ගමනාන්තය වෙනස් වූ ඕස්ට්‍රේලියානුවන්ගේ වැඩිම ආදරය අපේ රටට | සිළුමිණ

ගමනාන්තය වෙනස් වූ ඕස්ට්‍රේලියානුවන්ගේ වැඩිම ආදරය අපේ රටට

  • ඔස්ට්‍රේලියානුවෝ බාලි, බැංකොක් අතහැර ලංකාවට එති
  • කෝච්චිය ප්‍රමාදයි ඒත් කැමැතියි

වැඩ රාජකාරි සියල්ල අමතක කර දමා දුරු ඈත තැනක ගෙවෙනා නිවාඩුවක සතුට ජීවිතයට ගෙන එන්නේ අලු‍ත් හැඟීමක් ම වන්නේ ය. අපේ අත මිට ඇති සැටියට නුවර,නුවර එළිය, බදුල්ල, බණ්ඩාරවෙල හෝ හික්කඩුව නිවාඩුවට තෝරා ගනිද්දී පිටරැටියෝ සති ගණන් ගෙවා දමන්නට අපේ රට සොයා එති. කාලයකට අපේ වෙරළතීරය, කඳුකරය ‘සුද්දන්ගෙන්‘ පිරී යන බව අපි දනිමු. හමේ ඇති සුදු පාට නිසා ‘සුද්දන් ‘යැයි කීව ද මේ පිටරැටියෝ ලෝකයේ නොයෙක් තැන් වලින් එන්නෝ ය.

එංගලන්තයෙන් එන ඇත්ත ම ඇත්ත සුදු මහත්වරු නෝනාවරු, ඇමෙරිකානුවන්, ජර්මන් ජාතිකයෝ, ප්‍රංස ජාතිකයන්, ඕස්ට්‍රේලියානුවෝ සේම රුසියන් ජාතිකයන් පවා අපේ වචනයේ හැටියට ‘සුද්දෝ‘ ම ය. මේ සුදු මිනිසුන් අතරේ අපේ රටේ ඇත්තෝ බෝට්ටුවෙන් හෝ යන්නට දඟලන රටක සුද්දන් ලෝකයේ කොයි රටටත් වඩා අපේ රටට කැමැති බවක් කීවොත්!

ඉක්මන් සහ ලාබදායී පිටරට නිවාඩුවකට දශක ගණනක් තිස්සේ තායිලන්තයේ බාලි දූපත තෝරාගත් ‘ඕස්ට්‍රේලියානු සුද්දෝ‘තමන්ගේ ‘කැමති ම නිවාඩු ගමනාන්තය‘ වෙනස් කර ඇතැයි කියැවෙන්නේ ය. බාලි දූපත අමතක කරවන්නට තරමේ පාරාදීසයක් ඔවුන්ට හමුවී ඇත්තේය.

ඉන්දියන් සාගරයේ පාවෙමින් විසල් ඉන්දියාවේ දකුණු කෙළවරෙන් ඈතට ඇදී යන්නා සේ පෙනෙන මේ පුංචි පාරාදීසය ගෙවෙමින් යන මේ වසරේ ඕස්ට්‍රේලියානුුවන් වැඩිපුරම ආකර්ෂණය කළ තැන බවට පත්වී ඇති අපේ ලංකාවයි.

කවදත් ලස්සනේ වෙනසක් නැති අපේ පුංචි රට සොයා ඕස්ට්‍රේලියානුවෝ කිලෝමීටර 7000ක දුරක් ගෙවා එති. අඩුපාඩුවක් කියන්නට බැරි සුදු වැල්ල පිරුණු වෙරළ තීර, සාරවත් නිවර්තන වනාන්තර සහ ඒ වනාන්තර වල ලස්සන පෙන්වන සෆාරි ඕස්ට්‍රේලියානුුවන් ආකර්ෂණය කරවන්නේ ය.

අපේ රටේ සෆාරි ගැන ඕස්ට්‍රේලියානුුවන් කියන්නේ ‘අප්‍රිකාවෙන් එළියෙ තියෙන හොඳ ම සෆාරි‘ කියා ය.

සිය සාම්ප්‍රදායික නිවාඩු ගමනාන්තයන් අමතක කරවා ඕස්ට්‍රේලියානුුවන් ලංකාව සොයා පියඹන්නේ මේ සියලු අත්දැකීම් ලබන්නට ය.

වැඩි ම සංචාරක ආකර්ෂණයක් අප වෙත ලැබුණු පසුගිය අගෝස්තුවේ මෙරටට සංචාරයට ආ ජාතීන් අතරේ වැඩිම ඉහළ යෑමක් පෙන්වා ඇත්තේ ඕස්ට්‍රේලියානුවෝ ය.

ගෙවුණු වසරක කාලයේදී ඕස්ටේලියානුවන්ගේ පැමිණීම සැලකිය යුතු තරමින් වැඩිවී ඇතැයි ද කියැවේ. කඳුළු බිඳුවක් හැඩැති මේ දූපතට 2017 වසරේ පැමිණ ඇති ඕස්ට්‍රේලියානු සංචාරකයන් ගණන 5959ක් වන අතර ඉන් දෙදෙනෙකු මුහුදු මඟින් ද ඉතිරි සියලු‍දෙනා ගුවන් මඟින් මෙරටට පැමිණ ඇත. එහෙත් ගතවෙමින් තිබෙන වසරේ මේ වනවිට මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු සංචාරකයන් ගණන 8239ක් වන අතර එය සියයට 38.3ක වැඩිවීමකි.

සැබෑ දේශීය ආකර්ෂණයේ අඩුවක නොමැතිකම නමැති නොවෙනස් සුදුසුකම නිසාම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ලෝකයා ඉදිරියේ ගෞරවනීයත්වයට පත්වෙමින් තිබෙනා මේ සමයේ ඕස්ට්‍රේලියානුවන් ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස තෝරා ගන්නට හේතු ඔවුන්ගේ ම වචන වලින් දැන ගැනීම නොවටින්නේ ද!”‍ලංකාවෙ සංචාරය කරද්දි පරෙස්සම හොඳයි”‍ කෙනෙකු එසේ කියද්දී තවත් කෙනෙකුගේ අදහස කියැවෙන්නේ”‍ මේ මිනිස්සු හරි ම මිත්‍රශීලීයි; අපිට මඟ තොටේදි මුණගැහෙන අය අඩු තරමෙ එක දවසකට දහවතාවක් වත් අහනවා මොනරටේ ඉඳල ද ආවේ,කොහෙටද යන්නේ වගේ ප්‍රශ්න. මට නම් ඒක කරදරයක් නෙමෙයි.

ළඟට ඇවිත් කතාකරල මොනවහරි විකුණන්න උත්සහ කරනවාට වඩා මේක හරිම ලොකු හිතවත්කමක් විදියටයි මට නම් දැනෙන්නේ”‍ ලෙසිනි. ලංකාවේ ලස්සනට සේම ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරවලට ද ඕස්ට්‍රේලියානුවන් ආකර්ෂණය වී ඇති සැටියකි.

ඕස්ට්‍රේලියානුවකුට දින තිහක කාලයක් ලංකාවේ රැඳී සිටීමට වීසා ලබා ගැනීමට වැය වන්නේ ඇමෙරිකානු ඩොලර් 35ක් මුදලකි.මේ මුදල වැය කරමින් ලංකාව පුරා ඇවිද යන්නට අවසරය ලබන මොවුන් මෙරට සංචාරයට පැමිණෙද්දී රටේ කාලගුණය ගැන තරමක සැලකිල්ලක් දක්වන බවක පෙනෙන්නට තිබේ. කුඩා දිවයිනක් ලෙස අපට වසරේ කාල දෙකකදී බලපාන මෝසම් වැසි වලින් පරෙස්සම වෙමින් සිය සංචාරයට දින වකවානු වෙන්කර ගන්නට ඔවුහු පුරුදුව සිටිති.

නිරිත දිග මෝසම් වැස්ස නැතිනම් යල කන්නයට අප්‍රේල් සිට සැප්තැම්බර් තෙක් රටේ නිරිතදිග ප්‍රදේශයට වැටෙන වැස්සත් ඊසාන දිග මෝසම නැතිනම් මහ කන්නයට රටේ නැගෙනහිර සහ උතුරු ප්‍රදේශවලට නොවැම්බර් සහ මාර්තු අතර වැටෙන වැස්සත් මඟ හැර සිය ගමනාන්ත තෝරා ගන්නට තරම් ඔවුන් අපේ රට ගැන දනිති, නැතිනම් සොයා බලා දැනගෙන සිටිති.

ශ්‍රී ලංකාව ලෝකයක් ඉදිරියේ ආඩම්බරයට පත් කරනා එකිනෙකට නොදෙවෙනි ආඩම්බරකාර වෙරළ තීර ඕස්ට්‍රේලියානුවන් ආකර්ෂණය කරගන්නට දක්වන්නේ ඉහළ සමත්කමකි.

සංචාරකයන් නැවත නැවත තමන් වෙතට ආකර්ෂණය කර ගන්නා අගනා ආරුගම්බේ වෙරළ, බෙන්තොට වෙරළ සේම කිසිදා අමතක කරන්නට බැරි තරමේ වන රටේ දකුණු කොනේ සැඟවුණු දික්වැල්ලේ හිරිකැටිය වෙරළ ඕස්ට්‍රේලියානුවන් බොහෝ සෙයින් ගැවසෙනා වෙරළ තීර ය. ඕස්ට්‍රේලියනුවන් රට පුරා යන්නට කැමැත්තෙන් තොරා ගන්නේ අපේ කෝච්චිය යි. ‘නරක විදියට ප්‍රමාද වුණත්‘ ඒ ප්‍රමාදයට ඔවුන් මනාප ය. හිතවත්කමින් කතා කරනා ලාංකිකයන් හා වචනයක් දෙකක් කතා කරන්නට ඔවුන්ට හොඳටම ඉඩ ලැබෙන්නේ කෝච්චියේදී ය.

කෝච්චියෙන් බැස සිය ගමනාන්තයේ නවාතැනට යන්නට ඔවුන් සොයන්නේ ත්‍රී වීලරයකි; ඔවුන්ගේ බසින් නම් ‘ටුක් ටුක් ‘එකකි. කිලෝමීටරයකට ලංකාවේ මුදලින් රුපියල් 50ක් 60ක් ගෙවා ටුක් ටුක් එකක යෑම ඔවුන්ට විනෝදයකි; සැහැල්ලු‍වකි. ඔවුන්ට ඕනෑ රට තොට බලන්නට නිසා ටුක් ටුක් එක ඔවුන්ට කදිම ය.

ලංකාව බලන්නට එන ඕස්ට්‍රේලියානුවන් සිහිකරන්නේ මීට අවුරුදු තිහකට පමණ පෙර තායිලන්තයේ බාලි දූපත තිබුණු සැටි ගැන ය. ”‍වැඩිය සෙනඟ නැති පාරවල්, හිතවත්කමින් කරුණාවෙන් කතා කරන මිනිස්සු”‍ ඕස්ට්‍රේලියානුවන්ගේ සිත් ගෙන ඇත්තේය.

සංචාරයකට ඒ නිදහස කදිම බව ඔවුන්ගේ අදහසයි. තායිලන්තයේ බාලි දූපත හා ලංකාවේ වෙරළ තීර අතරේ ඔවුන් දකිනා වෙනස අපේ රටේ වෙරළ තීරවල රාත්‍රී සාද නැති කමයි.

‘ලංකාව නිතර සාද තියෙන තැනක් නොවෙයි;ඒත් ඒකෙ වරදක් නැහැ‘ඔවුන් කියන්නේ එහෙම ය.

දශක ගණනක්, පරම්පරා ගණනක් තිස්සේ ආගිය බාලි දූපතට සමුදී සිය සංචාරක නවාතැන ලෙස මේ අලුත් පාරාදීසය තෝරා ගත් ඕස්ට්‍රේලියානුවන් ආකර්ෂණය කළ අපේ ලස්සන රැක ගැනීමේ වගකීම ඇත්තේ අපිට ම බව ද ඕස්ට්‍රේලියානුවන්ගේ කතා නොකියා කියන්නේ ය.

Comments