නිදහස් අධ්‍යාපනයේ පිය උරුමය සොයා ගියෙමි | සිළුමිණ

නිදහස් අධ්‍යාපනයේ පිය උරුමය සොයා ගියෙමි

ලංකාවේ කුමන දෙසින් පැමිණියද මතුගම නගරයට ඇතුළු වීමේදී දක්නට ලැබෙනුයේ "නිදහස් අධ්‍යාපනයේ පිය නගරයට සාදරයෙන් පිළිගනිමු” යන නාම පුවරුවය. මතුගම නගරය එසේ නම් දරා සිටින්නේ ජාතියක් ගොඩ නැඟූ අසාහාය නායකයා හට තම කාර්ය නිසිලෙස ඉටුකිරීමට අවශ්‍ය ජවය ලබා දීමේ ගෞරවය ලැබීම හේතුවෙනි. අතීතයේ රැකියා, අධ්‍යාපන, පරිපාලන ඇතුළු සියලු බලතල හිමිවූයේ බටහිර ගැති වරප්‍රසාද ලත් ධනවතුන් හට පමණි. එ් තත්ත්වය වෙනස් වී වරප්‍රසාද අහිමි ගම්මානයන්හි දුප්පත් දරුවන්ට පවා රටෙහි ඉහළ ම තැන්වල දොරටු විවෘත වූයේ භේදයකින් තොරව සැමට නිදහසේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය හිමි වීමත් සමගිනි. අද ඉහළින් වැජඹෙන සියලු දෙනාම පාහේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල ලාභීහු ය. නිදහස් අධ්‍යාපනය නොවන්නට බොහෝ අය තවමත් ධනවත් හාම්පුතුන්ගේ වලව්වල ප්‍රවේණි දාසයෝය.

ඒ අමිහිරි ඉතිහාසය වෙනස් කරමින් බොහෝ බාධා දුෂ්කරතා මධ්‍යයේ සියල්ලටන්ම නිදහස් නිවහල් ලොවක දොරටු විවෘත කර දුන් ඒ ආදරණීය නායකයා වන්නේ 1884 ඔක්තෝබර් 13 වන දින අම්බලන්ගොඩ රන්දොඹේහිදී දානියෙල් විජේකෝන් කන්නන්ගර සහ එමලි වීරසිංහ යුවළගේ තුන්වන දරුවා ලෙසින් මෙලොව එලිය දුටු 'ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර” හෙවත් ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මැතිතුමා ය. අම්බලන්ගොඩ වෙස්‌ලියන් විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ශිෂ්‍යත්ව පරීක්‍ෂණයට පෙනීසිට ඉන් ඉහළින් ම සමත් වීම නිසා ගාස්‌තු ගෙවීමකින් තොරවම රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිකර ගත් කන්නන්ගර මැතිතුමා 1902 වසරේදී කේම්බ්‍රිඡ් ජ්‍යෙෂ්ඨ පරීක්‍ෂණයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ම ප්‍රථම ස්ථානය දිනා ගැනීමටද සමත් විය. 1904 වසරේදී පාසල් අධ්‍යාපනය නිමවා ගණිත ගුරුවරයකු ලෙස රිච්මන්ඩ් විද්‍යාලයේ ම ආචාර්ය මණ්ඩලයට එක්වූ කන්නංගර මැතිතුමා වේල්ස්‌කුමර, මෙතෝදිස්‌ත, වෙස්‌ලි යන පාසල් වල ද සේවය කර අනතුරුව ගුරු වෘත්තියට සමු දී නීති විද්‍යාලයට බැඳී නීතිය හදාරා නීතිඥවරයකු ලෙස කටයුතු කර තිබේ.

1917 දී ගාලු ප්‍රදේශයේ පළමු දේශපාලන සංවිධානය වූ 'ගාලු දේශපාලන සංගමය” හි ආරම්භක ලේකම්වරයා ලෙස පත් වෙමින් ක්‍රියාකාරී දේශපාලනට පැමිණෙන කන්නන්ගර මැතිතුමා 1923 දී දකුණු පළාතේ නියෝජිතයා වශයෙන් ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයට තේරී පත්වෙමින් සිය දේශපාලන ගමන් මග ආරම්භ කර තිබේ. 1931 වසරේ ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය විසුරුවා හරින තෙක්‌ එහි කටයුතු කළ කන්නංගර මැතිතුමන් 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වීමට සමත් වේ. එහි අධ්‍යාපනය පිළිබඳ විධායක මණ්ඩලයේ සභාපති ලෙස වැඩි ඡන්දයෙන් පත්වීමත් සමග මෙරට ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා වීමේ භාග්‍ය එතුමා හට හිමිවී ඇත. 1936 දී ගාල්ල ඡන්ද කොට්ඨාසය අතහැර පියාගේ උපන් ගම වූ කළුතර දිස්ත්‍රික්කයේ 'ලූල්බද්දූව” අයත් මතුගම ආසනයට තරග කොට 1936 පෙබරවාරි 27 දින පැවැත්වූ මැතිවරණයේදී වැඩි ඡන්ද 4,459 ක් ලබා ගනිමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වීමට එතුමාට හැකිවී තිබේ.

මේ පත්වීම මෙරට සමාජය සහමුලින් ම වෙනස් කළ පත්වීමකි. මේ නිසා රාජ්‍ය මන්ත්‍රණ සභාව හරහා රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම වෙනුවෙන් මූලික කටයුතු ඇරඹීම කන්නන්ගර මැතිතුමාට අවස්ථාව උදා විය. 1942 දි කන්නන්ගර මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ විශේෂ කමිටුව මඟින් 1943 දි නිදහස් අධ්‍යාපන ක්‍රමය මෙරටට හඳුන්වා දීම සිදු විය. මේ කමිටුව මගින්, සියලු දෙනාටම බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා දීමල නේවාසික පහසුකම් සහිත මධ්‍ය මහා විද්‍යාල, ද්විතීයික අධ්‍යාපන ප්‍රවේශය වැඩි කිරීම සඳහා ශිෂ්‍යත්ව ක්‍රමයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම, ආගමික අධ්‍යාපනය හඳුන්වා දීම, ගුරුවරුන් සඳහා ක්‍රමවත් මාසික වැටුප් ක්‍රමයක් ආයතන ගත කිරීම, විශ්වවිද්‍යාල පිහිටුවීම වැනි ජාතියට 'නිශ්චිත වටිනාකමක්” දිය හැකි යෝජනා රැසක් යෝජනා කර තිබුණි.

මේ යෝජනා ඇතුළත් නිදහස් අධ්‍යාපන ක්‍රමවේදය අත්හදා බැලීම පිණිස 1943 දී ලංකාවේ පළමූ මධ්‍ය මහා විද්‍යාලය වන 'මතුගම මධ්‍ය මහා විද්‍යාලය” ආරම්භ කළ ආචාර්ය සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා එහි සාර්තකත්වය ද අත් දකිමින් කමිටුවේ යෝජනාවන් සහිත නිදහස් අධ්‍යාපන වැඩපිළිවෙළ ඇතුළත් අධ්‍යාපන පනත 1944 මැයි 30 වැනි දින ඉදිරිපත් කොට තිබේ. මේ පනත කෙරෙහි මෙරට පාලනය කළ විදේශිකයන්ටත් වඩා ස්වදේශීය බටහිර ගැති පාලකයන් සහ ධනපතියන්ගෙන් එල්ලවී ඇත්තේ දැඩි විරෝධයකි. 'කන්නන්ගර ඔය පනත සම්මත වුණාම අපිට ගහකින් ගෙඩියක් කඩාගන්න වත් කොල්ලෙක් නැති වෙයි” මෙරට ඇතැම් ජාතික නායකයන් පවා එලෙස පැවසූ බව අතීත වාර්ථාවන්හි දැක්වේ.

එහෙත් නිදහස් අධ්‍යාපන අරමුණ වෙනුවෙන් දැඩි අධිෂ්ඨානයකින් ක්‍රියා කළ කන්නංගර මැතිතුමා දැඩි බාධා කිරීම් හා විරෝධතා මැද 1945 ජූනි මස 06 දින නිදහස් අධ්‍යාපන පනත සම්මත ගැනීමට සමත්වීම මෙරට සියලු ජනයා ලැබූ භ්‍යාග්‍යයකි. මේ නිසා මෙරට සියලුම දරුවන්ට සම අධ්‍යාපන අයිතිවාසිකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි විය. මෙලෙස නිදහස්‌ අධ්‍යාපන යෝජනා සම්මත කළත් එය ක්‍රියාත්මක කිරීමේදී පවා එතුමා හට ලැබී ඇත්තේ බාධා කිරීම් පමණි. සාමාන්‍ය ජනයාට නිදහස් අධ්‍යාපන වරම් හිමිවීමත් සමඟ ඔහු හා වෛර බැඳගත් ධනවතුන් හා මිෂනාරින් කන්නන්ගර මැතිතුමාට විරුද්ධව විවිධ කුමන්ත්‍රණ දියත් කළ අතර එහි අවසාන ප්‍රතිඵලය වූයේ 1947 දි පැවති මැතිවරණයෙන් එතුමා තරඟ කළ මතුගම ආසනය ඉඩම් හිමි වැවිලි කරුවකු වූ විල්මට් ඒ. පෙරේරා මහතා විසින් කන්නන්ගර මහතා පරාජය කරනු ලැබීමයි. කන්නංගර මැතිතුමා 1952 දී අගලවත්ත ආසනයෙන් තරඟ කොට යළි ජයග්‍රහණය ලැබුවත් ඔහුට හිමි වූයේ ඔහු විශාල කාර්යක් ඉටුකළ අධ්‍යාපන අමාත්‍යාංශ නොව පළාත් පාලන අමාත්‍ය ධූරයයි. 'අයියා ඔබ ඉන්දියාවේ වූයෙහි නම් දෙවියකු සේ පූජනීයත්වයට පත්වෙනවා.” නිදහස් අධ්‍යාපන පනත පිළිබඳ කන්නන්ගර මැතිතුමා කළ කථාවට සවන් දුන් ඉන්දියානු මහකොමසාරිස් 'එම්. එස්. ආනි” කන්නන්ගර මැතිතුමා තම දෑතින් බදා ගනිමින් පැවසූ බව සඳහන් වෙනවා.

දෙවියකු සේ පූජනීයත්වයට පත්විය යුතු වුවත් 1956 දි විශ්‍රාම යාමත් සමඟ කන්නන්ගර මහතාට ලබන්නෙ අභාග්‍යවත් කාලයක්. දේශපාලනඥයකු ලෙස තම පැවැත්ම වෙනුවෙන් තනතුර භාවිත නොකළ බැවින් විසි වසරකට අධික කාලයක් ව්‍යවස්ථාදායකය නියෝජනය කළත් ජිවිතයේ සැඳෑ කාලය ගෙවීමට තරම් හෝ ආර්ථිකයක් එතුමා සතු කරගෙන නොතිබූ නිසා 1961 ඔක්තෝබර් මස 26 දින කථානායක ආර්.එස්. පැල්පොල මහතා වෙත ලිපියක් යවමින් කන්නන්ගර මහතා ඉල්ලා සිටින්නේ තම ජීවිතයේ අවසාන කාලය ජීවත්වීම සඳහා තමනට පිං පඩියක් ලබා දෙන ලෙසයි. 'රජයේ ඉහළම රාජ්‍ය සභාවල සියවස් කාලකටත් වැඩි කාලයක් සේවය කිරීමෙන් පසුව මා දැනට පත්වී තිබෙන අසරණ තත්ත්වයන් නිසා හදිසි මූල්‍යමය ආධාරයක් අපේක්ෂාවෙන් මේ ඉල්ලීම ඔබතුමා වෙත ඉදිරිපත් කරන බව ගෞරවාන්විතව දන්වා සිටිමි. ආයෝජනවලින්, නිවාසවලින්, ඉඩකඩම්වලින් හෝ වෙනත් ප්‍රභවයන්ගෙන් මට කිසිදු පෞද්ගලික ආදායමක් නොලැබෙන බැවින් මා වසර ගණනාවකම යැපුණේ මගේ මිත්‍රයන්ගෙන් ලැබුණු පරිත්‍යාගවලිනි. මගේ සෞඛ්‍යය රැකගැනීම සඳහා කළ යුතු අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් ගෙවිය යුතු බිල්පත් දිනපතා ගොඩගැසෙමින් පවතී. මිත්‍රයන්ගෙන් හා නැදෑයන්ගෙන් සහනාධාර යැදීම සියවසකින් තුනෙන් එකක් තරම් වූ කාලයක් තිස්සේ රජයේ ඇමැති තනතුරක් දැරූ මා වැන්නකුට කිසිසේත් තරම් නොවන බවට ඔබතුමා ද එකඟ වනු ඇත යනු මාගේ විශ්වාසයයි. රජයෙන් ක්ෂණික සහනයක් අපේක්ෂාවෙන් මගේ මේ ආයාචනය ඔබතුමා වෙත ඉදිරිපත් කරන්නේ අද මා මුහුණ පා සිටින අවාසනාවන්ත තත්ත්වය නිසා ය. එසේම සියවස් කාලකට වැඩි කාලයක් තිස්සේ මගෙන් කිසියම් ගෞරවයකට හා පිළිගැනීමකට ලක් වූ සේවයක් ඉටු වී ඇති බව ද මා අදහස් කරන නිසාත් ය.” යනුවෙන් එතුමා ඉතා අසරණව ඉල්ලා යවා තිබේ. මේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් එතුමාට පාර්ලිමේන්තුවෙන් රුපියල් දසදහසක මුදලක් ගෙවූ අතර පසුව මසකට රුපියල් 500 බැගින් පින් පඩියක් පිරිනැමූ බවත් පසුව බලයට පැමිණි රජය යටතේ එ් මුදල රුපියල් 1000 දක්වා වැඩි කරන ලද බවත් සඳහන් වේ..

රටටම නිදහස් අධ්‍යපනය දී පාසල් ගොඩ නැංවුවත් සිය මිනිපිරිය පාසලට ඇතුළත් කිරීම සඳහා මිනිපිරිය සමග විශාකා විද්‍යාලයේ පෝලිමේ සිට ගෙන සිටීමට එතුමාට සිදුවූ බව සඳහන් වේ. අවසාන කාලයේ ජීවත්වීමට නිවාසයක් හෝ නොතිබුණු කන්නංගර මැතිතුමා අවසානය කාලය ගත කර තිබෙන්නෙ සිය දියණිය බැංකු ණයකින් ගත් නිවසක. රෝගී වූ එක් අවස්ථාවක ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුදල් නොමැති වීම නිසා සිය මගුල් මුද්ද පවා උකස් කිරීමට එතුමාට සිදුවී තිබේ. එසේ ඉතා කනගාටුදායක ලෙස අවසාන කාලය ගෙවූ කන්නන්ගර මැතිතුමා 1969 සැප්තැම්බර් 23 වැනිදා කොළඹ මහරෝහලේදී මෙලොවින් සමුගන්නෙ අමතක කර දැමූ පුද්ගලයකු වශයෙනි.

නිදහස් අධ්‍යපනයේ ප්‍රතිඵලලාභීන් සේවය කළ රෝහලේ සාමාන්‍ය ඇඳක් මත එතුමා සිය දිවියේ අවසානය ගත කළත් ඒ නිදහස් අධ්‍යාපනයේ පියා බව කිසිවකු හෝ නොදත් නිසා කිසිවෙකු ඒ ගැන අවධානය යොමු කර නොතිබූ බවත් ඔහුගේ උපැස් යුවළ හා පාවහන් යුගලය කිසිවකු හෝ සොරකම් තිබූ බවත් ඇගේ මිනිපිරිය පසුකාලීනව සඳහන් කර තිබිණි. ලක්ෂ සංඛ්‍යාත දුගී දරුවන්ට අධ්‍යාපනයෙන් ඉහළට පැමිණ ජීවිතය සාර්ථක කර ගැනීමට මඟ පෙන්වූ, සැබෑ ලෙසම ජාතිය ගොඩනැඟූ විශිෂ්ට යුග පුරුෂයකුට ජාතිය කෘත ගුණ සැලකුවේ ඒ අයුරිනි.

කන්නන්ගර මැතිතුමා සතුව තිබුණු එකම දේපළ, සිය පියාගේ භස්මාවශේෂ තැන්පත් කිරීම සඳහා 1938 වසරෙදි පියාගේ උපන් ගම වූ මතුගම ලූල්බද්දූව ගමෙන් රුපියල් 30 කට මිලදී ගත් පර්චස් 25 ඉඩම පමණකි. කන්නංගර මැතිතුමාගේ අභාවයෙන් පසුව එතුමාගේ භස්මාවශේෂ, මේ භූමියේම එතුමාගේ පියාගේ සොහොන් කොත අසලම තැන්පත් කර තිබේ. අද මේ බිම අයිති එතුමාගේ පවුලේ වර්තමාන පරපුරට ය. 2013 වසරෙදි මේ ස්ථානයට යාබදව කන්නංගර මැතිතුමාගේ ප්‍රතිමාවක් ඉදිකර එතුමාට ගෞරව දක්වා තිබේ. මතුගම නගර මධ්‍යයේ මෙන්ම මතුගම කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය ඇතුළත එතුමා සිහිකරමින් ප්‍රතිමා ඉදිකර, මතුගම නගරය නිදහස් අධ්‍යාපනයේ පිය නගරය බවට පත්කර තිබෙන්නෙ එතුමා කළ සේවයට උපරිම ගෞරවය ලබා දීම වෙනුවෙනි. එතුමා එදා ගත් තීන්දු තීරණ නිසා අද රට වේගයෙන් දියුණුව කරා ගමන් කරමින් තිබේ. ඒ දියුණුවේ පුරෝගාමියා පස්දුන් රට අගනුවර සමාදානව සැතපී ඒ දියුණුව දෙස නිහඬව බලා සිටී.

 

අදහස්