ජාතික ළමාරක්ෂක ප්‍රතිපත්තිය කැබිනට් හමුවට | සිළුමිණ

ජාතික ළමාරක්ෂක ප්‍රතිපත්තිය කැබිනට් හමුවට

දරුවන්ගේ අයිතීන් හා ඔවුන්ගේ පරිසරය වඩත් සුරක්ෂිත කරමින් සැකසෙන ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය ලබන මස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට සූදානම් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන මහත්මිය සිළුමිණට පැවසුවාය.

මේ ජාතික ප්‍රතිපත්තියෙන් දරුවන් මුහුණ දෙන ගැටලු රැසකට ක්ෂණිකව විසඳුම් ලබා දීමට අපේක්ෂා කරන අතර, විශේෂයෙන්ම දරුවන් සම්බන්ධයෙන් ඇති යල් පැනගිය නීති සංශෝධනයට ලක් කළ යුතු බව අවධාරණය කර තිබේ. එසේම දරුවන් සම්බන්ධයෙන් අධිකරණවල විභාග වෙමින් පවතින නඩු ප්‍රමාදය වළක්වාගැනීමේ පියවරක් වශයෙන් දරුවන් සඳහා වෙනම අධිකරණයක අවශ්‍යතාවද මෙමඟින් මතු කර ඇත.

දෙවනුව මේ ප්‍රතිපත්තිය මඟින් මත්ද්‍රව්‍ය හේතුවෙන් දරුවන් මුහුණ පාන ගැටලු පිළිබඳවද අවධාරණය කර ඇති අතර, ඊට ඉතා ඉක්මන් විසඳුම් දෙමින් ගැටලු අවම කිරීමටද අපේක්ෂිතය. එසේම අනිවාර්ය පාසල් යා යුතු අවධියේ පසු වන දරුවන් පාසල්ගත නොකිරීම් මෙන්ම දරුවන්ගේ ශ්‍රමය සූරාකෑම් නතර කිරීමටද මේ ප්‍රතිපත්තියෙන් අපේක්ෂා කෙරේ.

හෙටට (ඔක්තෝබර් 1) යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් ඉදිරියේදී දරුවන් සම්බන්ධයෙන් වැඩසටහන් රැසක් කිරීමටත්, වාර්තා නොවන ගම් මට්ටමින් හිංසාවට පත් වන දරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීමට ගම් මට්ටමින් ‘ජන පවුරු’ නමින් කමිටු ඇති කිරීමටත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය බලාපොරොත්තු වෙයි. එසේම දරුවන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට ඇති 1929 හදිසි ඇමැතුම් අංකයෙන් පැය 24ම කිසිදු අය කිරීමකින් තොරව තොරතුරු ලබා දීමේ අවකාශයද සලසා තිබේ.

 

Comments