝ අධ්‍යාපන කටයුතුකර ගෙන යෑමේ අභිලාශයෙනි.

විශ්වවිද්‍යාල සිසුන්ගේ මනස් ශෝධනයේ තවත් උපක්‍රමයක් වන්නේ General Body හෙවත් GB ය. ඔවුන් පවසන පරිදි මෙම GB හි භාරකාරත්වය හිමිවන්නේ ඇරපා වරුන්ට හා ඇරපාවරියන්ටය. විශ්වවිද්‍යාල සංස්කෘතියට යමක් එක්කළ හැක්කේ GB ට පමණි. මෙහි සිදුවන කිසිම දේකට පළිගැනිමක් සිදුකළ නොහැකි බවට ඔවුන් නීතියකින්ම තහවුරු කොට ඇත්තේය. සරසවිවලට පිවිසෙන නවකයින්ට මේවා අලුත් අත්දැකීමක් වන හෙයින් බොහෝ සිසුහු ආරම්භයේදීම මේවාට නිරායාසයෙන් හසුවෙති.

“සරම හා කමිසය පමණක් හැඳීමට දෙන අතර යට ඇඳුම් ඇඳීමට ඉඩ ලබා නොදේ. මෙම ඇඳුම් පමණක් පරිහරණය කරන විටදී මගේ අවයව අතපත ගෑම් සිදුකැර ඇත. මම ABB සහිතවු උසස් පෙළ ප්‍රතිඵලයක් හිමි අතර මා 1.4310 සහිත Z අගයකින් යුක්ත වේ. ........තවද නවකවධයේ නිමාවෙන් පසුව අයියලා අක්කලා නොයෙකුත් කරුණු කියමින් මා හට කරදර කිරිමටත් අවයව අතපත ගෑමත් සිදු කරනවා. එසේම නොයෙකුත් බොරු පවසමින් මාව බීච් එකට ආතල් එකක් ගැනීමට රැගෙන යාමටද උත්සාහ කරනවා. මෙවැනිදැ තුළින් මා මානසික පීඩනයකටද ලක්වී ඇත. (මෙම ලිපියේ අග සඳහන් කළ නොහැකි පරිදි ඔහු විසින් ලද ලිංගික හිරිහැර සඳහන් කර ඇත.) ඒ 2017 දෙසැම්බර් මස සරසවි වරම් හිමිවි මේ වන විට ඒ සියල්ල ආපසු හරවමින් නවක වධයෙන්ම සරසවි ජිවිතය තිත්ත වු සිසුවෙකුගේ අභියාචනයකි.

“මගේ එකම පිරිමි දරුවා වන xxxxx, xxxxx විශ්වවිද්‍යාලයේ සිට 2018/5/7 දින ඔහුට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහර දුන් බවත් ඔහුගේ හිස අධික ලෙස රිදෙන බවත් පවසමින් හඬමින් පවසා සිටියා. ...මේ සිද්ධියෙන් පසුව දරුවා දැඩි ශාරීරික හා මානසික පීඩාවකින් පෙළේ. ඔහුව නැවතත් එම විශ්වවිද්‍යාලයට යැවීමට අපටද බියක් පවතියි...” ඒ දෙමවුපියන් විසින් තම දරුවා වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යැවු ලිපියක කොටසකි.

මේ තවත් එවැන්නකි “නවකවධයන්ට විරුද්ධව පැමිණිලි කළ නිසා ඔවුන් මට මරණ තර්ජනය කරනු ලැබුවා..... අවුරුදු 13ක් ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයට ගියත් නවකවධයට මුහුණ දි ඔවුන්ගේ පහර කෑම් වලට ලක්ව රෝහල් ගතවී ප්‍රතිකාර ලැබුවත් සාධාරණයක් ඉටුවි නොමැත. අධ්‍යාපනයද, ජීවිතයද යන ප්‍රශ්නයට මට දැන් මුහුණ දිමට සිදුවි තිබෙනවා. සිනියර්ස්ලාගේ පේරන්ට්ස්ලා පොලිසියේ උසස් නිලධාරින් නිසා පොලීසියෙන් සාධාරණයක් ලැබෙන්නේද නැත. දින 82 ක්ම විශ්වවිද්‍යාලයට යාමට නොහැකි වූයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සාහසිකත්වය හා කෘරකම නිසාය. විශ්වවිද්‍යාලයේ සී.සී.ටී වි කැමරා තිබෙනවා නම් 2018/6/18 පස්වරු 3 සිට 5 දක්වා දර්ශන නරඹන ලෙස ඉල්ලා සිටිනවා. පිරිමි සීනියස්ලා පමණක් නොව ගැහැණු සිනියස්ලා මට තර්ජනය කරමින් පහර දිමට උත්සාහ කරනු දැකිය හැකිය....”

මෙම නවකවධයේ ඇති භයානකකම වි ඇත්තේ අද මෙවැනි තොරතුරු අනාවරණය කරද්දී එවා සාධාරණීකරණය කරමින් ඊට උල්පන්දම් දෙන්නන්ද සිටීමය. ඒ ඔවුන්ට දරු කැක්කුම මෙන්ම සහෝදරකම නොදැනෙන නිසාද යන්න අපට තේරුම් ගත නොහැක. සරසවියට බැටළුහම් අවශ්‍ය නැත. වෘක්කයන්ද අවශ්‍ය නැත. එයට ප්‍රවේශයක් ලබන්නේ රටේ උගත් පිරිසකි. එසේම හොඳ නරක දෙක විඥානයෙන් අවබෝධ කිරීමට හැකියාවක් ඇති පිරිසක්ය. එසේ හෙයින් මෙසේ නවකයන්ට සිදුවන මෙබඳු දරුණු හිංසා දුරු කිරිම මෙන්ම සරසවි බිමෙන් ම්ලේච්ඡත්වය තුරන් කිරීමට අප සැම එක්විය යුතුය.

ලිපි පිටපත් කිරීම - විමල් කරුණාතිලක

අදහස්