ශ්‍රී ලංකා තානාපති සේවය යන්නේ කොයිබටද? | සිළුමිණ

ශ්‍රී ලංකා තානාපති සේවය යන්නේ කොයිබටද?

ලංකාවේ තානාපති සේවය සම්බන්ධයෙන් පසුගිය දිනවල ආන්දෝලාත්මක කථා දෙකක් අසන්නට ලැබිණි. එකක් ජනාධිපතිවරයාගේ දුරකථන ඇමතුමකට පිළිතුරු නොදීම නිසා ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානානාපතිවරියත් ඇයගේ කාර්යමණ්ඩලයේ කීපදෙනකු සහ මූල්‍ය වංචා සම්බන්ධයෙන් තවත් පිරිසක් ඇතුළු 26 දෙනකු ලංකාවට කැඳවීමය.

අනෙක් කතාව තානාපති නිලධාරියකු මිනිස් ජවාරම්කරුවන් සමඟ එකතුව ඉතාලිය හරහා ප්‍රංසය වෙත ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගී කරගෙන හතර දෙනකු රැගෙන යෑමේ දී ඉතාලියේ දී අත්අඩංගුවට පත්වීමය. එම සිදුවීම් දෙක තුළ තානාපති සේවය සම්බන්ධ දුර්වලතා හා ගැටලූ කීපයක් දැකිය හැකිය.

තානාපති කාර්යාලයකට හදිසි ඇමතුමක් ලැබුණු විට ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැන නිසි අවධානයක් යොමු නොකිරීමෙන් පෙන්වන්නේ එහි අසංවිධානාත්මක බවය. එසේම රජයෙන් විශාල මුදලක් ලබන නිලධාරියකු එම නිලය සම්බන්ධයෙන් නිසි වගකීමකින් කටයුතු කරන බවක් ඉන් විද්‍යාමාන වන්නේ නැත. මෙම තත්ත්වය සමස්ත තානාපති කාර්යාලය පද්ධතිය පුරාම දක්නට ලැබෙන්නකි.

මහජනතාවගෙන් නිබඳව නැඟෙන මැසිවිල්ල නම් තානාපති කාර්යාලවල දුරකථන පණිවිඩ සඳහා පිළිතුරු නොදීමය. මේ තුළ ඉතා ගැඹුරු හා සංකීර්ණ තත්ත්වක් දැකිය හැකිය. තානාපති සේවයේ යෙදෙන සමහර පිරිස් තමන්ගේ රැකියාවේ ආරක්ෂාව වෙනුවෙන් දේශපාලකයන් පෙනී සිටින බව දනිති. ඔවුන් බොහෝ දෙනෙකුට වගකීමක් නැත. අයෙකුට තමන්ගේ වෘත්තිය පිළිබඳව පැහැදිලි දැනීමක් නැත. මෙය තානාපති සේවය සඳහා තෝරා ගන්නා අකාරය දක්වා දිවෙන කතාවකි. එකක් දේශපාලන පත්වීම්ය. මේ පත්වීම් ලබන බොහෝ දෙනෙක් නුසුදුස්සෝය. සුදුසුකම් තිබුණත් අයෙකුට මෙම වෘත්තිය පිළිබඳ හැඟීමක් නැත. ඔස්ට්‍රියානු සිද්ධියේ දී පිරිසක් පෙන්වන තවත් කාරණාවක් වන්නේ මූල්‍ය අක්‍රමිකතා නිසා පිරිසක් සේවයෙන් පහකිරීමය. ඉන් ප්‍රකට වන්නේ එම ආයතයන තුළ මූල්‍ය විනයක් නැති බවය.

මේ අනුව සමස්තයක් ලෙස ගත් කළ තානාපති කාර්යාල තුළ දැඩි අසංවිධානාත්මක බවක් තිබෙන බව ප්‍රකට කෙරේ. මෙම අසංවිධානාත්මක තත්ත්වය විදේශ අමාත්‍යාංශයේ පරිපාලන ව්‍යුහයේ දුර්වලතා මෙන්ම දේශපාලන යන්ත්‍රණයේ ඇති යම් දුර්වලතා නිසා ද ඇති විය හැකිය. අනෙක් බරපතළ සිදුවීම නම් මිනිස් ජාවාරම්කරුවන් සමඟ තානාපති නිලධාරීන් අත්වැල් බැඳගෙන ඇති ආකාරය පෙනී යෑමය. මේ තත්ත්වය සමස්ත තනාපති සේවයම දැඩි ලෙස හෑල්ලූවට ලක් කරයි. විදේශ අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් විසින් මුදලට යම් පුද්ගලයින්ට පිටරට යෑමට වීසා සකස් කිරීමට උදව් කිරීම ගැන විවිධ චෝදනා තිබේ. සමහරු තමන්ගේ සහෝදර සහෝදරියන් මෙන්ම නෑදෑයින් ගෘහ සේවකයන් ලෙස පිටරට ගෙන ගොස් තිබෙන බව රහසක් නොවේ.

අනෙක් අතට බටහිර රටවල සේවය කරන හා කළ තානාපතිවරුන් හා නිලධාරීන් එම කාර්යාලවල සේවය කරන හෝ සේවය කළ බොහෝ කාන්තා නිලධාරීන්ට එම රටවල රැඳී සිටීමට නීතියෙන් හා තානාපති සම්ප්‍රදායෙන් පිට වීසා සකස් කර දී තිබෙන බව දැන ගන්නට ඇත. මෙය වැඩි වශයෙන්ම ඇමෙරිකාව, කැනඩාව හා මහා බ්‍රිතාන්‍ය ආශ්‍රිතව දක්නට ලැබෙන්නකි. මෙය රටේ නමට යහපත් නැත.

මෙම කාන්තා නිලධාරීන්ට බලවතුන් උදව් කරන්නේ තමන්ට ලැබෙන ලිංගික අල්ලස්වලට කරන කෘත උපකාරයක් ලෙස බව නොදන්නා කෙනකු නැත. ලොක්කන්ට ලිංගික අල්ලස් ලබාදෙන අයට හා දේශපාලන බලයක් ඇති අයට හොඳ රටකට පත්වීම් ගැනීමට තරග විභාග අවශ්‍ය නැත.

තනතුරු ලබාගැනීමට කාන්තාවන් ලිංගික අල්ලස් ලබාදීම බොහෝ දුරට සිදුවෙමින් ඇත. එවැන්නෝ දියුණු යුරෝපීය රටවලට පත්වීම් ලබති. එසේම එවන් කාන්තාවන්ට තමන්ගේ වසර තුනක සේවා කාලය අවසන් වුවත් තවදුරටත් රැඳී සිටීමට විශේෂ අවකාශය ලැබේ.

පොදුවේ ගත් කළ තානාපති සේවයෙන් රටේ උන්තිය වෙනුවෙන් කළ හැකි සේවය අති මහත්ය. මේ නිසා ලෝකයේ බොහෝ රටවල් ඒ සඳහා වෙනම සේවයක් ස්ථාපිත කොට තානාපති සේවයට වැඩි වරප්‍රසාද මෙන්ම හොඳ පුහුණුවක් දීම සිදු කරයි. තානාපති සේවය සඳහා එම රටවල සිටින අති දක්ෂයෝ තෝරා පත් කරගැනෙති.

ලංකාවේද තානාපති සේවයක් තිබේ. විදේශ අමාත්‍යාංශය හා තානාපති කාර්යාල නඩත්තුව වෙනුවෙන් මහජන මුදලින් රුපියල් බිලියන 10 ක් පමණ වසරකට වැය කෙරේ. විදේශ සේවයේ නිලධාරීහු 191ක් සිටිති. ඉන් කාන්තා නිලධාරීහු 108කි. මේ අය අතර විවාහපත් නොවූ නිලධාරිනියෝ 80ක් සිටිති. විදේශ සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීන් 64 දෙනාගෙන් 25ක් දෙනෙක් කාන්තාවෝය. දෙවන ශ්‍රේණියේ 27 දෙනාගෙන් 13ක් කාන්තාවෝය. එසේම තුන්වන ශ්‍රේණියේ 100 දෙනාගෙන් 70 දෙනෙක් කාන්තාවෝය. මේ අනුව සමස්ත විදේශ සේවයේ නිලධාරීන් සංඛ්‍යාවෙන් සියයට 57ක් කාන්තාවෝ වෙති.

විගණකාධිපතිවරයා මහත් ආන්දෝලාත්මක ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තානාපති කාර්යාලවලට වෙන් කෙරන මුදලින් රටට යහපතක් සිදු නොවන බවයි. එම මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පිළිගත හැකි වාර්තා නැති බවය.

සාමාන්‍යයෙන් තානාපති කාර්යාලයක මුඛ්‍ය කාර්යයන් වන්නේ ලෝකයා ඉදිරියේ ලංකාව වෙනුවෙන් පෙනී සිටීම, ආයෝජන හා සංචාරක ප්‍රවර්ධනය හා ශ්‍රී ලාංකිකයන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමය. මෙහි දී ආයෝජනය සම්බන්ධයෙන් ගත් කළ පසුගිය වසරේ තානාපති කාර්යාලවල සෘජු නොවන මැදිහත්වීම මඟින් රටට ලැබී ඇත්තේ රුපියල් මිලියන 1600කි. මෙය තානාපති කාර්යාලවලට කරනු ලබන වියදමින් සියයට 16ක් පමණි.

රටේ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීම පිණිස තානාපති කාර්යාලවලින් සේවයක් නොකෙරෙන තරම්ය. එසේම ලාංකිකයන්ගේ සුබසිද්ධිය ගැන තානාපති කාර්යාවලින් සිදු කෙරෙන සේවය ගැන බොහෝ විවේචන තිබේ. කෙසේ වෙතත් තානාපතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ලංකාව වාර්තා පිහිටුවා තිබේ. අධිකරණය ඉදිරියේ වරදකරුවන් වූ පුද්ගලයන්ගේ සිටි වංචනිකයන්, ධූර්ථයන් ඇතුළු ශිෂ්ට සමාජය පිළිකෙව් කරන පුද්ගලයන්ට තානාපති ධූර ලබා දී ඇති එකම රට ලංකාවය. තානාපතිව සිට කාන්තාවන්ට ලිංගික හිරිහැර කළ අයකු නැවතත් තානාපති වශයෙන් පත් කර තිබේ.

තානාපති හා කොන්සල් කාර්යාල වෙනුවෙන් කිසිදු සුදුසුකම්ක් නැති පුද්ගලයෝ 39ක් සේවය කරති. ඔවුන්ගේ පසුබිම දේශපාලනිකය. අප කළ විමසීමකට අනුව සාමාන්‍යයෙන් තානාපතිවරයකු වෙනුවෙන් වැටුප්, ගෙවල් කුලී, සංග්‍රහ දීමනා, විදුලිය, ජලය, ඉන්ධන දීමනා, දුරකථන ගාස්තු, රියැදුරු වැටුප් නිවාස හා අනෙකුත් දීමනා, වෛද්‍ය දීමනා හා මෙහෙකරු දීමනා ඇතුළුව මසකට ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ හැටක් වැය වේ. මින් රුපියල් ලක්ෂ 35ක් ම වැය වන්නේ නිවාස කුලී වෙනුවෙනි.

අපට ලැබුණූ තොරතුරු අනුව එම නිවාස ඉතා අති සුඛෝපභෝගී වන අතර බොහෝ විට ඒවායේ පදිංචිව සිටින්නේ වියපත් තානාපති, බිරිය හා මෙහෙකරුවෙකි.

රාජකාරිමය වශයෙන් බලන කළ මේ කිසිදු තානාපතිවරයකු මසකට කොළඹට සැලකිය යුතු කරුණු සඳහන් කොට ලිපි 30ක් එවන්නේ නැත. මසකට අයෝජකයන් ඇතුළු අමුත්ත්තන් 30 දෙනකු හමු වන්නේ නැත. එසේ හමුවන්නේ නම් එක් අමුත්තෙක් හමුවීම වෙනුවෙන් මොහුට දරා ඇති වියදම රුපියල් ලක්ෂයකි. තත්ත්වය එසේ වන්නේ තානාපති පරිචය ගැන ඉහළ අධ්‍යාපනය ලත් අය පමණක් නොව අචාර්ය උපාධි ලද්දවුන්ට පවා විදේශ සේවයේ තැනක් නැති පසුබිමකය.

අතීතයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පාලනය තුළ යම් කිසි ක්‍රමවත් බවක්, සාධනීය බවක් හා විනිවිද බවක් දක්නට ලැබිණි. එයට හේතුව තානාපති පරිචය හා රාජ්‍ය තාන්ත්‍රික කටයතු පිළිබඳ මනා අත්දැකීම් ඇති ප්‍රධානීන් පිරිසක් සිටීමය. ඒ තුළ අසාධාරණ ලෙස පත්වීම් හා උසස්වීම් ලබාදීමක් සිදු නොවීය. සුදුස්සාට සුදුසු තැන හැමවිටම පාහේ ලැබිණි. උසස් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සැපයීම නිසා සේවයේ ගුණාත්මක බවක් දැකිය හැකි විය. අද සියල්ල උඩුයටකුරුවී තිබේ. සමස්ත තානාපති සේවයම කඩා වැටී තිබේ. මෙයට හේතුව දේශපාලන බලපෑමම නොවේ. නිලධාරිවාදයේ අශීලාචාරකම ය.

රටක විදේශ ප්‍රතිපත්තිය එම රට ජාත්‍යන්තරය සමඟ කටයුතු කරන ආකාරය පිළිබිඹු කරන කැඩපතකි. විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීම හුදෙක් න්‍යායාත්මක මූලයන් මත පිහිටා පමණක් නොව තත්කාලීන ජාත්‍යන්තර විචල්‍යතාවන් ගැනද අවධාන යොමු කොට සිදු කළ යුත්තකි. එසේම ඒ තුළ රටේ අනන්‍යතාව හා ස්වෛරීත්වය විද්‍යාමාන විය යුතුයි.

රටවල් ජාතීන් ලිබරල්වාදය ගැන ඉහළින් කථා කළත් රාජ්‍යන්ගේ හැසිරීම සම්බන්ධයෙන් විචක්ෂණශීලිව කල්පනා කරන්නේ නම් රියලිසම් හෙවත් යථාර්ථවාදයෙන් එපිට සිතන්නට නොහැකිය. යථාර්ථවාදී චින්තනයට අනුව අද ලෝකය පාලනය කරන්නට රාජ්‍යයන්ට ඉහළින් කෙනකු නැත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇත්තේ සීමිත බලයකි. එය අබිබවා යෑමට රටවල් කටයුතු කර තිබේ. එනිසා රටවල් හැම විටම කල්පනා කරන්නේ තමන්ගේ ආරක්ෂාව මුල් කරගත් චින්තනයක් ඔස්සේය. නූතන රාජ්‍ය නැමති සංකල්පය ගොඩනැඟීමේ සිට පවතින මෙම යථාර්ථය අද ද වෙනස් වී නැත. ඒසේ නම් ලංකාවද මෙම සත්‍යතාව විනිවිද දැකිය යුතුයි.

අදහස්