මෛත්‍රී ජගත් නායකයන්ට කියන අලුත් කතාව | සිළුමිණ

මෛත්‍රී ජගත් නායකයන්ට කියන අලුත් කතාව

  • ව්‍යාජ දේශප්‍රේමය
  • එකිනෙකාට සමාව
  • තරගකාරීත්ව පාලනය

එක්සත් ජාතීන්ගේ 73 වැනි මහ සමුළුවට සහභාගි වීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ වන විට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටියි. ලෝකයේ නොයෙක් දිසාන්තයෙන්ගෙන් පැමිණෙන රාජ්‍ය නායකයන්, සුවිශේෂ නියෝජිතයන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මුළු දෙන මේ ජගත් සමුළුව අප රටටද අතිශය වැදගත් වනු ඇත. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අලුත් කරගැනීමට අමතරව ගෝලීය දේශපාලන සමාජ ආර්ථික හා පාරිසරික ගැටලු සාකච්ඡා කිරීමටද යොදාගත හැකි මේ ජගත් සංවාද මණ්ඩපයේදී ශ්‍රී ලංකාවේ වර්තමාන භූමිකාව පිළිබඳ විග්‍රහයක් කිරීමට මෛත්‍රී ජනාධිපතිවරයාට අවකාශ සැලසෙනු ඇත. සාමය හා සංහිඳියාව උදෙසා කැප වූ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදි විජයග්‍රහණ මෙන්ම ඒවාට හරස් වන බලවේග පිළිබඳවද ජගත් රාජ්‍ය නායකයන් අබියස යථාර්ථවාදි හා සත්‍යවාදි වාර්තාවක් ඉදිරිපත් කිරීමටද මෛත්‍රී ජනාධිපතිවරයා මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනු ඇත.

මෛත්‍රී ජනාධිපතිවරයා ජගත් සමුළුවට එක්වන මේ මොහොතේදීත් රට අභ්‍යන්තරයේ මෙන්ම, රටින් බාහිරවද නොයෙක් දේශපාලන විරෝධතා හා ක්‍රියාකාරකම් සිදු වෙමින් තිබේ. රට ඇතුළතින් මතු වී තිබෙන්නේ රටේ ආරක්ෂාව අඩු කර, එදා රට බේරාගත් රණවිරුවන් දඩයම් කිරීමට උචිත වාතාවරණයක් සකසා දීමට ආණ්ඩුව ක්‍රියා කරන බවට සඳහන් චෝදනාවකි. රටින් පිටත දෙමළ ඩයස්පෝරාව හා ඔවුන්ගේ ගජමිතුරු රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීහුද මේ ආණ්ඩුව දෙමළ ජනතාවට යුක්තිය ඉටු නොකරන බවට ඝෝෂා කිරීම සඳහා ජිනීවා නුවරට ගොස් සිටිති. මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේද අනුබල සහිතව රණවිරුවන් බේරාගැනීම සඳහා තවත් පිරිසක් ජිනීවා නුවරට ගොස් සිටිති. ජිනීවා මානව හිමිකම් කමිටුව පෙනෙන මානයේ දෙමළ ඩයස්පෝරාවේ කොටි කොඩි අතට ගත් පිරිසකගේ විරෝධතාවක්ද පැවැත්විණි.

රණවිරුවන් බේරාගැනීමට තමා ඇතුළු පිරිසක් ජිනීවා බලා යන බව ප්‍රකාශ කළේ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකරය. ඊට පෙර මහාචාර්ය චන්න ජයසූරිය ප්‍රමුඛ තවත් පිරිසක් ජිනීවා නුවරට ගොස් රණවිරුවන්ට පක්ෂව කරුණු ඉදිරිපත් කළ බවද සඳහන් කර තිබිණි. මේ රණවිරුවන්ට පක්ෂව කරුණු කීමේ කථාව තුළ තිබෙන්නේද ආණ්ඩුවට විරුද්ධ චෝදනාවකි. එනම්: ආණ්ඩුව රණවිරුවන් පාවා දීමට ක්‍රියා කරන බවයි.

හිටපු හමුදා නිලධාරියා ප්‍රමුඛ පිරිස විසින් ප්‍රදර්ශනය කරනු ලබන දේශප්‍රේමය රණවිරුවන් උදෙසා වන කැප වීම ව්‍යාජ එකක්යැයි අපි නොකියමු. එහෙත් එයින් නිකුත් කෙරෙන දේශපාලන සංඥාව නිවැරදි නැත. එසේ වුවද මෛත්‍රී ජනාධිපතිවරයාට අද යම් යම් පිරිස් විසින් නඟනු ලබන බරපතළ චෝදනාවක් වී තිබෙන්නේද ඔහු ‘රණවිරුවන්’ යන්නට මුවා වී දූෂිත හමුදා නිලධාරීන් සුරකින බවය. කුමක්ද එහි ඇත්ත? මෛත්‍රී ජනාධිපතිවරයාගේ දේශපාලන භාවිතය තුළ සාධනීය ලකුණක් වන්නේ රණවිරුවන්, විශේෂයෙන් රට වෙනුවෙන් කැප වී ක්‍රියා කළ ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු සියලු කොටස් කෙරෙහි ඔහු තුළ පවත්නා ළෙන්ගතු හැඟීමයි. රණවිරුවන්ට පීඩා කිරීමට හා ඔවුන් දංගොඩියට රැගෙන යෑමට රිසි වූ දේශපාලන බලවේග රට තුළ මෙන්ම ඉන් පිටතද තිබෙන බව සැබෑය. එහෙත් මෛත්‍රී ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත්තේ දූෂණ, අපරාධ, අසාධාරණ ක්‍රියා හා සම්බන්ධ චෝදනා තිබෙන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා නොකිරීමය. කිසියම් වරදක් කර තිබේ නම් නීතිය මඟින් ඔවුන්ට දඬුවම් දීම විනා, හිතුවක්කාර ලෙස කවුරුන් හෝ සතුටු කිරීම සඳහා රණවිරුවන් පීඩාවට පත් නොකළ යුතුය යන මෛත්‍රී පිළිවෙත සමහරුන්ට වහකදුරු වී තිබෙන බව සැඟවිය යුතු නැත. විශේෂයෙන් මේ සිද්ධියට අදාළව විශේෂ කැබිනට් හමුවක් කැඳවූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මානව හිමිකම් කඩ වීම, සහසික ප්‍රචණ්ඩ ක්‍රියාවලට කරුණු ගොනු කර විමසා බලා අත්අඩංගුවට ගැනීම කළ යුතු බවය. මවුබිම වෙනුවෙන් අප්‍රමාණ පරිත්‍යාග කළ රණවිරුවන් නිකරුණේ හිරගෙවල්වල රැඳවීම සාධාරණ නොවන බව ජනාධිපති ස්ථාවරය වී තිබේ.

මෛත්‍රී ජනාධිපති ධුරයට පත්වන විට ශ්‍රී ලංකාව පිළිබඳ ජගත් චිත්‍රය වූයේ කුමක්ද? සුළු ජනයා පෙළන, දෙමළ ජනයාට කිසිදු හිමිකමක් නොදෙන, ම්ලේච්ඡ ජාතියක් ලෙස සිංහලයාට කුප්‍රකට චිත්‍රයක්ද විය. ඒ චිත්‍රය දෙමළ ඩයස්පෝරාවේ මූල්‍ය අනුග්‍රහයෙන් වර්ණ ගන්වා තිබිණි. දෙමළ ඩයස්පෝරාවේ වරදාන ලබන දේශීය හා විදේශීය කණ්ඩායම් ඒ චිත්‍රය සම්පූර්ණ කර ලෝකයට ප්‍රදර්ශනය කළේ සත්‍යය, යුක්තිය හා යථාර්ථය පවා විකෘති කරමිනි. කුප්‍රකට ‘චැනල් ෆෝ’ නාලිකාවේ ඊනියා මානව හිතවාදීන්ගේ වසුරු බුදින්නන් කළ-කී දෑ බොහෝය. එහෙත් මෛත්‍රී ජනාධිපතිවරයා ජගත් නායකයන්ට ඍජුවම කියා සිටියේ අප ම්ලේච්ඡයන් නොවන බවත්, සිංහල දෙමළ ජනවර්ග දීර්ඝකාලීන සංස්කෘතික මිතුරන් බවත්ය; එසේම මුස්ලිම්වරුන්ද ඉතිහාසය මුළුල්ලේ අප සමඟ සහයෝගයෙන් සිටි බවය.

මෛත්‍රී ජනාධිපතිවරයා එදා සෙයිඩ් අල් හුසේන්ගේ 30/1 යෝජනාවද ප්‍රතික්ෂේප කර, එහි තිබු දරුණු විෂ සහිත යෝජනා මුළුමනින්ම ඉවතට දැමීමටද පසුබට නොවීය. ජිනීවා යෝජනාවට අනුව, අතුරුදන් කිරීම් පිළිබඳ විමසීමට අන්තර්ජාතික මැදිහත් වීමක් හා අන්තර්ජාතික විනිසුරුවන් සහිත අධිකරණ පිහිටුවීමටද යෝජනා වී තිබිණි. එහෙත් මෛත්‍රී ජනාධිපතිවරයා ඒවා එකහෙළාම ප්‍රතික්ෂේප කළේය. යුද අපරාධ හෝ නීති විරෝධී යමක් සිදු වී ඇත් නම් ඒවා දේශීය නීතිය අනුව සොයාගත යුතු බව මෛත්‍රී ජනාධිපතිවරයා යෝජනා කළා පමණක් නොව, එයට එකඟත්වයද ලබාගත්තේය. මෛත්‍රී ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව දෙමළ ඩයස්පෝරාවේ අභිමතය පරිදි ඉදිරිපත් වූ කිසිදු විසඳුමකට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාගේ අනුමැතිය නොලැබීම ඉතා ස්වාභාවික ප්‍රතිචාරයක් බව ජගත් නායකයන්ටද පිළිගැනීමට සිදු විය.

වසර තිහක් ඇදී-ගිය ත්‍රස්තවාදයක් නිම කිරීම යනු හාස්කමකින් සිදු වන්නක් නොවේ. එහිදී ඇතැම් විටක විනය කඩ වීම්ද සිදු විය හැකිය. එහෙත් මෙහිදී කිසිවෙක් ප්‍රභාකරන්ගේ පාර්ශ්වයෙන් සිදු වූ අපරාධ ගැන තැකීමක් හෝ කරත්ද? එල්ටීටීඊය විසින් සිදු කරන ලද ඝාතන හා විනාශකාරි මෙහෙයුම්ද බොහෝය. එහෙත් ලෝකය බැලුවේ යුද අපරාධවලට සාක්ෂි සෙවීම පමණි. දෙමළ ඩයස්පෝරාවෙන් හා ඔවුන්ගේ මිත්‍ර සමාගම්වලින්ද ඒ සඳහා විශාල අනුග්‍රහ, අනුබල ලද බවද අමුතුවෙන් කිව යුතු නැත. මෛත්‍රී ජනාධිපතිවරයා මුල සිටම මේ අර්බුදය ළිහාගැනීමට නම් එයට මැදි වූ පාර්ශ්ව දෙකම මැදකට පැමිණ උපේක්ෂාවෙන් කරුණු විමර්ශනය කළ යුතු බව කියා සිටියේය. අවි අතට ගත්, උනුන් මරාගන්නා වෛරී පසුබිමක රජයේ හමුදා ක්‍රියා කරද්දී, ප්‍රභාකරන්ගේ හමුදා සීල සමාධි ගුණයෙන් සටන් කර ඇතැයි සිහි බුද්ධියක් ඇති කිසිවකුට කිව හැකිද?

මෛත්‍රී ජනාධිපතිවරයා මෙවර එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අබියස ශ්‍රී ලංකාව හිර කර තැබීමට සැරසෙන අයට පමණක් නොව, ජගත් නායකයන්ටද මේ විපතින් රට ගොඩ දැමිය හැකි මං පෙතක් පාදාගැනීමේ අවශ්‍යතාව පිළිබඳව අලුත් හා නැවුම් අදහස් ප්‍රකාශ කරනු ඇතැයි කල්පනා කළ හැකිය. එල්ටීටීඊ සාමාජිකයන් විසින් කරන ලද අපරාධවලට මෙන්ම රජයේ ආරක්ෂක අංශ චේතනාවකින් තොරව සිදු කළ අපරාධවලට සමාවක් දීම උචිත බවට හෙළ උරුමයෙන්ද යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. අපගේ අදහස වන්නේද මේ යුද අපරාධ චෝදනා එකිනෙකාට නඟාගනිමින් දත්කූරු කෑමෙන් අපට සංහිඳියාවක් අත් නොවන බවය. හෙළ උරුමය කියන ආකාරයටම එකිනෙකාට සමාව දීම හැර අපට මේ විපතින් ගොඩ යෑමට මඟක් නැත. ආරක්ෂක අංශවලට පමණක් දඬුවම් දීම ප්‍රශ්නයට විසඳුමක් නොවේ. යුදමය අභිමතාර්ථ අනුව ක්‍රියා කළ දෙපාර්ශ්වයටම පොදු සමාවක් දිය හැකි නම් මේ පරම්පරා වෛරය නිම කළ හැකි බව අපටද පෙනේ.

හැඟීම්වලට වඩා බුද්ධියට සමීපව අප මේ ප්‍රශ්නය දෙස බැලිය යුතු බව මෛත්‍රී ජනාධිපතිවරයා කියයි. යුද්ධයට මුවා වී පෞද්ගලික අපරාධ කළ ඕනෑම කෙනකු දඬුවම් ලැබිය යුතු බව ජනපතිගේ ආස්ථානය නම් එය විසඳුමකට ප්‍රබලම සංඥාවකි. හෙළ උරුමය නිවේදනයක් කරමින් ‘සහජීවනය සඳහා ජාතික පොදු සමාවකට කාලය එළඹ ඇතැයි’ කියන කථාවට කිසිවකුට විරුද්ධ වීමට හේතුවක් නැත. අප දන්නා පරිදි රජය මේ වන විට 12,000ක් පමණ කොටින්ට සමාව දී තිබේ. එපමණක් නොව, උතුරේ හමුදා විසින් ආරක්ෂක හේතු මත පවරාගෙන තිබුණු භූමියෙන් 88%ක ප්‍රතිශතයක් මේ වන විට නිදහස් කර අවසන්ය. හමුදා බල ප්‍රදේශවල තිබුණු පාසල් මුළුමනින්ම නිදහස් කිරීමටද පියවර ගෙන තිබේ. තිස් වසරක් සරණාගතයන් ලෙස ජීවත් වූ ජනතාවට තම ගම්-බිම්වලට ගොස් නිදහසේ ජීවත් වීමට ඉඩ දීම තම ඒකායන අරමුණ බව මෛත්‍රී ජනාධිපතිවරයා නිතර කරන අවධාරණයකි.

අපට හැඟෙන පරිදි උතුර-දකුණ එක් වීම නොයිවසන පිරිස් තවමත් සිටිති. උතුරේ වෙනම පාලනයක් ඉල්ලන දෙමළ ඊළාම්වාදයට ආවඩන දේශපාලන චරිතද මෙබඳු විසඳුම් නොඉවසති. ‘අපේ ජනතාව’ යන ව්‍යාජ යෙදුම භාවිත කරමින් දේශපාලන වෛරය වපුරන බොහෝ නායකයන්ගේ ස්වභාවය ජනතාවටද රහසක් නොවේ. එසේම උතුර අනතුරේයැයි මොරදී, දකුණේ අපට මුහුදට පැනීමට සිදු වේ යැයි ජාති උන්මාදයකින් රෝගි වූ චරිත දකුණේද දැකගත හැකිය. සාමය, සංහිඳියාව, යහපාලනය වැනි වචනවලට පවා සරදම් කරන ඒ මහත්වරුන්ගේ දේශපාලන වංචාවට වැඩි ආයුෂයක් නැති බවද අපි දනිමු.

අපට හැඟෙන පරිදි නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රමුඛ ක්ෂේත්‍රවල පූර්ණ මැදිහත් වීමකින් ඉකුත් යුද සමය පිළිබඳ හා අතුරුදන් වූවන් සම්බන්ධ තොරතුරු එක්රැස් කළ හැකිය. යුදමය නොවන මෙහෙයුම් තහවුරු කිරීමට සත්‍ය සාක්ෂි තිබේ නම්, ඒවාට යුක්තිය ඉටු කිරීමද සුදුසුය. අපරාධ හා ජාතික වගකීම් හඳුනාගැනීමට සමත් වෙනත් පෞද්ගලික අරමුණුවලින් දූෂණය නොවූ පිරිස්ද මෙරට සිටිති. රාජ්‍ය නොවන සංවිධානවල ගිජු ලිහිණියන්ද දෙමළ ඩයස්පෝරාවේ ඝරසරපයන්ද හඳුනාගෙන, යහපත් දේශයක් ගොඩනැංවීම සඳහා කැප වීමට මෛත්‍රී ජනාධිපතිවරයා කොන්දේසි විරහිතව එකඟ වන බව නිසැකය. දේශප්‍රේමි ඝෝෂාවලින් හෝ රණවිරුවන් දංගෙඩියට රැගෙන යන ඇන්ජීඕ ගැටවලට ගොදුරු වීමෙන් හෝ රටට අත් වන සුගතියක් නැති බව අප තේරුම් ගත යුතුය. විදුලි පුටු, රණවිරු දංගෙඩි වැනි අවිචාරවත් සටන් පාඨ බිම තබා, මේ රට ගිනි නෙතබා, සිංහල-දෙමළ-මුස්ලිම් ජනකොටස්වලට නිදහසේ ජීවත් වීමට හැකි පතිරූප දේශයක් ගොඩනැංවීම අද සියලු දේශපාලන නායකයන්ගේ අභිලාෂය විය යුතුය. දෙමළ ඊළාම්වාදීන්ට පාවඩ එළන ජාතිභ්‍රෂ්ටයන් තරමටම බලය කේන්ද්‍ර කරගත් දේශපාලන ව්‍යාපෘති බලගැන්වීමට ජනතාව යොදාගැනීමද අපරාධයකි.

දේශපාලන වටිනාකම් දෙවෙනි තැනට දමා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් රැකීම මෛත්‍රි ජනාධිපතිවරයාගේ පිළිවෙතය. මිනිසාගේ උදාරත්වය, පුද්ගල නිදහස, සාධාරණය හා සමානාත්මතාව, නීතිය අනුව පාලනය තම දේශපාලන භාවිතය බවට පත් කරගත් නායකයා මෛත්‍රී ජනාධිපතිවරයාය. එතුමාගේ දේශපාලන සම්ප්‍රාප්තිය සිදු වන්නේද අලුත් සමාජ ප්‍රාර්ථනා උදෙසාය. එසේම මානව හිමිකම් යනු කුලියට, මුදලට තහවුරු කරගත හැකි දේවල්ද නොවේ. උතුරේත් දකුණේත් ජනතාව ඉල්ලන්නේ අලුත් ජීවිතයකි. ජනවර්ග අතර පවතින භේද දුර ලීම වෙනුවට ඒවා වංචනික ලෙස හුවා දක්වා එමඟින් දේශපාලන ප්‍රතිලාභ අපේක්ෂා කිරීම අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළම අනතුර වී තිබේ. ලොව බිහිසුණුම ක්‍රියාකාරකම් නිර්මාණය කළ ප්‍රභාකරන් විසින් සිදු කරන ලද ජීවිත විනාශය, ලේ වැගිරීම් හා භෞතික සම්පත් විනාශයද නිසි ලෙස තේරුම් ගත හැකි මානසිකත්වයක් හැම දෙමළ නායකයකුට මෙන්ම, සිංහල හා මුස්ලිම් නායකයන්ටද තිබිය යුතුය. බලකාමය, පුද්ගල ආවේෂය, තරගකාරිත්වය පාලනය නොකරන තාක් ප්‍රචණ්ඩත්වය හා මානව හිතවාදිත්වය වර්ධනය නොවන බව ලොවටම ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨ නායකයා බුදුන් වහන්සේය. බෞද්ධ හා හින්දු ධර්ම සංකල්ප මෙන්ම සංස්කෘතික බැඳීම්ද පිළිගන්නා ජනවර්ග දෙකක් ලෙස සිංහල දෙමළ දෙපාර්ශ්වයටම පොදු සම්මුතියකට එළඹීමට බාධාවක් ඇතැයිද කල්පනා කළ නොහැකිය. ඒ යථාර්ථය පසක් කරගත් නූතන ප්‍රජාතන්ත්‍රවාදී නායකයා කෙරෙහි ජගත් නායකයෝද විශ්වාසය තබා සිටිති.

කෙසේ හෝ සිංහල-දෙමළ විරසකය අවසන් කළ හැකි නායකයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ ප්‍රබලයන් විසින් පිළිගනු ලබන්නේද මෛත්‍රී ජනාධිපතිවරයාය. විජයකලා මොනවා කිව්වත්, විග්නේශ්වරන්ලා මොනවා හිතුවත් යළිත් යුද්ධයකින් හෝ විරෝධතාවලින් හෝ තමන්ට අත් වන සුගතියක් නැති බව දෙමළ ජනතාවද දනිති. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස්වලට අවශ්‍ය වන්නේ ජීවත් වීමේ අයිතියයි. ඒ අයිතිය සලසා දිය හැක්කේ බටහිර ඒජන්තවරුන්ට හෝ දෙමළ ඩයස්පෝරාවට හෝ නොවන බව තේරුම් නොගන්නා තාක් අපේ ජාතික සංහිඳියාව ඈතින් ඈතට යන බව පමණක් අපට කිව හැකිය.

 

සුමේධ ජයබාහු

Comments