සුර සැප මවන කොළඹ සුපිරි මහල් නිවාස සොයා සිළුමිණ ගිය ගමන | සිළුමිණ

සුර සැප මවන කොළඹ සුපිරි මහල් නිවාස සොයා සිළුමිණ ගිය ගමන

2023 දී කොළඹ සුපිරි මහල් නිවාස 14,000ක්

90න් පසු ඉපදුණු අය වැඩියෙන් කැමැති මේ ගෙවල්වලට

පාරු පාලමෙන් කොළඹට ගැල් පේළිය සැපත් වූ කාලය නික්ම ගොස් බොහෝ කල් ය. එදා කොළඹ මඟ සලකුණු වුණු කයිමන් දොරකඩ, ගෑස් පහ අද දවසේ මඟ සලකුණු යැයි කීම විහිළුවකි. මන්ද බොහෝ දෙනෙකු ඒවා කොහේ පිහිටි තැන් දැයි නොදන්නා හෙයිනි. අද වෙද්දී කොළඹ මඟ සලකුණු බවට පත්ව ඇත්තේ නෙළුම් පොකුණ, නෙළුම් කුලුන, ෂැංග්‍රිලා යනාදියයි. තවත් වසර කිහිපයකදී තවත් ගොඩනැගිලි නාම කිහිපයක් ම මේ මඟ සලකුණු අතරට එක්වන බව නොඅනුමාන ය. කලම්බු සිටි සෙන්ටර්, ඇල්ටෙයාර්, ඇස්ටෝරියා ඊට අයත් වනු ඇත.

අපේ අග නගරය සිසාරා ඉදිවෙන මේ උස් මහල් ගොඩනැගිලි කවරේද යන්න ඉඳහිට කොළඹට පැමිණෙන ජනතාවට මෙන්ම දිනපතා නගරයට පැමිණෙන ජනතාවට ද ගැටලුවකි. Luxury Apartment යැයි සුවිසල් දැන්වීම් පුවරු ඒවා ඉදිරියේ සවි වී තිබුණ ද ඒවායේ ඇතුළත ජීවිතය පිළිබඳ ඔවුන්ට අවබෝධයක් නැත. මේ අධි සුඛෝපභෝගී කොළඹ මහල් මන්දිර තුළ ජීවිතය සොයා අපි ඒ තුළට පියමැන්නෙමු.

කොළඹ නගර සීමාවේ එක් අන්තයක් වන හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ ඉදිවී ඇති සහ තවමත් ඉදිවෙමින් පවතින හැව්ලොක් සිටි යනු කොළඹ සුඛෝපභෝගී ම මහල් නිවාස සංකීර්ණයක් බවට සැක නැත. සාම විහාරයේ බුදුරුව අසලින් ඇතුළු වූ විට හැව්ලොක් සිටියේ දැනට ඉදි කර අවසන්ව ඇති දැවැන්ත ගොඩනැගිලි කිහිපය අප ඉදිරියේ නැඟී හිඳී. ඒවායේ මුඳුන බැලීමට නම් බෙල්ල අංශක අනූවක්ම උඩට එසවිය යුතු ය. ඒවා ඒ තරම් උසැති ය. පසෙකින් ගලායන වැල්ලවත්ත ඇළට මායිම් වූ පාර දිගේ හැව්ලොක් සිටියේ මේ මහල් නිවාස කරා ළඟා වීමට පුළුවනි.

අප ගමන් ගත්තේ එහි පසුපසින් ඇති ගොඩනැගිල්ලක් වෙත ය. ඉදිරිපස වීදුරු දොරටුව අසල මුරකරුවෙකි. “සර්ලා කොහාටද?” ඔහු විනීතව නමුත් විපරම්කාරීව ඇසුවේය. එය ආරක්ෂාව මෙන්ම නිවාස ඒකක සිය ගණනක් තිබෙන තැනක, අපට යෑමට අවශ්‍ය තැනට අපව යොමු කිරීමේ වුවමනාව පිටද අසන ලද පැනයක් බව නිසැක ය.

අපි යෑමට පැමිණි නිවසේ අංකය ඔහුට කීමු.

“ආ හරි හරි මේ ලිෆ්ට් එකෙන් ගිහින් වමට හැරෙන්න” ඔහු මඟ කීය.

විදුලි සෝපානයට ගොඩ වී මිනිත්තු කිහිපයකින් අපේ ගමනාන්තය වූ අටවැනි තට්ටුවට අපි පැමිණියෙමු. කොළඹ තරු පහේ හෝටලයක හා මේ ගොඩනැගිල්ලේ කිසිදු වෙනසක් දක්නට නොවීය. ඉතා පිරිසුදු එමෙන්ම නිශ්ශබ්ද වටපිටාවකින් ද යුතු වූ අටවැනි මහලේ අපේ ගමනාන්තය අපහසුවකින් තොරව සොයාගැනීමට හැකි විය. ඒ කරා යන විට විදේශිකයන් යුවළක් ද එක් කාමරයක සිට අප පසුකරමින් ගියේ “හායි“ කියමිනි.

අපේ මිතුරා එහි හුන්නේය. උණුසුම් අයුරින් අප එහි පිළිගත් ඔහු පසෙකින් වූ කැබිනට්ටුවක් විවෘත කර බොන්නට යමක් එළියට ගත්තේය.

“කොහොමද මචං, තැන මරු නේද?” ප්‍රශ්නය ඔහුගෙනි.

එය ඇත්තෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයක් නොවීය. කාමර දෙකකින් යුත් ඒ නිවාස ඒකකය හා හෝටල් කාමරයක වෙනසක් තිබුණේ නම් ඒ අපේ මිතුරාගේ අපිළිවෙළ නිසා මිස අන් හේතුවක් නිසා නොවේ. ඉඩකඩ හොඳින් තිබුණු එහි ගෘහභාණ්ඩ පවා නවීන විලාසිතාවේ අලුත්ම ඒවා විය. මුළු ඒකකයම වායු සමනය කර තිබුණු බැවින් පිටත පරිසරයේ ග්‍රීස්මයෙන් පීඩා විඳි අපට දැනුණේ සුර විමනකට ආවාක් බඳු හැඟීමකි.

අපේ මිතුරා එංගලන්තයේ වාසය කරන්නෙකි. එහි ව්‍යාපාර කරන ඔහු ලංකාවට පැමිණි විට නවාතැන් ගන්නේ මෙහි ය.

“මම නැති දවස්වලට මේක නිකම්ම වහලා දාලා තමයි තියෙන්නෙ. හැබැයි මේවා හොඳ ගාණකට කුලියට දෙන්න පුළුවන්. මගේ ගේ වටේට තියෙන අනෙක් ගෙවල් සේරම වගේ එහෙම රෙන්ට් එකට දීපුවා”.

ඔහු කී කාරණය සැබෑ වන්නට පුළුවන. මන්ද යත් කොළඹට පැමිණෙන සංචාරකයන්ට ප්‍රමාණවත් තරම් හෝටල් කාමර පහසුකම් නැති නිසා මෙවැනි සුඛෝපභෝගී මහල් නිවාසවලට ඇත්තේ හොඳ ඉල්ලුමකි.

“මේ වගේ කාමර දෙකක යුනිට් එකක් මාසෙකට ලක්ෂ දෙකහමාරකට වගේ ගානකට රෙන්ට් අවුට් කරන්න පුළුවන්” ඔහු තවත් විස්තර කළේය. “මේ හැම යුනිට් එකකම පිටිපස්සෙ බැල්කනියක් තියෙනවා. හරිම නිදහස්. අනෙක මෙතැන ඉන්නකොට මෙතැනින් එළියට යන්න ඕනකමකුත් නැහැ. රෙස්ටුරන්ට් එක, ජිම් එක, පූල් එක හැමදේම මෙතැන තියෙනවා”.

හැව්ලොක් සිටියේ අවන්හලකින්ම දිවා ආහාරය ගත් අපි ඔහුට සමුදුන්නේ හෝරාවකට පමණ පසුව ය. හැව්ලොක් සිටියේ ගතවුණු ඒ කාලය කොළඹ ඉදිවෙන සුඛෝපභෝගී මහල් නිවාස ගැන තවතවත් තොරතුරු සොයාබලන්නට අපව පෙලඹීය.

කොළඹ සුපිරි මහල් නිවාස යනු සුපිරි ම ව්‍යාපාරයකි. නිවාස සංකීර්ණය ඉදිකිරීමට පෙර සැලසුම එළිදක්වන අවස්ථාවේදීම එහි නිවාස ඒකක මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකි ය. එහෙත් මෙවැනි සුපිරි නිවාස ඒකකයක මිල ගණන් ඇසූ විට සාමාන්‍ය ජනතාවගේ නම් ඇස් උඩ යෑම ද සාමාන්‍ය දෙයකි. සියලු පහසුකම් සහිතව උපරිම වටිනාකමක් ඇති ලිපිනයක් ද සමඟින් අග නගරයේ හොඳම තැන්වලින් ලැබෙන මේ බොහෝ නිවාස ඒකකවල මිල ගණන් ඇරඹෙන්නේ කෝටි දෙකකටත් වැඩි මුදලකිනි.

කොළඹ වාස්තු නිර්මාණ ශිල්පයට නැවුම් බවක් එක් කරන ඇල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයේ කාමර දෙකක නිවාස ඒකකයක මිල රුපියල් කෝටි හතකටත් වැඩි ය. පසෙකින් බේරේ වැවත් අනෙක් පසින් ඉදිකිරීම් නිමවීමට ආසන්න කලම්බු සිටි සෙන්ටර් ගොඩනැගිල්ලටත් තවත් පසෙකින් නවලෝක රෝහලටත් මායිම්ව ඉදිවන ඇල්ටෙයාර් යනු පහසුකම් අතින් මෙන්ම වාස්තු විද්‍යාත්මක අතින් ද සුපිරි තේරීමක් බවට සැකයක් නැත.

කොළඹ ඉදිවන උස ම නේවාසික ගොඩනැගිල්ල වන්නේත් අැල්ටෙයාර් ම ය. උසැති කුලුනු දෙකක් ලෙස ඉහළට විහිදෙන ඇල්ටෙයාර්හි එම කුලුනු දෙක මධ්‍යයේදී එකට යාවී ඉහළට ගොස් තිබීම එහි ඇති වාස්තු විද්‍යාත්මක විශේෂත්වයයි.

apartmentguide.lk වෙබ් අඩවිය පෙන්වා දෙන ආකාරයට මූලික වටයේදී කොළඹ නගරයේ සුපිරි නිවාස ඒකක 3000ක් ඉදිකිරීමට සැලසුම් සකස් වී තිබිණි. කෙසේ වුවද 2014- 2017 කාලසීමාවේදී කොළඹ ඉදිවන සුපිරි නිවාස ඒකක සංඛ්‍යාව 1600ක පමණ වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම ගොඩනැගිලි ප්‍රවණතා පිළිබඳ අධ්‍යයන කරන පර්යේෂණ ආයතනයකට අනුව 2023 වසර වනවිට කොළඹ ඉඳිවන නිවාස ඒකක ගණන 14,000ක් වනු ඇත.

කොළඹ මෙන්ම නුගේගොඩ, රාජගිරිය, මාලබේ, තලවතුගොඩ, සීදූව, ජාඇල, ගල්කිස්ස, මොරටුව වැනි කොළඹ අවට ප්‍රදේශ රැසක මෙවැනි සුපිරි නිවාස සංකීර්ණ ඉදිවෙමින් පවතී. ඒවා පවතින ප්‍රදේශය අනුව මිල උච්චාවචනයන්ට ලක් වන සෙයක් ද දක්නට ඇත. උදාහරණයකට මොරටුව ප්‍රදේශයේ පිහිටි කාමර තුනකින් යුත් සුපිරි නිවාස ඒකකයක මිල එක් කෝටි හැට ලක්ෂයක් වෙද්දී එවැනි ම පහසුකම් ඇති කොල්ලුපිටියේ ඇතැම් නිවාස ඒකකයක මිල කෝටි පහකට ආසන්න ය.

මේ සෑම සුපිරි නිවාස සංකීර්ණයක ම විසි හතර පැය පුරා ආරක්ෂක සේවයක් ක්‍රියාත්මක ය. ඒ නිසාම සොර සතුරු උපද්‍රව පිළිබඳ වදවීමක් ඇත්තේ ම නැත.

මේවායේදී සැපයෙන තවත් සේවාවක් වන්නේ අපද්‍රව්‍ය බැහැර කිරීම ය. ඒවා ද නිවාස සංකීර්ණයේ පරිපාලන අංශය විසින් භාරගෙන ඉටුකරන ලබන සේවාවකි. තම නිවාස ඒකකය පිහිටි ගොඩනැගිල්ලට ඇතුළු වන ස්ථානයේම ඒ ඒ නිවාස ඒකකය සඳහා වෙන්වූ කුඩා ලොකර් පෙළකි. ඒවායේ ඇත්තේ ඒ ඒ නිවාස ඒකකය වෙත ලැබෙන ලිපි ය. මහල් නිවාස පරිපාලන අංශය විසින් ලබාදෙන විවිධ දැනුම්දීම් ආදිය ද යොමු කෙරෙන්නේ ඒ වෙත ය.

ආරක්ෂක සේවාව, සීසීටීවී පහසුකම්, කසළ කළමනාකරණය හා ක්ලබ් හවුස්, කාය වර්ධන මධ්‍යස්ථාන වැනි පහසුකම් ආදිය සඳහා විශේෂ මාසික ගාස්තුවක් ගෙවීමට ද මෙම නිවැසියන්ට සිදුවේ. එම මිල ගණන් බොහෝවිට තීරණය කෙරෙනු ලබන්නේ නිවාස ඒකක හිමිකරුවන් විසින් පිහිටුවාගන්නා ප්‍රජා සංවිධානයක් මගිනි. එසේ ගෙවීමට සිදුවන මාසික මුදල රුපියල් 15,000 සිට රුපියල් 50,000 දක්වා විවිධ පරාසයන්ට අයත් වේ.

මේ සෑම සුපිරි මහල් නිවාසයකම දක්නට ලැබෙන තවත් විශේෂත්වයක් වන්නේ එහි මුඳුනේ පිහිටි Sun Deck නමින් හැඳින්වෙන විවේකී පරිසරයයි. පෝච්චි මත විවිධ මල් වර්ග සහ තරමක් උසැති ගස් වවා සෙවණ කර ඇති මේ ස්ථාන හිරු බැස යන වේලාවේදී විවේකී මොහොතකට ඉතා කදිම ය. පොළොවේ ඉඩ නොමැති බොහෝ සුපිරි නිවාස සංකීර්ණවල පිහිනුම් තටාකය ඉදි කර ඇත්තේ ද මෙතැන ය. එය Infinity pool අත්දැකීමක් ගෙනදීමට සමත් ය.

ඊට අමතරව ලොන්ඩ්‍රි සේවාව, අමතර ගබඩා කාමර පහසුකම් සැපයීම, මධ්‍යම ගෑස් ඉන්ධන පහසුකම, ජෙනරේටර් පද්ධතිය ආදී වාසි රැසක් මෙවැනි නිවාසවල ජීවත්වන ජනතාවට හිමිවේ. ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය ගෑස් මේ නිවාසවලට සැපයෙන්නේ සමස්ත නිවාස සංකීර්ණයටම අයත් මධ්‍යම ගෑස් ගබඩාවකිනි. ඒ වෙනුවෙන් ගෑස් මීටරයක් සෑම නිවසකම සවි කර ඇති අතර එය පරීක්ෂා කර බලා ගෑස් වෙනුවෙන් මුදල් අය කරගැනීම සිදුවේ.

“මධ්‍යම ගෑස් පද්ධතියක් අපි හඳුන්වලා දීලා තියෙන්නේ විශේෂයෙන්ම නිවාස සංකීර්ණයේ ආරක්ෂාව වෙනුවෙනුයි. ඒ හරහා ගෑස් කාන්දුවීමක් වගේ හදිසි අනතුරකින් සිදුවිය හැකි හානි වළක්වාගැනීමට අපිට පුළුවන් වෙනවා” ජාඇල ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක අලෙවි කටයුතු භාරව සිටින සිරාජ් නම් අලෙවි නිලධාරියෙක් එසේ පැවසීය.

සිරාජ් පවසන ආකාරයට ජාඇළ ප්‍රදේශයේ වැඩි ඉල්ලුමක් ඇත්තේ මහල් නිවාස ලෙස ඉදිකරන නිවාසවලට වඩා තනි තනි ඒකක වශයෙන් පොළොව මට්ටමේ ඉදි කරන නිවාස සඳහා ය. “එයාර්පෝට් එකට ළඟ නිසා ජාඇලට මේ වෙන කොට හොඳ ඉල්ලුමක් තියෙනවා. හැබැයි කොළඹ වගේ උස ටවර්ස් වලට වඩා තනි තනි හවුසින් යුනිට්ස් විදිහට තමයි වැඩි ඉල්ලුමක් තියෙන්නෙ”.

කොළඹ කොම්පඤ්ඤ වීදීයේ ග්ලෙනී වීදියේ ඉදිවන සිනමන් ලයිෆ් මිශ්‍ර ව්‍යාපෘතිය ද තවත් වසරක් පමණ කාලයකදී ඉදි කර අවසන් වීමට නියමිත ය. එහි විශේෂත්වය වන්නේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් නිසා හෝටල්, සුපිරි නිවාස ඒකක, සුපිරි සාප්පු සංකීර්ණ, සිනමා ශාලා ආදී සියල්ල එකම බිමක පැතිර තිබීම ය. මෙනිසා ඉදිරියේ දී කොළඹ අගනගරය තුළ මේ සුපිරි නිවාස සංකීර්ණ ආශ්‍රිතව උප නගර වැනි සංස්කෘතීන් බිහිවීම ද අනිවාර්ය ලක්ෂණයක් බවට පත්ව තිබේ.

මේ අතර තවත් කැපීපෙනෙන තත්ත්වයක් වන්නේ Y පරම්පරාව ලෙස භාවිතයේ හඳුන්වන 1978ත් 90 දශකයේ අග භාගයත් අතර ඉපැදුණු පිරිස් බොහෝ විට මෙවැනි නිවාස සංකීර්ණවලට වැඩි ඇල්මක් දැක්වීම ය.

ඔවුහු බොහෝ දෙනා පෞද්ගලික වාහන පරිහරණය ප්‍රිය නොකරන අතර ‘අත්දැකීම්’ (සංචාරණ හා විනෝදාස්වාද කටයුතු) වෙනුවෙන් තම මුදල් වියදම් කිරීමට වැඩි කැමැත්තක් දක්වති. එවන් පසුබිමක සියලු පහසුකම්, අවශ්‍යතා අවට පිහිටි නිවාස සංකීර්ණයක නවාතැන් ගැනීමට ඔවුන් පෙලඹීම සාමාන්‍ය තත්ත්වයක් වී තිබේ. සුප්‍රකට ෆෝබ්ස් ව්‍යාපාරික සඟරාව පෙන්වා දෙන ආකාරයට වර්තමානයේදී නිවාස සංකීර්ණවලින් නිවාස ඒකක ලබාගන්නා අයගෙන් සියයට 54ක් (ගෝලීය සංඛ්‍යා දත්ත) දෙනා මේ කියන Y පරපුරට අයත් වූවෝ ය. ලංකාවේ නිවාස ඒකක තවමත් මෙම කියන පරම්පරාවේ ග්‍රහණයට හසුවී නොමැති බව අපගේ හැඟීම ය. එහෙත් ගෝලීය ප්‍රවණතා අනුව අප ද ඉතා ඉක්මනින් වෙනස් වෙමින් පවතින පසුබිමක අනාගත සුපිරි නිවාසවල හැඩය සහ අවශ්‍යතාව ද වෙනස් වනු ඇත.

 

Comments