රට පැටලූ ප්‍රභූ ඝාතන කතාවේ අතරමැදියන්ගේ පැටිකිරිය මෙන්න | සිළුමිණ

රට පැටලූ ප්‍රභූ ඝාතන කතාවේ අතරමැදියන්ගේ පැටිකිරිය මෙන්න

පසුගිය 12 වැනිදා දූෂණ‍ විරෝධි බළකායේ නිර්මාතෘ යැයි කියා ගන්නා නාමල් කුමාර වරකාපොළ නමැත්තා මධ්‍යයට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය.

එදින ඔහු මාධ්‍යයට ‍ඉදිරිපත් කළ හඬ පටයක් ඇසුරෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ (TID) නි‍‍යෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එල්ල කළ චෝදනා පිළිබඳව පරීක්ෂණ කටයුතු මේ වන විට පැවැත්වෙමින් තිබේ. එම පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යැවීමට නීතිය හා සාමය අමාත්‍යාංශය පොලිස් කොමිසමට කළ ඉල්ලීමට අනුව පොලිස් කොමිසම විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයාව අනිවාර්ය නිවාඩු ගන්වා ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ පසුගිය 19 වැනිදාය.

නාමල් කුමාර නමැත්තා ද තම පදිංචි ප්‍රදේශය වූ වරකාපොළ හැර දමා වෙනත් ප්‍රදේශයකට පලා යන බව මාධ්‍යයට පවසා තිබුණේ තම ජීවිත ආරක්ෂාව පතාය. නාමල් කුමාරගේ හෙළිදරව්වත් සමඟ නාමල් කුමාර පසුගිය කාලයේ සිදුකළේ යැයි කියන ඇතැම් පාවාදීම් ද කරළියට ආවේය. මෙය අවස්ථාව කරගත් අගතියට පත් කිහිපදෙනෙක් ම පසුගිය 13 වැනිදා පොලිස් කොමිසම වෙත ඔහු පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කළහ. ඒ මෑතකදී සිදුවූ මහනුවර සිද්ධියේදී අත්අඩංගුවට ගෙන දැනට බන්ධනාගාරගතව සිටින අමිත් වීරසිංහගේ බිරිය වූ ජයංගනී සිතුමිණි නමැත්තිය හා සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් නමැත්තායි. ඔවුන් ඉල්ලා සිටින්නේ අහේතුකව තමන් පීඩාවට පත් කරමින් ජාතික අපරාධ සැලසුම් කරන මේ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය.

කවුද මේ නාමල්?

වරකාපොළ කරඳතුල්හිරිය ග්‍රාමයේ විසූවත් නාමල් කුමාර අම්පාර මහඔය ප්‍රදේශයේ හැදී වැඩුණු පුද්ගලයෙකි. ඔහු කොළඹට සංක්‍රමණය වීමෙන් අනතුරුව වරකාපොළ ප්‍රදේශයේ බාහිර උපාධි අපේක්ෂිත තරුණියක හා විවාහ වීමෙන් පසුව එම ප්‍රදේශයේ බින්න බැස තිබේ. පසුව එම ගම් ප්‍රදේශයේ පවුල් කිහිපයක් විසින් කරගෙන ගිය මත්ද්‍රව්‍ය මත්පැන් ජාවාරමට එරෙහිව ඔහු කටයුතු කර තිබිණි. ඒ අතර අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ පාඨමාලාවක් හැදෑරූ බව කියැවිණි. ඉන් පසුව හෙතෙම මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යසාධක බළකායට ද එක්ව රට පුරා ගොස් මත්ද්‍රව්‍ය නිවාරණයට දේශන පවත්වා තිබිණි.

මේ තැනැත්තා දූෂණ විරෝධි බළකාය නැමති සංවිධානය අරඹන්නේ ෆේස් බුක් පිටුවකිනි. ඔහු පවසන ආකාරයට ප්‍රංශයේ වෙසෙන බවට සැක කෙරෙන තුෂාර පීරිස් නමැත්තෙක් ඔහුට හමුවන්නේ මේ ෆේස්බුක් පිටුව හරහාය. ඔහු නාමල්ගෙන් ඉල්ලා තිබුණේ ආගමික අන්තවාදයට එරෙහිව නැගී සිටීමට අවශ්‍ය වටපිටාව සකසමින් මිනිසුන් සන්නද්ධ කරන ලෙසය. ඊට අවැසි අවි ආයුධ ඔහු විසින් මෙරට නැගෙනහිර මුහුදු වෙරළට බෝට්ටුවකින් එවත හැකි බවයි. ඒ සටනට අවශ්‍ය ශක්තිය දෙමළ සාමාජිකයෙක් වූ නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වූ පුෂ්පරාජ් නමැත්තා ද එක්කර ගන්නා ලෙස ඔහු විසින් පැවසූ බව නාමල් විසින් මාධ්‍ය හමුවේදී හෙළිකර තිබිණි.

ඔහු පොලිස්පතිවරයා හමුවන්නේ මේ තොරතුරු කියන්නටය. පොලිස්පතිවරයා විසින් නාමල්ව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නාලක ද සිල්වා වෙතට යොමු කර තිබිණි. නාමල් කුමාර හා නාලක සිල්වා අතර මිත්‍රත්වය ඇතිවන්නේ ඒ හඳුනා ගැනීමෙනි. අනතුරුව ඔහු පොලිස් ඔත්තුකරුවෙක් ලෙස කටයුතු කරන්නට පටන් ගත්තේය. තමන් හා එක්ව කටයුතු කළ පුද්ගලයන් කීප දෙනෙක් පොලිසියට කොටු කරන්නට හෙතෙම ඔත්තු සැපයුවේය. ඒ කතාවත් ඔහු මාධ්‍ය හමුවේදී කීවේය.

පසුගිය වර්ෂයේ ගල්කිස්සේදී සිදුවූ රෝහින්ග්‍යා සරණාගත ප්‍රශ්නයකදී ඔහු විසින් අරඹේපොල රතන සාර හිමියන්, සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් වැනි කිහිප දෙනෙක් පොලිසියට කොටුකරන අයුරු මාධ්‍යයට හෙළි කළේය. දිගන තෙල්දෙණිය ඇතුළු ප්‍රදේශ කිහිපයකදී ඇතිවූ ගැටලුකාරී තත්ත්වයේදී මහසොන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු පිරිසත් පොලිසියට කොටුකර දුන්නේ ද තමන් බව ඔහු කීවේය.

අගතියට පත් වූවෝ

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සමඟ එක්ව කටයුතු කරමින් ඔහුත් සමඟ එකට ගමන් බිමන් යමින් ජනපති හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය, පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් සහ වරකාපොළ පොලිස් ස්ථානාධිපති ජනකාන්ත ඇතුළු තවත් කිහිපදෙනෙකුට එරෙහිව කළ සැලසුම් කළ කුමන්ත්‍රණ සැලසුම් මාධ්‍යයට හෙළි කරන්නේත් ඒ නාමල් කුමාරය.

ඩෑන් ප්‍රියසාද් නාමල් කුමාර නිසා අගතියට පත් වූ බව කියන අයෙකි. ඔහු පවසන ආකාරයට නාමල් කුමාරට යම් හෙළිදරව්වක් කරන්නට සිදුවූවා නම් ඒ තමා නිසාය. ඩෑන් ප්‍රියසාද් දැන් කරලියට පැමිණ සිටී. මේ ඔහු නාමල් කුමාර ගැන කියන කතාවය.

“නාමල් කුමාර කියන්නේ මහා පාවාදෙන්නෙක්... ඔහු අපි පමණක් නෙවෙයි රටම පාවා දුන් චරිතයක්. මුලින් වරකාපොළ ගමේ මිනිස්සු පාවා දුන්නා. තුෂාර පීරීස් එක්ක ගනුදෙනු කරලා මුදල් ප්‍රශ්නයක් මත ඔහුවත් පාවා දුන්නා. අපව පාවා දුන්නා. නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ එක්ව සියලු අපරාධ සැලසුම් කරලා ඔහුවත් පාවා දුන්නා...

ඔය නාමල් හෙළිකළ සියල්ලම ඔහුට මාධ්‍යයට හෙළි කරන්න වුණේ මම නිසයි. මම තමයි නාමල් නියෝජ්‍ය පොලිස්පතිවරයාට හොරෙන් පටිගත කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හඬ පට ගැන ත්‍රස්ත විමර්ශන ඒකකයට හෙළි කළේ. ඉන්පසුවයි නාමල් සහ නාලක ද සිල්වා මහත්තයා අතර ගැටුම ඇති වුණේ. ඒ නිසා අන්තිමට ඔහු මේ සියල්ල මාධ්‍යයට හෙළි කරමින් නාලක ද සිල්වා මහතා පාවා දුන්නා. ඔහු මාකඳුරේ මධුෂ් නැමැත්තා එක්ක සම්බන්ධතා ගොඩනගාගන්න මධුෂ්ගෙ ගෙදරත් ගියා. ඔහුට මාධ්‍ය ඉදිරියෙ හෙළි කරන්න වුණේ ඔවුන් අනාගතයේ සැලසුම් කරපු සැලසුම් ටිකම තමයි.

“නාමල් කුමාර 2009 වර්ෂයේදී ගුවන් හමුදාවෙන් පැනපු කෙනෙක්. වරකාපොළ පැත්තෙන් කසාද බැඳලා ඒ ප්‍රදේශයට ගිහින්. ඔහු අපේ වැඩකටයුතුවලදී මුලදී අපි දැකපු කෙනෙක් නෙවෙයි. කොහොම හරි මම කොටුවේ උද්ඝෝෂණයකදී පොලිස් අත්අඩංගුවට පත්වෙලා බන්ධනාගාරයේ සිටින විට ඔය නාමල් තවත් හාමුදුරු දෙනමක් සමඟ ආවා මාව බලන්න. එදා තමයි මාත් එක්ක හිතවත්කම ඇති වුණේ. ඊට පෙර කිසිදු ආකාරයකින් මම දැකලා තිබුණේ නැහැ. මට හොඳටම විශ්වාසයි ඔහු එතකොටත් පොලිස් ඔත්තුකරුවෙක් ලෙසයි කටයුතු කළේ කියන කාරණාව ගැන.

පස්සේ විටින් විට උද්ඝෝෂණ විරෝධතාවලදි අපි මෙයාව දකිනවා. මෙයා ගල්කිස්සේ රෝහින්‍යා ප්‍රශ්නය වූ තැනටත් ඇවිල්ලා යනවා. ඒ ප්‍රශ්නෙදි නීතිඥ උපදෙස් මත අපි පොලිසියට භාර වෙන්න හිටියේ සඳුදා දිනයකදී. ඉතිං ඒ දිනය වෙනකල් අපි ආරක්ෂක ස්ථානයක සිටින්න කටයුතු කළා. මං ගිහින් හංවැල්ල පැත්තේ පන්සලක නතර වුණා. එදා ඔහු සිංහලේ අපි ජාතික සංවිධානයේ කලින් හිටපු සභාපති ජනිත මීපගේට කතා කරලා අපිව වරකාපොළ ප්‍රදේශයට එක්කගෙන ඇවිත් පොලිසියට පාවා දුන්නා.

නාමල් - නාලක ගැටුම

ඒ සිදුවීම තමයි එදා ඔහු මාධ්‍යයට හෙළි කළේ. ඔය සිදුවීමත් එක්ක අපිට නාමල්ගේ වැඩ ගැන ටිකෙන් ටික හෙළිවෙන්න ගත්තා. අවස්ථා ගණනකදී ඔහු අපිව ජාතිවාදී ගැටුම්වලට පටළවන්න හැදුවත් අපි ඒ උගුල්වලට හසුවුණේ නෑ. නුවර සිද්ධිය වෙන්නෙ ඊට පස්සෙ. ඔහු එතැනදි හැසිරුණ විදිහ ගැන ඔහුම රටට කීවා.

නාමල් සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා අතර ගැටුමේ ආරම්භය සිදුවුණේ මෙහෙමයි. ඥානසාර හාමුදුරුවෝ කලින් හිරකළ අවස්ථාවේ ‘මාතෘ භූමිය සුරක්ෂා පූජා’ කියලා පූජාවක් තිබුණා කොළඹ කොටුවේ. ඒකට සියලුම අපේ සංවිධානවල අය ආවා. මෙතනට මම ගියාම නාමල් කුමාර තවත් පුද්ගලයෙක් සමඟ ඉන්නවා දැක්කා. මම එදා නාමල්ට බණින්න ගියේ. අපේ සංවිධානයේ ඉන්න සියලුම දෙනා පාවා දීලා උඹට මොනවද ලැබුණේ කියලා කියන්නයි හිතාගෙන ගියේ. ඒත් නාමල් ළඟ සිටි පුද්ගලයා මාව නතර කළා. නාමල්ට මුකුත් කියන්න යන්න එපා. “නාමල් ළඟ පොඩි බඩුවක් තියෙනවා.” ඔහු කිව්වා. ඊට පස්සේ මං ඇහැව්වා, ‘මොකක්ද ඔය බඩුව. කෝ මට පෙන්නපන්කෝ’ කියලා. පස්සේ නාමල් ඒ වොයිස් කට් එක පෙන්නුවා. මුලින්ම පෙන්නන්නේ මාව ගල්කිස්ස සිද්ධියේදී හිරකරන්න නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ කළ කතාබහ. එදා එයා රටටම හෙළි කළේ ඒක. ඊළඟ වොයිස් කට් එක නුවර සිදුවීමේ අමිත්ව කොටුකළ එක. ඒකත් එයා එදා රටටම හෙළි කළානේ.

මං එවලේම නාමල්ට කිව්වා, ‘ඒයි නාමල් වැඩේ කැතයිනේ. අහිංසක කොල්ලොනේ හිරබත් කන්නේ. යකෝ උඹට හෙණ ගහනවානේ මේ පාවාදීම්වලට’ කියලා. ඊට පස්සේ නාමල් මට කියනවා, ‘ආ දන්නවානේ මගේ හැටි මාත් එක්ක නම් හැප්පෙන්න එන්න එපා. මං ඉන්නේ කාත් එක්කද කියලා දැන් උඹ දන්නවානේ. මට පොලිස්පතිට කියලා ඕන දෙයක් කරන්න පුළුවන්. ඔයාට නම් මට අත තියන්න ටිකක් කල් යයි’ කියලා කිව්වා. අන්තිමට මිනිහා මට කිව්වා ‘ඩෑන් මං උඹට අන්තිම පාරටත් කියන්නේ අපිත් එක්ක එකතු වෙයන්’ කියලා.

සුහදතාව පලුදු වුණා

ඔය සිදුවීමෙන් සතියකට පසුව ටීඅයිඩී එකෙන් මට එන්න කියලා ලියුමක් එවනවා ගෙදරට. ටීඅයිඩී එකට එන්න කියන්නේ හරියටම පසුගිය පොසොන් පෝයට කලින් දවසේ. මං පෝයට මහියංගනයේ පිංකමකට යන්න යොදාගෙන තිබුණේ. මං ඒකට ගියා. ගිහිල්ලා ඇවිත් පෝයට පහුවදා ටීඅයිඩී එකට ගියා. එතනදි නුවර සිදුවීම ගැන ප්‍රශ්න කරලා, රෝහින්ග්‍යා සිදුවීමට හිර කළ විදිය ගැන දන්නවාද කියලා නිලධාරියෙක් මගෙන් ඇහුවා. මං කිව්වා, ‘අපෝ මං දන්නවා කරපු විදිහ’ කියලා. ඊට පස්සේ ඇහුවා ‘කොහොම දන්නේ’ කියලා. මං කිව්වා ‘මාව අල්ලලා දුන්නේ ඔයාලගේ හෙන්චයියා’ කියලා. කවුද ඒ හෙන්චයියා කියලා ඒ නිලධාරියා ඇහුවා. අර නාමල් කුමාර කියන හෙන්චයියා තමයි අපිව අල්ලලා දුන්නේ කියා මම ඒ නිලධාරින්ට කිව්වා. ඒ හෙන්චයියා ඔයාලගේ ත්‍රස්ත විමර්ශන එකේ ඉන්න ලොක්කවත් ලොකු දේකට ළඟදීම අල්ලලා දෙනවා බලාගෙන ඉන්න කියලා මම ඒ නිලධාරින්ට කිව්වා.

පස්සේ ඒ නිලධාරින් මගෙන් අහනවා, ‘ඔයා කො‍හොමද ඒක දන්නේ’ කියා. මං කිව්වා මං අල්ලපු විදිහ, හිරකරපු විදිහ, වොයිස් කට් එකක් පෙන්නුවා කියලා. මං පොඩි බොරුවකුත් එතනදි කිව්වා. ඒ වොයිස්කට් එක මං ළඟ තියෙනවාත් කියලා.

“මේ සිද්ධියත් එක්ක නාලක සහ නාමල් අතර තිබූ සුහදතාව පළුදු වුණා. ඒ දෙන්නා අතර තිබූ රහස්‍ය ගනුදෙනු ඩෑන් ප්‍රියසාද් දැන ගත්ත එක ගැන නාලක ද සිල්වාට ගැටලුවක් ආවා. අන්තිමට නාමල්ට නාලක ද සිල්වාගෙන් බේරෙන්න බැරි උනා. දවසක් නාමල් මට කෝල් කරලා කියනවා, ‘ඩෑන් උඹ කළේ හොඳ වැඩක් නෙමේ හරිද? උඹ ගිහින් ටීඅයිඩී එකට මොනවද කිව්වේ?’ කියලා. මං කිව්වා “යකෝ මං කිව්වේ ඇත්තනේ. . බලපන් අර කොල්ලෝ ටික එහේ හිරබත් කනවා. මාත් හිරේ ගියේ තෝ කරපු පාවා දීම හින්දනෙ” කියලා.

“නෑ නෑ උඹ කළේ හොඳ වැඩක් නෙමේ. මට ඉන්න නෑ නාලක ද සිල්වාගෙන් කෝල් එනවා... තර්ජන කරලා කෝල් එනවා” නාමල් කිව්වා.

නාමල් වැඩ කළේ සල්ලි වලට. එයා මීගමුවේ මත්කුඩු වගයක් අල්ලන්න පොලීසියට දීපු ඔත්තුවකට මුදල් වගයකුත් ලැබෙන්න තිබුණා. ඇතිවුණ ගැටුම නිසා නියෝජ්‍ය පොලිස්පතිවරයා නාමල්ට ඒ මුදල දීලා නෑ. ඒ තත්වය උඩ ගැටුම තවත් වැඩි වුණා.

නාමල් කුමාර කියන්නෙ දෙමළ ඩයස්පෝරාවටත් වැඩ කළ කෙනෙක්. අපේ ළඟ ඔහුට මාසිකව පඩි ගෙවපු හැටි ගැන සියලු තොරතුරු තියෙනවා. ඒවා සම්බන්ධීකරණය කළේ ඔය තුෂාර පීරිස් කියන කෙනා.

තුෂාර මේ රටේ වෙන සියලු දේ ගැන තොරතුරු නාමල් හරහා ලබාගෙන ඩයස්පෝරාවට දෙනවා. නාමල් තුෂාරත් සමඟත් ගැටුමක් ඇති කරගන්නවා මුදල් ප්‍රශ්නයකට. ඒ ඔහුට කුමක් හෝ කරන්න මුදල් එවලා නාමල් ඒක කරපු නැති නිසා. අන්න ඒ නිසා තමයි නාමල් තුෂාර පීරිස් ගැන පොලිස්පතිට පැමිණිලි කරන්න යන්නෙ. දැන් තුෂාරගේ කණ්ඩායමත් නාමල් හොයනවා. ඔහු අන්තිමට තුෂාරත් පාවා දීලා.

අන්තෝජටා බහිජටා කියන්නේ මේවාටය. මේ සංකීර්ණය තවමත් අපට තේරෙන්නේ නැත. නාමල් කුමාර වරකාපොල නැමත්තා ඔහුගේ කතාව මීට පෙර කීවේය. ඩෑන් ප්‍රියසාද් දැන් තමන්ගේ අත්දැකීම අපට කියන්නේය. නාලක සිල්වාගේ කතාව අසනු ඇත්තේ පොලිස් කොමිසම ය. රට බලාගෙන ඉන්නේ මේ රට පටලන කතාවේ මුල මැද අග හරිහැටි දැනගන්නටය.

ඡායාරූපය - දුෂ්මන්ත මායාදුන්නෙ

Comments