වෙල්ලස්ස කැරැල්ල 200 සපුරන මොහොතේ ධනේශ්වර සංවර්ධනයේ ද්වන්ද ස්වරූපය විමසීම | සිළුමිණ

වෙල්ලස්ස කැරැල්ල 200 සපුරන මොහොතේ ධනේශ්වර සංවර්ධනයේ ද්වන්ද ස්වරූපය විමසීම

සුදු අධිරාජ්‍යවාදීන් උඩරට අල්ලාගෙන රට පාලනය කිරීම සදහා ගිවිසුමක් අස්සන් කිරීමෙන් පසු ඔවුන්ට එරෙහිව නැඟී සිටි ප්‍රථම කැරැල්ල 1818 ඌව-වෙල්ලස්ස අරගලයයි. ඒ කැරැල්ලේ 200 වන සංවත්සරය යෙදෙන්නේ මේ වර්ෂයට බව බොහෝ දෙනෙක් නොදන්නා බව නොරහසකි.

1848දී සුදු අධිරාජ්‍යවාදයට එරෙහිව එල්ල වූ දෙවැනි කැරැල්ල වන මාතලේ කැරැල්ල තරම් ඌව-වෙල්ලස්ස කැරැල්ල පීඩිත මහජනතාව නියෝජනය කළ අරගලයක් නොවීය. ඌව-වෙල්ලස්ස කැරැල්ල මුළුමනින්ම ඉංග්‍රීසි පාලනය නිසා අවතක්සේරුවට ලක් වූ සිංහල ප්‍රභූ කැරැල්ලකි. එහෙත් ඒ අරගලය තුළ සිංහල ජනපීඩනය අන්තර්ගත නොවූවාම නොවේ. ඊට සිංහල ජන සහභාගිත්වය නොලැබුණා නම් එතරම් ප්‍රබල අන්දමින් මුළු ඌව-වෙල්ලස්සම මර්දනය කරන්නට සුදු අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය නොවේ.

වැව්-ඇළ-දොළ හා වාරි පද්ධතියත්, ගහ-කොළ, හරකා-බාන හා කෙත්-වතු විනාශ කරමින් මර්දනය දියත් කරන විට සිංහලයා පලා ගොස් පදිංචි වූයේ පානම් පත්තුවේ හා බින්තැන්න පත්තුවේය. මර්දනය කෙසේ වුවත්, අරගලය ජය ගන්නට නොහැකි වුවත් සිංහලයාගේ ඒ අධිරාජ්‍යවාදීන්ට එරෙහි අරගලය අගය කළ යුත්තකි. අධිරාජ්‍යවාදය ඓතිහාසික සමාජ සංවර්ධනයේ එක්තරා අවස්ථාවක්යැයි කියවාගන්නට සිදු වන්නේද මේ සන්දර්භය තුළය.

ඌව-වෙල්ලස්ස කැරැල්ල නැවත කියවාගත යුතුය. ඒ සදහා ඌව-වෙල්ලස්ස කැරැල්ල අධ්‍යයනය කළ යුතුය. එහෙත් ඌව-වෙල්ලස්සේ සිංහලයන් මුහුණ දෙන සමාජ ප්‍රශ්නවලට අදටත් පිළිතුරු නොවීම නිහඬව ඉවසිය යුතු නොවේ. එනිසා ඌව-වෙල්ලස්ස කැරැල්ලේ අභිමානවත් 200 වැනි සංවත්සරය සැමරිය යුත්තේ පීඩකයාට එරෙහිව නැඟී සිටි පීඩිතයාගේ අරගලයක් ලෙස සලකමිනි. එය කිසි සේත් ප්‍රභූ බල සමාජයට අහිමි වූ වැඩවසම් සමාජ බලය යළි රැකගැනීම සඳහා වූ කැරැල්ලක සංවත්සරයක් නොවිය යුතුය.

සුදු අධිරාජ්‍යවාදය උඩරට ප්‍රභූ සමාජ තීරුවට අභියෝගයක් වූයේ ඔවුන් එතෙක් භුක්ති විඳි වරදාන අහිමි වී, තවත් සාමාන්‍ය සිංහලයන් පිරිසක් බවට පත් වූ නිසා ය. ඒ හැරෙන්නට අධිරාජ්‍යවාදය විසින් සූරා කෑ ප්‍රතිපත්තිය ගැන ප්‍රභූ සිංහල සමාජ තීරුවට අමුතු කැක්කුමක් නොවීය. ඊට හේතුව ඔවුන්ගේ වැඩවසම් පාලනය තුළද සමාජය ප්‍රගතිශීලි ගමනක නොයෙදුණු බැවිනි.

වැඩවසම් පාලනයන් පැවති ලෝකයේ බොහෝ දුප්පත් රටවලට අධිරාජ්‍යවාදය පැමිණියේය. ඔවුහු ඒ රටවල් සූරා කා, ප්‍රාග්ධනය තම මවු රටවලට එකරාශි කරගත්හ. එහෙත් වැඩවසම්වාදි ආකෘතිය තුළ ඒ රටවල් පත්ව තිබූ ආර්ථික තත්ත්වයට වඩා වර්ධනීය ප්‍රගතියක් අධිරාජ්‍යවාදය යටතේ ලැබිණි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සලකා බැලූ විට කාර්මික ධනවාදි සංවර්ධනය ඇති වීමට අධිරාජ්‍යවාදයේ පැමිණීම හේතු විය. එනිසා මහාමාර්ග හා දුම්රිය මාර්ග පද්ධතියක්ද ජාතික ආර්ථිකයක්ද නිර්මාණය විය. අධිරාජ්‍යවාදය සූරාකෑමේ සංධිස්ථානයක් වුවද සමාජ සංවර්ධනයේ ඓතිහාසික අවස්ථාවකදී ඊට ප්‍රගතිශීලි කාර්යභාරයක් පැවරී තිබිණි.

මේ යුගය තුළ ඌව-වෙල්ලස්සට බහුජාතික සමාගම් පැමිණෙන්නේද අධිරාජ්‍යවාදයේ නව මුහුණුවරක් හැටියටය. අධිරාජ්‍යවාදය සූරාකන්නකු වූ සේම එහි නව මුහුණුවරද අනිවාර්ය සූරාකන්නෙක්ම වීය. එහෙත් සමාජ සංවර්ධනයේදී අධිරාජ්‍යවාදයට ප්‍රගතිශීලි කාර්යභාරයක් තිබූ පරිදිම එහි නව මුහුණුවරටද ප්‍රගතිශීලි කාර්යභාරයක් පවතී. බහුජාතික සමාගම් ‘ඉඹ පිළිගත යුතු’ නැතත් ඒවා සමාජ සංවර්ධනයේදී ඉටු කරන ඓතිහාසික කාර්යභාරය තේරුම් ගැනීමට උත්සාහ කිරීම ප්‍රතිගාමි බවක් නොවේ.

පැහැදිලි ලෙසම බහුජාතික සමාගම් පැමිණෙන්නේ ප්‍රාග්ධන සමුච්චකරණ අරමුණෙන් බව අවිවාදිතය. එහෙත් තවමත් කාර්මික ප්‍රාග්ධනකරණයට ලක් නොවූ ග්‍රාමීය ප්‍රදේශවලට බහුජාතික සමාගම් ප්‍රාග්ධනය රැගෙන ඒම ප්‍රශස්තය. එනිසා ග්‍රාම්‍ය ප්‍රදේශ තුළ මූල්‍ය සංසරණය ශක්තිමත් වන්නේය. එහි ප්‍රතිඵලය වන්නේ ග්‍රාමීය ප්‍රදේශවලින් ව්‍යවසායකයන් නිර්මාණය වීමයි. මෙහි පරස්පර විරෝධ භාවය වන්නේ බහුජාතික සමාගමේ සූරාකෑම උපරිම වීමයි. එහෙත් ධනේශ්වර සංවර්ධනය යනු වෙළෙඳපළ සක්‍රිය වීමේදී ද්වන්දාත්මක වීමයි.

ඌව-වෙල්ලස්සට ප්‍රාග්ධන ආයෝජන සඳහා බහුජාතික සමාගම් පැමිණීම කියවාගත යුත්තේ පැරණි ඒකමානි සන්දර්භයෙන් නොවේ. ඔවුන් පැමිණෙන්නේ ආයෝජනයකට බවද එහි නෛසර්ගිකය වන්නේ සූරාකෑම බවද එහෙත් ඊට ද්වන්ද ස්වරූපයක් ඇති බවද තේරුම් ගත යුතුය. මේ කියවාගැනීම සදහා පරණ වාමාංශික දැනුම ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා නව දැනුමක් අවශ්‍යමය. එහෙත් ප්‍රශ්නය වන්නේ බොහෝ සමාජ ක්‍රියාකාරීන්ට ඒ නව දැනුම නොවීමය.

 

 

 

අදහස්