වටින්නේ, සාහිත්‍ය‍ෙයන් ලබන දැනුම ජීවිතයට ඈඳාගැනීමයි | සිළුමිණ

වටින්නේ, සාහිත්‍ය‍ෙයන් ලබන දැනුම ජීවිතයට ඈඳාගැනීමයි

ඕ ගීත රචිකාවකි; කිවිඳියකි; ග්‍රන්ථ කතුවරියකි‍. ධනාත්මක ආකල්ප ඇති කිරීම උදෙසා දේශන පවත්වන ඇය, පරිපාලන සේවා විභාගයට පෙනී සිටින විද්‍යාර්ථීන්ට මඟ කියන ගුරුවරියකි. අද සංස්කෘතික දෙපාර්ත‍මේන්තුව සතු මානව හා භෞතික සම්පත්වලින් උපරිම ප්‍රයෝජනයක් රටට අත් කර දෙනු පිණිස අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කරන්නියකි. ඉමහත් උද්‍යෝගයකින් යුක්තව සිය කාර්ය මණ්ඩලය මෙහෙයවන ඇය යම් කටයුත්තක යහපත් අවසානයක් දැකීමේ නොතිත් ආසාවෙන් කටයුතු කරයිි. මෙනිසාම ශ්‍රී ලාංකේය සංස්කෘතියේ හා කලාවේ උන්නතියට හා උද්දීප්තියට පසුගිය තෙවසරක කාලය පුරා කළ මෙහෙවර වෙනුවෙන් චීන කලා කෞතුකාගාරය විසින් අන්තර්ජාතික සංස්කෘතික හා කලා උපදේශක තනතුරෙන් ඕ පුදනු ලැබුවා ය. ඈ වත්මන් සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියයි.

මේ රටේ සංස්‌කෘතික කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂිකාව විධියට ඔබට පැවරී තිබෙන කාර්ය මොනවද?

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අදාළ ව්‍යාපෘති කාර්යක්ෂමව හා ඵලදායී අයුරින් ක්‍රියාත්මක කිරීම. මෙමඟින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති හා වැඩසටහන්වලට අනුකූලව ලේඛකයින්ට සහ කලා ශිල්පීන්ට මූල්‍ය ආධාර ලබාදීමට කටයුතු කිරීම. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය හා පෝෂණය සඳහා ක්‍රියා කිරීම. ඒවගේම කලාව හා කලා නිර්මාණ ප්‍රවර්ධනය, ප්‍රචාරණය හා සංරක්ෂණය කිරීම. ශ්‍රී ලංකාවේ සංස්කෘතික ක්ෂේත්‍රය පෝෂණය කරලීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සහ ක්‍රියාත්මක කිරීම ආදී සියලු කටයුතු මගේ කාර්යය යටතට පැවරී තිබෙනවා. මගේ ශක්ති පමණින් එය ඉටු කිරීම තමයි මගේ අරමුණ.

සංස්කෘතිය කියන දේ එකතැන පල්වෙන දෙයක් නෙමෙයි. ඊට විවිධ බලපෑම් එල්ල වෙනවා. විශේෂයෙන්ම නව තාක්ෂණය එක්ක අද ලෝකයම විශ්ව ගම්මානයක් තරමට කුඩාවෙලා. මේ දේවල් මොන විධියටද ඔබේ විෂයත් එක්ක ගැටෙන්නේ.

සංස්කෘතික සංවර්ධන කටයුතු, ප්‍රවර්ධන කටයුතු සිදු වන්නේ සමාජ පර්යේෂණ හරහා. ඒ පර්යේෂණ මඟින් කිසියම් ගැටලුවක් සංස්කෘතික දේහයට එල්ලවන බව තේරුම් ගියොත් ඊට පිළියම් යොදන්න අපි කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. උදාහරණයකට විවිධ මාධ්‍ය ඔස්සේ අවරගණයේ ගීත නිතර ඇහෙන කොට ‘අපි ගයමු’ කියන වැඩසටහන ආරම්භ කරල නැවත සුභාවිත ගීත රසවිඳින්න රසික සමාජය පෙලඹවීමට කටයුතු කළා. ඕනෑම කෙනෙකුට නිදහස් මන්දීරය ළඟට හැම මාසෙකම අන්තිම සෙනසුරාදාට ආවොත් මේ අත්දැකීම විඳගන්න පුළුවන්. මේ වෙද්දි විශාල මහජන ආකර්ෂණයක් මේ ‍වැඩසටහනට ලැබී තිබෙනවා. මේ විධියට විසඳුම් ක්‍රියාමාර්ග අපි සොයාගෙන යනවා. ඒවගේම නව වැඩ සටහන් විශාල ප්‍රමාණයක් අපි හඳුනගෙන තියෙනවා. එකට එක උදාහරණයක් ‘ජීවත් වීමේ කලාව’ කියන වැඩසටහන. දේශීය ආහාර සංස්කෘතිය ගැන, ජීවිතේ සතුටින් ගත කරනේ කොහොමද?,... ආදී වශයෙන් වැඩසටහන් මාලාවක් ලංකාව පුරාම ක්‍රියාත්මක කරගෙන යනවා. ගිය අවුරුද්දේ මේ විධියේ වැඩසටහන් සීයක් කළා. මේ අවුරුද්දේ එවැනි වැඩසටහන් දෙසීයක් කරන්න සැලසුම් කරල තියෙනවා.

අද ලෝකයේ නව දැනුම හරහා ඉදිරියට යමින් තිබෙනවා. කලා ක්ෂේත්‍රයේ වගේම සාහිත්‍ය විචාර ක්ෂේත්‍රය තුළත් නව ප්‍රවණතා ඇති වී තිබෙනවා. නමුත් අපි ඉන්නේ තාම යල්පැනපු මතවාදවල. මේ තත්ත්වය වෙනස් කරන්න කිසියම් උත්සාහයක් නැද්ද?

මේවන විට ලංකාව පුරා සාහිත්‍ය කතිකා රාශියක් පවත්වන්න අපි කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම සම්මානයට පාත්‍ර වූ ලේඛකයන්ගේ දායකත්වය ඇතිව. මීට අමතරව නූතන ප්‍රවණතා සම්බන්ධයෙන් විවිධ විෂයන් යටතේ සංකථන මාලාවක් දීප ව්‍යාප්තව සිදු කිරීමට මේ වසර අවසාන වීමට ප්‍රථම සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී මීට වඩා විද්වත් පාඨක සමාජයක්, නව ලේඛක පරපුරක් නිර්මාණය වේවි කියල අපි විශ්වාස කරනවා.

මේ සමාජය එන්න එන්නම පරිභෝජන සංස්කෘතියක වහලුන් බවට පත්වෙමින් තිබෙනවා. මේ වැඩසටහන්වලින් කොහොමද මේ අයගෙ ආකල්ප වර්ධනය කරන්නේ. මේ වැඩසටහන්වලට දැනට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

අපි කරපු මේ වැඩසටහන්වලට එක්්දාස් පන්සීයක පමණ පිරිසක් සහභාගි වුණා. පාසල් ගුරුවරුන්, දරුවන්, දෙමවුපියන්, වැඩිහිටියන් මේ හැම කොටසකම අය එතන හිටියා. විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් විසින් තමයි මේ වැඩසටහන්වලට සම්පත් දායකත්වය ලබා දෙන්නේ. මින් උකහා ගන්නා දැනුම ඔවුන් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරවීම තමයි අපේ අපේක්ෂාව වුණේ. ඔවුන් මේ දේවලි තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කර ගත්තේ කොහොමද කියලත් අපි පසු විපරමක් කළා. ඒ අය බලාපොරොත්තුවෙන දේවල් මොනවද, ඔවුන්ගෙ සිතුම් පැතුම් මොනවද සහ ඔවුන් මේ වැඩසටහන් ගැන දක්වන ආකල්පය මොකක්ද කියලා. කියන්න සතුටුයි, අපට තවත් ඉදිරියට ගිහින් ඔවුන්ට සමීපවෙන්න ධනාත්මකව හිතන්න ඔවුන් පොලඹවන්න හැකියාව ලැබුණා. මෙවැනි වැඩසටහන් නොනවත්වා අඛණ්ඩව ඉදිරියට යන්න ඕන කියලයි ඒ අය අපිට කිව්වේ.

ඉදිරියේදිත් මේ වැඩසටහන් ව්‍යාප්ත කරන්න සැලැස්මක් තියෙනවාද?

සත්තකින්ම, අපි ගිය අවුරුද්දේ ඉඳන් තරුණ කලා කරුවො එකතු කරගෙන ‘ඇවිදින පාසල’ කියල වැඩ සටහනක් දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ කළා. ඒක මාසිකව පැවැත් වෙනවා. දරුවන්ගෙ රසඥතාව වර්ධනය කිරීම වගේම නව ආකල්ප වර්ධනය කිරීම මඟින් අනෝන්‍ය සම්බන්ධතා දියුණු කිරීම මෙමඟින් අපි බලාපොරොත්තු වෙනවා. අපි කල්පනා කළා ලබන අවුරුද්දේ මීටත් ඉදිරියට ගිහින් පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී, සමාජ ජාල වෙබ් අඩවි මේ හැම මාධ්‍යක් ම උපයෝගී කරගෙන පුළුල් දීපව්‍යාප්ත වැඩ පිළිවෙළකට යන්න.

කලා ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට ඔබ අායතනය විසින් මොනවිධියේ දායකත්වයක්ද ලබාදෙන්නේ?

කලා ක්‍ෂේත්‍රයේ උන්නතිය සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් වැඩසටහන් රාශියක් මේ වන විට දියත් කර තිබෙනවා. ඒ අනුව විවිධ අංශ යටතේ රාජ්‍ය සම්මාන උලෙළ 15ක්, දිවයින පුරා ක්‍රියාත්මක වැඩසටහන් 866ක්, ප්‍රාදේශීය සාහිත්‍ය උත්සව 331ක්, දිස්ත්‍රික් සාහිත්‍ය උත්සව 25ක්, ‍දොළොස් මහේ පහන වැඩසටහන් 3972ක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. මේ වැඩසටහන් ඔස්සේ කලා ක්‍ෂේත්‍රය නව මාවතක් කරා ගමන් කරවීම අපේ අභිලාශයයි. කලා ක්‍ෂේත්‍රය නව මාවතක් කරා රැගෙන යන ගමනේදී අභියෝග රැසකට අපිට මුහුණ දෙන්න සිදු වුණා. විශේෂයෙන්ම ජනමාධ්‍ය හැසිරවීමේදී සිදු වන අඩුපාඩුකම් නිසා අගය කළ යුතු ඇතැම් දේ යටපත් වී ඒ වෙනුවට වැරැදි දේවල් සමාජගත වීමේ ප්‍රවණතාවක් මතු වුණා.

ඉදිරියේදී මෙවැනි දේ පිළිබඳව අපි වැඩි අවධානයක් දක්වනවා. ඒවගේම මාධ්‍ය ආයතන මින් ඉදිරියට සිය වගකීම නිවැරදිව ඉටු කිරීමට පියවර ගනීවි කියල අපි විශ්වාස කරනවා. මීට අමතරව කලාකරු සුබසාධනය උදෙසා කලාකරු දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමය, අගහිඟ කලාකරු ආධාර ලබාදීම, කලා සංගම් ලියාපදිංචි කිරීම, අවමංගල්‍යාධාර ලබාදීම, ජාතික අත්පිටපත් තරගය, ලේඛකාධාර ව්‍යාපෘතිය යටතේ කර්තෘ ප්‍රකාශ මිලදී ගැනීමේ සේවාව, කලාකරු හැඳුනුම්පත් ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.

සේයාරුව - මාලන් කරුණාරත්න

Comments