මටත් තිබුණා ප්‍රේමයක්
තාම ඉදහිට මතක දලුලන
ප්‍රේමයක්...
කාලයේ දුර ගෙවා ආ මුත්
හිතේ ගැඹුරේ නිදා නොනිදන
මටත් තිබුණා ප්‍රේමයක්...
කුළුදුලේ හිත හීන හැඩකළ
මතකයේ සිව් කොනම දඟකළ
මටත් තිබුණා ප්‍රේමයක්
කුළුදුලේ පිපි ප්‍රේමයක්...
නෙත් සරින් නෙතු වලට ඉඟිකළ
සුසුම් සරකින් පවා රිදවුණ
වෙන්ව යන බව කිසිත් නොසිතුන
මටත් තිබුණා ප්‍රේමයක්
අදත් නොමැරුණ ප්‍රේමයක්
ගායනය- චන්දන ලියනාරච්චි
පද රචනය- රසික. ඩී. දුමින්ද
සංගීතය -දර්ශන වික්‍රමතුංග
ප්‍රේමයේ අවසානය හිමිකර ගැන්මම නොවේ. නමුදු ප්‍රථම ප්‍රේමය හිමිකර ගන්නට බැරිව අදටත් හිතින් දුක් විඳින්නෝ අප අතර ඕනෑ තරම් වෙති. මේ එවන් වූ පෙම්වතුන්ගේ ගීතයයි. මේ ගීතය ඇසෙන වාරයක් පාසා මගේ මනසේ මැවෙන්නේ ඇගේත්, ඔහුගේත් මුහුණුය.
ඔහු මට හමු වූයේ පාසල් මිතුරකු ලෙසයි. පාසල් වියෙන් පසු යළි ඔහු මට හමු වූයේ රැකියාවට යන්නට පටන් ගත් පසුවය. බස්රියේදී හමුවන ඔහු අසල නිතරම හැඩකාර තරුණියක දකින්නට ලැබිණි. ඇය මඟින් බැස යන්නීය. ඒ මගේ නෝනා. ඔහු දිනෙක කීවේය. කාලය ගෙවී ගියේය . නමුදු ඔහු පෙර මෙන්ම බස්රියේදී හමු විය. ඇතැම් දිනෙක ඇය ද හමුවිය. නමුත් පෙර දවස එක ළඟින් අසුන් ගෙන ගිය දෙදෙනා යන්නේ වෙන් වෙන්වය. දිනෙක ඇය මා හා කතා කළාය. ‘‘ ඔයාගේ යාළුවට කියන්න බොන්න එපා කියලා. එයා දැන් බීමට ඇබ්බැහි වෙලා. ” ඉන් එහා කිසිවක් නොකියූ ඇය මා මඟ හැර යන්නට ගියාය. දින කිහිපයක් මම ඔහු දුටුවෙමි. ඒ සැන්දෑ වරුවන්වලය. ඇය කියූවේ සත්‍යයකි. ඔහු ඒ හැම හැන්දෑවකම සිටියේ බීමතින්ය. කාලය ගෙවී ගියේය. මම ඔවුන් නොදැක්කෙමි. දිනෙක ඔහු මට වෛද්‍යවරයා ළඟදී හමු විය. ඒ අන්ළඳක් හා සිඟිත්තියක සමඟය.
‘‘නංගී මේ මගේ නෝනා. ”
‘‘එතකොට”? මම මගෙන්ම ප්‍රශ්න කළෙමි.
වසරක්, වසර දෙකක් පමණ ගෙවී ගියේය. දිනෙක මම ඔවුන් දුටිමි. සිතට සතුටක් දැනිණි. ඇයත් ඔහුත් පෙර මෙන් බස් රියේ එකළඟින් වාඩි වී සිටියහ. ඇය සිටියේ ඔහු උරහිසට හිස තබාගෙනය. සුපුරුදු ලෙසින්ම ඇය මඟින් බැස ගියාය.
ඔහු මා හා කතාවට එක් වුයේය.
‘‘නොගැලපීම් ගොඩක් තිබුණා. බැඳලා අවුරුදු නවයකට පස්සේ අපි වෙන් වුණා. ඊට පස්සේ තමයි මම ආයෙත් බැන්දේ. ඒත් එයා බැන්දේ නැහැ. මෙයා මා එක්ක බස් එකේ යනවා. මටත් මෙයාව අමතක කරන්නන අමාරුයි එයාටත් එහෙමයි. වෙන් වුණාට අපි තාමත් අපිට ආදරෙයි”
ඒ ප්‍රථම ප්‍රේමයේ අරුමයයි. තාම ඉඳහිට මතක දලුලන ප්‍රේමයේ අරුමය එසේය.
ප්‍රවීණ ගායන ශිල්පී චන්දනලියනාරච්චි ගයන මේ ගීතය ඇසූ මොහොතේ මගේ මතකයට ආයේ මුලින් කියූ පෙම් යුවළය. තවම ඉඳහිට දවසක මම ඔවුන් දකිමි. මෙවැනි පෙම්වතුන් මේ සමාජයේ ඕනෑම තැනක සිටින බව නිසැකය. ලෝකය ඉදිරියේ කියා ගන්නට බැරිව ළතැවෙන මුළු ලොවින් සැඟවී සිතින් හඬන, යට ගිය මතකයන් සමග ජීවත් වන අනන්ත වූ පෙම්වතුන් අපේ සමාජයේ සිටී. දෙතුන් වතාවක් බොහෝ නිවී සැනසිල්ලේ ඇසූ ගීතය ගැන ලියන්නට නවපරපුරේ ගීපද රචක රසික. ඩී. දුමින්දගෙන් ගීතයේ අත්දැකීම පිළිබඳ විමසූවෙමු.
‘‘මම වෙළෙඳ ක්ෂේත්‍රයේ රැකියාව කරන කෙනෙක්. දවසක් මම කුරුණෑගල ගිය වෙලාවක නවාතැන්පළට වෙලා ඉන්දැද්දී මට ගුවන් විදුලියේ යන ගීතයක් ඇහුණා . ඒ ගීතය ඇහුණාම මට බොහෝ දේ සිතුණා . කෙනකුට ප්‍රථම ප්‍රේමය අමතක කරන්න හරි අමාරුයි. ආදරේ කියනතුරු, ඒකට උත්තරයක් ලැබෙන තුරු, හමුවනතුරු නින්ද යන්නේ නැහැ.
නිදි නැතිව කල්පනා කරන්නේ ඒ ගැන. ආදරය ගැන හිත හුඟක් වද වෙනවා. ප්‍රථම ප්‍රේම විවාහයෙන් කෙළවර නූනත් හැම විටම අපට එය අමතක කරන්න බැහැ. හිත යට ඒ ප්‍රේමය සැඟවී තියෙනවා. මෙන්න මේ හැමදේම සිහිපත් වෙලා තමයි මම ‘මටත් තිබුණා ප්‍රේමයක්.....’ ගීතය ලියූවේ. ගී පද ටික මම මුලින්ම දුන්නේ දර්ශන අයියට . ඔහු හැම විටම අපට හොඳ ගීත, හිතට දැනෙන විදිහට ලියන්න උනන්දු කරන කෙනෙක්. දර්ශන අයියා තනුව නිර්මාණය කරලා චන්දන ලියනාරච්චි අයියට දුන්නේ. චන්දන අයියා පද වලට වගේම තනුවටත් බොහෝම කැමැති වුණා.”
ප්‍රේමය විරහව පිළිබඳ අරුත් සුන් ගී ඕනෑ තරම් අසන්නට ලැබේ. එමෙන්ම ඒ ගී සඳහා යොදාගෙන ඇති සංගීතය ද ඝෝෂාකාරිය. හිතට දැනෙන ගීතයක් බිහිවන්නේ නම් ඒ අතළොස්සකි. ඒ අතළොස්ස අතරින් මේ ගීතය නැවත නැවතත් අසන්නට තරම් හිතට දැනේ. එය එසේ වන්නට හේතුව මිහිමත ප්‍රේමයෙන් තොරව,බැඳීම් නැති බැවිනි.