කළු හිම වෙනුවෙන් දවස් විසිපහක් හිමාලයේ දුක් වින්ඳා | සිළුමිණ

කළු හිම වෙනුවෙන් දවස් විසිපහක් හිමාලයේ දුක් වින්ඳා

ස්වප්නාගේ චරිතයට හඬ කවන්නේ මමයි

නිරෝෂන්ව කරේ තියාගෙන හිමේ ඇවිද්දා

 මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත කෙරෙන 'කළු හිම' සිනමා පටයේ නේපාල යුවතියකගේ චරිතයෙන් ඔබ හමුවට එන සුබුද්ධි ලක්මාලි හැකියාවන් රැසකින් පිරිපුන් රංගන ශිල්පිනියකි. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ අග්නි ඔපෙරාවෙන් වේදිකාවට ගොඩ වැදුණු ඇය මේ වනවිට වේදිකාව, පුංචි තිරය, සිනමාව , නිවේදනය, යන කලා මාධ්‍යයන් සියල්ල ජයගත් රංගන ශිල්පිනියක ලෙස හැඳින්විය හැකිය. අනාගත කලා ලොවට හොඳ ආයෝජනයක් වූ ඇය මෙවර රසඳුන තුන්වැනි පිටුවේ 'හිත පිරෙන හීන' හැඩකරන්නට එක්වූවා.

'කළු හිම' ඔබගේ පළමු සිනමා අත්දැකීමද?

ඔව්.'කළු හිම' මගේ පළමු සිනමා අත්දැකීම . මීට පෙර චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙස සිනමාවට සම්බන්ධ වී සිටියා. ඒත් සිනමා පටයක රඟපෑ පළමු අවස්ථාව මෙයයි.

කොහොමද එයට සම්බන්ධ වන්නේ..?

'කළු හිම' අධ්‍යක්ෂ උපාලි ගම්ලත් මට හමුවූයේ කේමදාසයන්ගේ අග්නි ඔපෙරාව කරන කාලෙදි. ඔහු තමයි කළු හිම සිනමා පටයට මාව සම්බන්ධ කර ගන්නේ. ඔවුන් මා සමග කලින් වැඩකර තිබූ නිසා මගේ රංගනය පිළිබඳව දැනගෙන සිටියා. කළු හිම චිත්‍රපටයේ 'චුණ්ඩා' කියන නේපාල තරුණියගේ චරිතයට මාව සම්බන්ධ කරගන්න ඇත්තේ ඒ නිසයි.

'කළු හිම 'රූ ගත කෙරුණේ විදෙස් රටකදී යැයි ඔබ කීවා..

නේපාලයේ කත්මණ්ඩු සිට හිමාලය පැත්තට අඩි දස දහසක් පමණ උස කඳුකර පෙදෙසක තමයි රූගත කෙරුණේ. එය හරිම සුන්දර වගේම ත්‍රාසජනක අද්දැකීමක්. අපි දවස් විසි පහක් එහි ගත කළා. අධික සීතලේ ගෙවූ එම දින විසිපහ හරිම කටුකයි. එහි එක දර්ශනයක නිරෝෂන් අයියාව මට උස්සගෙන යන්න තිබුණා . ඔහුගේ කිලෝ අසූවක් පමණ බර ශරීර‍ය අර අධික සීතලේ උස්සගෙන ගියා. දැන්නම් මතක් වෙනකොට හිතෙනවා ‍කොහොමද අපි මෙවැනි දර්ශන කළේ කියා. ඒ වගේම අත්වාරු නැති ඒ දණ්ඩ උඩින් දුවන්න වන දර්ශන. නිකන් හරි වතුරට වැටුණොත් සීතලට ගල් වෙනවා. කෙසේ හෝ මොන බාධක තිබුණත් අපි චිත්‍රපටය ඉතා සාර්ථක ලෙස රූ ගත කළා. මේ වන විට එම සිනමා පටයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

'ඉලන්දාරි හැන්දෑව ' ගැනත් කතා කරමු..

ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරන ඉලන්දාරි හැන්දෑව ජාතික රූපවාහිනියේ මේ දිනවල විකාශය කෙරෙන ටෙලි නාට්‍යයක්. මම එහි නිරූපණය කරන්නේ 'මීනු' කියන කාන්තා චරිතය. මීනු කියන්නේ ඔපෙරා ගායන ශිල්පිනියක්. කවිය වටා ගෙතුණු ස්වාමියා සහ ප්‍රේමවන්තයා අතර දෝලනයවන එම චරිතයෙන් මගේ ගායන, නර්තන, රංගන හැකියාව පෙන්වන්න හැකිවුණා.

සුබුද්ධි ආචාර්ය කේමදාසයන්ගේ සිසුවියක්..

ආචාර්ය කේමදාසයන්ගේ සිසුවියක වීම නිසයි මම අද යම් තැනක සිටින්නේ. එතුමාගේ සෙවණෙන් ලැබු දැනුම තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. මම හිතන්නේ එතුමාගෙන් ලැබෙන ගුරු හරුකම් සහ සංගීත පර්යේෂණ ඥානය පිටරට ගියත් ලබා ගන්න බැහැ. ඔහුගෙන් ලැබුණු ප්‍රාසංගික අත්දැකීම නිසා තමයි ගායනය, වාදනය, නර්තනය, රංගනය, යන සෑම අංශයක් පිළිබඳවම දැනුම ලැබුණේ.

කොහොමද කේමදාස පදනමට සම්බන්ධ වන්නේ..?

ඒක නම් ටිකක් දිග කතාවක්. මම සාමාන්‍ය පෙළ දක්වා පාසල් ගියේ බත්තරමුල්ල ශ්‍රී සුභූති පාසලට. ඉන් පසුව උසස් පෙළට කොළඹ යශෝදරා බාලිකාවට ඇතුළත් වුණා. එහිදී උසස් පෙළට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටියේ වෛද්‍යවරියක් වීමේ බලා‍පොරොත්තුවෙන්. එහෙත් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් මදිවීම නිසාවෙන් තොරතුරු තාක්ෂණ උපාධියක් හැදෑරුවා.

ඒ වගේම පෞරුෂ වර්ධනය වැනි තවත් පාඨමාලා ගණනාවක්ම හැදෑරීමට හැකිවුණා. ඔය කාලයේදි තමයි කේමදාස පදනමට සිසුන් බඳවා ගන්නවා කියා පුවත්පත් දැන්වීමක් දැක්කේ. මගේ සොයුරියගේ සැමියා ගෙනැවිත් දුන් ඉල්ලුම් පත්‍රය දැම්මා. සම්මුඛ පරීක්ෂණයට ගියාම කවියක් කියන්න කීවා. විනිශ්චය කරන්න හිටියේ ලූෂන් බුලත්සිංහල සහ සමන්ත පෙරේරා. විශාල පිරිසක් අතරේ ඔවුන් මාව තෝරා ගත්තා. 2005 අප්‍රේල් විසි පස්වැනිදා කේමදාස ශාස්ත්‍රාලයට බැඳී එතුමාගේ වියෝව දක්වා එහි අධ්‍යයන කටයුතු කළා.

ඉන් පසුව 'අග්නි ඔපෙරාවෙන්' වේදිකාවට අවතීර්ණ වෙනවා..

2007 අග්නි ඔපෙරාව තමයි මගේ නිර්මාණ ජීවිතයේ කලඑළි දැක්ම. ඉන් පසුව මහේන්ද්‍ර පෙරේරාගේ පළමු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය 'Star Sri Lanka හිස්තැනක්' ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපානවා. 2012 දී එම චරිතයට රයිගම් සම්මාන උළෙලේ හොඳම නැගී එන නිළියට නිර්දේශ වනවා. ජයන්ත චන්ද්‍රසිරිගේ සතර දෙනෙක් සෙන්පතියෝ ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කරන්න අවස්ථාව ලැබුණේ ඔය කාලයේදි .

සුදත් රෝහණගේ ගිරි කුළ ටෙලි නාට්‍යයේ රම්‍යලතා චරිතයත්, ලූෂන් බුලත්සිංහලගේ රතු හැට්ටකාරි වේදිකා නාට්‍යයේ රතු හැට්ටකාරියගේ චරිතයත්, උදයසිරි වික්‍රමරත්නගේ රඟපෑම් ඉවරයි වේදිකා නාට්‍යයේත් රඟ පෑවා. කමල් අද්දරආරච්චි, මහේන්ද්‍ර පෙරේරා, ලූෂන් බුලත්සිංහල, වැනි ප්‍රවීණයන්ගේ ගුරුහරුකම් ලබුණා.

මේ දේවල් සඳහා නිවෙසින් ලැබුණේ මොනවගේ සහායක්ද?

මගේ පවුලේ මමයි, අම්මයි, තාත්තයි, අක්කයි. අක්කා ගුරුවරියක් . ඇය විවාහකයි. මේ සියලු දෙනාගෙන්ම මට ලොකු සහයෝගයක් ලුබුණා මේ ගමන එන්නට. ඔවුන් මට වසර තුනහමාරක් කේමදාස සෙවණේ ප්‍රාසාංගික කලාව හදාරන්න ඉඩ ලබා දුන්නා. ඒ දැනුම නිසයි අද මම මෙසේ ස්ථාවරව කලාවේ රැඳී ඉන්නේ.

ගායනය, නිවේදනය සහ හඬ කැවීමටත් ඔබ හපන්කම් දක්වනවා?

මේ හැකියා සියල්ල කුඩා කල සිටම මට ලැබුණු දේවල්. විශේෂයෙන් මා දහම් අධ්‍යාපනය ලද මයුරපාද ජයන්ති දහම් පාසල මගේ දක්ෂතා එළියට එන තෝතැන්නනක් වුණා. මගේ වැඩි කැමැත්ත ගායනය සහ වේදිකාවට.

ගායිකාවක් ලෙස 'ටිකිරි ලියා තරු මැද්දෙ' ගීතය යූ ටියුබ් එකෙන් අහන්න පුළුවන්. ඒ වගේම චිත්‍රපටයකට සහ ටෙලි නාට්‍යයකට ගීත ගායනා කළා. ඉදිරියේදි දර්ශන රුවන් දිසානායකගේ වසන්ත නිද්‍රාව ඔපෙරාව වේදිකා ගත වෙන්න නියමිතයි.

නිවේදිකාවක් ලෙස ජාතික රූපවාහිනිය, අයි. ටී. එන්. සහ සියත නාළිකාවල වැඩ කළා. හඬ කැවීම් ශිල්පිනියක ලෙස ස්වප්නා ටෙලිනාට්‍යයේ ස්වප්නා චරිතයට හඬ කවනවා. මේ සියලු නිර්මාණවලට සම්බන්ධ වන්නේ තෝරා බේරාගෙන. මගේ ප්‍රතිපත්තිය රැල්ලට අසු නොවී තෘප්තිමත් විය හැකි නිර්මාණවලට පමණක් දායක වීමයි. 

 

Comments