කෝටි ගානක් හොරාකන්න ගොස් අතේ පත්තු වුණ ක්‍රිකට් මගෝඩිය | Page 2 | සිළුමිණ

කෝටි ගානක් හොරාකන්න ගොස් අතේ පත්තු වුණ ක්‍රිකට් මගෝඩිය

කට් යනු මෙරට ජනප්‍රියම ක්‍රීඩාවය. ඒ නිසා ක්‍රිකට් හා සම්බන්ධ වෘත්තීන් සම්භාවනීය ය. එසේම ලංකාවේ වැඩිම මුදල් කන්දරාවක් ගැවසෙන ආයතනවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිටින්නේ හිණි පෙත්තේය. මේ මුදල් කන්දරාව දුටුවාම ලෝභ හිතෙන සුලුය. ඒ නිසාම හොරා කෑමට හෝ ‘ඩීල්’ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට එන්න කෙළ හලන පරිපාලකයෝ බොහෝ ය.

මේ හොරුන් සියලු දෙනාට උත්තේජනයක් වන බව කියන්නේ ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා ය. සියලු ගනුදෙනු සහ ‘ගැහිලි’ සම්බන්ධයෙන් ඔහු කෙළ පැමිණියකු බවට ආරංචි පැතිර ගියේ බොහෝ කලක සිටය.

මූල්‍ය ප්‍රධානියාට ක්‍රිකට් බැංකු ගිණුමේ සල්ලි අදින්නත්, සල්ලි ගිණුමට බැර කරන්නත්, ණය ගන්නත්, පඩි ගෙවන්නත් බලය තිබේ. ඒ බලයෙන් අසීමිත ප්‍රයෝජන ගැනීමට ඔහුට සමහර වකවානුවල අවස්ථාව ලැබෙයි. එවන් අවස්ථා ලැබෙන්නේ ස්ථිර පරිපාලනයක් නොතිබෙන කාලයක පමණි. ක්‍රිකට් ආයතනයේ ස්ථිර පරිපාලනයක් තිබෙන යුගයක මූල්‍ය ප්‍රධානියා භාණ්ඩාගාරිකගේ උපදෙස් අනුව ක්‍රියා කළ යුතු වේ.

සුමතිපාල පරිපාලනයේ හිටපු භාණ්ඩාගාරික ෂම්මි සිල්වා යටතේ රාජකාරි කළ වත්මන් ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා ක්‍රිකට් ලාභ ලැබූ හැටි මුල සිට අගටම දනී. ඒ අනූව ෂම්මි සිල්වා ඇතුළු කණ්ඩායම ගෙදර ගිය පසු තමා අතේ ඇති හැන්දෙන් ‘ගේමක්’ ගැසීමට ඔහු උත්සාහ කර තිබිණි. හෙළිදරව් වන්නේ එම උත්සාහය ය. ව්‍යර්ථ වූ ඒ අශිෂ්ට උත්සාහය නිසා දැන් රටම ඔහු හඳුනා ගන්නේ හොරෙකු ලෙසය. මෙම මූල්‍ය ප්‍රධානියාගේ නම සඳහන් කිරීමට අප උත්සාහ කරන්නේ නැත. එහෙත් සියලු පරීක්‍ෂණ අවසන් වූ පසු ඔහුගේ නමත් රූපයත් එළියට ඒම නවතා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත.

හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලගේ පරිපාලනය යටතේ ක්‍රිකට් ආයතනයට බොහෝ සේවකයෝ පැමිණියහ. ඒ අතර සුදුසු සහ නුසුදුසු පුද්ගලයෝ සිටියහ. ඇතැමුන් ක්‍රිකට් ආයතනයේ රස්සාවක් ලබාගත්තේ හිතවත්කම් වලටය. මේ සියලු රැකියා ලබාදුන්නේ කොන්ත්‍රාත් පදනම මතය. වත්මන් ක්‍රිකට් ආයතනයේ සිටින්නේ ස්ථිර සේවකයන් 40කටත් අඩු සංඛ්‍යාවක්ය. ඉතිරි සේවකයන් 300කට වැඩි සංඛ්‍යාවෙන් වැඩි පිරිසක් කොන්ත්‍රාත් කාලයේ දී හැකි උපරිමය උපයාගැනීමේ අභිලාෂය රස්සාව කරගෙන යන්නෝය. ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා ද හිතවත්කම මත පැමිණ අනතුරුව පවත්වන ලද සම්මුඛ පරීක්‍ෂණයකට ද මුහුණ දී උක්ත තනතුර ලබාගත් තැනැත්තෙකි.

ඔහුගේ ගණන් සාත්තරයට ඇති දක්‍ෂතාව ගැන තර්කයක් නැත. ඔහු ඒ සඳහා සියලු විභාග පාස් කර තිබේ. නමුත් ඔහු ‘ඩීල්’ ගහන මූල්‍ය ප්‍රධානියකු බව ටක්කයටම දැනගත්තේ පසුගිය අඟහරුවාදා දිනයේය.

සැලසුම් කළ හොරකමේ තරම

ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සොරකම් කිරීමට ගියේ ඩොලර් මිලියන 5.5 කි. එවැනි මුදලක් සොරකම් කළ හැක්කේ මේ තරම් දක්‍ෂ ගණන්කාරයකුට පමණි. ඩොලර් මිලියන 5.5 ක් යනු රුපියල් කෝටි 90 කටත් වැඩිය. එය තව පොඩ්ඩක් එහා මෙහා ගියේ නම් බිලියනය ඉක්මවන තරමේ ලොකු ගානකි. ඔහු මේ මුදල පොකැට් ගැසීමට ගියේ ඉන්දියාවේ සෝනි රූපවාහිනී සමාගමෙනි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ලැබීමට තිබූ මුදලින් කොටසකි.

ලබන මස අවසානයේ දී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙයි. ඒ ටෙස්ට් තරග තුනකට, එක්දින තරග පහකට සහ විස්සයි විස්ස තරග දෙකකට සහභාගි වීම සඳහාය. මේ තරගාවලියේ සජීවී විකාශන අයිතිය ලබා ගත්තේ සෝනි රූපවාහිනී ආයතනයයි. ඒ තිලංග සුමතිපාලගේ පරිපාලන කාලයේදීය. අදාළ විකාශන අයිතිය වෙනුවෙන් සෝනි සමාගම ඩොලර් මිලියන 11 ක් එනම්, ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 කටත් වැඩි මුදලක් ශ්‍රී ලංකාවට ගෙව යි. නමුත් ඉන් 50% ක මුදලක් මෙම මාසයේ දී සෝනි ආයතනය විසින් ශ්‍රී ලංකාවට ගෙවීමට නියමිතව තිබිණි. ඒ ගනුදෙනුව හසුරුවන බලවතා ක්‍රිකට් මුල්‍ය ප්‍රධානියාය.

කළ දුටු කළ වළ ඉහ ගන්නාක් මෙන් මේ මූල්‍ය ප්‍රධානියා ලිපි ලේඛන සියල්ල සෝනි රූපවාහිනී ආයතනයේ මූල්‍ය අංශයට ඊමේල් කළේය. එහි දැක්වෙන්නේ ගිණුම් දෙකකට මුදල් දැමිය යුතු බවය. එක් ගිණුමක් ක්‍රිකට් ආයතනයේ ගිණුමය. අනිත් ගිණුම වාර්තාවන පරිදි (එය තවම පරීක්‍ෂණ මට්ටමේ පවතී) හොංකොං රටේ ඇති ගිණුමකි. එහි අයිතිකාරයා ක්‍රිකට් ගණන්කාරයාය. එනම් මූල්‍ය ප්‍රධානියාය. සෝනි ආයතනයට ද ගිණුම් දෙකකට කෝටි ප්‍රකෝටි ගණන් දැමීම එක්තරා ප්‍රහේලිකාවකි. ඔවුන්ට ද සැකයක් මතු විය. ක්‍රිකට් ප්‍රධාන විධායකට සෝනි ආයතනය විසින් ඒ බව දැනුම් දීමත් සමඟ ප්‍රශ්න ඇවිළී ගියේ මූල්‍ය ප්‍රධානියාට කටඋත්තර නැති කරමිනි.

තිලංග සුමතිපාලගේ පරිපාලනය අහෝසි වී ක්‍රීඩා අමාත්‍යවරයාගේ ලේකම්ගේ තාවකාලික පරිපාලනයට ශ්‍රී ලංකා ක්‍රිකට් යටත්වීමත් සමඟ මූල්‍ය ප්‍රධානියාට සියලු ගනුදෙනුවල ප්‍රධාන තීරකයා විය. ක්‍රිකට් ආයතනයෙන් සුමතිපාල පරිපාලනය ගෙදර ගිය පසු ක්‍රිකට් ගිණුමේ ඇති සල්ලි මල්ල ගැන දන්නේ මූල්‍ය ප්‍රධානියාය. ඒ හැරුණු කොට ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මේ සෑම දෙයක් ගැනම අවධානයෙන් සිටියේය. ඒ ඔහු ප්‍රධාන විධායකයා වීම නිසාය.

කෙසේ වෙතත් ඈෂ්ලිගේ ඇසට වැලි ගසා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු ඩොලර් මල්ලක් තමන්ගේ පෞද්ගලික ගිණුමට දමා ගැනීමට මේ ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සුපිරි ගේමක් සකස් කළේය. නමුත් සෝනි ආයතනයෙන් ඒ පිළිබඳව කළ විමසීමෙන් වහා පියවර ගත් ඈෂ්ලි ද සිල්වා ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපාට ඒ බව දැන්වූයේය.

ක්‍රීඩා ඇමැතිවරයාගේ උපදෙස් පරිසි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අදාළ පැමිණිල්ල යොමු කිරීමට ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා කටයුතු කළේය. ‘මෙයා ගැන අපි ගාව ඕනෑ තරම් සාක්‍ෂි තියෙනවා. ඒවා ඉදිරියේ දී හෙළි කරන්නම්’ යැයි ඈෂ්ලි කට පුරා පවසා සිටියේ මේ මූල්‍ය ප්‍රධානියා සහ සෝනි රූපවාහිනී ආයතනය අතර හුවමාරු වු සියලු රහස්‍ය ලිපි ලේඛන ඇති බැවිනි.

ක්‍රිකට් මුල්‍ය ප්‍රධානියා වැඩේ පත්තු වූ දවසේ රාජකාරියට පැමිණියේ නැත. අනතුරුව ඔහුගේ ඊමේල් හැක් කිරීමට පියවර ගත්තේය. ඔහුගේ රාජකාරී කාමරය ද වසා දැමුවේය. දැන් පරීක්‍ෂණ පැවැත්වේ. නමුත් හොරා අතටම හසු වී ඇති විටෙක තවත් පරීක්‍ෂණ කුමටද? ඔහුව කුදලාගෙන ගොස් මහ උළුගෙදර ගණන් හදන්නට යොමු කළේ නම් එය අන් අයට ද කදිම පාඩමකි. නමුත් ක්‍රිකට් ආයතනයේ මීට පෙර වූ ඩීල් මෙන් මේ හොරකමත් අවසානයේ තිරය පිටුපස කතාවක් වේවිද යන්නත් ඇත්තේ කුකුසකි.

කෙසේ වෙතත් මේ මූල්‍ය ප්‍රධානියා අදාළ කෝටි 90 තමන්ගේ ගිණුමට දමා ගැනීමට උත්සාහ කර ඇත්තේ යටි අරමුණක් සහිතවය. සෝනි ආයතනයෙන් ලබාදෙන ඩොලර් මිලියන 5.5 ක්‍රිකට් ආයතනයට නොලැබුණ බව ඔහුට වසන් කිරීමට නොහැකිය. එසේ කරන්නේ නම් ඔහු ඉල්ලන් කන බව ඕනෑම අයකුට තේරෙයි. නමුත් මේ මූල්‍ය ප්‍රධානියා අදාළ කෝටි 90 තමන්ගේ පෞද්ගලික ගිණුමේ මාස පහක් රෝල් කළේ නම් ඔහුගේ මාසයක පොලිය කෝටියක් පමණ වනු ඇත.

එය මාස පහක් පොතේ තිබුණහොත් කෝටි පහකි. මේ පොලිය වෙනුවෙන් ඔහු ඒ ‘ඩීල්’ එක ගසන්නට ඇති ද යන්නත් සෙවිය යුතුය. නමුත් මේ ගිණුම් පරීක්‍ෂණයට සෝනී ආයතනයේත් ඔහු වැන්නකු සිටියේ නම් වැඩේ කිරීම පහසුවනු ඇත.

වෙනසකට ඇත්තේ සෝනී ආයතනයේ ගිණුම් අංශයේ මෙවැනි හොරෙකු නොසිටීමයි. දැන් ඉතිං ක්‍රිකට් ගිණුමේ ආගිය සහ මුලගිය තැන් සෙවීමට රජය මැදිහත් වුවහොත් තවත් හොරු දුසිම් ගණන් සොයාගැනීමේ හැකියාවක් ඇතැයි අපි මතක් කර සිටිමු.

Comments