රුපියලට මොකද වුණේ ? | සිළුමිණ

රුපියලට මොකද වුණේ ?

''ඇමරිකානු පාලනය මෑතක සිට පොලී අනුපාත වෙනස් කර ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය ආර්ථීක වර්ධනය අරමුණු කරගෙන තීරණ ගන්නා බව ජාත්‍යන්තර මූල්‍ය වාර්තා පෙන්වා දී තිබේ. මාස විසි දෙකක් තුළ හත් වතාවක් පොලී අනුපාත වෙනස් කරන ලද අතර ලබන දෙසැම්බරයේ දී නැවත වතාවක් පොලී අනුපාත වෙනස් කරන්නට නියමිතය''

''2017 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 7.16ක් විදේශගත ලාංකිකයන්  එවා තිබේ. එදා මිලට වඩා රුපියල වෙනස් වී ඇති අවස්ථාවක මෙරට දරු පවුල්වලට ලැබෙන ආදායම ඉහළ යයි. නමුත් මෙම සියලු පැති තාවකාලික වන අතර ස්ථාවර බවක් ඇති කරගැනීම වැදගත් බව සඳහන් කිරීම අවශ්‍යය ''

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ. විවෘත ආර්ථික ක්‍රමය සහ විනිමය පාලන රෙගුලාසි ලිහිල් කර ඇති පසුබිමක මෙවැනි උච්ඡාවචන අපේක්ෂා කළ යුතුය. නිර්බාධී ආර්ථික ක්‍රම ඇති ලෝකයේ ධනවත් රටවල මෙවැනි වෙනස්කම් සිය වාසියට හරවා ගැනීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙයි. නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත නමුත් නිර්බාධී එකක් නොවේ. ඇතැම් අංශ ආණ්ඩුවේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනයට යටත්ය. දියුණු වෙමින් පවතින මැදි ආදායම් රටක් වශයෙන් අභියෝග තිබේ. රටට ඉල්ලුමට ප්‍රමාණවත් විනිමය නැත. අධි ඉල්ලුමක් පවතින අවස්ථාවල විනිමය අනුපාත දුර්වලවීම වැළැක්විය නොහැකිය.

රුපියලේ අගය මෙම වසරේ ගත වූ මාස දහය තුළ සියයට දොළහක පමණ පිරිහීමක් වාර්තා කර තිබේ. එයට හේතුව අභ්‍යන්තර හා බාහිර වශයෙන් අංශ දෙකකට වෙන් කර දැක්විය හැකිය. අභ්‍යන්තර පසුබිම අනුව ශ්‍රී ලංකාව විනිමය හිඟ රටකි. අවශ්‍ය අවස්ථාවල ජාත්‍යන්තර ණය හා සංවර්ධන බැඳූම්කර වලින් හිඟය පියවා ගැනීමට සිදුවී තිබේ.

පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 11.4 ක අපනයන කරන අවස්ථාවක ඇමරිකානු ඩොලර් බිලියන 21 ක් වටිනා ද්‍රව්‍ය ආනයනය කර තිබේ. ආසන්න වශයෙන් අපනයනයෙන් උපයන තරම මෙන් දෙගුණයක් ආනයන වෙනුවෙන් වියදම් කර ඇත.

ආනයන සීමා කරන්නට හැකියාවක් නැත. මැදි ආදායම් රටක ජනතාවගේ අවශ්‍යතා ඉහළය. වාහනයක්, නිවසට අවශ්‍ය විදුලි මෙවලම්, ඇඳූම් පැලඳූම් සහ ආහාර ආනයනය නතර කළ හැකිද? එවැනි තීරණයක් විශාල විරෝධයකට හේතු විය හැකිය.

අවසානයේ දී විනිමය හිඟයක් මතුවන අතර එය රුපියලේ අගය අවප්‍රමාණය වීමට බලපාන කාරණයකි. ආනයන වලට අවශ්‍ය තරම් විදේශ විනිමය සම්පත් සහිත පසුබිමක් පවතී නම් මෙවැනි හදිසි පීඩන ඇති නොවේ.

අනෙක ජාත්‍යන්තර ස්වභාවයයි. ඇමරිකානු පාලනය මෑතක සිට පොලී අනුපාත වෙනස් කර ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය ආර්ථීක වර්ධනය අරමුණු කරගෙන තීරණ ගන්නා බව ජාත්‍යන්තර මූල්‍ය වාර්තා පෙන්වා දී තිබේ. මාස විසි දෙකක් තුළ හත් වතාවක් පොලී අනුපාත වෙනස් කරන ලද අතර ලබන දෙසැම්බරයේ දී නැවත වතාවක් පොලී අනුපාත වෙනස් කරන්නට නියමිතය. වාර්තා පෙන්වන අන්දමට ඉදිරි මාස පහළොව තුළ ඇමරිකානු පොලී අනුපාත තවත් අවස්ථා පහක දී වැඩි කරන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්ව තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝකයේ නොයෙක් රටවල ආයෝජන ඇමරිකාව වෙත යොමු වෙමින් තිබේ.

වෙනස් වන පොලී අනුපාත වලින් ලාභ අපේක්ෂා කරන නොයෙක් ආයෝජකයන් සිය වත්කම් ආයෝජනය කරන ප්‍රතිපත්ති වෙනස් කර ඒවා ඇමරිකාවට යොමු කරන විට ලෝකයේ අනෙක් පැති වල ඩොලර් හිඟයක් ඇති වන අතර ප්‍රබල ආර්ථිකයක් සහිත රටවලට එය සුළු කුණාටුවක් නමුත් ශ්‍රී ලංකාව වැනි යාන්තම් නැඟී සිටින්නට වැර දරන රටකට එය සුනාමි ව්‍යසනයකි.

ඇමරිකාව හා චීනය අතර මෝදු වන වෙළඳ යුද්ධය ද සුළු කොට තැකිය යුතු නැත.

චීනයෙන් කරන ආනයන වෙනුවෙන් බදු වැඩි කර ඇමරිකානු ඩොලර් බිලියන 200ක් උපයා ගන්නට ඇමරිකාව සැලසුම් කරන විට එයට ප්‍රතිවිරුද්ධව චීනය බදු නංවා ඇත. ඇමරිකාවෙන් ගෙන්වන භාණ්ඩවලට බදු වැඩි කර චීනය උපයා ගන්නට ඉලක්ක කරන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 600 කි. මෙම සිද්ධි මූල්‍ය වෙළඳ පොළ නොසන්සුන් කර තිබේ.

මෑත කාලය තුළ මුදල් අවප්‍රමාණයවීමේ අර්බුදයට මුහුණ පෑ රටවල් මොනවාද? ජාත්‍යන්තර වාර්තා අනුව වෙනිසියුලාවේ මුදල් අගය සියයට 99 කින් පහත වැටී ඇත. ආර්ජන්ටිනාවේ පේසෝ මුදල සියයට 53 කින් අවප්‍රමාණය වී තිබේ.

එයට මුහුණ දීම අරමුණු කරගෙන ජාත්‍යන්තර මූලට අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන පනහක වාර්තාගත ණය මුදලක් ඉල්ලා ඇති අතර එය නොලැබුණහොත් දැනට පවතින සියයට විසි හයක පමණ උද්ධමන අනුපාතය පාලනය කර ආර්ජන්ටිනාවට හිස ඔසවන්නට හැකියාවක් නැති බව පෙන්වා දී තිබේ.

තුර්කියේ ලීරා මුදල් අගය සියයට 40 කින් අවප්‍රමාණය වී ඇත. බ්‍රසීලයේ සියයට විස්සකින්, දකුණු අප්‍රිකාවේ සියයට පහළොවකින්, රුසියාවේ සියයට පහළොවකින් හා ඉන්දියාවේ සියයට එකොළහකින් මුදල් ඒකක පහත වැටී තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා වන විට ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 168 ඉක්මවා ගිය අතර පසුගිය සතියේ මැද එය 163.78 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කළේය. එය සෑහෙන අවප්‍රමාණයකි. නමුත් වසර අවසාන වන විට යම් ස්ථාවර භාවයක් බලාපොරොත්තු විය හැකිය.

ඩොලර් මිල වැඩි වන විට වාණිජ බැංකු තමන් සතු මුදල් අලෙවිය අරඹයි. එය බැංකු වල ආදායමේ කොටසකි.

විදේශ රටවල රැකියා කරන පිරිස එම රටවල නතර කරගෙන සිටින මුදල් එවන්නට පටන් ගනී.

මාස කිහිපයකට කලින් රුපියල් 132ට වඩා අද රුපියල් 168 ක් ලැබෙන විට එය පවුලට හොඳ ආදායමකි. අනෙක අපනයන සමාගම් පවා මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නට ඉඩ තිබේ.

පිටරටවලට විකුණන ලද භාණ්ඩ වලට ලැබිය යුතු මුදල් වහා ගෙන්වා ගත හොත් මෙරට තුළ දී ලැබෙන ආදායම වර්ධනය වෙයි. එහෙයින් ඉන්වොයිස් එකතු කර ගන්නට නැඹුරු වෙයි.

මෙයින් ලැබෙන අලුත් විදේශ විනිමය රුපියලේ අගය යම් ස්ථාවර මට්ටමක් ඇති කරනු ඇත.

විනිමය අගය අනුව රටට ආනයනය කරන සෑම ද්‍රව්‍යයකම මිල ඉහළ නඟින බව පිළිගත යුතුය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල වැඩි වීම අඩු ආදායම් ලබන ජනතාවට ගැටලුවකි.

කෙසේ වෙතත් අගය අඩුවීම මත මෙරට භාණ්ඩ හා සේවා මිල පහත වැටේ. එය වාසියකි. ශ්‍රී ලංකාවෙන් අපනයන කරන දේ මිල අඩු වන විට ගැනුම්කරුවෝ සමීප වනු ඇත. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම වැදගත්ය. එය අපනයන ප්‍රගතියට හේතුවකි.

මෙරට වැසියෝ මිලියන දෙකක් පමණ විදේශගතව සේවය කරති. පවුල් මිලියන දෙකක ප්‍රමාණයක් රුපියලේ අගය අවප්‍රමාණ වීම මත වැඩි ආදායමක් ලබයි. 2017 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 7.16ක් විදේශගත ලාංකිකයන් එවා තිබේ. එදා මිලට වඩා රුපියල වෙනස් වී ඇති අවස්ථාවක මෙරට දරු පවුල්වලට ලැබෙන ආදායම ඉහළ යයි. නමුත් මෙම සියලු පැති තාවකාලික වන අතර ස්ථාවර බවක් ඇති කරගැනීම වැදගත් බව සඳහන් කිරීම අවශ්‍යය.

විනිමය අනුපාතිකය ස්ථාවර කර රුපියල ශක්තිමත් කළ හැක්කේ කෙසේද? අපනයන නැංවිය යුතුය. අපනයන සංවර්ධන මණ්ඩලය වසර 2025 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 25ක අපනයන ආදායමක් ඉලක්ක කර තිබේ. එම ඉලක්කය සාක්ෂාත් කරගැනීම සඳහා රට පුරා මෙහෙයුමක් අවශ්‍යය. අපනයනය කළ හැකි සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කළ යුතු වෙයි. අනෙක සංචාරක ව්‍යාපාරය හා විදේශ ආයෝජන බව සඳහන් කළ යුතුය.

ගැටුම් අවසන් වීමෙන් පසු රටට එන සංචාරක ප්‍රමාණය වැඩිවී තිබේ.

වසර 2020 වන විට මිලියන හතරක සංචාරක ආකර්ෂණයක් ඉලක්ක කරයි. සෘජු හෝ කොටස් වෙළඳ පොළ ආයෝජන වැඩි කර ගැනීම අවශ්‍යය. මෙකී වුවමනා සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් දේශපාලන සංදර්ශන පැත්තකින් තැබිය යුතු අතර ඒකරාශී වැඩපිළිවෙළක් සකස් කරන්නට අවශ්‍යය. රුපියලේ අගය අවප්‍රමාණයේ දී අවාසි අතර කිසියම් වාසි සහගත තත්ත්වයක් ද ඇත. නමුත් ස්ථාවර විනිමය අනුපාතිකය ඉතාම වැදගත්ය.

විනිමය ස්ථාවරව පවතින රටක ආර්ථිකය සුරක්ෂිතය. විශේෂයෙන් විදේශ විනිමය පාලනයකින් තොරව නිදහසේ පවතින පසුබිමක මිල උච්ඡාවචනය ඉතාම අවම මට්ටමක පවත්වා ගැනීම යහපත්ය.

ශ්‍රී ලංකාව තද මූල්‍ය පාලනයක් අනුගමනය කළ යුතු අවධියක පසුවෙයි. අනවශ්‍ය ආනයන අඩු කරන්නට අවශ්‍යය. මොනවා හෝ විකුණා විදේශ විනිමය උපයා ගැනීමට අවධානය යොමු කිරීම සුදුසුය.

සෘජු විදේශ ආයෝජන, සංචාරක ආදායම හෝ කොටස් වෙළඳ පොළ මඟින් විදේශ වත්කම් උපයා ගැනීමට හැකි වන කෙටි හා ඉක්මන් ක්‍රියාමාර්ග කෙරෙහි අවතීරණ විය යුතුය.

 

Comments