මං හැමදාම තෘප්තිමත් වුණේ වැඩ කරලා | සිළුමිණ

මං හැමදාම තෘප්තිමත් වුණේ වැඩ කරලා

හැමදේ ම බදාගෙන කරන්න යන එක හොඳ නායකත්වයක ලක්ෂණයක් නෙවෙයි.

මගේ ජීවිතයෙන් ගන්න යම් කිසි උත්තේජනයක් තියෙයි. ඒ හැර ඔබ මං වගේ වෙන්න හදන්න එපා.

 

වයස 18 දි

මහ මුහුදෙන් සිය

වෘත්තිය ජීවිතය අරඹන ඔහු,

ඊට වසර දහයකට පසු කුණාටු පිරි

නගරයේ නැවක් රැගෙන යන කපිතාන්

කෙනකු බවට පත්විය. සිය වෘත්තිය පිළිබඳ පහන් හැඟීමෙන් බැලීම මිස, කිසිදු විටෙක එහි අඩුපාඩු දකිමින් සිතෙහි අකමැත්තෙන් වැඩ කිරීම ඔහුගේ ක්‍රමය නොවිණි. එනිසා ම, අන් කෙනකුට වඩා කලින්, සිය වෘත්තිය හා පැතිරුණු ක්ෂේත්‍ර

ගණනාවක් ස්පර්ශ කරන්නට ඔහුට හැකි විය.

ඒවා ඔහු දැවැන්ත ව්‍යාපාර දක්වා දියුණු කළේත් ඒ සියල්ල තුළ ආත්ම තෘප්තිය රඳවා

ගත්තේත්, සන්සුන්ව සහ තියුණු ඇසකින්

යුතුව වැඩ කළ වෙනස්

ගුණය නිසාය.

 

ඔබ නැවියෙක් ද... ව්‍යාපාරිකයෙක් ද...

මං ව්‍යාපාරිකයෙක් වෙච්චි නැවියෙක්. ඒ නිසා ඔය හැඳින්වීම් දෙකට ම මං කැමැතියි.

නාවික ජීවිතය අත්හැරියෙ ව්‍යාපාර නිසා ද...

ඔව්. අවුරුදු දාහතරක නාවික ජීවිතය අත්හරිනකොට මං ‘කැප්ටන්’ කෙනෙක්. ඒ අත්හැරලා 1988 මං, සීලයින් කොම්පැනියට එද්දි මේක බොහොම පුංචි ව්‍යාපාරයක්. අද, ලංකාවේ ෂිපින් ට්‍රේඩ් එකේ වැඩි ම විවිධාංගීකරණය වූ නැව් සමාගම සීලයින්.

ආයතනය ඒ තැනට ගේන්න, ඔබ කළ වෙනස කුමක් ද...

එතෙක් නැවියන් පුහුණු කර, ජාත්‍යන්තර වෙළෙඳ නැව් සඳහා යොමු කිරීම, පමණක් කරමින් හිටි පුංචි ව්‍යාපාරයක් මේ තැනට ගේන්න හුඟක් දේ කරන්න වුණා. ටිකෙන් ටික නාවික ක්ෂේත්‍රයට අදාළ හැම අංශයකට ම යොමු වෙමින් ව්‍යාපාර ජාලයක් සේ ගොඩ නැඟුණා. සී ලයින් මැනේජ්මන්ට්, මරයින් සර්වේ ඇන්ඩ් ටෙක්නොලොජි සර්විස්, ඕෂන්නීඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ්, සීලයින් ඒජන්සීස්, සීලයින් ට්‍රැවල්ස්, සිනෙක් කැම්පස්... ලෙස නැව් ක්ෂේත්‍රයේ විවිධ සේවා හා බැඳුණු ව්‍යාපාර 17 ක් දැන් අපි ව්‍යාප්ත කොට තිබෙනවා. සීලයින් ගෲප් එකේ මේ ව්‍යාපාර 17 න් 14 ක් ම මම හදපු ඒවා.

ඒ අතරින් ඔබේ හදවතට දැනුණු ව්‍යාපාරය කුමක් ද...

Cinec කැම්පස්. මම එහි නිර්මාතෘ වගේ ම, තවමත් එහි ‘ප්‍රසිඩන්ට්’. ජාත්‍යන්තර වෙළෙඳ නැවක සීමන් කෙනෙක් නැතිනම් කැප්ටන් දක්වා යා හැකි, ඔෆිසර් රෑන්ක් එකේ කැඩේට් නිලධාරීන් බිහි කරන ලංකාවේ ලොකු ම රාජ්‍ය නොවන නාවික විශ්ව විද්‍යාලය, සිනෙක්. ළමයි ඇවිත් ඉගෙන ගන්නකොට, නැව්වල රස්සාවලට යනකොට, විභාග කරලා ඉහළට යනකොට, ලෝකෙ වටේ සංචාරය කරමින්, රටට විදෙස් විනිමය ගේනකොට, හොඳ වැටුප් අරන් සාර්ථක ජීවිත ගත කරනවා දකිනකොට හිතට දැනෙන සතුට නිමක් නැහැ. පුළුවන් හැම වෙලාවක් ම කැම්පස් එකේ ගත කරන්නයි මං කැමැති. ඒක මට, මොකක්දෝ ලොකු හැඟීමක්.

වෙළෙඳ නැව්වලට, ඔය කියන තරමට ඉල්ලුමක් ජාත්‍යන්තරයේ තිබෙනවද...

රටක් දියුණු වෙන්න දියුණු වෙන්න, ඒ රටෙන් මුහුදට යන මිනිස්සු ප්‍රමාණය අඩු වෙනවා. ඒ, රට ඇතුළෙ ම හොඳින් ඉපැයිය හැකි රැකියා අවස්ථා උදාවීම හරහා තමන්ගේ දරු පවුල් සමඟ ගොඩ බිමේම ජීවත්වන්නට හැකියාව ලැබෙන නිසා. ඉස්සර ෂිපින් ට්‍රේඩ් එකේ නැවියො බිහිවුණේ එංගලන්තය, ජපානය, කොරියාව, නෝර්වේ, ඩෙන්මාර්ක්, ජ’මනිය වගේ රටවලින්. ඔවුන්ව හැඳින්වුවෙත් ‘මැරිටයිම් නේෂන්ස්’ නමින්. නමුත් දැන් මේවා ධනවත් රටවල්. ඔවුන්ගේ මිනිස්සු මුහුදට යනවා අඩුයි. ඒ නිසා ග්‍රීසිය, නෝර්වේ, ජ’මනිය, ජපානය වගේ රටවල් නැව් අයිතිකරුවන්ට සිදු වෙලා තියෙනවා. දියුණු වෙමින් පවතින රටවලින් නාවිකයන් බඳවා ගන්න. ඒ නිසා අපේ රටටත් ලැබෙන අවස්ථා වැඩියි.

ඒත් කුණාටු පිරි සාගරේ නැවක් පදවන එක අභියෝගයක්...

රස්සාව විඳින්න පුරුදු වුණොත් එහෙම දැනෙන්නෙ නැහැ. මං අවුරුදු 14 ක් ජීවත් වුණේ නැව්වල. සුළිසුළං, කුණාටු... ඔය මොන දේටත් මුහුණ දීලා තිබෙනවා. නැව් රස්සාව දුෂ්කරයි කියලා හිතනවා නම්, ඒ එක්ක ම හිතන්න, කවදාවත් ‍ගොඩබිමේ රස්සාවක් කරලා ගන්න බැරි තරම් ලොකු වැටුපක් ගෙවන්නේ ඒ නිසා කියලා. අවුරුදු තුනක පුහුණුවෙන් පස්සෙ, හතරවැනි අවුරුද්දේ පටන් රුපියල් ලක්ෂ දෙකහමාරක වැටුපකින් ඔබේ වෘත්තිය ජීවිතය අරඹන්න පුළුවන් ද ගොඩබිමේදි. එහෙම නම් ඔබට මොන තරම් වෘත්තීය සුදුසුකම් සහ උපාධි තියෙන්න ඕනෙද... නැව් රස්සාවක තියෙන වාසිය සහ වෙනස ඒකයි.

ඒත් ලංකාවේ ක්‍රියාත්මක හුඟක් උසස් අධ්‍යාපන පාඨමාලා, රස්සා සොයා ගැනීමේදි ඔය කියන තරම් ප්‍රායෝගික නැහැ...

මං දන්නෙ මගේ ක්ෂේත්‍රය ගැන. සීලයින් සමූහයේ පළමු ව්‍යාපාරය තමයි නැවියන් පුහුණුකර ජාත්‍යන්තර නැව් සමාගම්වලට යොමු කිරීම. එදා පටන් අද දක්වා ලෝකෙ කෙහේ හෝ නැවකට සීලයින් වෙතින් ගිය නැවියන් ප්‍රමාණය විසිදහසක් තරම්. ඔවුන් වඩාත් හොඳින් සූදානම් කිරීමටයි, 1990 වසරේ සිනෙක් කැම්පස් ඇරැඹුවේ. අක්කර 11 ක විසල් භූමියක ඉදිකර තිබෙන මේ නාවික උසස් අධ්‍යාපන ආයතනය ඩොලර් බිලියන දෙක තුනක ව්‍යාපෘතියක්. අක්කර 4 කින් පටන්ගෙන, ටිකෙන් ටික ගොඩනැඟිලි ඉදිවුණේ විසල් වුණේ සාර්ථක ක්‍රියාවලියක් මෙහි සිදු වූ නිසා. අනෙක තමයි ඉපැයූ සියල්ල මෙහිම ආයෝජනය කළ නිසා.

Cinec, ඔබට බ්‍රෑන්ඩ් එකක් ද...

ඇත්තට ම එය සිදු වී හමාරයි. ෆීජී සහ සීෂෙල්ස් රාජ්‍යයේ “මැරිටයිම් ඇකඩමි” දෙක ම මැනේජ් කරන්නේ අපි. ෆීජී රටේ උප අගමැතිවරයාත් සීෂෙල්ස් ජනාධිපතිවරයාත් අපේ Cinec මැරිටයිම් ඇකඩමිය බලන්න ආවා. සිනෙක් හි උසස් ප්‍රමිතිය පිළිබඳ පැහැදී, ඔවුන්ගේ රටේ මැරිටයිම් ඇකඩමිවල කළමනාකාරිත්වය අපිට බාර දුන්නා. දැන් වසර පහක පටන් අපි ඒ කටයුත්තත් කරනවා. Cinec, බ්‍රෑන්ඩ් එකක් තරමට කොලිටි නිසයි, එවැනි අවස්ථා ශ්‍රී ලංකාවට උදා වුණේ.

මොකක්ද සීලයින් වෙත ඔබට තිබෙන අයිතිය...

1988 මං මේ ආයතනයට ආවේ මගේ නාවික මිත්‍ර හේමන්ත ජයනෙත්තිගේ ඉල්ලීමට. ඒ, ජෙනරල් මැනේජර් විදියට. පස්සෙ කාලෙක මං අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වෙනවා. කොටස් කරුවෙක් වෙනවා, අද මං මේ ආයතනයේ යම් කිසි කොටස් අයිතියක් තිබෙන, පත්වූ සභාපතිවරයෙක්.

මොකක්ද ඔබේ Management Style එක...

හැමදේ ම බදාගෙන කරන්න යන එක හොඳ නායකත්වයක ලක්ෂණයක් නෙවෙයි. මං ටීම් Worker කෙනෙක්. මට හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඔවුන්ට ඉහළ සිට පහළට වැඩ බෙදී ගොස් තිබෙනවා. මං ඒ කණ්ඩායම විශ්වාස කරනවා. ඔවුන්ට බලය සහ නිදහස දී තිබෙනවා. අවශ්‍යම තැනෙක මැදිහත්වීමත් උපදෙස් දීමත් හ‍ැරෙන්න, හැම‍ෙද්ටම ඇඟිලි ගහන සිරිත මගේ නැහැ.

තීන්දු තීරණ ගැනීමේදී ඔබට වැදගත් වන්නේ කුමක් ද...

ප්‍රශ්නයට අදාළ දෙපැත්ත ගැනම හොඳින් හිතන එක. විමර්ශනය කරන එක. සමහර වෙලාවට සමහර ප්‍රශ්න ගැන හිතලා හිතලා තීරණයක් නොගෙන ම ඉන්නවා. සමහර විට ඒකම තමයි හොඳම විසඳුම වෙන්නෙත්. කොහොම වුණත් මං ඉක්මන් තීන්දු තීරණ ගන්න කෙනෙක් නෙවෙයි.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

කොළඹ රාජකීය විද්‍යාලයේ. එකේ ඉඳන් හතේ පන්තිය වෙනකල් මං පන්තියේ පළමුවැනියා. ඊට පස්සෙ නම් පළවෙනියා වෙන්න බැරි වුණා. ඊට පස්සෙ මං දක්ෂ වුණේ ක්‍රිකට්වලට. මං පාසල් වර්ණලාභි ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඕ - ලෙවල් වෙනකල් මගේ ‍ලෝ‍කෙ වුණේ ක්‍රිකට්.

එතකොට විභාග හොඳින් සමත් වුණාද...

ඕ - ලෙවල් හොඳට කළා. උසස් පෙළට තෝරා ගත්තේ මැත්ස්. ඒත් විභාගෙට ලියන්න කලින් මට නැව් සංස්ථාවේ රස්සාව ලැබුණා. මං ඉස්කෝ‍ල ජීවිතේ අත්හැරියා. රස්සාවට ගියා. ‍‍

ඇයි ඔබට හීනයක් තිබුණෙ නැද්ද...

ඒ වෙනකොට මගේ ගෙදර තිබ‍ුණෙ එහෙම නිදහසේ හීන දකින්න පුළුවන් පරිසරයක් නෙවෙයි. මගේ තාත්තා CT B එකේ ඒරියා මැනේජර් කෙනෙක්. ඒ තනතුර අවශ්‍ය නැහැ කියලා, 1970 ඒ තනතුරේ හිටි පනස් දෙනකුගේ රස්සා තහනම් කළා. මගේ තාත්තා සවුත් වෙස්ටර්න් බස් සමාගම කාලෙ පටන් වැඩ කළ කෙනෙක්. ඒත් එක රැයකින් ගෙදර යැව්වා. අක්කයි, මමයි, නංගියි, මල්ලියි ඉගෙන ගන්නවා. ළමයි හතර දෙනකුගෙ බර... අම්මයි තාත්තයි මුහුණදීලා තියෙන්නෙ අමාරු කාලයකට කියලා මං තේරුම් ගත්තා. ඒ නිසා මං, මම ගැන හිතන එක නැවැත්තුවා. පවුලට හයියක් වෙන විදියයි මං කල්පනා කළේ.

ඔබ අරපිරිමැස්මෙන් ජීවත් වෙන්න ඇති...

අවුරුදු 14 ඉඳන් අරපිරිමැස්මෙන් ජීවත් වුණා විතරක් නෙවෙයි, වයස 17 වෙද්දි ම රස්සාවක් හොයන්න මං මහන්සි ගත්තෙත් ඒ නිසා. ඔය අතරෙ තමයි මගේ යාළුවෙක් නැවක රස්සාවට ගිහින් නිවාඩුවට ඇවිත් විස්තර කියන්න ගත්තේ. නැව් සංස්ථාව ආයෙමත් ඉල්ලුම්පත් කැඳවන කල් මං මඟ බලාගෙන හිටියා. අම්මගෙයි තාත්තගෙයි දැඩි විරෝධය මැද්දෙ මං ඇප්ලිකේෂන් දැම්මා. නැව් සංස්ථාවේ, ‘නාවික කැඩේට් නිලධාරි’ මගේ පළමු රස්සාව වෙන්නේ ඒ විදියට.

තියෙන කියන පවුලක දරුවකුට ඔහොම සිතිවිලි ආවා කියන එකම පුදුමයක්...

ක්‍රිකට් ගහද්දි මට තිබුණෙ එක කිට් එකයි. ප්‍රැක්ටිස් ඉවරවෙලා ඇවිත් රෑම මං ඒක හේදුවා. කොහොම හරි වේළගෙන අනිත් දවසෙ ඇන්දෙත් ඒක. ඉස්සරවෙලා ම ක්‍රිකට් ගහද්දි මං දැම්මෙ මගේ ‘කසින්’ කෙනකුගේ බූට්ස් දෙකක්. ඇති කාලෙදි වගේ ම නැති කාලවලදිත් ජීවත් වෙන්න ඕනෙ විදිය මං ඉගෙන ගත්ත ඔය ජීවිත අත්දැකීම්වලින්. අපේ දෙමවුප‍ියො මහපොළොවෙ පය ගහලා ජීවත් වුණු මිනිස්සු.

අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු ලොකු දේ කුමක් ද...

අවුරුදු හතක් රස්සව නැතිව හිටි කාලෙ තාත්තා අපේ කාර් එක ඩ්‍රයිවර් කෙනෙක් දාලා හයර් කළා. වගා කළා. නෑයෙක් එක්ක එකතු වෙලා කඩයක් කළා. අමාරු කාලයකදි ධෛර්යයෙන් ජීවිතයට මුහුණ දෙන විදිය මං මුලින්ම ඉගෙන ගත්තෙ තාත්තාගෙන්. ඒ ‍වගේ ම, අවුරුදු 7 කට පස්සෙ ආපහු රස්සාව ලැබිලා ජෙනරල් මැනේජර් තනතුරේ හිටියත් තාත්තා ඉස්සර වගේ ම CTB එකට වැඩ කළා. තමන්ගෙ ආයතනයට උපරිමව වැඩ කිරීම මිස, පරණ තරහාවල් ලොකුකම් තනතුරු වැදගත් නැහැ කියන එකත් තාත්තා මට දීපු ජීවිතාදර්ශයක්. තාත්ත වගේ ම අපි හතර දෙනාගෙ වගකීම අරගෙන දුෂ්කර කාලයකදි අම්මා ජීවිතයට මුහුණ දුන්නේ පවුලක ආදරය වැදගත් ම සාධකයයි, කියන ජීවිත පාඩම අපිට කියා දෙමින්. මොන තරම් නැති බැරි අවස්ථාවක වුණත් ඇය සැමියාට කන්කෙඳිරි ගෑවෙවත් දොස් පරොස් නැගුවෙවත් නැති කාන්තාවක්. ජීවිතයේ දුෂ්කර කාලයකදි වුණත් අරමුණු වෙනස් නොකරගෙන ඉදිරියට යා යුතු විදිය මං ඉගෙන ගත්තෙ අම්මාගෙන්.

ඔබේ ජීවිතය වෙනස් කළ, හැරවුම් ලක්ෂ්‍යය කුමක් ද...

අවුරුදු 18 දි නැව් සංස්ථාවට බැඳුණු එක. මට පුහුණුව ලැබෙන්නේ බොම්බේ වරායේ නවතා තිබෙන ‘රාජේන්ද්‍ර’ නැවේ. බඳවා ගැනීමේදි හොඳින් ලකුණු ගත් හතරදෙනකුට ‍ෙම් අවස්ථාව ලැබුණා. අපි වගේ විවිධ රටවලින් ආ කැඩේට් නිලධාරින් දෙසිය පනහක් එතැන පුහුණුව ලැබුවා. නැවක් සුද්ධ පවිත්‍ර කිරීමේ, නඩත්තුවේ පටන්, නැව් ජීවිතයේ හැම අහු මුල්ලක් ම අවුරුදු දෙකක් පුරා ඉගෙන ගන්තෙ මං ඒ පුහුණුවේදි. නැව් ජීවිතයෙ මං ඉන්නවා කියන තීරණය ගත්තෙත් ඒ පුහුණුවේදි.

පුහුණුවෙන් පස්සෙ කොහෙද වැඩ කළේ...

අවුරුදු දෙකකට පස්සෙ මං නැව් සංස්ථාවට ම ආවා. ‘ලංකා කාන්ති’ මට ලැබුණු නැව. සීනියර් කැඩේට් ඔෆිසර්, 4 th officer, 3rd officer. 2 nd officer. Chief officer තනතුරු සඳහා විභාග කරලා අන්තිමේ කැප්ටන් විභාගෙත් කළා. මේ හැම විභාගයක් ම කරන්න කලින්, මං ඉගෙන ගත්තෙ, ඉන්දියාවේ ලාල් බහදූර් ශාස්ත්‍රි නෝටිකල් ඇන්ඩ් ඉංජිනියරින් (LBS) කොලේජ් එකේ. මං කැප්ටන් වෙලා මුලින් ම අණ දුන්නෙත් ලංකා කාන්ති නැවට. එතකොට මට වයස 28 යි. සංස්ථාවෙන් පිට මං ජ’මන් නැවකත් වැඩ කළා.

නැව් ජීවිතයට ගියාම අම්මා තාත්තා ගෙවල් දොරවල් අමතක වෙනවා. හුඟ දෙනෙක් එහෙම කියනවා...

අමතක වෙනවා නෙවෙයි, නැව වරායට එනකල් ගෙදර එන්න බැහැනේ. ඒ නිසා වෙන්න ඇති. මට තවම මතකයි මගේ පළවෙනි පඩියෙන්, මං කාගිල්ස් සාප්පුවෙන් මල්ලිට පොඩි බැට් එකක් ගත්තා. අම්මලටත් පොඩි පොඩි තෑගි ගත්තා. ඉන්දියාවෙ හිටපු අවුරුදු දෙක තුළ නිවාඩුවට ගෙදර එද්දි ලංකාවෙ හාල් පොලු, මිරිස් පොලු. මං ඉන්දියවෙන් ගේන මයිසූර් පරිප්පු පැකට්, සුදු සීනි පැකට් අපේ අම්මට හුඟක් වටිනවා. එයා ඒවා පොඩ්ඩ පොඩ්ඩ නෑයන්ට තෑගි හැටියටත් දෙනවා. ඒ කා‍ෙල මේ රටට මයිසූර් පරිප්පු, සුදු සීනි තහනම්. මං ඒවා ගේන්නෙත් ගෙදර අය ආසා නිසා. කොහොම වුණත් මහ මුහුදෙදි නැව පුංචි තිතක් වගේ. එහෙම හුදෙකලාවක් දැනුණ ම කාටද ගෙදර මතක් නොවෙන්නේ. නැවියෙක් ශක්තිමත් වෙන්නෙ මේ සියල්ල දරා ගැනීමෙන්...

දරුවන්ට නාවික ජීවිතය ගැන හැඟීමක් නැද්ද...

මට ඉන්නෙ පුතයි දුවයි. පුතා මෙවන්. දූ ඉඳුනිල්, වයිෆ් ගීතාංජලී. විවාහ වූ දා පටන් පුතා ලැබෙනකල් වයිෆ් ජීවත් වුණේ මා එක්ක නැවේ. අපි රටරටවලට ගියා. ඇවිද්දා. හිතේ හැටියට ෂොපින් කළා. පුතා ඉපදුණාමත් මාස දෙකෙන් අපි ආපහු එයාව නැවට අරන් ගියා. ඉස්කෝලෙ යන්න ගොඩබිමට එනකල් අවුරුදු පහක් ම එයත් හැදුණෙ වැඩුණෙ මහ මුහුද මැද්දෙ. ළමයෙක් හැටියට එයාටත් අවුරුදු පහක විතර ‘ෂිපින් ලයිෆ්’ එකක් තිබෙනවා. ඒ බැඳීම නිසාදෝ, එයත් ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගෙන එහෙ ෂිපින් කොම්පැනියකත් වැඩකරලා සියල්ල අත්හැරලා ඇවිත් දැන් මේ සමාගමේ වැඩ. එයා මෙහෙ ගෲප් බිස්නස් ඩිරෙක්ටර්. ඒ වගේ ම, එක අංශයක මැනේජින් ඩිරෙක්ටර්. දුව නම් මේ ෆීල්ඩ් එකට කිසි ම සම්බන්ධ්‍යක් නැහැ. ජීවත් වෙන්නෙ කැනඩාවේ. එයාගෙ එක ම උනන්දුව යෝගාවලට.

එතකොට බිරිඳ...

එයා හුඟක් පොත පත කියවන කෙනෙක්. විවාහ වෙලා නැවේ ගත කරපු ඒ මුල් කාලයේ එයා වැඩිපුර ම කළේ පොත් කියවපු එක. මගේ නාවික ජීවිතය වගේ ම, ව්‍යාපාරික ජීවිතය යම් තැනකට ආවද ඒ පිටුපස හිටි නිහඬ ශක්තිය බිරිය. මම ව්‍යාපාර දියුණු කළේ ඒවට ම ඇලී ගැලී වැඩකරලා. එහෙම කරන්න පුළුවන් වුණේ මගේ බිරිය, ගෙදර සහ දරුවො පිළිබඳ වැඩි වගකීමක් අරන් මාව නිදහස් කළ නිසා.

පත්වූ සභාපතිවරයෙක්. කොටස් අයිතියත් ටිකයි. දවසක ඔබ හැදූ සියල්ල දාලා යන්න වෙනවා. දුක නැද්ද...

මං හැමදාමත් තෘප්තිමත් වුණේ වැඩ කරලා. සල්ලි සහ තනතුරු ඇතිවන නැතිවන දේ. ඉන්නකල් ඉන්න තැන උපරිමව ගොඩනඟන එකයි, මගේ විදිය. ජාත්‍යන්තරය පිළිගත් තරමේ නාවික විශ්වවිද්‍යාලයක් හැදුවෙත් එක කොම්පැනිය ‍කොම්පැනි ගණනාවක් දක්වා දියුණු කළෙත් ඒ සිතිවිල්ලෙන්. විශේෂයෙන් මේ රටේ යුද්ධයක් තිබුණු කාලෙක.

ඔබ වගේ වෙන්න හිතන කෙනකුට මොනවද කියන්න තියෙන්නේ...

ඔබට මගේ ජීවිතයෙන් ගන්න යම් කිසි උත්තේජනයක් තියෙයි. ඒ හැර ඔබ මං වගේ වෙන්න හදන්න එපා. ඒ තැනට එන්න බැරි වුණොත් ඔබට පසුතැවිල්ලක් ඉතිරි වේවි. ඔබ ඔබ වගේ වෙන්න. ඔබේ ඇතුළෙ ඉන්න දක්ෂයා අවදි කරගන්න. ඔබ දන්නවද, හුඟ දෙනෙක් එක්ක වැඩ කළාට , මගේ නාවික ජීවිතයේ මට Role Model කෙනෙක් නැහැ. මේක මට ඕනෙ විදියට හදා ගත්තු ගමනක්. ඕ - ලෙවල් කළා, රස්සාවක් හෙව්වා, ඒ පළමු රස්සාවෙන් යා හැකි හැම පැත්තකටම විසිරුණා. ලැබෙන නොලැබෙන දේ ගැන නොහිතා වැඩ කළා. ඒ තමයි මට සාර්ථක වූ මගේ ක්‍රමය.

Comments