නවකතා මාවතේ එළූ යකඩ සිල්පර | සිළුමිණ

නවකතා මාවතේ එළූ යකඩ සිල්පර

ග්‍රාමීය සමාජයක පරිණාමය සහ එයින් ඇතිවන විපර්යාසය සංකේතවත් කරමින් ලියූ නවකතාවකි, ‘යකඩ සිල්පර’. සත්‍යයත් කල්පිතයත් සමීප කරමින් ලියා ඇති මේ ප්‍රබන්ධයෙන් ඓතිහාසික පසුබිමක් හෙළි වේ. මේ නිර්මාණයෙන් මතුවන අර්ථයත් දූම්රිය මාර්ගය සෑදු යටගියාවත් එකට සම්බන්ධ වෙමින් කතාව දිග හැරේ. ලේඛකයා පාඨකයන් රැගෙන මේ ගම් බිම් මැදින් පිවිසෙන්නේ කටුවන්නා ‍කෝරළයට ය.

දුක්බර ආත්මයන්ගේ සියුම් විලාප නිර්මාණය අතරින් මතුවේ. මෙම සරල පුවතට ලේඛකයා අසාමාන්‍ය ගැඹුරක් ගෙන දේ. එය සෞන්දර්යවේදය ඔස්සේ ගලා යෑමට සලස්වා ලීම ප්‍රතිභාවේ හාස්කමකි.

මේ කෘතිය අවස්ථා දෙකකදී රසවිඳිය හැකි යැයි සිතේ. ඒ ලොකුනායක ආරච්චිලගේ රාජකාරි වෘත්තාන්තයත්, ඩස්ටන් සහ රූත්ගේ ජීවන අන්දරයත් ය. මේ කෘතිය පඨනයේදී හැඟී යන ප්‍රධාන කරුණ වන්නේ ලේඛකයා ආඛ්‍යාන වේදය හසුරුවාලිමේදී දක්වා ඇති පරිණත බව ය.

මේ කෘතිය පුරා විහිද ඇති චරිත නිර්මාණයට ආලෝකයකි. එ් චරිතවල හඬ පාඨකයාට නිරන්තරවම ඇසේ. පරිකල්පනය ඔස්සේ වර්ණවත් වූ එ් චරිත සංකීර්ණ බවින් යුතුයි. ඒ චරිතවල අභ්‍යන්තරය මතු කිරීමට ලේඛකයාට හැකි වී ඇත.

මෙහි එන ඩස්ටන්ගේ චරිත නිරූපණය තුළ ඔහු මානවදයාවෙන් යුතු මිනිසකු බව කතුවරයා නොකියයි. පීටර් නමැති ඉංජිනේරුවා වටුවන්ට වෙඩි තැබීමට ගොස් කිඹුලකුට බිලි වීමට ගිය පදක්කයා දෙස වියරු සිනාවෙන් බලා සිටි අයුරුත්, කම්කරුවන්ට කසයෙන් තළමින් වැඩගන්නා අයුරුත් බලන විට ඩස්ටන්ගේ චරිතයෙන් මනුෂ්‍යත්වයේ කඳුළු බිඳු වෑහෙයි.

ඩස්ටන්ගේ රුව මැකී නොයන ලෙස පාඨක මනයේ සිත්තම් කිරීමට ලේඛකයා දැක් වූ ප්‍රතිභාව ප්‍රශංසනීයයි.

ඩස්ටන්ගේ චරිතය විනිවිද දැකීමට ඇති කවුළුව ඔහු ලියන දිනපොතයි. එය පාඨනයේදී මොහු හිස් මිනිසකු නොව, ආලෝකවත් මිනිසකු බව පාඨකයාට හැඟෙයි. ඔහු ලියන දිනපොතෙන් පෞරුෂය ද පෙනේ.

මෙහි එන ලොකුනායක ආරච්චිල ද පාඨක මනසේ බොඳ නොවන සේ සිත්තම් කිරීමට ලේඛකයා අමතක නොකරයි. කටුවන්නා කෝරලයේ ගල්ලෑව වසමේ ආරච්චිල වූයේ ලොකු නායකයා ය.

ඔහු අඩි පහක් පමණ උස මහත නිසා උස නොපෙනෙන පිට්ටු බම්බුවක් වැනි හැඩයෙන් යුතු අයෙකි. පන්සාළිස් වියේ සිටි ඔහු පැහැපත් ය; මුහුණ රවුම් ය; උරුලෑවකුගේ ඇස් දෙකක් තිබූ ඔහුගේ නලල පළල් ය. මී හරක් අඟක් වැනි දෙපසට කරකැවූ ඝන උඩුරැවුලක් වවා ලොකු දොඩමක් තරමේ කොණ්ඩයක් බැඳ සිටියේ ය. කතුවරයා රූක් ඇලීසියාගේ චරිතය නිරූපණය කරන්නේ රම්බාගේ ඇසිණි. මේ නවකතාවට ජීවය දෙන සෙසු චරිත වුවද ඉතා ප්‍රාණවත් වී ඇත්තේ චරිත නිරූපණයෙනි.

මෙහි ලාංකික චරිත ක්‍රියාකරන්නේ අප සංස්කෘතියේ විධානයන්ට අනුව ය. ධූමරථ මාර්ගය සැකසීම අරභයා පැවති ජනහමුවීම් වගතුග මහනායක ආරච්චිල ගුණයාට පවසන්නේ අර සංස්කෘතියක විධානයට යටත් ව ය. සංස්කෘතික පරිසරයේ ඓතිහාසික බලවේග ඉතා ප්‍රබල ය.

එය මනසින් ඉවත් කළ නොහැකිය. මේ නිර්මාණයට පාදක වූ සෙසු චරිත පුළුල් බුද්ධිමය සංකථන පාඨක මනසේ ජනිත කරයි. වමේ ව්‍යාපාරයේ වර්ණාත් ගුණසේකර, බ්‍රෙස්ටන්ගල් මෙන්ම, ජාතික ව්‍යාපාරයේ නායක අනගාරික ධර්මපාලතුමාගේ මඟ ගත් සොයිසාගේ නැඟණිය සේම, රූත්ට වන පෙතේ මුණ ගැසුණු භාවනායෝගී භික්ෂුව වැනි චරිත කෘතියෙහි ගුණාත්මක බව වැඩිකිරීමට දායක වී තිබේ.

මෙහි විෂය පථය ඉතා පුළුල්ය; විසිර ගිය චරිතයෝය; විවිධ සිද්ධීන්ගෙන් ගහනය. සියලු චරිත මුතු පටක්සේ එකට පෙලගස්වා ගෙත්තම් කිරීමට ලේඛකයා වෙහෙස ගෙන ඇත.

ජීවන සෞන්දර්යෙන් විකසිත ඩස්ටන්ගෙ දිනපොත තම කථන හෙළිකරන රූත්ගේ දිනපොත, ඒ මඟින් හෙළිවන ගවරා පිළිබඳ කතාන්තරය, ගවරා සහ ගුරුළු මාලිගේ සැබැඳියාව, ලොකු නායක ආරච්චිල සහ ගෝනලාව අතර, වෘත්තාන්තය, ඩස්ටන් සහ රම්බාගේ ශෘංගාර ප්‍රේමය, ඔවුන්ගේ එංගලන්ත ජීවිතය, රූත්ගේ අවසානය, පදක්කයාගේ මරණය වැනි විසිරුණු අවස්ථා එකට ගළපා ලේඛකයා විසින් ප්‍රබන්ධයක් ‍ගොඩනඟන්නේ මනා සංයමයකිනි.

විනාශ වී ගිය ගෝනලෑව ගම්මානයේ සිහින් කෙඳිරිය තවමත් පාඨකයාට ඇසේ. වියෝගයේ වේදනා‍ කෘතිය තුළ සඟවා තැබීමට ලේඛකයා සමත් වෙයි.

මෙහි භාෂා රටාව එකාකාරි නොවේ. දහ අටවැනි සියවසේ අවසානයේ වියකෙමින් යන වාග්ලාපවලින් කෘතිය පෝෂණයවේ. එ් වාග්ලාප නොවන්නේ නම් චරිතය ද බිඳවැටී යන්නේය.

ලොකුනායක ආරච්චිලගේ කතා විලාශය උපහාසයෙන් යුතුය “ අපට කෙළවෙන්ඩයි යන්නෙ, ගුරුළු මාලියේ වේ කුක්කො දෙන්න අල්ලගන්, නැත්තන් මන් පලුගහයි, ඔය, රීරියකාගෙ නැගල අපි වන්දනාවෙ යන්ඩැයැ, එතකොට තොගෙ මහ ගස ගරත්තුවට මොකද වුණේ, තොපි ගස් කීයක් පත බෑවද බොලව්, දියුණුවෙයිද මකබෑවිලා යයි ද කව්ද දන්නෙ,

“ඒක හැබෑවට හුරේ අපි පර සුද්දගෙ බත් බැලයො උණාට ඒකා එංගලන්තෙ මහ රජ්ජුරුවන්වත් අඩංගු වෙන එකෙක්යැ”. ගොරබාගේ වදන් වුවද නිර්මාණයට ගෙනෙන්නේ ජීවයකි. කරල්සායට කටු අලත් වඳයි, අහවල් කාසිය සොච්චමක් දෙනව තමයි ඒක අපේ හැත්ත බුරුත්තටම සෑහෙනවයැ, එලෙසින්ම සොයිසා වදන් තුළින් පුරවහර මතු වේ. ලේඛකයා කාව්‍යමය බස් වහරකින් නිර්මාණයට රසෝගය එක්කර තිබෙනවා පමණක් නොව, රූක්ගේ සහ ඇලීසියාගේ දින සටහන් සෙව්වහර හෙවත් විදග්ධ වහරින් පෝෂණය කර තිබේ. ඒ නිසාම විවිධ මතවාදවල සංඝටනය ද ජනිතවේ.

ගතානුගතික ග්‍රාමීය සමාජය දෙදරවාගෙන කම්කරු පන්තිය ගොඩ නැඟෙමින් තිබූ අයුරුත් ඒ තුළ ඇතිවන සංකීර්ණ මනුෂිකත්වයන් මේ ආඛ්‍යානය තුළින් ගම්‍ය මානවේ. ‘යකඩ සිල්පර’ නවකත‍ාව කියවා අවසන්වන මොහොතෙහි ලේඛකයාත්, කෘතියත් පාඨකයාත් අතර අන්තර් සම්බන්ධතාවක් හෙවත් සන්නිවේදන පරිස්ථිතියක් ගොඩනැගේ.

ලේඛකයාගේ සෞන්දර්ය නිම්නයේ නිබඳ ව ම සැරිසැරීමට පාඨකයාට සිදු වේ. එතෙකුදු හොත් මේ කෘතියෙන් විහිදෙන බුද්ධිමය හා සාමාජික සංව‍ාදයෙහි දායකයකු බවට පාඨකයා පත් වේ.

Comments