මුහුණට මුහුණ | සිළුමිණ

මුහුණට මුහුණ

ඇය තරු අතර සුදිලෙන සඳරාජිනියයි. පනස් වසරක අභිමානවත් රංගන චාරිකාවේ, රංගන මහිමාලංකාරය මේ යැයි කියනු ලැබූ ජාතියේ පිනෙන් පහළ වූ සිනමා නිළියයි. සිංහල සිනමාව නමැති රසෝඝයෙහි රූපණයෙන් සුපුෂ්පිත මල් කැකුළයි. ලාංකේය සිනමා කලාව තුළ අමරණීය මතකයන් සලකුණු කළ හෙළ සිනමා රැජනයි. අටුවා ටීකා, ටිප්පණි කුමටද? ඇය මා‍ලිනී සෙනෙහෙලතා ෆොන්සේකා නම් වන්නීය.

ඔහු ඇය හා සමකාලීන නොවූවත් බොහෝ දුර අතීතයක සිට රංගන දිවියේ ඇගේ ආභාසය ලැබීය. තම මාමා වූ විජය කුමාරතුංගයන්ගේ අඩි පාරේ යමින්, එහෙත් ස්වාධීනව නැඟී සිටිමින් රංගනයේ විශිෂ්ට දස්කම් දැක්වීය. රංගනයෙන් දේශපාලන කරලියට පිවිසුණු ඔහු ජීවන් කුමාරතුංග නම් වන්නේ ය. මෙවර මුහුණට මුහුණින් හමුවන්නේ මේ දෙපළයි.

* ඔබගේ රංගන දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් ඇගයීම් උලෙළක් පැවැත්වුණා‍.

මා වෙනුවෙන්, කැපවීමෙන් ඒ කටයුතු සම්පාදනය කළ සැමටම මාගේ හෘදයංගම ස්තුතිය පළ කරනවා.

* රංගන ජීවිතයේ අලුත්ම තොරතුරු මොනවාද?

දැනට චත්‍ර වීරමන්ගේ චිත්‍රපටයක රඟපෑම් අවසන් කර දෙබස් කැවීම් කරනවා. දමයන්ති ෆොන්සේකාගේ ‘මීදුම් අම්මා’ ටෙලිනාට්‍යයේ රඟපෑම් කටයුතුවල යෙදෙනවා.

* කොහොමද ජීවන් ගැන මුල්ම මතකය...

ජීවන් පුංචි කාලයේ තමයි මට හමුවුණේ. පාසල් වියේදීම එයා චිත්‍රසේන, පණීභාරත කලායතනයට එනවා‍. බෙර වාදනයට ආසා කරපු පුංචි කොලු ගැටයෙක්. බෙරේ එල්ලෙනවා මට මතකයි. ඒ තමයි ජීවන්, මා අධ්‍යක්ෂණය කළ ‘අහිංසා’ චිත්‍රපටයේ ජීවන් පසුව හොඳ චරිතයක් කළා.

* ජීවන්ගේ ගතිගුණ ඔබ දකින්නේ කොහොමද?

ජීවන් හුඟාක් තැන්පත් ගතිගුණ තියන හිත ඇතුළේ දඟකාරකම තිබුණත් වගකීමෙන් කටයුතු කරන කෙනෙක් ලෙස මා පෞද්ගලිකව හඳුනා ගන්නවා. ජීවන්ට පැමිණි මුල් කාලයේ එක පාරටම දක්ෂතා පෙන්වන්න නොලැබුණත් ක්‍රමයෙන් සිනමා නිර්මාණ තුළින් ඔහුගේ හැකියාව පෙන්වූවා. තමන්ගේ මාමා විජය වුවත් ඔහුව උපයෝගී කරගෙන ඉදිරියට යන්න ජීවන් උත්සාහ කළේ නැහැ. තමන්ගේ හැකියාවෙන් ම තමයි නැඟී සිටියේ.

* ඔබ දකින ඔහුගේ අඩුපාඩු මොනවාද?

මුල් කාලයේ ජීවන් කටහඬ හසුරුවන ආකාරයේ අඩු පාඩු තිබුණා. නමුත් ක්‍රමයෙන් ඔහු ඒවා හදාගත්තා. ජීවන් විවිධ චරිතවලට අනුගත වී ඒවා සාර්ථකව ඉදිරිපත් කළා. ඕනෑම රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට තමන්ට ලැබෙන චරිතය අනුව තමයි එහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රඳා පවතින්නේ. එහිදී අදාළ රංගධරයාව ඒ කරා මෙහෙයවන්නේ අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාව මතයි. කොහොම වුණත් ජීවන් තමන්ට ලැබෙන චරිතවලට සාධාරණය ඉටු කළා.

* ආගම දහමට ඔබේත්, ජීවන්ගේත් ඇති නැඹුරුව...

ජීවන් බෞද්ධ භාවනාවට යොමු ව‍ූ කෙනෙක්. ඒ තුළින් ඔහු ජීවිතයේ සැබෑ යථාර්ථය, ගැඹුරු හරය අවබෝධ කරගෙන කටයුතු කරන කෙනෙක් ලෙස මා දකිනවා.

ඉර, හඳ, තාරකා ආදී ස්වභාවධර්මයේ විපර්යාසවලට සමගාමීව අපගේ ජීවිතවල සිදුවන වෙනස්කම් ගැන මා දකින්නේ පෙර කුසලාකුසලවල ප්‍රතිඵලයන් ලෙසටයි.

පූර්වයේ සිදුකරන කුසල හා අකුසල කර්මයන් පලදීමේ තෝතැන්න තමයි අපට ලැබී තියන මේ ජීවිතය‍.

 මේ කලා තෝතැන්න. මමත්, ජීවනුත් දෙදෙනාම මිථුන ලග්නයේ උපන් අය. පුංචි කාලයේ ඉඳලම මට බෞද්ධාගමික නැඹුරුව තිබුණා. තාත්තාට හාමුදුරු කෙනකුටත් එහා ගිය දැනුමක් තිබුණා. බෞද්ධ විභාග මම සමත් වුණා. අම්මගේ අතේ එල්ලිලා පන්සල් ගියේ. කාකපල්ලියේ අනුරුද්ධ, කඹුරුගමුවේ වජිර යන හාමුදුරුවරු ඇසුරේ දැනුමක් ලැබුවා.

* ඔබ හෙළයේ නිළි රැජින... ඒ රුව ගුණ තාමත් එලෙසමයි.

මම හිතන්නේ පෙර කුසල අකුසල කර්ම ඊට බලපාන්න ඇති. අනික් අතට කෙනෙකුගේ ලස්සන, දක්ෂතා තීරණය කරන්නේ අනිත් අය විසින්. ඔවුන්ගේ දැක්මට හා බුද්ධියට ගෝචර වන ආකාරයටයි.

කොහොම වුණත් මම එදා හිටිය මාලනියමයි. මේ ක්ෂේත්‍රයේ නිත්‍ය විශ්‍රාම යෑමක් නැහැ. ආශ්චර්යය ඒකයි.‍

* ඔබත් ජීවනුත් දෙදෙනාම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ අය.

පාර්ලිමේන්තුව කියන්නේ රටේ මිනිසුන්ගේ ජීවිතය, ඒ අයගේ ඉරණම විසඳන තැන. මම පාර්ලිමේන්තුවට ගියේ රංගනයෙන් දිනාගත් නම නිසා. ජීවන් ජනතා වරමින් ආවා. අපි දේශපාලනය විතරක් නෙමෙයි ඊටත් වඩා වෙනත් ක්ෂේත්‍රයකට ගියත් කලා දිවියෙන් මිදෙන්න බැහැ. ඒත් අපිට හැකි පමණින් ජනතාවට සේවයක් කළා. කුමන ක්ෂේත්‍රයකින් හෝ වේවා ජනතාවට සේවයක් කළ හැකිනම් එය තමයි වටින්නේ. සිනමාවෙන් රසිකයන්ට සොඳුරු දේ ලබාදුන්නා වගේ ම දේශපාලන වේදිකාවෙනුත්, ප්‍රජාවට හැකි පමණ දේ ලබාදුන්නා.

* ජීවන්, කලාව, දේශපාලනය, විවාහය සමබරව ගෙන යනවා. මේ හැම දේ තුළින් ම ලබන ආදරය සෙනෙහස, ජීවිතය ජීවත් කරවනවා නේද?

ඔව්. ජීවන්ගේ ජීවිතය සමබරයි කීවොත් නිවැරැදියි. මටත් එක් එක් කාලවලදී ආදරය උපරිමයෙන් ලැබුණා. දෙමවුපියන්ගෙන් ලැබුණු ආදරය ආශිර්වාදය ඉතා ඉහළයි. ඒත් ආදරය අහිමි වුණා කියා තැවීමක් නැහැ. මේ ලෝකෙ කිසිම දෙයක් ස්ථිර නැහැ. හැමදේම අනිත්‍යයි... මේ සංසාර ගමන් මඟ දම්වැලක් වගෙයි. දම්වැල ළිහිල් කරන අවසන් පුරුක භවයක අවසානයයි.

* සිංහල සිනමාවේ හෙට දවස...

අපේකම අගය කරමින් අපේ නිර්මාණ ජාත්‍යන්තරය දක්වා මෙහෙයවන එඩිතර නිර්මාණකරුවන් අපට සිටිනවා. නවක පරපුරේත් හුඟාක් දක්ෂතා තියන අය සිටිනවා. ඔවුන් අතර තරගයක් තියනවා. ඔවුන් ජාත්‍යන්තර ඇගයීම්වලට පත්වෙනවා. ජාති භේදවලින් නොබෙදී ශ්‍රී ලාංකික අනන්‍යතාවය රැකගෙන කැපවීමෙන් කටයුතු කරනවා නම් සිනමාවේ හෙට දවස ගැන යහපත් බලාපොරොත්තු තැබිය හැකියි.

මාලිනී නවකයන්ට රංගන පාසලක්

ජීවන් කුමාරතුංග

* මේ දිනවල වැඩි සද්දයක් නැහැ. අලුත් තොරතුරු කොහොමද?

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවල යෙදෙනවා. වාර්ෂික ප්‍රසංගවලට සූදානම් වෙනවා. මීගමුවේ තරු සමඟ රැයක් තිබුණා.‍ ඒ වගේම නව චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න පිටපත ලියලා අවසන්. එය වර්තමාන සමාජයේ ගුණාත්මකභාවය රැකෙන වාණිජ චිත්‍රපටයක්.

* නිළි රැජන මාලිනී ෆොන්සේකා මුලින් ම හමුවුණු දවස මතකද?

මම ඒ කාලයේ කොළඹ පාසල් යනවා. විජය මාමා, ධර්මසේන පතිරාජ, මාලිනී ෆොන්සේකා, ඒ කාලෙයේ තලකොටුවවත්තේ පල්ලෙහා ගෙදර (ඉලංගසිංහ මහත්තයාගේ ගෙදරදී) නිතර හමුවෙනවා. මමත් විජය මාමාත් එක්ක ගිහින් තමයි මාලිනීයව මුලින්ම හමුවුණේ.

* මාලනියගේ යහපත් ගතිගුණ...

සිනමාවේදී ඈ හරිම කාර්ය බහුලයි. ඒත් චිත්‍රපට සහාය ශිල්පීන් කා සමඟත් ඈ හරි සුහදශීලීව කටයුතු කරන බව මම බාල කාලයේ සිටම දුටු දෙයක්. ඒ වගේම ඒ බොහෝ අයට මාලිනිය වෘත්තීය වශයෙනුත්, පෞද්ගලිකවත් උදව් කළා. ඇය හරිම නිහතමානියි. නිළි රැජන කියලා කවදාවත් ඒ ඔටුන්න දාගන්නෙ නැහැ. හරිම කරුණාවන්තයි. විජය - මාලනී රංගනවේදීන් ගැන මම කුඩා කාලයේ. අපේ අම්මා තාත්තා ඉහළින් අගය කරමින් කතා කරනවා මම අහලා තියනවා.

* මාලිනියගේ හැකියාවන්...

ඇය අසහාය වූ රංගන කුසලතාවකින් පෝෂණය වූ කාන්තාවක්. දේශීය සිංහල අනන්‍යතාව, තමයි මාලිනිය. ඇයගේ ලස්සන තාමත් නොමැකී තියනවා. මාලිනී අක්කා රෙද්ද හැට්ටේ ඇන්දත්, ඩෙනිම ඇන්දත්, සාරිය ඇන්දත්, ශ්‍රී ලාංකික කාන්තාවක් බව හඳුනාගත හැකිය.

මාලිනී ෆොන්සේකා නවකයන්ට ගුරුවරියක්. අපට අංගසම්පූර්ණ සිනමා කලාව, රංගනය පිළිබඳ හැදෑරීමට මාලිනී අක්කා හරියට රංගන පාසලක් වගෙයි. පෙර සංසාරේ ඉඳලා ගෙනෙන රංගනය පිළිබඳ වාසනා ගුණයක් ඈට උපතින් ම දායාද වුණා. ඇය සිනමාවට මුළු දිවියම කැප කළා‍.

* මාලිනියගේ ඔබ දකින අඩුපාඩු මොනවාද?

මාලිනී අක්කා සමහර වෙලාවට හැඟීම්බරව යම් යම් තීන්දු තීරණවලට එළඹෙනවා. එවැනි දේ තුළින් ඇයටත් සමස්ත සමාජයටත් විශාල පාඩුවක් සිදුවෙනවා.

* මාලිනියගේ හොඳම රංගනය...

බොහෝ චිත්‍රපටවල සාර්ථක රංගනයන් තිබුණා. බඹරු ඇවිත්, එයා දැන් ලොකු ළමයෙක් මම විශේෂත්වයක් දකිනවා.

ඇයගේ අධ්‍යක්ෂණය යටතේ මා ‘අහිංසා’ චිත්‍රපටයේ රඟපෑවා. හොඳ හොඳ සෙල්ලම්, නැව ගිලුණත් බෑන් චූන් ආදී චිත්‍රපටවලදී මා ඇගෙන් උපදෙස් ලැබුවා. මාලිනිය සම්භාව්‍ය, වාණිජ චිත්‍රපට හැම එකකටම සාධාරණය ඉටු කළ නිළියක්.

* මාලිනී ෆොන්සේකා දේශපාලනයට පිවිසීම ඔබ දකින්නේ කොහොමද?

මාලිනී ෆොන්සේකා නම් වූ සුවිශේෂ රංගනවේදිනියට කරන ගෞරවයක් ලෙසින් තමයි ඇයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරයක් ලබාදුන්නේ. මාලිනී අක්කා දේශපාලනයට පිවිසීම මා නම් අනුමත කරන්නෙ නැහැ. ඇය අපිට ජාතික වස්තුවක්. පොදු වස්තුවක්.

එවැන්නියක් දේශපාලන කඳවුරක් නියෝජනය නොකළා නම් හොඳයි. කොහොම වුණත් දේශපාලනයේදීත් ඇය තම වගකීම ඉටු කළා.

* ඔබත් දැන් ඒ දේශපාලන වේදිකාවේ...

මම දේශපාලනික වශයෙන් සමාජීය වගකීමක් ඉටුකරන්න උත්සාහ දරනවා. මට දේශපාලන විරුද්ධවාදීන් නැහැ. මම ඇමැති ධූරය දරද්දී වුණත් පක්ෂ භේදයෙන් තොරවයි කටයුතු කළේ. දැනටත් මම දේශපාලනයේ නියැළුණාට රංගනයට තමයි හිත. ගෙදරදී තාත්තා කෙනෙක් විදිහටත්, සැමියෙක් ලෙසටත් මගේ වගකීම ඉටුකරනවා. අමාෂා, මලීෂා දියණියන් විවාහවෙලා. ෂෙරීන්ගෙන් උපරිම සහාය ලැබෙනවා මට.

* ආගම, ජ්‍යොතිෂය ගැන ඔබේ දැක්ම.

මම වුවමනා වෙලාවට හඳහන බලනවා. ඒවයේ කියූ දේවල් අද සැබෑවෙලා ති‍ෙයනවා. මම රංගනය ගැන හිතලවත් නැති පුංචි කාලයේ හැදූ හඳහනක් මම අවුරුදු 17 දී ජ්‍යොතශශාස්ත්‍රඥයකුට බලන්න දුන්නා. ඔහු කීවා කවදාහරි, පාන් රාත්තල ඔතාගෙන එන පත්තර කොළේ පවා තමන්ගේ ඡායාරූපය වැටෙන ජනප්‍රිය කෙනෙක් වෙනවා කියලා.

මම උපතින් කතෝලික පවුලක වුණත් බුදුදහමට සම්බන්ධ මිතුරන් නිසා බුදුදහමට නැඹුරු වුණා. ‘මමය’ ‘මගේය’ කියලා ගොඩ බදාගන්නවට වඩා හැමදෙයක්ම දෙස උපේක්ෂාවෙන් බැලිය හැකි ගැඹුරු යථාර්ථය, ගැඹුරු සනාතන දහම මම උගත්තේ බුදුසමයෙන්. මගේ හඳහනෙත් කියලා තිබුණා මම කතෝලික වුණත්, වැඩි ඇසුර තියෙන්නේ හාමුදුරුවොත් එක්කයි කියලා. මාලිනියටත් ඒ බෞද්ධ නැඹුරුව තියනවා. 

අදහස්