නැවේ හැප්පුණාම අපි හැමෝම මුහුදට විසිවුණා | සිළුමිණ

නැවේ හැප්පුණාම අපි හැමෝම මුහුදට විසිවුණා

දුක් සුසුම් අඳෝනා මැද්දෙන් අපි ඔවුන් සොයා ගියෙමු. හැම මුහුණකම ඇත්තේ කියා ලියා නිමකළ නොහැකි ශෝකයකි. මොවුන්ගෙන් අපි කුමක් විමසන්න ද? පසෙකට වී සිටියෙමු. තුෂාරගේ අම්මාගේ හැඬුම් හඬ නිහඬ පරිසරය දෙවනත් කරයි.

‘‘පුතේ, මගෙ පවුලටම හයියක් වුණේ උඹයි. දැන් ඉතින් මට කාගෙ පිහිටක් ද මගෙ රත්තරනේ. එන්නම් අම්මේ කියලා ගිය පුතාගේ මිනියවත් නැහැ. තාත්තා නැති දවසේ ඉඳලා පුතා උඹ තමයි මේ පවුලට තාත්තා වුණේ ........ ”

තුෂාරගේ අම්මාගේ හැඬුම් හඬ කාගෙත් නෙතට කඳුළක් ගෙන එයි. මේ ලියන මොහොත වන විටත් තුෂාරගේ මළසිරුර සොගෙන නොතිබිණි. මේ අම්මා පමණක් නොව රට ම හැඬවූ තුෂාර හා සහන් කල්හාර අතුරුදහන් කරවමින් , තවත් හතර දෙනෙකුට මරු කැදවමින් මේ ඛේදවාචකය සිදු වූයේ ඉකුත් එකොළොස් වැනිදාය. පසුගිය එකොළොස්වැනිදා සන්ධ්‍යාවේ බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය‘ මළිඳු’ ධීවර බෝට්ටුවේ සිටි තුෂාර ඇතුළු සැමට හෙට ගැන දහසකුත් එකක් බලාපොරොත්තු තිබිණි. හැම හිතක ම තිබුණේ හෙට ගැන නැවුම් බලාපොරොත්තු ය. නමුදු ඒ බලාපොරොත්තු සුණු විසුණු වී යන්නට වැඩිවේලාවක් ගියේ නැත.

‘‘ අපි එකොළොස්වන දා හැන්දෑවේ බේරුවලින් මුහුදු ගියේ. කොහොමත් අපි යන්නේ දවස් දෙකතුනක ගමනක්. අපි සුපුරුදු විදිහට ගමනට සුදානම් වෙලා ගියේ. මට මතක හැටියට අපි මුහුදු සැතපුම් හැටක් විතර යන්න ඇති. අපි මාළු ඇල්ලුවේ නැහැ. ඒ වෙනකොට වෙලාව රාත්‍රි දොළහමාරට විතර ඇති. මම කල්හාර අයියට බෝටටුවේ වීල් එක දීලා පිටිපස්සට ගිහිල්ලා නිදා ගත්තා. වෙනදටත් අපි එහෙම තමයි කරන්නේ. මට ටිකක් වෙලා නින්ද යන්න ඇති. එක පාරටම බොට්ටුව වදින සද්දයක් ඇහුණා. වෙලාව රෑ එකට එකහාමාරට විතර ඇති. බොට්ටුව නැවක වැදිලා තමයි මාව වීසිවෙලා මුහුදට වැටුණේ. මම බෝට්ටේ එල්ලුණා. අනිත් අයට මොනවා වුණාද දන්නේ නැහැ.

ඒක හරි භයානක සිදුවීමක්. අපිව හප්පගෙන නැව යන්න ගියා කිසිම දෙයක් නොවුණ ගානට. බෝට්ටුවේ එල්ලුණාම මට ආරක්ෂිත හැඟීමක් දැණුනා. ඒත් හිතට සැනසිල්ලක් තිබුණේ නැහැ, එකට ආව අයට මොකද වුණේ කියලා දැන ගන්නකම්. පැය ගණනක් බෝට්ටුවේ එල්ලිලා මම ජීවිතයක් මරණයත් අතර සටනක හිටියේ. මරණ බය හොඳට දැනුණා. උදේ දහය විතර වෙනතුරු මම හිටියේ බෝට්ටුවේ එල්ලිලා. දහයට විතර තමයි නාවික හමුදාවෙන් මාව බේරගත්තේ.”

‘මළිදු’ ධීවර බෝට්වේ සිට දිවි ගලවා ගත් එරන්ද පවසන්නේ සෙමෙන් සෙමෙන් වචන ගළපමිනි. වෙහෙසකර බව භීතිය තවමත් ඔහු කෙරෙන් ගිලිහී නැත.

‘‘මගෙ ජීවිතේ බේරුණා කියලා මට කිසිම සතුටක් නැහැ. අපි හත්දෙනා ධීවර රස්සාවේ යෙදුණේ එක පවුලක අය වගේ. අපි අතර නොහොද නෝකාඩුකම් තිබුණේ නැහැ. මම මේ රස්සාවට ඇවිල්ලා අවුරුද්දක් විතර වෙනවා. අනිත් අය සිහිවෙනකොට මට මගේ හිත හදා ගන්න අමාරුයි.”

හැඩි දැඩි පෙනුමැත්තකු වූව ද එරන්ද පවසන්නේ දෑසේ කඳුළු පුරවාගෙන ය.

මුහුදු රස්සාව විනෝදාත්මක නැත . එය හැම විටම අනතුරුදායක ය. මුහුදු යන ධීවරයන්ටත් වා ධීවරයන්ගේ පවුල් වල ඇත්තන් හැම විටම සිටින්නේ හිතේ ගින්දරෙනි.

මේ බෝට්ටුවේ ගොස් මරණයට පත් වූ අයගෙන් ඇතැමෙක් විවාහක ය. සම්පත්ගේ දරුවන් තවමත් බාල වියේ ය.

‘‘එයා කවදාවත් අපිට අඩුවක් කළේ නැහැ. අපි හරි සතුටෙන් ජීවත් වුණේ. මගේ දරුවන්ට තාත්තා කෙනෙක් නැහැ. අයියෝ මට මගේ සම්පත නැති වුණා. මම දරුවොත් එක්ක තනි වුණා. ”

සම්පත්ගේ බිරිය තම දරුවන් තුරුල්කරගෙන හඬා වැළපෙන්නීය. තාත්තා මහ මුහුදට බිලි වූ බව සිඟිත්තා දන්නේ නැත. සිඟිත්තා හඬා වැළපෙන අම්මා දෙස බලා හිඳින්නේ ය. මෙය අනපේක්ෂිත සිදුවීමකි. එනම් ධීවර බෝට්ටුව නැවක වැදීමේ සිදු වීම.

‘‘සමහර වෙලාවට මහ මුහුදෙදි ඔහොම වෙනවා. ඒකත් හරියට මහපාරේ ප්‍රයිවෙට් බස් වගේ තමයි. ගාලු වරායෙන් දවසකට නැව් පන්සියක් විතර එහා මෙහා වෙනවා. රාත්‍රියේදී බොහෝ වෙලාවට නැව්කප්පිත්තන් තමන්ගේ නැව ස්වයංක්‍රීයව ධාවනය කරන්න හරිනවා. නැවක තියනවා රේඩාර් පද්ධතියක්. ඒ රේඩාර්වලට බෝට්ටු පෙනෙනවා. බොහෝ නැව්වල රේඩාර් පද්ධතියට බෝට්ටුවක් හෝ වෙනයම් බාධකයක් හමුවුණාම එලාම් එකක් වදින්න සකස් කරන්න පුළුවන්. එහෙම දියුණු රේඩාර් පද්ධතියක් නැත්නම් ස්වයංක්‍රීය ධාවනයට නැව යොමු කළාම ගමන නිරීක්ෂණය කරන්න කෙනෙකුට පවරනවා. ඔහුටත් නින්ද ගියොත් ගැටලුවක්. කොහොමත් නැවක මධ්‍යම රාත්‍රියෙ 12 ඉඳලා 4 වෙනකම් කාලය නැවේ කැප්ටන්ගෙ නිරීක්ෂණයට යටත් කරනවා. මොකද මේ කාලය තමයි වැඩි දෙනෙක් අතින් වගකීම් අත්හැරෙන්න ඇති කාලය. නැවකට වෙන ඕනෑම අනතුරකදි වගකියන්න ඕන නැවේ කපිතාන්වරයා. මේ සියල්ලට අමතරව නැවියන් දෙදෙනෙක් දෙපැත්තේ යොදවලා තියනවා නයිට් විෂන් කැමරා එක්ක. ඒ වගේම නැවක නිශ්ඡිත පහන් ප්‍රමාණයක් අනිවාර්යයෙන් ම දැල්විය යුතුයි. ඒ අවශ්‍යතා පූර්ණ කළොත් විතරයි නාවික ගමනාගමනය වෙනුවෙන් බලපත්‍ර ලැබෙන්නෙ.

ඒ වගේම තමයි ධීවර බෝට්ටුවලටත් යම් නීතියක් තියෙනවා. ඒ බෝට්ටුවේ ඉදිරිපස එළිය දල්වන්න. ඒ අනුව ධීවර බෝට්ටුවේ දකුණු පැත්තේ කොළපාට එළියක් හා වම්පැත්තේ රතුපාට එළියක් දැල්විය යුතුමයි. ඒ වගේම කෙනෙක් අවදියෙන් යා යුතුයි. නැවක් ඉදිරියට එනවා නම් ඒ මාර්ගයෙන් බෝට්ටුව ඉවත් කරගන්න කෙනෙක් වගකීම ගන්න ඕන. නමුත් බොහෝ වෙලාවට ධීවර බෝට්ටුවල අයත් දැල් එළලා නිදා ගන්නවා. සාමුද්‍රික යාත්‍රණයේ නීති ඉතාම නිරවුල්. ඒ නීති පිළිපදිනවා නම් කවදාවත් මේ විදිහෙ අනතුරු ඇතිවෙන්නේ නෑ.

අනික නැවක හෝ වේවා බෝට්ටුවක හෝ වේවා ගැටුණ නම් නැව නතර කළ යුතුයි. නමුත් මෙ සිද්ධියේදි එහෙම දෙයක් වෙලා නැහැ. නැව පළා ගිහිල්ලා. හරියටම සිද්ධිය වු වෙලාව දන්නවා නම්, මේ අනතුරින් බේරුණ කෙනා නැවේ නම දැක හඳුනා ගත්ත නම් මේ සිද්ධියට වගකිව යුතු නැව ගැන තොරතුරු සොයා ගන්නට පුළුවන්. මේ සිද්ධිය වෙලා තියෙන්නේ ශ්‍රිලංකා මුහුදු තීරයේදී. ” අනතුර පිළිබඳ තොරතුර සොයමින් ගිය ගමනේදි දිර්ඝ කාලයක් තිස්සේ නාවික හමුදා සේවයේ නියතුව සිටි විශ්‍රාමික නිලධාරියකු අප හා පැවසීය.

දැන් කවුරුන් කුමක් කීව ද සියල්ල සිදු වී හමාරය . මේ මෙය ලියන මොහොත වන විටත් මළිඳු ධීවර බෝට්ටුවේ සිටි අතුරුදන් වු අංගප්පොඩිගේ තුෂාර ද සිල්වාගේ හා කමල් පියසිරි යන අයගේ මළසිරුරු සොයාගෙන නැත.

නාවික හමුදාව සිද්ධිය වූදා පටන් මේ මළසිරුරු සොයා ගැනීමට අපමණ වෙහෙස දරන්නාහ.

තුෂාරගේ මව වන සමන් කුමාරි තම පුතු ගැන සිහිකරන්නේ හැඬු කඳුළෙනි.

‘‘මගෙ මහත්තයා සුනාමියෙන් මිය ගියේ. එයත් ධීවර රස්සාව තමයි කළේ. තුෂාර ඉස්කෝලේ ගියේ දහයේ පන්තියට විතරයි. එයා ඊට පස්සේ ධීවර රස්සාවට යන්න ගත්තා . මේ ගමන යන්න කළින් දවසේ පුතා කන්දේ විහාරයට , වැලිවත්තේ කෝවිලට ගිහිල්ලා භාර වෙලා පූජාවල් තිබ්බා. පුතාගේ මිනියවත් නැහැ. අනේ මට මගේ කොල්ලගෙ මුහුණ දකින්නත් නැහැනේ. ”

සමන් කුමාරි තම පුතුගේ වියෝවෙන් තැවෙමින් පවසන්නීය.මිය ගිය අනෙක් ධීවරයන් වන්නේ අමිල පුෂ්පකුමාර, ධනුෂ්ක මධුශංක, සනත් කල්හාර හා සිසිර කුමාර ය.

අපිට ජීවත් වෙන්න මඟක් තිබුණා නම් මේ අය කවදාවත් මුහුදු යන්නේ නැහැ. මේක අවදානම් රස්සාවක්. එත් මුහුදු යනවා ඇරෙන්න වෙන මොනවා කරන්න ද. අපි කාට කියලා මේ දුක කියන්න ද . දරුවන්ගේ අනාගතයට මොනවා වෙයිද? මිය ගිය ධීවරයන්ගේ පවුල්වල ඥාතීන් පවසති. දැන් සියල්ල සිදු වී හමාර ය. ඉතින් වගබලා ගත යුතුව ඇත්තේ මින් ඉදිරියට මෙවැනි ඛේදවාචකයන් නොවීමට ය.

මහමඟ වුවද මහ මුහුදේ වුව නීතිය නීතිය ලෙසින් ක්‍රියාත්මක විය යුතුය. කොයි කාටත් ආචාරධර්ම තිබිය යුතුය. විදෙස් නාවිකයන්ට ආචාර ධර්ම තිබුණේ නම් මේ තරම් අනතුරක් සිදු නොවනු ඇත. අනතුර නොවැලැක්විය හැකිනම් මේ ජීවිත බේරා ගන්නට තිබිණි.

-ඉසවි
ඡායාරූප හා පසුබිම් තොරතුරු කරන්දෙනිය සමූහ අනුරාධ ප්‍රියදර්ශන

අදහස්