අපේ කෙසෙල්වලට චීනයේ ඇරුණු දොර වහන්නේ කවුරුද? | Page 2 | සිළුමිණ

අපේ කෙසෙල්වලට චීනයේ ඇරුණු දොර වහන්නේ කවුරුද?

  • අමාරුවෙන් හදාගත්ත වෙළෙඳපොළක්
  • කැවෙන්ඩිෂ් වෙනුවට ආනමාලු කෝලිකුට්ටු
  • ලෝකයේ දෙවැනි ඉල්ලුම ඇති පලතුර

ලෝකයා කෙමෙන් කෙමෙන් පිය නඟන්නේ අලු‍ත් අලු‍ත් මාවත් වලටය. අලු‍ත් අලු‍ත් තාක්ෂණයන් හා යන මේ ගමනේ තමන්ගේ කෑම පිඟාන දෙස අලු‍ත් ඇසකින් බලන්නටද තාක්ෂණයේ දියුණුවෙන් අත්දුටු දේ අලු‍ත් දැක්මක් තනා දී ඇත්තා සේය.

“‍වස විස නැති ආහාර”‍ මේ අලු‍ත් දැක්මේ කෑම පිඟානට වැටුණු අලු‍ත් බැල්මයි. දියුණු වෙමින් සිටිනා අප වැනි රටක මිනිසුන් පවා වස විස නැතිව අහරක් ගන්නට උනන්දු වෙද්දී ඇති හැටි කම ඇති බලවතුන් වස විසෙන් තොර අහර සොයා ලෝකය පුරා කරක් ගැසීම පුදුමයක්ද?

සිය වැඩිම ජනගහනය වැඩිම කලක් ජීවත් කරවා ගැනීමේ බලාපොරොත්තුවෙන් දෝ චීනයද මෙවැනි සෙවුම් කරමින් සිටිනා කාලයක අප ද චීනයේ ඇසට හසුවෙයි. චීනය අපෙන් බලාපොරොත්තු වූයේ කෙසෙල්ය, නිකම්ම කෙසෙල් නොව ඔවුන්ගේ ප්‍රමිතීන්ට සරිලන, වස විසෙන් තොර කෙසෙල්ය.

ලෝකයේ විශාලතම ආර්ථිකය තමන්ගේ කරගන්නට නොනිමි සටනක සිටිනා චීනයට කෙසෙල් අපනයනය කරන්නට අපට ලැබුණු අවස්ථාවේ වටිනාකම ගැන කියන්නට වුවමනාවක් නැත.

මේ කතා ඇති වන්නේ 2015 අවුරුද්දේය. 2015 වසරේ ඇතිවුණු එකඟතාව සෙවුම් බැලු‍ම් වලින් ඉක්බිති 2016 අවුරුද්දේ චීනයට කෙසෙල් යවන්නට ගිවිසුම් අස්සන් කෙරිණි. ගිවිසුම්ද අස්සන් කර තිබියදී අප චීනය හා ඇති කරගත් මේ කතාබහ මෙතෙක් කතාබහක්ම වී ඇත්තේ ඇයි දැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ විශ්‍රාමික අතිරේක ලේකම් ආචාර්ය සුබ හීන්කෙන්ද කියයි.

“අපි ලේසියෙන් ගිවිසුම්වලට එළඹිලා චීනයෙන් දේවල් අපේ රටට ගෙන්වා ගත්තාට ගිවිසුම් ඇති කරගත්තාට පස්සේවත් අපිට කැමති විදියට චීනයට දේවල් යවන්න බැහැ. චීනය අපෙන් කෙසෙල් මිලදී ගන්න ගිවිසුමකට එළඹුණේ ක්ෂේත්‍රවලටම ගිහින් පරීක්ෂා කළාට පස්සේ. එහෙම ගිහින් බලලා ඔවුන් ඔවුන්ට අවශ්‍ය තත්ත්වයන් ලබා දීලා ඒ තත්ත්වයන්ට අනුගත වුණාට පස්සේ කෙසෙල් මිලදී ගැනීමටයි චීනය එකඟතාවට ආවේ. චීනය මුලින් අපෙන් ඉල්ලීම් කළේ ‘කැවෙන්ඩිෂ් වර්ගයේ කෙසෙල්. ලෝකයේ දැනට වැඩිම වෙළෙඳපොළක් තියෙන්නේ කැවෙන්ඩිෂ් කෙසෙල්වලට වුණාට අපේ රටේ මේ කෙසෙල් වර්ගය වගා කෙරෙන්නේ නැහැ.

ඒ ගැන පැහැදිලි කරලා අපේ රටේ වවන අපේ කෙසෙල් වර්ග කෑමට දුන්නම ඔවුන් අපේ කෙසෙල් මිලදී ගන්න කැමැත්ත පළ කළා. කෙසෙල් වගේම අපේ අන්නාසි පැපොල්, රඹුටන් වගේ පලතුරුවලටත් කැමැත්ත පළ කළා. කොහොම වුණත් මුල්ම පියවර වුණේ කෙසෙල්.

කෙසෙල් අපනයනය කරන්න නම් ගොවීන් විසින් සහ ඇසුරුම් ක්‍රියාවලියේදී සපුරාගත යුතු අවශ්‍යතා ලැයිස්තුවක් චීනයෙන් අපිට ලබා දුන්නා. ගොවීන් සපුරා ලිය යුතු අවශ්‍යතා අතරට ඔවුන්ගේ සුදුසුකම් තමයි සලකලා බැලු‍වේ. නම, ගම, වයස ඇතුළු මාතෘකා විසිපහක් තිහක් විතර යටතේ ප්‍රශ්න මාලාවක් ලබලා දීලා තිබුණා. එයින් ඒ අයට ඕන වෙලා තිබුණු වැදගත්ම තොරතුර වුණේ මේ තෝරා ගන්නා ගොවීන් ජී.ඒ.පී. සහතිකය තියෙනවා ද කියලා. ක්ෂේත්‍රයේ ගුණාත්මක බව, වසවිසෙන් තොරව වගා කටයුතු කිරීම වගේ දේවල් මත තමයි ජී.ඒ.පී. සහතිකය නිකුත් කරන්නේ. චීනය එක්ක ඇතිවුණු මේ ගිවිසුම නිසා කෙසෙල් ගොවීන්ට ක්‍රමවත්ව ජී.ඒ.පී. සහතික නිකුත් කරන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයක් පවා ඇති කළා. කෙසෙල් ගොවීන් 150ක් තෝරාගෙන ඒ අයට මේ ප්‍රමිතීන් සපුරා ගන්න මඟපෙන්වන්න වැඩ සටහනකුත් පටන් ගත්තා. ඒ වගේම චීනය බලාපොරොත්තු වුණු අනෙක් අවශ්‍යතාව වුණු නිසි ප්‍රමිතියට ඇසුරුම් කිරීම් කරන්න වුවමනා කටයුතුත් සූදානම් කරන්න පටන් ගත්තා. ඇත්තටම ඔවුන් බලාපොරොත්තු වුණු ප්‍රමිතියට ඇසුරුම් කිරීමේ හැකියාව තිබුණේ අපේ රටේ පෞද්ගලික අංශයට අයත් කිහිපදෙනෙකුට පමණයි.

ඒ කටයුත්තට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට වඩා සක්‍රීයව දායකත්වය ලබලා දුන්නේ අපනයන සංවර්ධන මණ්ඩලය. ඔවුන් මැදිහත්වෙලා අදාළ පෞද්ගලික ආයතන කෙසෙල් ගොවීන් ඉන්න ප්‍රදේශවලට අරගෙන එන්නත් සූදානමක් තිබුණා. මේ ආයතන දෙකට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේම පවතින පැළෑටි නිරෝධායන ඒකකයත් මේ කෙසෙල්වල ගුණාත්මය තහවුරු කිරීමේ කටයුතු වලට සක්‍රීයව දායක වෙන්න සූදානමින් හිටියා. මේ හැම ආයතනයක්ම එකට එකතු වුණේ චීනය අපෙන් බලාපොරොත්තු වුණු පාට, පෙනුම, ප්‍රමාණය වගේම රස තියෙන කෙසෙල් ඔවුන්ට ලබලා දෙන්න.

මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වීම අපේ කෘෂි නිෂ්පාදන ක්ෂේත්‍රයට හොද බලපෑම් ඇති කරන බව මේ කටයුත්තට දායක වුණු හැම කෙනෙක්ම දැනගෙන හිටියා. අපේ රටේ දුප්පත්කම නැති කරන්න අපිට කළ හැකි හොඳම දෙයක් තමයි පලතුරු අපනයනය. ලෝකයේ ඉතාම ඉහළ වෙ‍ෙළඳපොළක් තියෙන දෙයක් හැටියටයි මම නම් පලතුරු දකින්නේ. කෙසෙල්වලින් පටන් අරගෙන අපිට අපේ කියල පලතුරු වෙ‍ෙළඳපොළක් ලෝක වෙ‍ෙළඳපොළ තුළ නිර්මාණය කරගන්න චීනයෙන් ලැබුණු මේ වටිනා අවස්ථාවෙන් අපි ප්‍රයෝජනය ගත්තාද කියලා මට නම් සැකයක් තියෙනවා.

මොකද චීනයට කෙසෙල් යවන්න එකඟ වුණු ගිවිසුම අස්සන් කරලා අවුරුදු දෙකකටත් වඩා වැඩි කාලයක් ගතවෙලා තිබුණත් ඒ කටයුත්ත සිදුවුණු බවක් වත් නුදුරේදීම සිදුවෙන බවක්වත් පෙනෙන්නට නැහැ. කෘෂිකාර්මික රටක් විදියට අපි ඒ අවස්ථාව මඟහැර ගන්නවා නම් ඒක අපිට ලොකු පාඩුවක්”‍

ආචාර්ය සුබ හීන්කෙන්ද කියන්නේ පලතුරු අපනයනය සැලැස්මක් ඇතිව, අවධානයෙන් දියුණු කළ යුතු සහ දියුණු කළ හැකි විදෙස් විනිමය මෙරටට ගෙන්වා ගත හැකි අවස්ථාවක් බව නොවේද!

ලෝකයේ පලතුරු වෙ‍ෙළදාම දෙස බැලූ විට ඝර්ම කලාපීය රටක් වන අපිට ආචාර්ය හීන්කෙන්ද කියනා ඉලක්කය සපුරා ගැනීමේ අපහසුතාවක් නැත. අද වන විට ලෝකයේ වැඩිම වෙ‍ෙළඳපොළක් ඇත්තේද කෙසෙල් වලටය. කෙසෙල් ලෝකයේ සැම තැනකම සරුවට වැවෙන්නේ නැත. සෑම තැනකදීම ඒ අාවේණික රසයන් ගෙන එන්නේද නැත. හොදින් හිරුඑළිය ලබනා අප ජීවත්වන ඝර්ම කලාපය කෙසෙල් වගාවට හරියටම ගැළපෙයි.

වසරින් වසර වර්ධනය වන ආදායම් පෙන්වන ලෝකයේ කෙසෙල් වෙ‍ෙළඳාමෙන් සියයට 81ක් තරම් ප්‍රමාණයක සැපයුම් තමන් සතු කරගෙන සිටින්නේ රටවල් 10ක් තරම් සුළුතරයකි. ලෝකය පුරා රටවල් 107ක පමණ කෙසෙල් වැවිය හැක්කේ නමුත් විදෙස් වෙළඳපොළේ දී ඉල්ලු‍ම ඇති සැබෑ කෙසෙල් රස සෑම කෙසෙල් ගෙඩියකින්ම නොලැබෙන නිසා සෑම රටකටම ලෝක වෙළදපොළට කෙසෙල් ඉදිරිපත් කරන්නට හැකියාවක් නැත.

දැනට ලෝකයේ ලොකුම කෙසෙල් වෙළෙන්දා ඉක්වදෝරයයි. බෙල්ජියම, පිලිපීනය, කොස්ටරිකා ඇතුළු මධ්‍යම ඇමෙරිකානු සහ අප්‍රිකානු රටවල්ද කෙසෙල් අපනයනයෙන් වසරක් පාසා විශාල ආදායම් උපයා ගනී. ඉන්දියාව ඇත්තේ කෙසෙල් නිෂ්පාදනය කරන රටවල් අතරින් ඉදිරියෙන් වුවත් ඔවුන් විදෙස් වෙළඳපොළ ඉලක්ක කරගෙන එම නිෂ්පාදනය සිදු කරනා බවක් පෙනෙන්න්නට නැත. එයට හේතුව ලෝකයේ අධිකම ජනගහනයක් ඇති රටක් ලෙස ඉන්දියාව සිය රටේ අවශ්‍යතාව ඉන් සපුරාගැනීම විය හැකිය.

ලෝකය පුරා වැඩිම ඉල්ලු‍මක් ඇත්තේ ‘කැවෙන්ඩිෂ්‘ කෙසෙල්වලට වන නමුත් එක් එක් රටවට වගා කෙරෙන රසවත් බවින් වැඩි කෙසෙල් වලට ලෝකයේ ඉල්ලු‍මක් නිර්මාණය කරගැනීමේ ඉඩ තවමත් පවතින බව ලෝක වෙ‍ෙළඳපොළේ තොරතුරු පෙන්වා දෙයි.

ලෝකයේ ජනප්‍රියම පලතුරු ලැයිස්තුවේ ඉහළින්ම සිටිනා කෙසෙල්වලට ඇති ඉල්ලු‍ම සහ ජන‍ප්‍රියතම අපේ රටේද වෙනසක් නැත. කෙසෙල් වගාවට ඉතා උචිත පරිසර තත්ත්වයන්ද ඇති නිසාම කෙසෙල් අපට රටේ ඕනෑම තැනක පහසුවෙන් වගා කරගත හැකි සේම පහසුවෙන් සොයාගත හැකි පලතුරක්ද වන බව කිවයුත්තක් නොවේ.

කෙසෙල් ප්‍රභේද රාශියක්‌ තිබෙන නිසා උචිත ප්‍රභේදය තෝරා ගැනීම ද අසීරු කටයුත්තක්‌ නො වේ. වියළි කලාපයේ හා අතරමැදි කලාපයේ වගා කිරීමට සුදුසු වන්නේ කෝලිකුට්‌ටු, ඇඹුල්, සීනි වැනි කෙසෙල් ප්‍රභේද ය. තෙත් කලාපයේ ඇඹුල්, පුවාලු‍, සීනි, ආනමාලු‍, ඇම්බුන්, රතඹලා, බිං කෙසෙල් ආදී ප්‍රභේද සුදුසු වේ. මේ ප්‍රභේදයන් පලතුරු ලෙස වගා කරන අතර මාළු කෙසෙල් ප්‍රභේද වෙන ම නිර්දේශ කර ඇත.

වෑංජන සඳහා යොදා ගනු ලබන කෙසෙල් ලෙස වියළි කලාපය සඳහා අළු කෙසෙල්, දිය මොන්දන්, අළු මොන්දන් ද, අතරමැදි කලාපය සඳහා අළු කෙසෙල්, මොන්දන් වර්ග, ඇටඹුරු, කිතල ද තෙත් කලාපය සඳහා මොන්දන් වර්ග, ඇටඹුරු, කිනල ද නිර්දේශ කර තිබේ.

එකම කෙසෙල් වර්ගයක් වෙනුවෙන් වෙන්වී ඇති ලෝක වෙළඳපොළේ ඉඩ ට අභියෝග කිරීමට තරම් කෙසෙල් වර්ග අප සතුය. වැදගත් වන්නේ ඊට ඉඩ සොයා ගැනීමය.1901 කාලයේ අස්ථාවර ආර්ථිකයන් හිමි රටවල් විස්තර කරන්නට ඕ.හෙන්‍රි ඇමෙරිකානු ලේඛකයා ‘බනානා රිපබ්ලික්‘ යෙදුම ලෝකයට ගෙන ආවේ කෙසෙල් සහ ඛණිජ වැනි සුළු වෙළදාම් මත යැපෙනා රටවල් උදාහරණ ලෙස දක්වමිනි.

අද ඒ කතා වෙනස් වී ඇත්තේ ලෝකයේ කෙසෙල් වලට ඇති ඉල්ලු‍ම දෙවැනි වන්නේ ලොකයේ දොඩම් වලට ඇති ඉල්ලු‍මට පමණක් වන නිසාය. එනම් ලෝකයේ දෙවැනි වැඩිම ඉල්ලු‍මක ඇති පලතුර ලෙස ලෝක වෙළඳපොළේ ඉහළ වටිනාකම් කෙසෙල් වෙනුවෙන් ගෙවෙනා නිසාය. කාලයත් සමගින් පලතුරු, එළවළු වෙළදපොළේ සෑම නිෂ්පාදනයකටම සේම කෙසෙල් වලටද පැන්වී ඇත්තේ එකම සීමාවක් විතරය. ඒ වස විසෙන් තොර වීමයි.

චීනය අපේ කෙසෙල් වලට ‘කැමැත්ත‘ දෙමින් අපට විවර කර දී ඇත්තේ මේ සා විසල් ලාභ ලැබිය හැකි කෘෂි වෙළදාමක දොරටුවකි.

තවමත් කිසිවකුත් අත නොතබා ඇති කෙසෙල් වෙළදපොළකට පිවිසීමට අපට ලැබුණු ඒ අවසරයෙන් පෙරදිග ලෝකයේ කෙසෙල් වෙළදපොළේ අයිතිය ලබා ගන්නටත් ඒ පාරේම යමින් අපේ පලතුරු ලෝකයට ගෙනයන්නටත් අපට මාවතක් තනා ගත හැකිය.

ලෝකයේ ‘සල්ලි සදනා’ කෘෂි වෙළඳාමක් බවට පත්වී ඇති කෙසෙල් වෙළඳපොළේ දොරටුව විවර වී තිබියදීත් දොරටුව අසලට වී කල් මැරීමෙන් අප බලා සිටියදීම අපේම අසල්වැසියකු ඒ වෙළඳපොළ අල්ලා නොගනී යැයි කාහට කිව හැකිද. ප්‍රමාදය පසුතැවීමක් කර නොගෙන යුහුසුලුවීම් අපේ කෙසෙල් ගොවියාට ලෝකය පෙන්වනු ඇත. අපේ කෙසෙල් ගොවියා දෙස ලෝකයම බැලුවොත් කෙසෙල් ගොවියාගේ දුප්පත්කම පැන දුවනු ඇත.

අදහස්