සවුදිය - සවුදිය පුරද්දී ශ්‍රී ලංකාවෙන් තියුණු සටනක් | සිළුමිණ

සවුදිය - සවුදිය පුරද්දී ශ්‍රී ලංකාවෙන් තියුණු සටනක්

පළමු ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියේ සිය සුපිරි බව රැකගත් සවුදි අරාබී ක්‍රීඩකයෝ මූලික වටයේ තරග සියල්ල ම ජය ගනිමින් අපරාජිතව ම ඒ කාණ්ඩයෙන් පෙරමුණ ගනිද්දි සත්කාරක ශ්‍රීලංකාවට එකි කාණ්ඩයේ හිමි වූයේ දෙවැනි ස්ථානයයි. බී කාණ්ඩයේ බංග්ලාදේශය, ඉරාකය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය තරග දෙක බැගින් ජයගෙන එක් තරගය බැගින් පරාජය විය. මොංගෝලියාවට එක් තරගයක් හෝ ජය ගැනීමට නොහැකි විය. ඒ කාණ්ඩයේ ශ්‍රී ලංකාව 3-0 කින් හොංකොං ප්‍රථම තරගය පරාජය කළ අතර දෙවැනි තරගයේදී නැවතත් 3-0 කින් මැලේසියාව පරාජය කිරීමට සමත් විය. ශ්‍රීලංකාව පරාජය වූ එකම තරගය වූ සවුදි අරාබිය තරග 3-1 ක් ලෙස පරාජය විය. සත්කාරක ශ්‍රීලංකා කණ්ඩායම තරග කළ කාණ්ඩයේ මැලේසියාව එක් තරගයක් ජය ගත් අතර, හොංකොං කණ්ඩායමට එකඳු තරගයක් හෝ ජය ගැනීමට නොහැකි විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගවත් ප්‍රහාර වේගවත් පන්දු පිරිනැමිම හොංකොං සහ මැලේසියාව අතර තරගවල කැපි පෙනෙන මට්ටමකින් පැවැති අතර, බොහෝ ප්‍රහාර ඉදිරියේ ප්‍රතිවාදින් අන්ද මන්ද වුහ. කාගෙත් අවධානය යොමු වූයේ මුලික වටයේ සත්කාරක ශ්‍රීලංකාව සහ සවුදි අරාබිය අතර තරගයටය. එහිදි ශ්‍රීලංකාවේ ප්‍රබලම ක්‍රීඩකයන් වූ දීප්ති රොමේෂ් සහ ලසිඳු මෙත්මාල් සඟවාලමින් ශ්‍රීලංකාව මේ තරගයට ක්‍රීඩා කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලිය ඇරැඹි අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් තරගාවලියේ සමාප්තිය සටහන් විය.

ආසියානු වොලිබෝල් පිටියේ ශ්‍රේණිගත කිරීම්වල අංක අටේ සිට දහසය දක්වා සිටින කණ්ඩායම් අට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති පළමු ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියට එක්විය. ලොව වොලිබෝල් ක්‍ර‍ීඩාවේ නිරත රටවල් සංඛ්‍යාව 224 ක් වන අතර ආසියාවේ රටවල් සංඛ්‍යාව 65 කි. ඒ අනුව මේ තරගාවලියේ ශූරයන් සහ අනුශූරයන්ට ආසියාවේ මෙන් ම ලෝක වොලිබෝල් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ‍ීමට මෙකී තරගාවලිය මහඟු පිටිවහලකි.

සත්කාරක ශ්‍රී ලංකාව සමඟ මැලේසියාව, හොංකොං, සෞදි අරාබිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරාකය සහ මොංගෝලියාව මේ තරගාවලියට එක් විය. මේ තරගාවලියට පෙර පැවැති දහ අටවැනි ආසියානු ක්‍රීඩා උලෙළේ වොලිබෝල් තරගාවලියේ දහතුන් වැනි ස්ථානයෙන් නතරවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඊ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකාව එහිදී මූලික වටයේදී එක් තරගයක් ජයගෙන කාණ්ඩයේ තෙවැනි තැනට පත්වූ අතර, මේ අනුව අවසන් පූර්ව තරගවටය අහිමි විය. අනතුරුව 13 වැනි ස්ථානයේ සිට 20 වැනි ස්ථානය දක්වා ශ්‍රේණිගත කිරීම් තරග සඳහා එක් වූ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම වටයේ මාලදිවයින සහ නේපාලය පරාජය කිරීමට සමත් විය.

ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියට පෙර ශ්‍රී ලංකා පුහුණුකරු අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ආසියානු ක්‍රීඩා උලෙළට එක්වන්නේ ආසියානු අභියෝග කුසලාන තරගාවලිය සඳහා පෙර පුහුණුවක් ලෙස බව ය. එමෙන් ම ආසියානු අභියෝග කුසලාන තරගාවලියේ ශූරයාවීම මූලික අරමුණ බව ද ප්‍රකාශ කළේ ය. දහ අටවැනි ආසියානු ක්‍රීඩා උලෙළට පෙර ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී ඉතිහාසයේ ඉහළම ස්ථානය සටහන් කරගනිමින් හත් වැනි තැනට පත් විය. මේ තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක චාමර මිහිරාන් ප්‍රකාශ කළේ සර්බියානු පුහුණුකරු තුළ සුවිශේෂ ගුණාංග රැසක් තිබෙන බවත්, එය ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ ඉදිරි ගමනට ද විශාල දායකත්වයක් සපයනු ඇති බවයි.

මේ තරගාවලියට එක්වන රටවල් අතරින් දහ අට වැනි ආසියානු තරගාවලියට එක්වූ රටවල් අතර, සෞදි අරාබිය ශ්‍රේණිගත කිරීම්වල දහවැනි ස්ථානයේ පසුවිය. මොංගෝලියාව දහ අට සහ හොංකොං දහ නවවැනි ස්ථානයන්හි පසුවිය. ඉරාකය, බංග්ලාදේශය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසියානු ක්‍රීඩා උලෙළට එක් නොවීය.

චාමර මිහිරාන්ගේ නායකත්වය ය‍ටතේ තරග කල ශ්‍රීලංකා කණ්ඩායමට ජනිත සුරත්, ශමිල් මලින්ද, ගයාන් මධුශංක, ප්‍රමේෂ් ප්‍රසන්න, ලක්මාල්, ෂෙහාන් විමුක්ති, කසුන් චතුරංග, ධනුෂ්ක ප්‍රනාන්දු, ලසිඳු මෙත්මාල්, දීප්ති රොමේෂ්, වසන්ත ලක්මාල්, අයේෂ් දිල්හාන් සහ මලිත් දිනිදු ඇතුළත් වූහ. ඩෙජාන් වුලිසෙවිච් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර චාල්ස් තිලකරත්න සහය පුහුණුකරු ලෙසත්, නලින් සම්පත් භෞත චිකිත්සකවරයා ලෙසත් කටයුතු කළහ.

Comments