මයිකල් ෂූමාකර් | Page 2 | සිළුමිණ

මයිකල් ෂූමාකර්

ඔහු සැබෑ ලෝකයේ වීරයකු වූයේ ය. ලෝකයේ වැඩි ම ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්නට තරම් වී ඇති ෆෝමියුලා ධාවනපථය ඔහුව වීරයකු කරවූයේ ය. ෆෝමියුලා තරග සමය ඇරඹෙන්නට ඔන්න මෙන්න කියා තිබෙද්දී ඔහුව අමතක කර ධාවනපථයට පිවිසෙන්නට කිසිවකුටත් නොහැක්කේය. අවුරුදු විසිදෙකක් ෆෝමියුලා ධාවන පථය සිය ජීවිතයම කරගත් ඔහු 2013 අවුරුද්දේ ෆෝමියුලා ධාවනපථයෙන් සමුගත්තේ ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ෆෝමියුලා වන් ධාවකයා ලෙසයි. ඒ අන් කිසිවකු නොව ෆෝමියුලා වන් ලෝක ශූරතා හතකට හිමිකම් කියනා මයිකල් ෂූමාකර් ය. 2013 වසරේ ෆෝමියුලා වන් ධාවන පථයෙන් ඔහු සමුගේ ගියේ සිය පවුල වෙනුවෙන් කාලය වෙන් කරන්නට සිතා ය. ඔහු ඒ සියල්ල නියම ලෙස ම සැලසුම් කරගත්තේය. 2013 අවුරුද්දේ දෙසැම්බරය ඔහු වෙන­්කරගත්තේ හිමෙන් වැසුණු ප්‍රංසයේ උස් කදු මුදුන් වල හිම ක්‍රීඩා කරන්නටයි. ඔහුගේ පවුලේ කොයි කවුරුත් සේම යහළුවන් ද මේ ගමනට එක්වී සිටියේ ඔහුට ඒ සියලු‍ දෙනා හා කාලය ගෙවා දමන්නට තිබුණු උවමනාව නිසා ම ය. ෂූමාකර්ගේ බලාපොරොත්තු සියල්ල හිම මත ලිස්සා ගියේ ඔහු හිම මතදී මුහුණ දුන් දරුණු අනතුරත් සමඟ යි.‍ සිදුවූ අනතුරින් ඔහුගේ මොළයට දැඩි ලෙස හානි සිදුවී තිබුණු අතර ඒ හානි නිසා ම ඔහු කෝමා තත්ත්වයට පත්වූයේ ය. ෂූමාකර්ට ආදරය කළ ලොව පුරා සිටිනා ඔහුගේ රසිකයන් කම්පනයට පත් කළ මේ අනතුර ෆෝමියුලා ධාවන පථයට තදින් ම දැනුණේ ෂූමාකර් ධාවන පථයෙන් සමුගෙන මාස කිහිපයක් තුළ මේ අනතුර සිදුවූ නිසා ය. අනතුරින් පසුව ඔහුගේ ජීවිතය බේරා ගැනීමට බරපතල සැත්කම් දෙකක් සිදු කර තිබුණු අතර සැත්කම් වලින් පසුව ද වෛද්‍යවරුන් පවසා තිබුණේ ඔහුගේ තත්ත්වය ‘ඉතා බරපතළ‘ බව ය. වෛද්‍යවරුන් පවසා තිබුණේ හිම මත ලිස්සා යද්දී ඔහු හෙල්මටයක් පැලඳ නොසිටියේ නම් ඔහු ඒ මොහොතේ ම මිය යන්නට ඉඩ තිබුණු බව ය.

අනතුරට පත්වූ මොහොතේ පටන් ඔහු ගැන ලැබුණු මේ ආරංචිවල අවසානයට කියැවී තිබුණේ සැත්කම් සහ ප්‍රතිකාරවලින් පසුව ද ඔහු කෝමා තත්ත්වයේ ම පසු වන බවයි. මාස ගණනක් ඔහු ගැන කිසිදු අලු‍ත් තොරතුරක් නොලැබ ම ගත වූයේය. ෂූමාකර් ගැන අලු‍ත් ආරංචියක් ලැබුණේ 2014 අප්‍රේල් මාසයේ ය. පවුලේ සාමාජිකයන් පළ කර තිබුණු අදහස් වලින් ලැබුණු ඒ ආරංචිවලින් කියැවුණේ ඔහු කෝමා තත්ත්වයෙන් මිදීමේ ලක්ෂණ පහළ කරමින් සිටිනා බවකි. ‘ඔහු යම්යම් දේට ප්‍රතිචාර දක්වනවා. යමක් අවබෝධ කරගන්න යම් හැකියාවකුත් පෙනෙනවා‘ඒ ආරංචි වලින් කියැවුණේ එහෙම ය.

එයිනුත් තවත මාස තුනක් ගතවූ තැන ෂූමාකර්ගේ රසිකයන්ට තරමක සතුටුදායක පුවතක් අසන්නට ලැබෙන්නේ ය. කෝමා තත්ත්වයෙන් මිඳුණු ෂූමාකර් රෝහලෙන් පිටව ගිය බව ඉන් කියැවුණත්, ඔහු තවදුරටත් ආබාධිත තත්ත්වයේ ම පසුවනු ඇති බව ද ඒ විස්තර වලින් දැන ගන්නට ලැබුණේ ය. රෝහලේ සිට ෂූමාකර් ගෙනගොස් තිබුණේ ජිනීවා විල අසල පිහිටා ඇති ඔහුගේ නිවෙස වෙතයි.”‍ මින් ඉදිරියට ෂූමාකර්ගෙ පුනුරුත්ථාපන කටයුතු සිදුවෙන්නේ ඔහුගේම නිවසේ”‍ පළ වුණු වාර්තාවල කියැවුණේ එවැන්නකි.”‍ සිදුවුණු අනතුරේ බරපතල කමේ තරමට ඔහු පසුගිය මාස කිහිපයේදී ලබපු දියුණුව ඉතාම සතුටුදායකයි. නමුත් තවත් බොහෝ දුෂ්කර දිගු ගමනක් ඔහු වෙනුවෙන් යන්න තිබෙනවා. ”‍ඔහුගේ කළමණාකරු එසේ පවසා තිබුණේ ෂූමාර්කර් ව නිවසට රැගෙන ආ බවට වූ ආරංචිය ද තහවුරු කරමිනි. අනතුරින් පසුව සිදුකළ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන ප්‍රතිකාර වලින් පසුව ඔහුව මෙසේ නිවසට රැගෙන යද්දී ඔහුගේ ප්‍රතිකාර වලට අවශ්‍ය සියලු‍ පහසුකම් නිවසේ ස්ථාපිත කළ බවද කියැවිණි. පහළොස් දෙනෙකුගෙන් සමන්විත ශක්තිමත් වෙද හෙද කණ්ඩායමක් ඔහු වෙනුවෙන් කැපවී සිටිනා බවත් මේ සියල්ල සැලකූ විට ඔහුගේ සතියක ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් පවුම් 115000ක පමණ වියදමක් වුවමනා බවත් වාර්තා වී තිබිණි.

ෂූමාකර් මුහුණ දුන් බරපතළ අනතුරෙන් වසරකට පසුව සිදුවූ අනතුරට වන්දි ලබා ගැනීම වෙනුවෙන් පැවරුණු නඩුවක කරුණු ඉදිරිපත් කරමින් ෂූමාකර් වෙනුවෙන් පෙනී සිටි නීතියා පැවසූයේ තම සේවා දායකය දෙපාවලින් සිට ගැනීමටවත් නොහැකි තත්ත්වයේ පසුවන බවයි.නඩු විභාගය අතර තුරදී මතුවී ආ කරුණු වලට අනුව ‘අනතුරින් වසර දෙකක් ගතවන විට ඔහුව ඇවිදීමට හැකිවේවි‘ ලෙස කෙරුණු ප්‍රකාශයක් නිසා ෂූමාකර්ගේ වන්දි නඩුව වසර කිහිපයක් තිස්සේ විභාග වෙමින් පැවතුණේ ය.නමුත් අනතුරින් වසර හතරක් ගතවෙද්දී පවා දෙපයෙන් සිට ගැනීමට තරම් වත් ඔහු සුවයක් නොලද නිසා ඔහු වෙනුවෙන් යූරෝ 50,000ක මුදලක් ගෙවන ලෙස 2017 වසරේදී අධිකරණය නියම කළේය.

මේ වසරේ ෆෝමියුලා වන් ධාවන සමය ඇරඹෙද්දී ,වසර පහක් තිස්සේ අාබාධිතව සිටිනා ෂූමාර්කර් ගැන යළිත් කතාබහක් ඇතිවී ඇත්තේ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ෂූමාකර්ගේ කළමණාකරු දක්වා ඇති අදහස් නිසා ය. සැබැවින්ම කළමනාකරුගේ අදහස් දැක්වීම් ෂූමාකර්ගේ පවුලේ හැගීම් ප්‍රසිද්ධියට පත් කිරීමක් වැනිය. “ඔහුගේ පවුලේ අය ෂූමාර්කගේ රසිකයන් ඔහු වෙනුවෙන් පළ කරන සානුකම්පිත අදහස් අගය කරනවා.ඔහුගේ සැබෑ තත්ත්වය නොදැක පවා ඔහුගේ රසිකයන් ඔහු වෙනුවෙන් සිටීම සහ ඔහුව වටහා ගැනීම වටිනා බවයි“ ඔවුන් කියන්නේ. ෂූමාකර්ගේ කිටුවන්නතම නෑදෑයන් මෑතකදී ප්‍රංස සඟරාවකට පවසා තිබුණු තොරතුරු වලින් ෂූමාකර්ගේ තත්ත්වය ගැන යම් තරමක ඉඟියක් ලැබී තිබිණි.”‍ ඔහුව රෝද පුටුවේ වාඩි කරලා ජිනීවා විලට එහා පැත්තෙන් තියෙන කඳු පන්තිය පේන්න ජනේලයක් ළගින් තිබ්බම ඈත බලාගෙන ඔහු අඬනවා.”‍

සඟරාවේ කියැවුණු ලෙසට නම් පවුලේ අය සහ හිතවතුන් කොතරම් ඔහුව ධෛර්යවත් කරන්නට උත්සාහ කළත් ඔහු තවමත් සිදු වුණු අනතුර ගැන සිතමින් සිටියි. විටින් විට පළවන මෙවැනි අදහස් හැරුණු විට ඔහුගේ සැබෑ තත්ත්වය හෝ පෙනුම ලෝකයා ඉදිරියේ තවමත් පවතින්නේ අප්‍රසිද්ධියේ ය. ඔහුව නිවසට රැගෙන ආ මුල් කාලයේ නිවසේදී ලබාගත් ඔහුගේ ජායාරූපයක් පවුම් මිලියනයකට අලෙවි වීමක් ගැන වාර්තා වුණු අතර එ් ඡායාරූපය එසේ ප්‍රසිද්ධියට පත්වීම ගැන් පොලීසිය පවා පරීක්ෂණ පවත්වා තිබිණි. ෂූමාකර්ගේ සැබෑ ම තත්ත්වය අප්‍රසිද්ධියේ තබා ගැනීමට හේතුව ගැන ඔහුගේ කළමනාකරු සිය අදහස ද පවසා තිබිණි. ”‍ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රසිද්ධියට පත්විය යුතු පොදු කාරණාවක් නොවෙයි. ඒ නිසයි ඒ ගැන කවුරුත් අදහස් දක්වන්නේ නැත්තේ.”‍

ෂූමාකර්ගේ මිතුරන් නම් පවසන්නේ ඔහුගේ පවුලේ සැම ඔහු වෙනුවෙන් කරනා කැපවීමට ඔවුන් ගෞරව කරනා බවයි. එසේම ඔහුගේ තොරතුරු ප්‍රසිද්ධියට පත් නොවිය යුතු බවට වන කළමනාකරුගේ අදහස ඔවුන් ද අනුමත කර තිබේ.”‍ ඔහුගේ පවුලේ අය ලොකු කැපකිරීමක් සහ වෙහෙසක් දරමින් ඔහුව තවමත් අපි දැන සිටි ෂූමාකර් විදියට ම තියාගෙන ඉන්නවා. අපිට කරන්න පුළුවන් දේ තමයි ඔහුව නැවත හිටපු තත්ත්වයට පත් කරන්න කියලා දෙවියන් යැදීම.”‍ මිතුරන් කියන්නේ එවැන්නකි.

වෛද්‍යවරුන්ගේ මතයට අනුව ෂූමාකර් සුවපත් කර ගැනීමට තවත් අවස්ථාව තිබේ. දැනට සිදු කරනා ප්‍රතිකාර වලට ඔහු යහපත් ප්‍රතිචාර දක්වන නිසා ඔවුන්ගේ බලාපොරොත්තුව ඔහුව ඇමෙරිකා එක්සත් ජනපදයට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දීමයි. ගතවුණු වසර හතරක කාලයකදී ඔහුගේ ප්‍රතිකාර වෙනුවෙන් වැයවී ඇති මුද ආසන්න වශයෙන් පවුම් මිලියන් 20ක් පමණ වන බව ද කියැවේ.

මේ සියල්ල අතරේ ෂූමාකර් වෙනුවෙන් කෞතුකාගාරයක් විවර වී ඇති අතර ඔහුගේ සමාජ ජාලා වෙබ් පිටු ද ඔහුගේ ජයග්‍රහණ ගැන අතීත මතකයන් රැගත් ඡායාරූප පළ කරමින් තිබේ. මයිකල් ෂූමාකර් ෆෝමියුලා වන් පථයේ තබා ගිය මතකයන් අලු‍ත් කරන්නට ඔහුගේ පුත් මයික් ෂූමාකර් ද මේ වන විට ෆෝමියුලා වන් ධාවන පථයට පැමිණ සිටියි.”‍ තාත්තා තමයි මගේ ලෝකයේ වීරයා. කෙටියෙන් ම කිව්වොත් තාත්තා තමයි හොඳ ම කෙනා.ෆෝමියුලා වන් ධාවන පථයක මයිකල් ෂූමාකර් ලබාගත් මුල් ම ජයග්‍රහණයේ විසිපස්වන සැමරුම වෙනුවෙන් පසුගිය වසරේදී මයිකල්ගේ බෙන්ටන් රථය ධාවනය කරවූයේ ද මයික් ම ය.

අනතුරට ලක් වන කාලය වන විට ෂූමාකර් නැවත ධාවන පථයට පිවිසීමට පවා සූදානමින් සිටි බව ද කියැවෙන අතර ඔහු මුහුණ පෑ රිය අනතුරකින් ඔහු සම්පූර්ණයෙන් ම සුවය ලබා නොසිටි නිසා ඔහුගේ වෛද්‍යවරයා ඔහු නැවත තරගකිරීම වැළැක්වූ බවද කියැවේ. එසේම ඒ කාලයේ ම ඔහු තමන් මිලදී ගත් අලු‍ත් නිවසේ පදිංචියට යාමටට සැලසුම කරමින් සිට තිබේ. පවුම් මිලියන 27ක් වටිනා එ් සුඛෝපබෝගී නිවස කලකට පෙර රියල් මැඩ්‍රිඩ් පාපන්දු පිලේ සභාපතිවරයාට අයත් ව තිබී ඇති නි‍ෙවසකි.

කෙසේ හෝ ඔහුගේ සියලු‍ අනාගත සැලසුම් බොඳ කරදැමූ අනතුරක් ,ලෝකයක් ආදරය කල ප්‍රසිද්ධ ෂූමාකර් අප්‍රසිද්ධ ජීවිතයක සිර කර තබා ඇත්තේ එතෙක් මෙතෙක් ෆෝමියුලා වන් ධාවන පථයේ බිහිවූ විශිෂ්ටතමයාගේ විශිෂ්ටත්වයේ මතකය ලොවට ඉතිරි කර තබමිනි.

Comments