ඉබාගාතේ ගිය ආර්ථිකය දැන් හරි පාරේ | සිළුමිණ

ඉබාගාතේ ගිය ආර්ථිකය දැන් හරි පාරේ

ආණ්ඩුව බලයට එන විට තිබුණ අභියෝග මොනවද? මේ වෙනකොට ඒ අභියෝගවලින් කොපමණ ප්‍රමාණයක් ජයගෙන තිබෙනවද?

අපි ආණ්ඩු බලය ලබාගත්තේ අභියෝග රාශියක් මැද්දේ. එකපැත්තකින් අහිමි කර තිබූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලබාදෙමින් ඒවා ආරක්ෂා කළ යුතුව තිබුණා. අනෙක් විශාලම අභියෝගය වුණේ විශාල ණය බරක් එක්ක කඩා වැටෙමින් තිබුණු ආර්ථිකය ගොඩනැඟීම. නිශ්චිත ඉලක්කයක් නැතිව ඉබාගාතේ ගිය ආර්ථිකයක්, විශේෂයෙන්ම හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම වගේ විසඳන්න අසීරූ ප්‍රශ්න රාශියක් තමයි අපිට ඉතිරි කරලා තිබුණේ. පසුගිය කාලේ මේ අය ගෙනගිය අත්තනෝමතික පාලනය හමුවේ ඇඟලුම් කර්මාන්තයට ලැබෙන ජී.එස්.පී බදු සහනය අපිට අහිමි වුණා. ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රය විශාල කඩා වැටීමකට ලක් වුණා. අපිට පසුපසින් හිටිය බංග්ලාදේශය වියට්නාමය වගේ රටවල් මේ ක්ෂේත්‍රයේ ඉදිරියට ආවා. මේ නිසා සුළු වශයෙන් පවත්වාගෙන ගිය ඇඟලුම් කර්මාන්ත පවා වසා දැමුණා. තරුණ තරුණියන්ට ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා අහිමි වුණා.

විදේශ විනිමය ලබාගැනීමට තිබූ අනෙකුත් අපනයන භෝග වූ තේ, පොල්, රබර්, කුළුබඩුවල වර්ධනයක් ඇති වුණේ නැහැ. රටේ ආර්ථිකයේ විශාල බරක් දරාගෙන සිටියේ මේ අපනයනවලින්. අපනයන ආර්ථිකය ශක්තිමත් කර ගත්තේ නැත්තම් අපි විශාල අවදානමකට මුහුණ පානවා. මොකද අපේ වෙළෙඳපොළ මදි අපිට ආර්ථිකව ශක්තිමත් වෙන්න. පසුගිය ආණ්ඩුව මේව ගැන හිතුවේ නැහැ. අද ඩොලරය නඟිනවා රුපියල බාල්දුවෙනවා කිව්වට ඒක වෙන්නේ කොහොමද කියල මේ අයට කියාගන්න බැරිවෙලා තියෙනවා. මොකද මේ අය දන්නවා ඒ අය මොනවද කළේ කියලා. මහින්ද මහත්තයා අවුරුදු දොළහටම කළේ දැවැන්ත ණය බරක් රටට ඉතුරු කරලා හයිවේ එකයි, තිබුණු බිල්ඩින් නැවත ප්‍රතිසංස්කරණය කරපු එකයි විතරයි. මේ ආර්ථිකය හදන්න මොනවත්ම එයා කළේ නැහැ. විදුලි උපකරණ සහ විද්‍යුත් උපකරණ මේව කිසි දෙයක් ලංකාවේ නිෂ්පාදනය කරන්න උනන්දු වුණේ නැහැ. මේ අසීරු ආර්ථික ඉලක්ක සපුරගන්න අවශ්‍ය පරිසරය සකස් කර ගන්න ම අපට අවුරුද්දක් දෙකක් ගතවුණා. දැන් තමයි ඒවා ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. ඒ අනුව තමයි මේ ප්‍රතිලාභ එකින් එක ලැබෙන්නේ.

ඔබ සඳහන් කළ ආකාරයට ආර්ථික කළමකාකරණයක් සිදු කළා නම්, නව ආර්ථික වැඩපිළිවෙළ නිසා රටට ලැබුණු ප්‍රතිලාභ මොනවද?

පහුගිය කාලයේ බිලියන 11ක් දක්වා පහත වැටී තිබුණු අපනයන ආදයම මේ අවුරුද්ද වෙනකොට බිලියන 16ක් දක්වා වර්ධනය වී තිබෙනවා. එහෙම බැලුවම 60% - 70% විතර වර්ධනයක්. එය අපි ලබපු විශාල ප්‍රතිලාභයක්. ජී.එස්.පී බදු සහනය අහෝසි කිරීම සහ මත්ස්‍ය තහනම වගේ දේවල් අපේ රජය යටතේ නැවත ලබාගැනීමට හැකි වීම තවත් ප්‍රතිලාභයක්. රටක අපනයන ආර්ථිකය කොස් ඇට බානව වගේ එක දවසෙන් දෙකෙන් ගොඩනඟන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට කාලයක් ගතවෙනවා. ඒ නිසා මේ කරගෙන යන ආර්ථික වැඩපිළිවෙළේ නියම ප්‍රතිඵල අපිට ලැබෙන්න තව අවුරුදු හතරක් විතර යාවි.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කඩාගෙන වැටෙනවා. බදු මිල වැඩි වීමත් එක්ක භාණ්ඩ හා සේවා මිල ඉහළ ගිහන් ජනතාව ඉන්නේ හරිම අමාරු තත්ත්වයක. බදු මිල වැඩි නොකර මීට මුහුණදෙන්න ආණ්ඩුවට හැකියාවක් නැද්ද?

ඇමරිකාවේ නව ආර්ථික වැඩපිළිවෙළත් එක්ක ඩොලරය සීග්‍රයෙන් ඉහළ යනවා. ඊට සාපේක්ෂව රුපියල බාල්දු වෙනවා. මේක අපිට විතරක් මුහුණ දෙන්න සිදුවී තිබෙන තත්ත්වයක් නෙමෙයි. අපේ රුපියලේ අගය 6%කින් කඩා වැටෙද්දි අපිට වඩා ආර්ථික සමෘධියක් තියෙනවයි කියන ඉන්දියාවේ රුපියල 11%කින් කඩාගෙන වැටිලා. පාකිස්ථානය ගත්තත් එහෙමයි. ඒත් අපි මේ රටවල් දෙකටම වඩා ඉදිරියෙන් ඉන්නේ අපේ ආර්ථික සැලසුම් නිසා. මේ තත්ත්වය මේ විදියට කෙටිකාලයක් තියේවි. ඒකට තමයි අපි මේ නව ආර්ථික වැඩ පිළිවෙල සකස් කළේ. මං කලින් කිව්ව වගේ පහුගිය ආණ්ඩුව විධිමත් වැඩපිළිවෙලක් ප්‍රතිපත්තියක් නැතිව ඉබාගාතේ තමයි ආර්ථිකය අරන් ගියේ. අද ඒවයේ වන්දිය ගෙවන්නවෙලා තියෙන්නේ අපිට. මොකද රටක් ණයවෙලා ආයෝජනයක් කරන්නේ කිසියම් ලාබයක් උපයලා ඒ ණය ගෙවන්න. හයිවේ එකේ මිනිස්සු යන නිසා යාන්තම් ගොඩගියා. ඒත් මත්තලට, හම්බන්තොටවරාය,... වගේ ව්‍යාපෘතිවලට ගත්ත ණය කිසිදු ඉපයීමක් නැතිව ගෙවන්න වෙලා. ඒකටත් අපි ආර්ථික සැලසුමක් සකස් කලාම එයාල හදපුවා විකුණන් කනව කියනවා. මේ වගේ බංකොලොත් කතා තමයි තාමත් ඒ අය කියන්නේ. නමුත් මම වගකීමෙන් කියනවා මේ ආණ්ඩුවේ නව ආර්ථික වැඩ පිළිවෙල යටතේ තව වසර තුන හතරකින් අපිට මේ අසීරුකම්වලින් මිදෙන්න පුළුවන්.

රට රටවල ආර්ථික වර්ධනය සියුම්ව මැන බලන ‘ඩැමොක්ලිස් ’ ක්‍රමය අනුව මේ රට ආර්ථිකවශයෙන් කඩාගෙන වැටෙන රටවල් අතර ප්‍රථම රට බවට පත් වී තිබෙන බව තිස්ස විතාරණ මහත්තයා චෝදනා කරනවා.තිස්ස විතාරණ මහත්තයා ආර්ථිකය ගැන දන්නේ කොහොමද?

සියළු දේම නිකන් බෙදන්න ඕන කියන අය කොහොමද ආර්ථිකයක් ගැන දන්නේ. තිස්ස විතාරණ මහත්තයා පහුගිය ආණ්ඩුවේ හිටියනේ. අවුරුදු දොළහක් බලයේ ඉඳල මොකක්ද පෙන්නපු ආර්ථික ප්‍රගතිය. ඩොලර් එක ඉහළ යද්දී ඉන්දියාව, පකිස්තානය ... වගේ රටවල්වලට වඩා ශක්තිමත්ව අපි මුහුණ දෙන්නේ කොහොමද කියන එක ඔය ආර්ථක මිම්ට අහුවෙලා නැහැනෙ. ඒනිසා මෙයාල දන්න ආර්ථිකයක් නැහැ. මහින්ද මහත්තයගෙ දෑත් ශක්තිමත් කර කර හොකම් දූෂණවලට උඩගෙඩි දීදීනෙ මේ අය හිටියේ. අපි මේ ආර්ථිකය මෙහෙය වන්නේ සැලැස්මක් ක්‍රමවේදයක් අනුව. ඒනිසා තමයි අපනයන ආදායම ඉහළ ගියේ. අද වෙද්දී 60% අපනයන වැඩි වී තිබෙනවා. මේ ව නිකං වුණේ නැහැ. ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් අපි හැදුවා. ඒ අනුව වසරින් වසර ඒ ඉලක්ක වෙත ළඟාවෙන ආකාරය සැලසුම් කළා. එහෙම තමයි මේ වර්ධනය අපි ළඟා කරගත්තේ. බොහෝ දෙනා කතා කරන්නේ අංග සම්පූර්ණ ලෝකයක් ගැන. හැම දෙයක් ගැනම දකින්නේ ඍණ ආකල්පයකින්. නමුත් අපි ආර්ථිකය දිහා බලන්න ඕන සාපේක්ෂ වශයෙන්. අද අපි ඩොලරයේ මිල ඉහළ යද්දී අපේ අසල්වැසි රටට වඩා ශක්තිමත්ව ඊට මුහුණ දෙනවා. ආර්ථිකය මේ විදියට ශක්තිමත් වෙද්දී ඒ අයගෙ බලාපොරොත්තු සුණුවිසුණු වෙන බව මේ අය දන්නවා. ඒක ඉවස ගන්න බැරුව තමයි ඔය විදියෙ කතා කියන්නේ. ඔහොම යං කියල තමයි අපිට කියන්න තියෙන්නේ.

මේ ආර්ථික සැළසුම් අනුව මොනවගේ ආර්ථික වර්ධනයක්ද ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්?

අපි සාපේක්ෂ වශයෙන් බලනකොට එලඹෙන අවුරුද්ද වෙද්දී 4.5%කින් ආර්ථික වර්ධන වේගය ඉහළ යනවා. පසුගිය කාලේ ඒකාධිපති පාලනයකින් ආර්ථිකය පාලනය කරපු නිසා වරාය ගුවන්තොටු පලවල් ආර්ථික වර්ධනයක් විදියට තමයි පෙන්නුම් කරන්නේ. ඒව ආර්ථික වර්ධනයන් නෙමෙයි.

 

Comments