ළමයින් සියයක් එක්ක ජගත් ලා කරන්න යන වැඩේ මොකක්ද? | සිළුමිණ

ළමයින් සියයක් එක්ක ජගත් ලා කරන්න යන වැඩේ මොකක්ද?

කාලයක් තිස්සේ කලා කේෂත්‍රයේ රූපවාහිනී ක්ෂේත්‍රයේ රැඳි සිටි, කලාව විශේෂයෙන් ළමයින් සම්බන්ධයෙන් සිය නිර්මාණ හැකියාවන් භාවිත කරන පැරැණි මිත්‍රයකු පසුගියදා මුණ ගැසුණ. ඔහු නමින් ජගත් ගාමිණි මාවතගමය.

ජගත් අපට හමු වූයේ වුයේ කඩි මුඩියේ කලා කටයුත්තකට එහෙ මෙහෙ දුවන අතරවාරයේය.

‘‘මොකද මේ දවස්වල කරන්නේ?”

‘‘මේ දවස්වල ලොකු වැඩක් .. ලෝක ළමා දිනය වෙනුවෙන් ළමා ප්‍රසංගයක් පවත්වන්න සූදානම් වෙනවා. ළමයින් සියයකගේ දායකත්වයෙන්.”

ඔහු පැවැසූවේය. දිවයිනේ නන් දෙසින් තෝරා ගත් ගායන හැකියාවක් ඇති දරු දැරියන්ගේ දායකත්වයෙන් පවත්වන මෙම ප්‍රසංගය අප කාටත් අලුත් අත්දැකීමක් වනු ඇත. හෙට ලෝක ළමා දිනයයි. එය නිමිත්තෙන් ජගත් ගේ ‘සිසුමිණ පවුර කලා මංගල්‍ය‘ ලබන හතර වැනිදා ( 04) සවස 2.00 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වනු ලැබේ.

ජගත් ගාමිණි සිසුමිණි පවුර වැඩ සටහන ආරම්භ කරන්නේ මීට වසර කිහිපයකට පෙරය. ඔහුගේ අරමුණ වන්නේ ගායන හැකියාවක් ඇති දරු පරම්පරාවක් ඉදිරියට ගෙන ඒම මෙන්ම ළමා ගී සමුච්චයක් අපේ ළමා පරපුරට උරුම කිරීමය.

ගීත සියක් ළමයින් සියයක් ලවා ගායනා කරවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. නමුදු ජගත් අභියෝගය ජය ගන්නට සමත් වී ඇත.

‘‘ මම මේ දරුවන්ව තෝරා ගත්තේ අපේ රටේ පාසල්වලට ගිහිල්ලා. එහිදී ගායන හැකියාවක් ඇති දරුවන්ව තෝරා ගත්තා. සංගීතවේදී ජගත් වික්‍රමසිංහ මා සමඟ මේ කටයුත්තේදී එක්ව කටයුතු කරනවා. අපේ එකම අරමුණ අලුත් නිර්මාණකරුවන් බිහි කිරීම.

මේ වැඩ සටහන පටන් අරගෙන අවුරුදු හතරක් වෙනවා. මුලින්ම මෙය පටන් ගත්තේ දකුණු පළාතෙන්. පණ්ඩිත් අමරදේවයන්ගේ මූලිකත්වයෙන් මුල්ම ප්‍රසංගය පවත්වන්න හැකිවුණා. දරුවන් සමඟ කරන මේ කටයුත්තේ දී ඔවුන්ගේ දෙමාපියන් අප සමඟ එක්ව ඉන්නවා. එය අපට විශාල ශක්තියක්.”

සුභාවිත ගීතය මෙන්ම රසවින්දනයක් ඇති දරු පරපුරක් බිහි කිරීමේ මෙම කාර්යයේදී ජගත් තෝරා ගත් ළමා ගායන ශිල්පීන් අතර විශේෂ ජයග්‍රහණ ලද දූ දරුවෝද වේ.

‘‘2013 , 2014, 2015, ප්‍රශස්තම ළමා ගායිකාව ලෙස තේරුණේ මෙම වැඩසටහනට සහභාගි වී සිටින සයුරි නිම්සරා රාජපක්ෂ දියණිය . ඒ වගේම හුංගම විජයබා ජාතික පාසලේ සෙහානි මනුසිකා දියණිය 2016 වසරේ ප්‍රසස්ථම ළමා ගායිකාව ලෙස තේරී පත් වුණා. එම වසරේම ප්‍රශස්තම ළමා ගායකයා ලෙස වීරකැටිය මධ්‍ය විද්‍යාලයේ ගීත් තත්සර පුතා තේරී පත්වුණා. එමෙන්ම තේරි පත් වූ, නිර්දේශ වූ දරුවෝ තව බොහෝ දෙනෙක් මේ අතර ඉන්නවා. ජගත් වික්‍රමසිංහ සංගීතවේදීයාගෙන් මට මේ සඳහා නොමසුරු සහයෝගයක් ලැබෙනවා.‘‘

ලෝක ළමා දිනය නිමිත්තෙන් ජගත් ගාමිණි මාවතගම විසින් දරුවන් සියයකගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන සිසුමිණි පවුර ප්‍රසංගයේ සියලු ගී රචනාකර ඇත්තේ ඔහු විසිනි. එම ගී වල සංගීත නිර්මාණය කර ඇත්තේ ජගත් වික්‍රමසිංහ සංගීවේදියා විසිනි. රට වටා විසිරි සිටින ගායන හැකියාවෙන් පිරිපුන් දරුවන්ගේ දක්ෂතා බලන්නට අගයන්නට ඔබත් එන්න ලබන 04 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට එන්න.

 


ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළ 2019

ශ්‍රි ලාංකේය විද්යුත් සන්නිවේදනයේ ගුවන්විදුලියට ඇත්තේ දශක නවයක ඉතිහාසයකි. එකී මාධ්‍ය නියුක්තිකයන් රාජ්‍ය මට්ටමින් අගයනු උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රි ලංකා කලා මණ්ඩලයේ ගුවන්විදුලි උපදේශක සභාව මගින් සංවිධානය කරන ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළ මෙවරද පැවැත්වීමට තීරණය කර ඇති බව සතුටින් නිවේදනය කෙරේ. මෙම සම්මාන උළෙල විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි සියලුම ගුවන්විදුලි නාළිකා සඳහා විවෘතය. ගුවන්විදුලිය සඳහා (රාජ්‍ය/ පෞද්ගලික) විෂිශ්ට මෙහෙවරක් කළ සියලු දෙනා අගයකරන ආකාරයට මෙම උලෙළ සංවිධානය කරයි.

මෙම තරගය සම්බන්ධ චක්‍රලේඛ හා අයැදුම්පත් 8වෙනි මහල සෙත්සිරිපාය බත්තරමුල්ලේ පිහිටි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන්ද සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම්කාර්යාලවල සංස්කෘතික නිලධාරීන් මගින්ද ලබාගත හැක. 0112882551, 0112872031 අමතා වැඩි විස්තර ලබාගන්න. 2018 අගෝස්තු මස 17දින ගැසට් පත්‍රය බලන්න.

 

ජයන්ති කුරේ


යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල 3 සිට 8 දක්වා

 යාපනය ජාත්‍යන්තර සිනමා උලෙළ 2018 ඔක්තෝ­්බර් 3 සිට 8 දක්වා යාපනයේදි පැවැත්වේ. ඇෆ්ගනිස්තානය, ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, බ්‍රසීලය, කැනඩාව, ක්‍රොඒෂියාව, චෙක් රාජ්‍යය, ඊජිප්තුව, ප්‍රංශය, ඉරානය, ජර්මනිය, ඉතාලිය, ජපානය, කර්ගිස්තානය, කසකස්තානය, මොංගෝලියාව, නේපාලය, පෝලන්තය, පාකිස්තානය, ස්ලෝවැකියාව, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය, ඇමරිකාව, වියට්නාමය, සිංගප්පූරුව සහ ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 30ක චිත්‍රපට 80ක් පමණ මෙහිදී තිරගත කිරීමට නියමිතය. වාර්තා, වෘත්තාන්ත සහ කෙටි චිත්‍රපට යාපනය මැජෙස්ටික් සිනෙන්ලෙක්ස් කාගිල්ස් චතුරස්‍රය, යාපනය යන ස්ථානවලදී තිරගතකෙරේ. මෙම සිනමා උලෙළේ සමාරම්භය ඔක්තෝබර් 03 පවත්වන අතර එදින ජර්මනියේ රාවුල් පෙක්ගේ the young karl mars චිත්‍රපටය තිරගත කෙරේ.

මෙදින ප්‍රධාන ආරාධිතයා ලෙස මලයාලම් සිනමාකරු සාජි එන් කරුන් සහභාගි වේ. හතරවැනි වරටත් සංවිධානය කරන මෙ සිනමා උලෙළ සම්මානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකා චිත්‍රපට ජූරි සභික අනෝමා රාජකරුණා ප්‍රමුඛ ඇජෙන්ඩා 14 සංවිධානයෙන්, සිලෝන් තියටර්ස් හා යාපනය විශ්වවිද්‍යාලයේ සිනෙනොලෙක්ස් සිනමා ශාලාවේදි පැවැත්වෙන අතර ප්‍රදර්ශනය කරනලද චිත්‍රපට අතරින් හොඳම වෘතාන්ත චිත්‍රපටය, හොඳම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටය, ජනප්‍රියම කෙටි චිත්‍රපටය හොඳම ජාතික කෙටි චිත්‍රපටය තෝරා ගැනෙන අතර ජීවිතයේ එකවරක් ප්‍රදානය කරන සම්මානයද ඊට ඇතුළත්ය.

ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණයකළ 'තුන්දෙනෙක්' චිත්‍රපටයද සාජි එන් කැරැන්ගේ "පිරවි" චිත්‍රපටයද මෙහිදී තිරගත කිරීමට නියමිතය.

 

රත්නසිරි පතිරණ

Comments