අවුරුදු 40ක් තිස්සේ ජේ. ආර්. රැක්ක රැකවලාගේ මිහිරි මතකය | සිළුමිණ

අවුරුදු 40ක් තිස්සේ ජේ. ආර්. රැක්ක රැකවලාගේ මිහිරි මතකය

එය අසූව දශකයේ මුල් භාගය විය. කොළඹ සිට මහනුවර බලා රථ පෙළක් ගමන් කළේ කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා ය. එච්.බී. ආරියරත්න ද ඒ අතර විය. මාවනැල්ල ප්‍රදේශය පසු විය. එච්.බී. ආරියරත්න සිටි රථය ඇතුළු සෙසු රථ නවත්වන ලෙස ප්‍රධාන පුද්ගලික ආරක්ෂක නිලධාරිගෙන් ක්ෂණිකව ඇමතුමක් ලැබිණි.

“පාරේ අයිනේ මනුස්සයෙක් නිඳාගෙන ඉන්නවා දැකලා ඒ මනුස්සයා ගැන හොයලා බලන්න කියලා උපදෙස් ලැබුණා. එන්න යමු....” ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ අණට කීකරු වූ එච්.බී. ආරියරත්න ඇතුළු පිරිස මහ මඟ අයිනේ නිදා සිටි මිනිසා කවරකුදැයි සොයා බැලූහ. එහිදී ඔහු ‍යාචකයකු බව අනාවරණය විය. එ් ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපති කැඳවා මේ යාචකයා රෝහල්ගත කර සොයා බැලීමක් කරන ලෙසට උපදෙස් ලබා දුන් පසු රථපෙළ මහනුවර බලා පිටත් විය.

එදා මහමඟ සිටි යාචකයකු වෙනුවෙන් සංවේදි වී හදවත උණු වී රථ පෙළ නැවැත්වීමට උපදෙස් දුන්නේ එසේ මෙසේ කෙනකු නො‍‍වේ. හෙතෙම ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ය. තවත් විදිහකින් පවසන්නේ නම් හිටපු ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ය. පූර්ණ විධායක බලතල සහිත ජනාධිපතිවරයා තුළ සැඟවී තිබුණු ළතෙත් බව, මුදු බව සහ කාරුණික බව ගැන අප සමඟ කියාපෑවේ වසර 30 ක් මුළුල්ලේ හිටපු ජනාධිපති දිවංගත ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආරක්ෂ අංශයේ සේවය කළ එච්. බි. ආරියරත්න ය.

“මම 1973 වසරේ ශ්‍රීලංකා පොලිස් සේවයට බැඳුණා. 77 මහ මැතිවරණයෙන් පසුව 1977 ජුලි 23 වැනිදා සිට මාව ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආරක්ෂක අංශයට අනුයුක්ත කළා. මම රාජකාරි කළේ ජයවර්ධන මහත්තයාගේ බො‍රැල්ලේ වෝඩ් පෙදෙසේ පිහිටි බ්‍රෙමාර් නිවසේ. ඒ ක‍ාලේ මම පොලිස් කොස්තාපල් කෙනෙක්. පසුව උප පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස් වුණා. ජනාධිපතිතුමා විශ්‍රාම ගිය පසුව 1996 නොවැම්බර් 01 වැනි දා මිය යන තුරු මම එතුමාගේ ආරක්ෂක අංශ‍යේ කටයුතු කළා. ඊට පසුව ජනාධිපති ආර්යාවගේ ආරක්ෂක අංශය භාරව කටයුතු කළා. 2007 නොවැබ්බර් 17 වැනිදා එතුමිය මිය ගිය පසු තමයි මම ජනාධිපති ආරක්ෂක සේවයෙන් ඉවත් වුණේ.” යනුවෙන් සඳහන් කළේ හිටපු පොලිස් පරික්ෂක එච්.බී. ආරියරත්න ය.

පුරා වසර 30 ක් ජනාධිපති ආරක්ෂක අංශයේ කටයුතු කිරීමෙන් අනතුරුව දැනට විශ්‍රාම සුවයෙන් පසුවන එච්.බී. ආරියරත්න සතු අත්දැකීම් සම්භාරය සුළුපටු නැත. ඔහු අප සමඟ සිය මතකය අවදි කළේ හෙට (17) දිනයට යෙදෙන දිවංගත ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ 112 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙනි.

“ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව නිලධාරීන් 300 ක් විතර සේවය කළා. ඔවුන් අතරින් 1977 සිට අඛණ්ඩ ව සේවය කළේ මමයි. ඒ නිසාම ජනාධිපතිතුමාටත් ආර්යාවටත් එක ම පුතු රවී ජයවර්ධන මහත්තයාටත් මා කෙරෙහි ලොකු විශ්වාසයක් ඇති වුණා. ඒ නිසාම පැය 24 ඕනෑම වේලාවක මට බ්‍රෙමාර් නිවස ඇතුළට යන්න පුළුවන්කම තිබුණා. ඔවුන් මට කතා කළේ ආරියරත්න කියලා. මම ජනාධිපතිතුමාට කතා කළේ උතුමාණෙනි කියලා.” යනුවෙන් අප හමුවේ කතාබහේ යෙදුණේ එච්.බී. ආරියරත්න ය.

රටේ ජනාධිපති යනු මුල් පුරවැසියා ය. ජේ. ආර්. ජයවර්ධන යනු මුල් පුරවැසියා පමණක් නොව ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ය. එහෙත් එතුමා ඇතැම් ජනාධිපතිවරුන් හෝ ජනාධිපතිනිය මෙන් හිතුමතේ ගමන් බිමන් ගියේ නැත. ආරක්ෂක අංශයේ උපදෙස් අකුරටම පිළිපැද්දේය.

“ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා රටේ කලබල වාතාවරණක් ඇති වුණාම බ්‍රෙමාර් නිවසෙන් එළියට ගියේ නැහැ. ආරක්ෂක අංශයේ උපදෙස් අනුව නිවසේ රැදී සිටියා. එවැනි අවස්ථාවලදී එතුමා මැති ඇමතිවරුන් ත්‍රිවිධ හමුදාපතිවරුන් බ්‍රෙමාර් නිවසට නිතර කැඳෙව්වා. ඔවුන්ගෙන් තොරතුරු විමසුවේ ඔවුන්ට උපදෙස් දුන්නේ වෝඩ් පෙදෙසේ බ්‍රෙමාර් නිවසේ ඉඳලා. හැබැයි කලබල නැති සාමාන්‍ය දවස්වලට වුණත් මැති ඇමතිවරුන් නිතර නිතර එහි ආවා ගියා. එක්කෙනෙක් කියලා විශේෂයෙන් කියන්න බැහැ. එය සිද්ධ වුණේ රටේ අවශ්‍යතාව අනුව. නිවාස ව්‍යාපෘති ගැන කතා කරන්න ආර්. ප්‍රේමදාස අගමැතිතුමා ආවා. මහවැලිය සම්බන්ධයෙන් වැඩ කටයුතු තියෙන වෙලාවට ගාමිණි දිසානායක ඇමැතිතුමා ආවා. රටේ ආරක්ෂාව ගැන කතා කරන්න ලලිත් ඇතුළත්මුදලි ඇමතිතුමා ආවා. ඒ වගේ එදා කාලීන වැදගත් මාතෘකාවලට අදාළ අය නිතරම බ්‍රෙමාර් නිවසට ආවා.” යනුවෙන් එච්.බී. ආරියරත්න සඳහන් කළේ අතීතාවර්ජනයක යෙදෙමිනි.

ඒ හැර බ්‍රෙමාර් නිවසට කැඳවනු ලබන තවත් කීප දෙනෙක් සිටිති. ඒ හිටපු ජනාධිපතිගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට දිනපතා පැමිණෙන වෛද්‍යවරයා, ඇඳුම් මසන ටේලර් සහ කරණවෑමියා ය. ඔවුන් අතරින් කොල්ලුපිටියේ සිට කැඳවාගෙන ආ ගේබ්‍රියල් කරණවෑමියා ගැන විශේෂ මතකයක් ආරියරත්නගේ සිතේ රැඳී තිබෙන්නේ ගේබ්‍රියල් මිටි තරබාරු, ඝනව වැවුණු උඩු රැවුල සහිත පුද්ගලයකු නිසා ය. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා තරුණ වියේ පටන් කොණ්ඩය කපා ඇත්තේ කොල්ලුපිටියේ ගේබ්‍රියල් කරණවෑමියාය.

“ගොඩාක් දෙනා හිතාගෙන ඉන්නේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා දරදඬු, ඒකාධිපති පාලකයෙක් කියලා. ඒත් ජනාධිපතිතුමා හරිම කරුණාවන්ත කෙනෙක්. සරල චාම් ජීවිතයක් ගත කළ කෙනෙක්. එලීනා ජයවර්ධන ආර්යාව සමඟ දිනපතා ආහාර ගැනීම දින චර්යාවේ අංගයක් වුණා. ජනාධිපතිතුමා කාර්ය බහුල වෙලා රාජකාරි කටයුත්තක යෙදුණු අවස්ථාවක මඟ හැරුණොත් මිසක් එය නොවරදවාම සිද්ධ වුණා. රවී ජයවර්ධන මහත්තයාගේ දරුවන් තිදෙනා වන ප්‍රදීප්, රුක්ෂාන් සහ අමිරිට් ගැන නිතරම හොයලා බැලුවා. ඒ මුනුපුරන්ගේ අධ්‍යාපන කටයුතු, ක්‍රීඩා කටයුතු ගැන සැලකිලිමත් වුණා. දරුවෝ සෙල්ලම් කරන දිහෑ බලාගෙන හිටියේ හරිම ආසාවෙන්.” එච්.බී. ආරියරත්න ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා දු‍ටුවේ ඒ ආකාරයට ය.

“පස්සේ කාලයක මුනුපුරන් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වුණා. රුක්ෂාන් බේබි ලංකාවට එනවිට ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා මට කතා කරලා කියනවා ගුවන් තොටුපොළට ගිහින් රුක්ෂාන් බේබිව එක්කරගෙන එන්න කියලා. ලංකාවට පා තැබූ මොහොතේ සිට ලංකාවෙන් පිටත් වී යන තුරු රුක්ෂාන් බේබිගේ ආරක්ෂාව එතුමා භාර කළේ මටයි. බේබි යන්නෙ සීගිරියෙද, දඹුල්ලෙද, ගාල්ලෙද, නුවරද ඒ හැමතැනම මම යනවා.” යනුවෙන් එච්.බී. ආරියරත්න සඳහන් කළේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඔහු කෙරෙහි තැබූ විශ්වාසය අකුරට ඉටු කළ ආරක්ෂක නිලධාරියකු වශයෙනි.

එපමණක් නොවේ. 88 – 89 කාලයේ මෙරට පැවැති භීෂණ සමයේ ජනාධිපතිතුමාගේ එකම පුතු රවී ජයවර්ධනගේ ආරක්ෂකයා ලෙස කටයුතු කිරීමේ වගකීම හිටපු ජනාධිපතිවරයා පෞද්ගලිකවම තමාට ලබා දුන් බව ආරියරත්න අප සමඟ පැවසුවේ නිහතමානි සතුටක් භුක්ති විඳිමිනි.

“ජනාධිපතිතුමාගේ තිබුණු සරලකම, චාම් බව, නිහතමානි ගුණය රවී මහත්තයාගේත් තිබුණා. රවී මහත්තයාගේ දරුවො තුන්දෙනාත් ඒ වගේමයි. ඒ දරු‍වො ජනාධිපතිතුමාට කතා කළේ සීයා කියලා. ආර්යාවට කතා කළේ ආච්චි කියලා. ප්‍රභූ පැළැන්තියට අයිති වුණාට සිංහලකම, අල්පේච්ඡ බව කැපී පෙනුණා.” ආරියරත්න තවදුරටත් සඳහන් කළේය.

එය තවත් නිදසුනකින් ගෙනහැර දක්වන්නේ නම් ප්‍රභූ පන්තියේ සුනඛ සුරතලුන් බ්‍රවුනි. ටයිගර්, ජිමී ලෙස නම් කළ ද දිවංගත ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ සුනඛ සුරතලා නම් කර තිබුණේ. “කළු” යනුවෙනි. සතුන් කෙරෙහි අපමණ කරුණාව, දයාව දක්වන ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා “කළු” හැර තවත් සුනඛ සුරතලකු ඇති දැඩි කළේ ය. එහෙත් එ් සුනඛයා (ආරියරත්නට සුනඛයාගේ නම අමතකය) නිහඬවම පිටුපසින් පැමිණ අමුත්තන් සපා කන බැවින් ඌ‍ට හිමි වූයේ බ්‍රෙමාර් නිවසේ පිටුපස ය. එහෙත් කළු ඊට හාත්පසින් ම වෙනස් චරිතයකි. ඇල්ශේෂන් වර්ගයට අයත් කළුම කළු “කළු” ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ හෙවණැල්ල වූයේ එතුමා විධායක ජනපති බැවින් ආරක්ෂාව සැලසීමට නම් නොවේ. හෙතෙම සිය ආදරණීය ස්වාමීයා වූ නිසා ය.

“ජනාධිපතිතුමා වාඩිවෙලා ඉන්නවා නම් කළු ඉන්නේ පුටුව යට. ජනාධිපතිතුමා උද්‍යානයේ ඉන්නවා නම් කළු ඉන්නේ උද්‍යානයේ. එතුමා නිවසින් පිටවෙලා ගියාම කළු දොරකඩට වෙලා බලාගෙන ඉන්නවා. එතුමා ආපසු එනවිට කළු හරිම සතු‍ටින් පිළිගන්නේ. එතුමාත් නිවසට ඇතුළු වෙන්නේ කළුගේ ඔළුව අතගාලා සුරතල් කරලා තමයි.” හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ සත්ව කරුණාව ද සුළුපටු ‍නොවන බව ඔහු පැවසීය.

කවදත් ‍‍පොත්පත් කියවීමට කාලය ගත කළ එතුමා විශ්‍රාම ලැබූ පසුව සැඳෑ සමය විවේක සුවයෙන් ගත කිරීම සඳහා තෝරා ගත්තේ බ්‍රෙමාර් නිවසේ පිටුපස පිහිටි උද්‍යානය යි. සිය බිරිය සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින්, පොත් පත්තර කියවමින් විවේකය ගත කළ හිටපු ජනාධිපතිතුමා නිවසින් පිටතට ගියේ අත්‍යවශ්‍ය ම කටයුත්තකට පමණි. උද්‍යානයේ ඇවිදීම දිනපතා ව්‍යායාමයක් වශයෙන් සිදු කළ එතුමා එම පුරුද්ද අත් හැරියේ නැත. පලතුරු කෑමට ප්‍රිය කළ එතුමා කවදත් ගැමි පරිසරයට, ස්වාභාවිකත්වයට කැමැත්තක් දැක්වීය. හලාවත මාදම්පෙ ප්‍රදේශයේ පිහිටි වතුයායේ පොල්අතු සෙවිලි කළ මැටි ගසා නිමවූ කුඩා නිවසට ගොස් විවේකය ගත කළේ එබැවිනි.

“මාදම්පෙ වත්තෙ තිබුණා පොල්අතු ඉලුක් වහලයට සෙවිලි කරලා මැටි කපරාරු කරපු නිවසක්. හැබැයි එය හොඳට හදලා තිබුණා. ජයවර්ධන ජනාධිපතිතුමා එහෙ ඉන්න ගොඩක් කැමතියි. සමහර සති අන්ත‍යන් ගත කළේ එහෙ. කලිසම සහ කමීසය ඇඳලා බොහොම සැහැල්ලුවෙන් එහෙ හිටියා. ආර්යාවත් එතුමා එක්ක එහි නවාතැන් ගත්තා. සරල, සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න එතුමා තුළ තිබූ කැමැත්ත එයින්ම පෙනෙනවා.” යනුවෙන් ආරියරත්න විස්තර කළේය.

ඊට අමතරව එතුමා ඥාති මිත්‍ර ඇසුරට ද ප්‍රිය කළ බව ඔහු පවසන තොරතුරුවලින් ගම්‍ය වේ.

“ජනාධිපති වෙලා හිටපු කාලේ වගේම විශ්‍රාම සුවයෙන් හිටපු කාලෙදීත් යා‍ළුවො එක්ක කතා කර කර ඉන්න එතුමා කැමතියි. එතුමා මුණගැහිලා අල්ලාප සල්ලාපයේ යෙදෙන්න ආපු පිරිසක් හිටියා. වෛද්‍ය ඇන්ටන් ජයසුරිය, එස්.ඒ. වෙල්ගම නිතර බ්‍රෙමාර් නිවසට ආපු අයගෙන් දෙදෙනෙක්. එතුමාගේ සහෝදර සහෝදරියන්ගේ දුවා දරුවො, දරුවන්ගේ දරුවො එහෙම එතුමාගේ සැප සනීප බලන්න බ්‍රෙමාර් නිවසට ආවා. ඒ අයගේ පුංචි දරුවන්ව හරි ආදරෙන් හුරතල් කරපු හැටි මම දැකලා තියෙනවා. ජනාධිපතිතුමා විශ්‍රාම සුවයෙන් ඉන්න කාලේ මැති ඇමතිවරුන් ඇවිත් එතුමාගේ දුක සැප බලලා කතා කළා. හැබැයි ජනාධිපති පදවියේ ඉන්න කාලේ තරම් ආවේ නැහැ. ඒ කාලේ රාජකාරි මට්ටමෙන් ඒ අයට බ්‍රෙමාර් නිවසට එන්න සිද්ධ වුණානේ. පසුව එහෙම එන්න වුවමනාවකුත් නැහැනේ.

ආර්. ප්‍රේමදාස මහත්තයා ජනාධිපති තනතුරේ දිවුරුම් දීලා ජයවර්ධන මැතිතුමා හමු වන්න ආවා. ඊට පසුව පැමිණි බවක් නම් මගේ මතකයේ නැහැ. ලලිත්, ගාමිණි, රනිල් මහත්තයා බ්‍රෙමාර් නිවසට පැමිණි මැති ඇමතිවරුන් අතරින් මට මතක කීප දෙනෙක් විතරයි. එක්සත් ජාතික පක්ෂයේ තවත් මැති ඇමතිවරු ආවා.” යනුවෙන් විස්තර කළ එච්.බී. ආරියරත්න ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනයට ලක් වන අවස්ථාවේ ජයවර්ධන මැතිතුමා විදේශීය සංචාරයක යෙදී සිටි බව සිහිපත් කළේය. ලලිත් ඇතුළත්මුදලි මහතා, ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා සහ ගාමිණි දිසානායක මහතා ත්‍රස්ත ප්‍රහාරවලට ලක් වීමෙන් මිය ගිය ප්‍රබල දේශපාලන නායකයෝ වෙති. ත්‍රස්තවාදය හා භීෂණය රටම වෙළාගෙන සිටියත් කිසිම විටෙක හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එවැනි විපතකට මුහුණ දුන්නේ නැත.

“හිටපු ජනාධිපතිතුමා රටේ අයහපත් දේශපාලන තත්ත්වයන් කීපයකට මුහුණ දුන්නා. 83 කලබල,ඉන්දීය සාම සාධක හමුදාව පැමිණි සිද්ධිය, 88-89 භීෂණය. හැබැයි එතුමාට කිසිම තර්ජනයකට මුහුණ දෙන්න සිද්ධ නොවුණේ එතුමා ආරක්ෂක අංශ උපදෙස් පිළිපැද්ද නිසා. පාර්ලිමේන්තුවේ බෝම්බය පුපුරපු අවස්ථාවේ හිටපු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ හිටියා. ඒ සිද්ධිය වෙන අවස්ථාවේ මම හිටියේ බො‍රැල්ලේ ‍වෝඩ් පෙදෙසේ. පාර්ලිමේන්තු බෝම්බ සිද්ධි‍යත් එක්ක එතන හිටපු ජනාධිපති ආරක්ෂක නිලධාරීන් එතුමාව වෝඩ් පෙදෙසට රැගෙන ආවා. ඒ ශෝචනීය අවස්ථාව හැර වෙනත් බිහිසුණු අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වුණේ නැහැ.” යනුවෙන් එච්.බී. ආරියරත්න විස්තර කළේය. එමෙන්ම හිටපු ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සහභාගි වූ උත්සවවලදී ආරක්ෂක නිලධාරින් පරික්ෂා කළ කිසිම අවස්ථාවක කිසිම තර්ජනයක් හමු නොවු බව ඔහු පැවසුවේ එතුමාගේ වාසනා ගුණය නිසා විය හැකිය.

දිවංගත ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සිය සේවකයන්ටත් ආරක්ෂක නිලධාරින්ටත් සංග්‍රහ සත්කාර කිරීමට පැකිළුණේ නැත. ජනවාරි 01 වැනි දා සිංහල අලුත් අවුරුදු දා ඔවුන් උදෙසා බ්‍රෙමාර් නිවසේ තේ මේස පිළියෙල වෙන්නේ ඒ නිසාය. එලීනා ජයවර්ධන ආර්යාව ද එසේ ය.

“මේ වෙලාවේ ජයවර්ධන ආර්යාව ගැන මට යමක් කියන්න අවශ්‍යයි. එතුමිය දේපළ වස්තු සම්භාරයකට උරුමකම් කියපු තැනැත්තියක්. දෙහිවල සත්තුවත්ත පැත්තේ, ගල්වල පාරේ, කුරුලු උයන පැත්තේ ඉඩකඩම් යායවල් අයිති ආර්යාවට. කොටින්ම කිව්වොත් එතුමිය දන්නෙ නැහැ, එතුමියට අයිති ඉඩම් ගැන. ඉතින් ඒ දවස්වලම ඒ ඉඩම් සමහරු අල්ල‍ාගෙන තිබුණා. ඒ ඉඩම් අල්ලා ගත්තු අය අතර රණ්ඩු සරුවල් ඇති වෙනවානේ. එතකොට හෙළිදරව් වෙනවා ඉඩම්වල අයිතිය ජයවර්ධන ආර්යාවගේ කියලා. ඉතින් ඒ අය බ්‍රෙමාර් නිවසට ඇවිත් අනේ හාමුදුරුවනේ කියලා දුක් ගැනවිල්ල කියනවා. ඒක අහගෙන ඉඳලා ආර්යාව කියනවා ඔප්පු හදාගෙන එන්න ආර්යාව අත්සන් කරලා දෙන්නම් කියලා. ඒ අය ඔප්පු හදාගෙන ඇවිත් දුන්නා ම එතුමිය කිසිම හාවක් හූවක් නැතිව අත්සන් කරලා දෙනවා. එතුමියගේ පරිත්‍යාගශීලිත්වය ගැන අපට හිතා ගන්නවත් බැහැ.” යනුවෙන් පරිබාහිර කතාවක් අප හමුවේ දිග හැරියේ දිවංගත ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාත් එලීනා ජයවර්ධන ආර්යාවත් නිර්ලෝභි, පරිත්‍යාගශීලි අය බව කියා පෑමට ය.

හිටපු ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සහ මැතිනියගේ ආරක්ෂක නිලධාරියකු වශයෙන් සේවය කළ එච්.බී. ආරියරත්න පවුලේ හිතවතකු සහ විශ්වාසවත්ත අයකු බවට පත් වූයේ වසර 30 ක් මුළුල්ලේ අඛණ්ඩ ව සිය රාජකාරිය නොපිරිහෙළා අවංකව ඉටු කළ නිසා ය. දැන් විශ්‍රාම සුවයෙන් කල් ගත කරන එච්.බී. ආරියරත්න සිය සේවා කාලය තුළ මෙතෙක් හමු නොවූ සොඳුරුතම තැනැත්තා දිවංගත ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා බව සඳහන් කරන්නේ එතුමා මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ නිසා ‍නොවේ. එතුමා තුළ සැඟවී තිබුණු ළතෙත් බව, කරුණාව, සරල බව, මුදු බව, නිහතමානි බව යනාදි ගුණංග රැසක් අත්විඳි නිසා ය. කොටින්ම කිවහොත් ලංකාවේ ප්‍රථම පුරවැසියා සතුව තිබූ මනුස්සකම නිසා ය.

ඡායාරූප :- විපුල අමරසිංහ

අදහස්