එ. ජාතීන්ගේ සමුළුවට ජනපති නිව්යෝර්ක් යයි | සිළුමිණ

එ. ජාතීන්ගේ සමුළුවට ජනපති නිව්යෝර්ක් යයි

එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සමුළුව ඇතුළු රාජ්‍ය උත්සව රැසකට සහාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ 22 දා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියේය. ඒ අනුව හෙට 24 වන දා ලෝක මත්ද්‍රව්‍ය ගැටලුව පිළිබඳ ගෝලීය ක්‍රියාමාර්ගයන් සඳහා වු හමුවට එක් වන ජනාධිපතිවරයා එදිනම නෙල්සන් මැන්‍ඩෙලා සාම සමුළුවේ සමාරම්භක අවස්ථාවටද එක් වී එම සමුළුව ඇමතීමටද නියමිතය.

එදින ඇමරිකා ජනාධිපතිවරයා සහ එම ආර්යාව විසින් පවත්වනු ලබන රාත්‍රී භෝජන සංග්‍රහයට එක් වීමටද නියමිතය.

25 වන දින එක්සත් ජාතීන්ගේ මහාලේකම්වරයා විසින් පවත්වනු ලබන විශේෂ පිළිගැනීමේ උත්සවයට සහාභාගී වන ජනාධිපතිවරයා පසුව එක්සත් ජාතීන්ගේ 73වන මහා මණ්ඩල සැසිවාරයේ සමාරම්භක අවස්ථාවට සහභාගීවනු ඇත. ඉන්පසු පැවැත්වෙන්නේ සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් පිරිනමනු ලබන දිවා භෝජන සංග්‍රහයයි.

ඉන් පසුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ජනාධිපතිවරයා විසින් අමතනු ඇත. රාජ්‍ය නායක සමුළුව ඇරැඹෙන පළමු දිනයේම ජනාධිපතිවරයා එම සමුළුව ඇමතීම විශේෂ කරුණක් වනු ඇත.

Comments