මල්වතු අස්ගිරි නිවේදනය හා බුද්ධ ඇදහිල්ල | සිළුමිණ

මල්වතු අස්ගිරි නිවේදනය හා බුද්ධ ඇදහිල්ල

සැප්තැම්බර් 15 වැනිදා මල්වතු මහානායක නිල ආරාමයෙහි පැවති විශේෂ සංඝ සභාව එළඹී තීරණ ප්‍රමුඛ ජාතික දිනපතා පුවත්පතක් වාර්තා කළේ “විස්ස මැති සබයේදී පැරදවිය යුතුයි.” යන මාතෘකාව යටතේය. එකී සාකච්ඡාවේ කරුණු ඇතුළත් කොට මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් සැප්තැම්බර් 18 වෙනිදා නිකුත් කළ නිවේදනය අසේල කුරුළුවංශ සැප්තැම්බර් 23 දින සිළුමිණට වාර්තා කළේ ‘දුස්සීල භික්‍ෂුන් සිවුරු හැරවිමට භික්‍ෂූන්ගෙන්ම යෝජනාවක්’ යනුවෙනි. රාජ්‍ය නායක දෙපළ වෙත යොමු කළ එකී නිවේදනය කරුණු 06කින් සමන්විතය. එහි දේශපාලන කිසිවක් නො තිබිණ.

එකී නිවේදනයේ අංක 01, 02 සහ 05 ඡේද මගින් බුද්ධ ධර්මය විකෘති කිරීම පිළිබඳ කරුණු අවධාරණය කරමින් පරිශීලනය කළ යුතු ත්‍රිපිටක මුද්‍රණ දක්වා එකී ත්‍රිපිටකය රාජ්‍ය වස්තූන් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බවක් රජයට දන්වයි. 03,04 ඡේදයන්හි වර්තමාන භික්‍ෂු සමාජයේ අයහපත් අභ්‍යාසයන් දක්වා භික්‍ෂු විනය උල්ලංඝනය කළ භික්‍ෂු ප්‍රතිරූපකයෙකු ශාසනයෙන් නෙරපූ බව සඳහන් වේ. මල්වතු අස්ගිරි පාර්ශ්වයන් මෙන්ම විද්‍යාලංකාර විද්‍යෝදය මහා පිරිවෙන් වාසි මහා සංඝයා වහන්සේගේද එකඟතාව ලැබූ බවට දැක්වෙන ප්‍රකාශය එකී ප්‍රකාශය කොතරම් ප්‍රබල ද යන්න තහවරු කරයි.

ලිපිය ආරම්භයේ දැක්වෙන ‘විස්ස මැති සබයේදී පැරදවිය යුතුයි. නමින් යුතු වාර්තාව හරහා රටේ පිරිහෙන දේශපාලනයට උක්ත සංඝ සභාව පැටලවීමට මාධ්‍ය ගන්නා පහත් උත්සාහය තහවුරු වේ. වරක් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ රන් ආයුධ මණ්ඩපයේදී මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් නමින් නිකුත් කළ දේශපාලන ප්‍රකාශයක් එක් රැයකින් ප්‍රතික්‍ෂේප විය. 2013දී ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් නිකායික කතිකාවත්වලට ඉඩ ලැබෙන නෛතික බලය ලබාදෙන ලෙස කළ ඉල්ලීම පවා රාජපක්‍ෂ පාලකයෝ නොතකා හළහ. යහපාලන රජය පැමිණි වහාම, එකී ශාසනික වුවමනාව ථේරවාද පනත් කෙටුම්පත ලෙස ගැසට් කළේය.

එකී කෙටුම්පත නීතිගත කළොත් මහණ වීමට කෙනෙකු සොයාගත නොහැකි බවට මහින්ද රාජපක්‍ෂ කළ ප්‍රසිද්ධ ප්‍රකාශය ගිහි බෞද්ධයන්ටද කරන අපහාසයකි. එහෙත් සිල් රෙදි නඩුවේ දඩ මුදල් සම්මාදම් කිරීමට පිණ්ඩපාතික සම්ප්‍රදාය අවභාවිත කළ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි රාජපක්‍ෂවාදීව එකී කෙටුම්පතට අකුල් හෙළති. එහෙත් ත්‍රෛනිකායික මහ නා හිමිවරු ඇතුළු බහුතර සංඝයා වහන්සේ ථේරවාද පනත් කෙටුම්පතේ අවශ්‍යතාව තහවුරු කරති. ශාසනික කරුණු පිළිබඳ සංඝ සමාජය නොබෙදී සිටිත් නම් යහපත්ය. කිසිවෙකු ශාසනයට දේශපාලන මැදිහත්වීම් මුසු නො කළ යුතු වේ.

වර්තමානයේ බුද්ධ දේශනාව පමණක් නොව බෞද්ධ පුද පූජා විධි පවා විකෘති වී ඇත. ආර්ථික වාසි අත්වන සමහර පූජා බෞද්ධ දර්ශනයට අපහාසයකි. රුවන්මැලි මහ සෑ මළුව වසා කෙරෙන පලතුරු මල් පූජා කෙළවර ඉතිරි වන්නේ පරවී තැළී පොඩිවී ගිය පලතුරු තොග පමණකි. සංඛ්‍යාත්මක අටපිරිකර පූජා ආරාමික පැවැත්ම බහු භාණ්ඩික කරවයි.

රුවන්මැලි මහා සෑය වටකොට කෙරෙන කප්රුක් පූජාවට යොදා ගන්නා ශඩ් වර්ණ මුද්‍රිත චීන රෙදි ඉහළ යන රුපියලට තල්ලුවක් පමණකි. කිසිදු පරිභෝජනයකට ගත නො හැකිය. ශ්‍රද්ධාවෙන් වැය කරන මේ ධනස්කන්ධය චීනයට ඇදෙයි. මේවා අසන දකින සුදහ ගින්නෙන් දැවෙන අසරණයෝ හූල්ලති. මහා නා හිමිවරුන් මේ විසුක දස්සන වැළැක්විය යුතුව ඇත.

රුවන්මැලි මහ සෑ මළුවේ සිදු කළ අසදෘස පූජාව ගැන අගෝස්තු 19 වැනි ඉරිදා සිළුමිණ පත්‍රයේ පළවූ ලිපියට අනුව, පහන් පූජාව සඳහා අවශ්‍ය තෙල් සිඳීමට ගත් පොල් ගෙඩි 500ම අතට නෙළා ගත්තා මිස, ගසෙන් බිමට කඩා ගෙන නැත.

එහි පැවති කැපවීම එතරම්ය. එකී පුණ්‍ය කර්මයට මුල්වූ කිසිවෙකු නම් හෙළිකර නැත. එයින් ඔවුන් වෙත පැවති නිරාමිස චේතනාව ප්‍රකට වේ. එහෙත් අවාසනාව නම්, යහ පැවැත්ම මහ සෑ මළුවට සීමා වීමය. සාමාන්‍ය ජීවිතයේදී මේ පැවැත්ම දැකිය නොහැකිය.

බුද්ධ ධර්මය ජීවන දර්ශනයකි. පුජා වට්ටි ස්තෝත්‍ර යාතිකා පෙළ ගැස්වූ ආගමක් නොවේ. ලංකාවේ 72%ක් බෞද්ධයෝ වෙති. එකී ජනතාව ත්‍රීවිලර්කරුවෝ, වෙළෙන්දෝ, රජයේ සේවකයෝ, ගුරුවරු පොලිස් නිලධාරිහු හෝ හමුදා සාමාජිකයෝ වෙති. රටේ මාර්ග නීති කඩන්නේ ද කුඩු විකුණන්නේ ද කල් ඉකුත්වූ කෑම අලෙවි කරන්නේ ද මේ සමාජයමය.

අගනුවර විරෝධතාවලදී විසූක දස්සන මිස ශ්‍රමණ සාරුප්‍ය දැකිය නො හැකිය. රටේ අධිකරණ පද්ධතියට රජයේ ආයතනවලට අභියෝග කරන භික්‍ෂුහු සාධු චරිත විය නොහැකිය. ඇඹිලිපිටියේ විහාරස්ථානයක බුද්ධ ප්‍රතිමා නිරාවරණය කිරිමේ උත්සවයට ප්‍රධාන අමුත්තා වූ මහින්ද රාජපක්‍ෂ මහතා නොපැමිණීමෙන් කෝපවූ පිරිසක් ගසකට නැඟ ඝෝෂා කළහ. එකී පිරිස සන්සුන් කිරීමට බෞද්ධ භික්‍ෂුහු මැදිහත් නොවූහ. ඇඹිලිපිටියේ සිද්ධිය සමාලෝචනය කිරීමේදී රජුන් තැනූ භික්‍ෂු භූමිකාව පිරිහී ඇති ප්‍රමාණය තේරුම් ගත හැකිය. ආගමික උත්සව සංවිධානය කෙරෙන්නේ මාධ්‍ය ඔස්සේ දේශපාලන සාකච්ඡා කිරීම සඳහාය. එය විහාර මළුව අවභාවිත කිරීමකි. ගිහි බෞද්ධ සමාජය මේවා විමර්ශනය කළ යුතු වේ. කෝට්ටේ පාර්ශ්වය ගලගොඩඅත්තේ භික්‍ෂුවට ජනාධිපති සමාව අයැදීමෙන් පෙනී යන්නේ පොහොය සීමා මාලකය තුළ භික්‍ෂුන් හසුරුවා ගැනීමට නිකායන් පවා අසමත් බවය.

උක්ත මහා නායක නිල නිවේදනයේ 06 ඡේදයෙහි මෙහි සාරාංශ කළ සියල්ල කැටිකොට මෙසේ දැක්වේ. “බෞද්ධ ජනතාව වාදභේද හා ගැටුම්කාරී අහිතකර සමාජ පරිසරයක් නිර්මාණය කිරීමෙන් ජාතිය දුර්වල කොට, දේශය අස්ථාවර කිරිමේ බලවේග මේ තුළින් ක්‍රියාත්මක වන බවක් ද පෙනී යයි. එම නිසා අධර්මවාදි ගිහියන්ට හා සිවුරු පොරවා ගත් පුද්ගලයන්ට විහාරස්ථානවල දේශන පැවැත්වීම සඳහා ඉඩ නොදීමට භික්‍ෂුන් වහන්සේ සහ බෞද්ධයන් වගබලා ගත යුතුය.”

සැප්තැම්බර් 17 වෙනිදා ගම්පහ මහාධිකරණයෙන් මරණ දඬුවම් නියමවූ කාන්තාවක විත්ති කූඩුවේ පෙනී සිටියේ කසාවතිනි. නීතියට කළ වරද මිස, නිල ඇඳුම හෝ ලෝගුව වැදගත් නොවේ. භික්‍ෂු කතිකාවත් බල ගන්වනතාක් තක්කඩින් චීවරයෙන් රැකෙනු ඇත. සියලු භික්‍ෂුන්ට හැඳුනුම්පත් අවශ්‍ය බව මහා නා හිමිවරුන් රජයට දන්වා ඇත්තේ ශ්‍රමණ ප්‍රතිරූපයන් සමාජයේ සැරිසරන නිසා විය හැකිය. මෙකී කරුණු උක්ත නිවේදනයෙන් අවධාරණය කෙරෙයි.

පන්නිපිටිය මාර්ග සංවර්ධනයට අවහිර වූ බෝ ගසට සිවුරු පෙරවූ භික්‍ෂුන් භික්‍ෂු විනයෙහි දැක්වෙන සේඛියා සහ ප්‍රත්‍යවේක්‍ෂා ආදි සරල පැවතුම් හෝ අසා නැතිවා විය හැකිය. අනවසර ආගමික ඉදි කිරීම් කර පොදු ස්ථාන අවහිර කිරීම සදාචාරවත් නැත. ඊට අදාළ නීති වහා පැනවිය යුතු වේ. යටත් විජිත යුගයේ අනුරාධපුර දිසාපතිව සිටි කැමරන් මහමෙවුනාවේ පිහිටි සමාධි පිළිමය ගැන සිය පාලන වාර්තාවේ මෙසේ කියයි. “මා 1892 වර්ෂයේ පළමුවරට මෙම පිළිම වහන්සේ දුටුවේ ශාන්ත පරිසරයකදීය. මා 1895දී ස්ථාන මාරු ලැබ නැවත අනුරාධපුරයට ආ පසුව, එකී පිළිම වහන්සේගේ ශ්‍රී පාදය අසලින් දිවෙන බොරලු කරත්ත පාරක් දැක කම්පනයට පත් වීමි.” ඔහු දුටුවේ පිළිමය පරිශ්‍රය අවහිර වී ඇති හැටිය. අද නගර මධ්‍යයේ බුද්ධ ප්‍රතිමා තබා ජන ජීවිතය අවුල් කරන භික්‍ෂුහු, මිථ්‍යාදෘෂ්ටික කැමරන් සංසුන් කළ බුදු දහමට ආගන්තුක වෙති. මිෂනාරින් යාපනේ අත්පත් කර ගන්නා තෙක් බලා සිටි භික්‍ෂුහු ඉපැරණි බෞද්ධ නෂ්ටාවශේෂවල ආරක්‍ෂාව ගැන වද වෙති.

බුද්ධාගම ලංකාවේ ස්ථාපිත වුණේ ලාංකිකයන් පැවිදි වූ පසුව බව අපේ මූලාශ්‍ර වල දැක්වේ. ඒ අර්ථයෙන් ද්‍රවිඩ දරුවන් මහණ කොට යාපනේ බුද්ධාගම ස්ථාපිත කළා නම් ජනවාර්ගික ප්‍රශ්නය ඇති නොවන බව මහාචාර්ය මලලසේකර කීය. තවමත් යාපනේ සිද්ධාර්ථන්ලා ජීවත්වෙති. චෛත්‍යය 62කින් සමන්විත කන්දරෝඩෙයි පූජා භූමිය දමිළ ගම්මානයක් මැද නිරුපද්‍රැතව පවතී. යාපනේ බෙදුණා නොවේ. අප විසින් බෙදා වෙන් කරනු ලැබීය. මේ සියල්ල හකුළා ගත් විට, උක්ත සංඝ සභා නිවේදනය බුද්ධ ශාසනයේ සංඝ සමාජයේ මෙන්ම රටේ පැවැත්මද සහතික කිරීමට මහත් පිටුවහලකි. ඒ සඳහා ගිහි සමාජය පටු වාසි නොතකා ආධාර කළ යුතු වේ.

Comments