BOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD

ශාහිඩ් - මිරා යුවළට පුතෙක්

ජනප්‍රිය නළු ශාහිඩ් කපූර් පසුගියදා දෙවැනි වතාවටත් පිය පදවිය ලැබුවා. මේ වතාවේ ඔහුගේ බිරිය මිරා රාජ්පුට් මෙලොවට බිහි කළේ පුතෙක්. ශාහිඩ් - මිරා යුවළ පළමු වරට ලැබුවේ දියණියක්. ඇගේ නම මිෂා. ඇය දැන් අවුරුදු 2 ක දැරියක්.

මුලින් ම ‍රෝහලට පැමිණියේ ශාහිඩ් ගේ මව, ජනප්‍රිය නිළියක වූ නීලිමා අසිම්. ඒ සමඟම ශාහිඩ් ගේ බාල සොහොයුරු ඉෂාන් ද පැමිණියා. (ඉෂාන් මෑතකදී ‘ධාඩක්’ චිත්‍රපටයේ රඟපෑමෙන් බොලිවුඩ් සිනමාවට එක්වුණා.) නීලිමා අසිම් තමන්ගේ පුංචි මුනුපුරා දැකීමෙන් දැඩි සතුටට පත්ව සිටියා. “මට මුළු ලෝකෙම ලැබුණ වගෙයි. මගේ පුතා ශාහිඩ්ටත්, ලේලිය මිරාටත් දරුවන් දෙන්නාටත් දෙවියන්ගේ පිහිටයි. දැන් ‍මගේ වැඩිමල් පුතාගේ පවුල අංග සම්පූර්ණයි. මට ඒ ගැන හරිම සතුටුයි. ඒ වගේ ම ලොකු ආඩම්බරයක් දැනෙනවා. මගේ මිනිබිරිය මිෂාට දැන් පුංචි මල්ලියෙක් ඉන්නවා. දෙවැනි වතාවටත් අත්තම්මා කෙනකු‍ වෙන්න ලැබීම ගැන මට තියෙන්නේ කියාගන්න බැරි සතුටක්” ශාහිඩ් ගේ මව එලෙස කීවේ මුළු ලොවටම දැනෙන අයුරින්.


අන්තර්ජාලය මරාදැමූ සොනාලි යළි එයි

බොලිවුඩ් තිරයේ ජනප්‍රිය නිළියකව සිටින සොනාලි බෙන්ඩ්‍රේ මීට මාස දෙකකට පමණ පෙර සිට පිළිකා රෝගයට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටිනවා. ඇය ඒ බව සිය ට්විටර් ගිණුම් ඔස්සේ ප්‍රකාශ කර තිබුණා. මේ වනවිට ඇය ප්‍රතිකාර ලබමින් සිටින්නේ ඇමරිකාවේ නිව්යෝක් නුවර රෝහලකින්. සොනාලි එලෙස ප්‍රතිකාර ලබද්දී පසුගිය සතියේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිරී ගියේ ශෝක ජනක පුවතක්. එහි සඳහන් වුණේ සොනාලි මිය ගිය බවයි. නමුත්, එය සත්‍ය පුවත් නොවෙයි. මේ සුරූපී නිළිය තවමත් ජීවත්ව සිටිනවා. සොනාලිගේ සැමියා වන චිත්‍රපට නිෂ්පාදක ගෝල්ඩි බෙල් තම ආදරණීය බිරිය මිය ගිය බවට පළවූ සමාජ මාධ්‍ය ජාල පුවත් ගන කතා කළේ දැඩි වේදනාවකින්.

ඔහු ‍ෙම් අසත්‍ය පුවත මුලින් ම දුටුවේ ඉන්දීය දේශපාලනඥයකු වන රාම් කාඩම් විසින් තම ට්විටර් පිටුවෙහි සොනාලි මිය ගිය බවට තැබූ සටහනකින්. ඉන්පසුව තම ට්විටර් පිටුවෙහි සටහනක් තැබූ ගෝල්ඩි, “මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරන අයගෙන් මම ඉල්ලන්නේ මේවා තුළ වගකීමකින් යුතුව කටයුතු කරන්නය කියලයි. මිනිස්සුන්ගේ සිත් රිදවන්නේ නැතිව මේ ‍වගේ බොරු ආරංචි පතුරුවන්න එපා කියලත් මම ආයාචනා කරනවා.” යැයි ප්‍රකාශ කළා.

 


ශ්‍රී දේවි ගේ රුවක් ස්විට්සර්ලන්තයේ

1989 දී තිරගත වුණු ‘චාන්ද්නි’ චිත්‍රපටයට හිමි වුණේ ඉහළ රසික ප්‍රතිචාරයක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑවේ මෑතකදී මෙලොවින් සමුගත් ප්‍රවීණ නිළි ශ්‍රී දේවි. ‘චාන්ද්නි’ චිත්‍රපටයේ දර්ශන රැසක් රූගත වුණේ ස්විට්සර්ලන්තයේ. ශ්‍රී දේවි එදා එරටට පැමිණ මේ චිත්‍රපටයේ රඟපෑ අයුරු එරට වගකිව යුතු අධිකාරීන්ට අමතක වී නැහැ. ඒ නිසයි, ඔවුන් තීරණය කර ඇත්තේ ශ්‍රී දේවි ගේ ජීවමාන ස්වරූපයේ පිළිරුවක් නිර්මාණය කරන්න.

‘චාන්ද්නි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ සිනමාකරු යාෂ් චොප්රා. ඔහුගේ පිළිරුවක් ද 2016 දී ස්විට්සර්ලන්තයේ ඉන්ටර්ලේකන් ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණා. ‘යාෂ් චොප්රා නිර්මාණය කළ චිත්‍රපට වලින් වැඩි ප්‍රමාණයක් ස්විට්සර්ලන්තයේ රූගත වුණා. එය මේ රටේ සංචාරක කර්මාන්තයටත් රුකුලක් වුණා. දැන් අපි තීරණය කර තිබෙනවා ශ්‍රී දේවිගේ පිළිරුවකුත් ඉන්ටර්ලේක් ප්‍රදේශයේ ස්ථාපිත කරන්න’.” ස්විස් රජයේ ඉහළ නිලධරයෙකු එලෙස කීවා. “දැන් ඉන්දීය සංචාරකයන් ස්විට්සර්ලන්තයට වැඩියෙන් ම පැමිණෙන්නේ යාෂ් චොප්රා 1995 දී නිෂ්පාදනය කළ ‘දිල්වාලේ දුල්හානියා ලෙ ජායන්ගේ’ චිත්‍රපටය නිසයි. මේ චිත්‍රපටයේ දර්ශනත් ස්විට්සර්ලන්තයේ රූගත වුණා” ඔහු තවදුරටත් පැවසුවා. 2011 දී ඉන්ටර්ලේකන් ප්‍රාන්ත රජය යාෂ් චොප්රා ගෞරව සම්මානයකින් පුදනු ලැබුවා. එම ප්‍රාන්තය තුළ ධාවනය වන දුම්රියක් ද යාෂ් චොප්රා වෙනුවෙන් නම් කර තිබෙනවා.

 

අදහස්