විමල්ට ප්‍රසන්නට මැති සබේ තහනම් | සිළුමිණ

විමල්ට ප්‍රසන්නට මැති සබේ තහනම්

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර මහත්වරුන් පාර්ලිමේන්තුවේදී සිදු කළ විනය කඩකිරීම් හේතුවෙන් ඔවුන්ගේ සේවා කාලය පිළිවෙළින් සති 02ක් සහ මාසයකට අත්හිටුවීමට පාර්ලිමේන්තුව පසුගිය සිකුරාදා (21) පියවර ගත්තේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාගේ පාර්ලිමේන්තු සේවා කාලය අත්හිටුවීම සඳහා ඡන්ද විමසීමක් සිදු කළ අතර, ප්‍රසන්න රණවීර මහතා සම්බන්ධ යෝජනාවට පක්ෂව ඡන්ද 41ක්ද විරුද්ධව ඡන්ද 21ක්ද , විමල් වීරවංශ මහතා පිළිබඳ යෝජනාවට පක්ෂව ඡන්ද 29ක් සහ විරුද්ධව ඡන්ද 21ක්ද ලැබිණි.

යෝජනාවට පක්ෂව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධා‍නයේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කළහ.

ඡන්දය පැවැති අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සභා ගැබේ නොසිටියහ.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිවරිය ලෙස කටයුතු කළ විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කර තිබූ ප්‍රකාශයකට විරෝධය පළ කරමින් පසුගිය ජූලි තුන්වැනිදා පාර්ලිමේන්තු සභාගැබ මැදට විත් සටන්පාඨ කියමින් විරෝධතාවේ නිරත වෙමින් සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කළ බවට ප්‍රසන්න රණවිර මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබු අතර මූලසුනට අපහාස වන අයුරින් කටයුතු කළ බවට විමල් වීරවංශ මහතාට චෝදනා එල්ල වී තිබිණ.

ඒ අනුව එම මන්ත්‍රීවරුන් දෙදෙනාට 20 සිට පාර්ලිමේන්තුවේ කිසිදු කටයුත්තකට සහභාගී වීමට අවසර නොලැබේ.

Comments