ගිහි කල කළ පවට පෝරකයට ගිය මෙහෙණිය | සිළුමිණ

ගිහි කල කළ පවට පෝරකයට ගිය මෙහෙණිය

ගම්පහ අධිකරණ සංකීර්ණයේ අංක එක මහාධිකරණයේ පසුගිය 17 වැනිදා විභාග වෙමින් තිබූ මිනීමැරුම් නඩුව වෙනුවෙන් විත්ති කූඩුවේ පෙනී සිටියේ කලාතුරකින් එවන් නඩු කටයුත්තකදී දක්නට ලැබෙන මෙහෙණින් වහන්සේ නමකි. නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විත්ති කූඩුවේ හුන් නඩුවේ දෙවැනි විත්තිකරු වූ ඇල්දෙණියේ ශිලශාන්ති මෙහෙණියට මෙන්ම අධිකරණය මඟ හරිමින් සිටි පළමු විත්තිකරු වූ රොහාන් පෙරේරාට මරණ දණ්ඩනය දීමට නියෝග කෙළේය.

කරපු පවුවලට සිවුරු පොරවා ගත්තද මෙලොවදීම ලැබිය යුතු නිසි දඬුවම් ලැබෙන බව සනාථ කරමින් ඇල්දෙණියේ ශීලශාන්ති මෙහෙණියට මරණ දණ්ඩනය නියම වූයේ ගිහි ජීවිතයේ තම සැමියා වූ දොන් කිංස්ලි සිරිමාන්න මහතා අනියම් සැමියා වූ රොහාන් සමඟ එක්ව 1999 වර්ෂයේ ඔක්තෝබර් 22 වැනිදා මැදියම් රැයේ ඝාතනය කිරීමේ වරදටය.

ශීලශාන්ති මෙහෙණිය ගිහි දිවියේදී බොපේ කංකානම්ලාගේ ශාන්ති නමින් කඩවත ඇල්දෙණියේ ජීවත් වෙමින් සිටියදී හමුවූ කිංස්ලි සමඟ දීග යමින් ඉතාම සමඟිසම්පන්න දැහැමි දිවියක් ගත කර තිබිණි. කිංස්ලි කරගෙන ගිය ව්‍යාපාර කටයුතුවලින් ලැබෙන ආදායමෙන් යමක්කමක් ඇතිව දිනෙන් දින දියුණුව කරා පියනඟමින් සිටියේය. කුරා කුහුඹුවකුටවත් හිංසනයක් නොකරමින් පවුල් දිවිය ගත කළ කිංස්ලිට සහ ශාන්තිට පුතුන් දෙදෙනෙක් සහ දියණියක් වූහ. ඔවුහු තිදෙනාද ළමා ළපටි අවදිය පසු කරමින් පාසල් අවදියේ පසු වූහ. සාමකාමී දිවි පෙවෙතක් ගතකරමින් සිටි ශාන්තිගේ පවුල් දිවියට කණකොකා හැඬලූයේ දිනක් ශාන්ති කුඩා දියණිය සමඟ කොළඹ ප්‍රදේශයේ පිහිටි තම දෙවැනි පුතුගේ පාසල් උත්සවයකට පැමිණි මොහොතේ හමුවූ රොහාන් නිසායි.

ගුවන් හමුදාවේ සෙබළෙකු ලෙස සේවය කරමින් සිටි රොහාන්, ශාන්ති සමඟ එදින ඇතිවූ යාළුමිත්‍රකම කෙමෙන් කෙමෙන් වැඩිදියුණු කරගනිමින් ශාන්ති හා නිතර දුරකථනය ඔස්සේ කතාබහට වැටුණේය. අවසානයේ දෙදෙනා අතර අනියම් ප්‍රේමයක් හටගත්තේ දෙදෙනාටම නොතේරෙමිනි.

පසුව ඉඩ ලද සෑම විටෙකදීම ශාන්ති සහ රොහාන් සිය පවුල්වල සැමටම හොරෙන් හමුවූහ. එසේ හමුවන විටදී ඔවුන් දෙපළ අඹුසැමියන් ලෙසද එක්වෙමින් අනියම් ඇසුර පවත්වාගෙන ගොස් තිබිණි. දිනක් එසේ හමුවූ රොහාන් ශාන්තිට පවසා තිබුණේ,

“අපි දෙන්නා මෙහෙම ඉන්න එකේ තේරුමක් නෑ... කොහොමහරි එක වහලක් යටට යමු...“ කියාය. “අනේ ඒක නම් කරන්න බෑ... එතකොට මගේ ළමයි තුන්දෙනා...“

“නෑ... නෑ... ඔයාගේ ළමයි තුන්දෙනත් අරන්ම එන්න...“

“කොහොමද අනේ ඒක කරන්නෙ... එතකොට කිංස්ලී...“

ඒ අනුව දෙදෙනාගේ ප්‍රාර්ථනාවන්ට බාධාවක් වූ කිංස්ලිට කළ යුත්තේ කුමක්දැයි කතිකා කරගනිමින් රොහාන් සිය සැලසුම ඉදිරිපත් කළේය.

“අපි කිංස්ලිට වැඩක් දෙමු...“

“ඒ මොකද්ද...“

“කිංස්ලි මරමු...“

“අපෝ ඒක නම් මට බෑ...“

“ඔයා බයවෙන්න එපා... ඒක මං කරන්නම්...“

අවසානයේ දෙදෙනා එක්ව කිංස්ලිව ඝාතනය කිරීමට සැලැස්මක් සැකැසීය. ඒ අනුව නිවෙසට සොරෙකු ඇතුළු වී ස්වර්ණාභරණ කොල්ලකා කිංස්ලිද ඝාතනය කර පලා යන ආකාරයෙන් දෙදෙනා එක්ව කිංස්ලිගේ අවසන් ඉරණම් ගමන ගැන සැලැසුම සකස් කළහ.

“අපි අහුවෙන එකක් නෑනේ... එහෙම වුණොත් මට ඉඳලා වැඩක් නෑ... අන්තිමට මට මිනිහයි ළමයි තුන්දෙනයි ඔක්කොම නැති වෙනවා...“

“හැබැයි... ඒ වුණාට ඔයාට මම ඉන්නවනේ...“

“හා... හා... එහෙනම් දිනයක් දාගෙන වැඩේ කරමු...“

පසුව දෙදෙනා එක්ව 'සැලසුම' ක්‍රියාත්මක කරන අයුරුද කතිකා කරගත්හ.

“මායි කිංස්ලියි එක කාමරේක එකම ඇඳේ නිදාගන්නෙ... ළමයි තුන්දෙනා වෙනම කාමරේක නිදාගන්නෙ... මං ඔයාට ගෙයි ප්‍රධාන දොරේ යතුරක් දෙන්නම්... රෑ යාමේ එන්න...“

“ශාන්ති මට වයර් කෑල්ලක් හොයලා තියන්න...“

“ඔයා කිංස්ලි මරන හැටි... මට නම් බලන් ඉන්න බෑ...“

කිංස්ලිගේ ජීවන ගමනේ අවසන් හෝරා කීපයට ළං වෙමින් රොහාන්ගේත්, ශාන්තිගේත් සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම් විණි. ඒ මූසල රාත්‍රිය උදාවෙමින් තිබිණි. නිවෙසේ සෑම දෙනෙක්ම මර නින්දේය. එහෙත් ශාන්ති සෑම දෙනාටම හොරෙන් අවදියෙන් සිටියේ රොහාන්ගේ පැමිණීමේ බලාපොරොත්තුවෙනි.

මධ්‍යම රාත්‍රිය පසුවී හෝරාවක් ඉක්ම ගිය තැන නිවෙසේ ප්‍රධාන දොරන්ම රොහාන් නිවෙස තුළට රිංගීය. පසුව නිදි සුව විඳිමින් සිටි කිංස්ලිගේ ගෙළ වයරයෙන් සිර කර දැමුවේ කිංස්ලිට සදාකල් නින්දක් ලබා දෙමිනි. ඒත් සමඟ ශාන්තිව සාලයේ පුටුවකට තබා අතපය ගැටගසා දැමු රොහාන් කිංස්ලි පැලඳ සිටි ස්වර්ණාභරණද රැගෙන පලා ගියේ ශාන්ති සමඟ එක වහලක් යටට යෑමේ බලාපොරොත්තු සඵල වූ විලසිනි.

පාන්දර වැදුණු එලාමයේ ශබ්දයට ඇහැරුණු දරුවන් කඩිමුඩියේ ඇඳෙන් පැන්නෙ පාසල් යාමේ අටියෙනි. එහෙත් කාමරයෙන් එළියටවිත් ඔවුන් තිදෙනා දුටු දර්ශනයෙන් මුළු ඇල්දෙණියම දෝංකාර දෙන්නට විය. පසුව කිංස්ලිගේ ඝාතනය ගැන කඩවත පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය.

අවසානයේ කිංස්ලිගේ ඝාතනයේ සුලමුල පැය කිහිපයක් යන්නටත් මත්තෙන් අනාවරණය කරගැනීමට හැකි වූයේ ශාන්ති සියල්ල පාපෝච්චාරණය කළ හෙයිනි. ඒ අනුව ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ රොහාන්ව, කටුනායක ගුවන් කඳවුරේ සේවයෙහි යෙදී සිටින බව ලැබුණු තොරතුරත් සමඟ පොලිසිය ගොස් ඔහුව අත්අඩංගුවට ගත්තේය. ඒ වන තුරුත් ඔහු කඳවුර තුළ සිටියේ කිසිවක් නොදත් 'බබෙක්' මෙනි.

අනතුරුව රොහාන් කළ පාපෝච්චාරණය අනුව කිංස්ලිගෙන් කොල්ලකෑ ස්වර්ණාභරණද වේයන්ගොඩ නිවෙසක ඇඳ කොට්ටයක් යට තිබි හමුවී තිබේ. එම කුලී නිවෙසේ රොහාන් වාසය කොට තිබුණේ තම නීත්‍යනුකූල බිරිය සහ දරුවන් දෙදෙනා සමඟිනි.

ටික දිනකට පසු ශාන්ති සහ රොහාන්ව ඇප මත නිදහස් කරනු ලැබූහ. ශාන්තිට තම දරුවන් තිදෙනාද නොසලකා හරින්නට වූයේ තම පියාණන්ට කළ පාපතර විනාශය නිසා ය. ඒ අනුව ශාන්තිට විරුද්ධව සාක්ෂි දීමට ඇගේ එකම දියණියද උසාවි කූඩුවට නැග්ගාය. පසුව තම අනියම් සැමියාද ශාන්තිව තනිකොට පලා ගියේ අධිකරණයද මඟහරිමිනි. කාත් කවුරුත් නැතිවූ කල තනිවූ ශාන්ති අවසානයේ ඇල්දෙණියේ ශීලශාන්ති නමින් සසුන්ගත වූයේ කරපු පව් සමා කරගන්නා අටියෙන්ද නැති නම් කාත් කවුරුත් නැතිව අතරමං වූ නිසාද යන්න දන්නේ ඇය පමණි.

මේ වන විටත් අධිකරණය මඟ හරිමින් සිටින මරණ දඬුවම් හිමි වූ පළමු විත්තිකරු රොහාන් සොයා කඩවත පොලිසියේ ස්ථානාධිපති පී. පත්මනාදන් මහතාගේ උපදෙස් මත පුළුල්ව සොයා බලන බව පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් මේ නඩුවට සහාය වූ පොලිස් කොස්තාපල් (3260) අසංක ප්‍රදීප් පැවැසීය.

අදහස්