මතට තිත තියන්න ගොස් කසිප්පුකාරයන් අතින් මැරුම් කෑ කහවත්තේ තරුණයා | සිළුමිණ

මතට තිත තියන්න ගොස් කසිප්පුකාරයන් අතින් මැරුම් කෑ කහවත්තේ තරුණයා

පසුගිය 19 දා නීති විරෝධි මත්ද්‍රව්‍යවලට එරෙහිව නැඟී සිටි රත්නපුර නව නගරයේ ෆාම්ගාඩින් වත්තේ තිස් හය හැවිරිදි පුද්ගලයෙකුට අමානුෂික වධ දී මරා දමා තිබිණි. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව රත්නපුර පොලිසියට ඔත්තු සැපයූ අයෙකි. තමන් ජීවත්වන ප්‍රදේශයේ පවතින අශිලාචාරකම, අවනීතබව අහිංසක දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රබලව සිතූ අයෙකි.

මේ මිනිසාට දරුවෙක් නැත. එහෙත් අනෙක් උදවියගේ දරුවන් පිළිබඳ සෙනෙහසක්, කැක්කුමක් හදවත තුළ මතුවීමට තරම් කාරුණිකත්වයක් ඔහු තුළ තිබිණි. රත්නපුර පොලීසියේ සමහර නිලධාරීන්ට මෙම තැනැත්තා ඉතා වටිනා පුද්ගලයෙකි. නමුත් සමහර නිලධාරීන් හට මොහු දැඩි හිසරදයක් වී තිබිණි. වැඩිපුරම අපහසුවට පත් වූයේ කසිප්පු ජාවාරම්කරුවාගෙන් සන්තෝසම් පඬුරු පාක්කුඩම් ලබන උදවිය ය. තමන්ගේ රාජකාරියට අවශ්‍ය පහසුකම් සපයමින් සමාජ උන්නතිය වෙනුවෙන් වෙහෙසුණු අයෙකු ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය අපොහොසත් වීමේ ඛේදවාචකය දිග හැරෙන්නේ මේ ආකාරයටය.

මරා දැමූ මනුෂ්‍යයා නමින් ධනපාල විජේරත්න විය. ඔහු වෘත්තියෙන් ත්‍රීරෝද රථ රි‍යැදුරෙකි. රත්නපුර පොලීසිය හිදැල්ලන නව නගරය සිවිල් ආරක්ෂක කමිටුවේ නාමික සාමාජිකයන් අතර සිය ප්‍රමුඛ වගකීම ඉටු කළ පුද්ගලයා ඔහුය. සෙසු උදවිය පොලිසියට හොඳ මුහුණ පෙන්වා තනතුරු පමණක් දරා උසස් තැන්වල ඉදිරිපෙළ අසුන් ගත්තෝ වෙති.

2008 වර්ෂයේ දී ද ෆාම්ගාඩින් වත්තේ නීති විරෝධී මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ පහර කෑමෙන් කැපුම් තුවාල ඇතිව මරණයේ එළිපත්තට ගිය ධනපාල තම ව්‍යායාමය අත් නොහළේය. ඒ පිළිබඳ තවමත් රත්නපුර අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී. එම පහරදීම කළ ජාවාරම්කරුවා ධනපාලගේ මරණය තෙක්ම තම පළිගැනීම අත් හැරියේ නැත.

ධනපාල විජේරත්නගේ බිරිය කලු අජ්ජ මුල්ල ගමගේ රසිකා ජීවන්ති (36) ය. ඇය සැමියා පිළිබඳ කරන්නේ මෙවැනි ප්‍රකාශයකි. “මගේ මහත්තයා මත්ද්‍රව්‍යවලට එදා ඉඳලම හරිම විරුද්ධයි. පාරේ තැන්තැන්වල ඇඳුම් නැතුව මිනිස්සු හවසට වැටිලා ඉන්නවා. පොඩි දරුවො මේවා දකිනවා. කුණු හරුප කියනවා. ගෙවල්වල නිතරම අඩ දබර. අකාලේ මිනිස්සු මැරෙනවා. වැඩකට යන්නෙ නැහැ. මේවා ගැන නිතරම කියනවා. අපි මේවා නතර කළේ නැත්නම් සමාජයට අපි මොකුත් කරන්නෙ නැහැනේ. ඒ නිසා අනෙක් අය ගැන හිතලා වැඩක් නැහැ. මට කළ හැකිදේ මම කරන්න ඕන. එයා හැම විටම කල්පනා කළේ එහෙමයි.”

“මම බැඳල මාස තුනයි. පළමු වරට මගේ මහත්තයාව කපලා තුවාල සිද්ධ කරන කොට හොඳටම අමාරු වුණා. ඊට පස්සේ ඒ කසිප්පු කාරයට විරුද්ධව පොලිසියෙන් නඩු දැම්මා. පොලිස්පතිතුමා දක්වාම එදා ගිහින් උසාවියෙන් නඩු අහල රුපියල් තිස් දහසක වන්දියක් ලැබුණා. එදා ඉදලම මහත්තයා ගැන දැඩි වෛරයකින් හිටියා. ඔය සිරිපාල කියන කසිප්පු ජාවාරම්කාරයා එයැයිට පවුල් තුනක් ඉන්නවා. ළමයි 13ක් ඉන්නවා. ඒ ඔක්කෝම කරන්නේ මේ ජරා වැඩේ තමයි. පොලිසියෙන් කවුරු ආවත් එන්න කලින් බඩු ටික හංගන්න කියල පොලිසියේ කෙනෙක් ම කතා කරලා කියනවා. කියල මට මහත්තයා කිව්වා. එස්.ටී.එෆ් එකෙන්, වලාන දුෂණ මර්ධන ඒකකයෙන් ආවත් වැඩක් වුණේ නැහැ. දවසක් එස්.ටී.එෆ් එකේ මහත්තුරු හතර දෙනෙකුට ඔය මිනිස්සු ගැහුවා. මේවා ඩී.අයි.ජී. මහත්තයගේ ඉඳලා පොලිස්පතිතුමා ළඟට යන තුරු දන්න දේවල්.”

කසිප්පු ජාවාරම වෙන්නේ බංකර් ‍වගේ හදා ගත්තු ගේ ඇතුළේ. දවසකට පන්සීයක් විතර කට්ටිය බොන්න එනවා. නිවිතිගල, රත්නපුර, කුරුවිට ඉඳලා බස් වලත් ඇවිත් බීලා යනවා. කසිප්පු ගුබ්බෑයම පිහිටා තිබෙන්නේ අපූරු තැනක. උසාවියට කිලෝමීටර් භාගයයි. කච්චේරිය (දිස්ත්‍රික් ලේකම් කාර්යාලය) ට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, සබරගමු පළාත් සභාව ඇතුළු පරිපාලන ආයතන සියල්ලටම කිලෝමී‍ටර් එකක් ඇති. විශේෂයෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවට මේ කසිප්පු තිප්පොළේ ඉඳලා කිලෝමීටර් එකහමාරක් ඇති. ඒ උදවිය කසිප්පු කාරයන්ගෙන් සල්ලි අරන් යනවා. එම නිලධාරීන් හිටියෙ කසිප්පු මුදලාලිව ඒ අයගේ බොස් කරගෙන.”

පසුගිය 19 දා උදේ මගේ මහත්තයා රත්නපුර පොලීසියට ගියා පොලිස් වාර්තාවක් ගන්න. එයා මත්ද්‍රව්‍යවලට විරුද්ධ නිසා එයාගේ ත්‍රීවිලර් එකට පතුරම් සහ ගංජා පැකට් වගයක් දාලා පොලීසියට කියල ඇල්ලුවා. මානව හිමිකම්, පොලිස් කොමිසම ඇතුළු යන්න තියෙන හැම තැනකටම ගියා. ඒ ගැන කියන්න ඒකෙ නඩුව 21 තිබුණෙ. පොලීසියට ගියේ නඩුවට වුවමනා කළ පොලිස් වාර්තාව ගන්න. දවස් දෙකක් ගියත් ටයිප් ගහන මිස් නැහැ කියලා ආපසු ආවා. එයා එදා පොලිසියට ගියේ තව මල්ලි කෙනෙක් එක්ක. එදා ම හවස 4.30 ට තමා මහත්තයා ත්‍රීවිලර් එකේ ඉද්දි කසිප්පු මුදලාලිගේ ගෝලයෝ ටික එයාව පැහැරගෙන ගිහින් මරල තියෙන්නේ. එයාගේ අත පය කඩල අමානුෂික වධ දීලා. මේ මිනීමරුවන්ට විරුද්ධව නඩුව තිබුණේ 21 දා. පොලීසියේ හයිය දිගටම මුන්ට තිබුණා.”

සිද්ධිය වෙලා සුළු වෙලාවකින් මට ආරංචි වුණා. නමුත් ත්‍රීවිල් පාක් එකේ මගේ මහත්තයගේ වීල් එක තිබුණ. කසිප්පු කාරයගෙ ගෝලයන්ගෙ ත්‍රීවිල් ටික තිබුණෙ නැහැ. අනිත් කට්ටිය මහත්තයව ගෙනියනව දැක්කත් මොන පැත්තට ද ගෙනිච්චේ කියල කියන්නවත් බය වුණා. එයා එක්ක දවල් පොලීසියට ගිය මල්ලිටත් ගහල තිබුණා. එයා පොලීසියට ගිහින් පැමිණිල්ල ලියද්දී මම පොලිසියට ගියේ. මම පොලීසියට කිව්වා මහත්තයාව පැහැරගෙන ගිහින් කියලා.‍ පොලිසියට කටඋත්තරයක් දෙන්න හැදුවම “උඹ කොහොමද දන්නෙ හරියටම දැක්කෙ නැතුව. එහෙම කට උත්තර දෙන්න බැහැ” කියල මට බැණල එළෙව්වා. හැබැයි ජිප් තුනක් ගියා මහත්තයව හොයන්න.

අපි කිහිප දෙනෙක් එක්ක හොයන කොට ගමේ අයත් එකතු වුණා. ඒත්‍ පොලිස් ඇදිරිනීතිය දැම්මා වගේ. කවුරුවත් මුහුණ බලල කතා ‍කළේ නැහැ. ගමේ බොහෝ අය එහෙම හැසි‍රුණේ. ඒ වෙලාවේ කසිප්පු කාරයට බය නිසා. සමහරු අපිව රස්තියාදු කළා. දුරකථන ඇමතුම් දීලා. අතන තියෙනවා. මෙතන තියෙනවා කියලා කිව්වා. පස්සේ, පොලීසියත් ආපසු ගියා හොයන එක නතර කරලා. අන්තිමට පහළ කන්දේ කොරටුවෙ කඩේ ළඟ තියෙනවා කියල දැන ගත්තම මම පොලීසියට කිව්වා.” ඕක බොරුවක් වෙන්න ඇති උඹල ගිහින් බලපල්ලා හිටියොත් කියපන්” කියලා. අන්ති‍මේ දී අපි එතැනට ගිහින් බලද්දි කපල කොටල මරල දාලා තිබුණු මගේ මහත්තයාගේ මිනිය හමු වුණා. මේ මරණය මම වෙනුවෙන් වත්, මගේ පවුලේ අය වෙනුවෙන් වත් නොවෙයි. මේ ගමේ තිබුණු අපරාධය වළක්වන්න ගිහින්. පොලීසියට අවුරුදු 20 කටත් වඩා උදව් කරපු මිනිසුන්ටත් අත්වන ඉරණම මේක නම් පොලීසියෙන් සාමාන්‍ය මිනිසුන්ට සලසන ආරක්ෂාව ගැන කියන්න ඕනද?. මේක මට කිසිම සැකයක් නැහැ කසිප්පු කාරයගේ තවත් එක කසිප්පු බිල්ලක්. ගුටිකාපු නඩු 4 ක් උසාවියේ දැනට විභාග වෙනවා.

එයාලගේ නිවස බංකරයක් වගේ. කිසි කෙනෙකුට ළං වෙන්නෙ නැහැ. බංකරවල තමා කසිප්පු හංගලා තියෙන්නේ. දැන් ගමේ අය බලාගෙන ඉන්නේ ඒවාට මොකද වෙන්නේ. කියලයි. ගමේ උදවිය සිද්ධිය හරියටම දැන ගත්තට පස්සේ නම් කලබල වුණා. නමුත් මීට කලින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවරම විරුද්ධව ගම්වැසියන් පෙළ ගැහුණා නම් මේවන් ඉරණමක් මගේ සැමියාට අත්වෙන්නෙ නැහැ. ගමත් මීට වඩා හොඳයි”.

සවරිමුත්තු ධනපාල - 66 මියගිය අයගේ පියාය. මේ ඔහු කී කතාවය.

දරුවො 4 දෙනෙක් ඉන්නවා. ඉන් එකම පිරිමි දරුවා තමයි මේ මරල තියෙන්නේ. මමත් මත් පැන් බොන්නෙ නැහැ. එකම පුතා නිසා මීට අවුරුදු කිහිපයකට කලින් මම කිව්වා “උඹ පරිස්සන් වෙලා හිටපන් කියලා. ඒත් එයා කි‍ව්වේ “මම ගමට රටට හොඳ දෙයක් කරන්නෙ. මැරුණත් කමක් නෑ හොඳ නමක් තියාගෙන” කියලයි. මට ලොකු වේදනාවක් තියෙනවා. නමුත් මම තාත්තා කෙනෙකු විදිහට පුතා ගැන ආඩම්බර වෙනවා. අසාධාරණයට, අයුත්තියට එරෙහිව පුතා මැරිච්ච එක ගැන.

ෆාම්ගාඩින් විහාරස්ථානය ශ්‍රීබෝධි වර්ධනාරාමයයි. ගමේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා පවසන්නේ ද මේ මිය ගිය පුද්ගලයා සමාජයට ඉතා වටිනා ආදර්ශයක් බවයි.

හොඳ මිනිහෙකුට ඉන්න දෙන්නෙ නෑ මහත්තයෝ. පොලීසියෙ හුඟක් දෙනා කසිප්පු කාරයන්ගෙන් සල්ලි අරන් යනවා. ඒ අයගේ යැපුම් මාර්ගයත් නීති විරෝධි කසිප්පු තමයි. රත්නපුර පොලිස් ස්ථානය පැත්තෙන් මේ පිළිබඳව වැඩි යමක් ප්‍රකාශ නොකරයි. මෙම ඛේදනීය සිදුවීම පිළිබඳව පොලීසිය දෙසට දිගුවන ඇඟිල්ල ඉවත් කර ගැනීමට නොහැකි බව ඉන් පෙනීයයි. සමහර නිලධාරීන් පවසන්නේ නීති විරෝධී මත්පැන් වැටලීම් පිළිබඳව පොලීසියට ඇති නීත්‍යානුකූල බලය පිළිබඳවයි. සුරාබදු නිලධාරීන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටු නොවන බවට පොලීසියෙන් චෝදනා කරයි. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන වැ‍ටලීම් ප්‍රමාණය පොලීසියේ ප්‍රමාණයෙන් 10% කටත් වඩා අඩු බව කියන්නේ ‍පොලීසිය ය. පොලීසිය කියන්නේ ඇත්ත නම් එවැනි සුරාබදු දෙපාර්තමේන්තුවක් මේ රටට අවශ්‍ය නැත. තමන්ට සෘජුව අයත් නැති බව කියන මත්ද්‍රව්‍ය වැටලීමට පොලිසිය දැඩි කැමැත්තක් දක්වන්නේ මන්ද යන්න ද විශාල කුතුහලයකි. මේ බැරෑරුම් කරුණ බේරුම් කරගත යුතුව ඇත්තේ ඉහළ නිලධාරීන් විසිනි.

මේ දිනවල කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා භාවිතා කරන්නන් හිටු කියා අත්අඩංගුවට ගනී. උසාවි දමා නඩු පවරයි. මේ වන විට කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ කිසියම් අයුරක මත්ද්‍රව්‍ය ජාවාරමේ අඩුවක් වාර්තා වේ. සෙසු පොලිස් ස්ථානවල ද මෙම ක්‍රියාන්විතය සිදු කළහොත් මේ උවදුර මර්ධනය කිරීමට අපහසු නැති බව දැන් පැහැදිලිය. ඒ ආදර්ශය රත්නපුරයට දෙන්නට කසිප්පු ජාවාරම් කරුවෙක් අතින් පුද්ගලයෙක් මිය යන තුරු පොලීසිය බලා සිටියේය.

සමාජය දන්නා ඇත්ත අතිශයින්ම ජුගුප්සාජනකය. සමහර පුංචි රාලහාමිලා අවුරුද්දට තෑගි බෝග ගැනීමට රජ වාසලට යන්නන් මෙන් කසිප්පු කාරයා සොයා යයි. ඒ.එස්.පී. මාසික පරීක්ෂණවලට පොලීසියට එද්දී අඩු පාඩු සපුරා ගැනීමට කසිප්පු මුදලාලිලා භාවිතා කරති. ඔවුන්ට ලැබෙන මෙම නොනිල අගය නීති විරෝධී මත් ජාවාරමට බෙහෙවින්ම බලපා ඇත.

පොලීසිය බිම් මට්ටමේ රාජකාරි කරන අහිංසක නිලධාරීන්ද මෙම මර උගුලේ පටලවයි. ප්‍රගති සමාලෝචන රැස්වීම් වලදී ගමේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිළිබඳව තොරතුරු ලබාගෙන ‍රැස්වීමෙන් අනතුරුව ශාලාවෙන් පිටතට එද්දී කසිප්පු ජාවාරම්කරුවන්ට තොරතුරු දුන් පුද්ගලයා පාවා දී අවසන්ය. මෙවන් පසුබිමක් තුළ ගමේ සිවිල් ආරක්ෂක කමිටු නිලධාරියා ක්‍රියාකාරි වන්නේ නැත. ගම යහපත් කිරීමට ඉදිරිපත්වන නිර්භීත පුද්ගලයින් ගේ කශේරුකාව අමු අමුවේ බිඳ දමා ඇති බව පැහැදිලිය.

රත්නපුර සිද්ධියේ සැකකරුවන් සිවු දෙනෙකු මේ වන විට බන්ධනාගාර ගතව සිටී. ඉන් දෙදෙනෙකු භාර වී ඇති අතර අනෙක් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත. තවත් හත් අට දෙදෙකු සැකපිට අත් අඩංගුවට ගැනීමට ඇති බව පොලීසිය කියයි. ඔවුන් අඩංගුවට ගන්නේ කවදාද ? ඔවුන්ට දෙන දඬුවම කුමක්ද? මෙම ප්‍රශ්නයේදී මරා දැමූ පුද්ගලයාගේ බිරියට සැලසෙන රැකවරණය කුමක්ද?

සැකකරුවන්ගේ නිවාස ඇතුළු දේපළ විනාශකර ඇත. මේවාට කුමක් වේද? පොලීසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය දෙස රට විමසිල්ලෙන් බලා සිටී.

Comments