සන්තියාගෝ නම් සැරිසරන්නා | සිළුමිණ

සන්තියාගෝ නම් සැරිසරන්නා

‘සන්තියාගෝ නම් සැරිසරන්නා’ යනු බ්‍රසීල ජාතික පාවුලෝ කොය්යෝ නම් ලේඛකයා විසින් පෘතුගීසි බසින් රචනා කරන ලදුව, 1988 වසරේ මුද්‍රණයෙන් නිකුත් වූ නවකතාවේ ඇලන් ආර්. ක්ලාර්ක් විසින් කරන ලද ඉංගිරිසි පරිවර්තනයේ සිංහල පෙළයි.

සෙමනේරියක අධ්‍යාපනය ලබමින් සිටින සන්තියාගෝ නම් ගැටවරයාට ලොව වටා සංචාරය කිරීමේ ආශාවක් ඇතිවෙයි. ඔහු ඒ බව සිය පියා සමග පවසයි.

එවිට පියා කියන්නේ තමන්ගේ රැහේ එබඳු සංචාරකයන් නොමැති බවත් සිටින්නේ එඩේරුන් බවත් එසේ පිටත්ව යනවා නම් බැටළු පට්ටියක් ද රැගෙන යන ලෙසත් ය. පියා ඔහුට කාසි තුනක් තෑගි දෙයි. සන්තියාගෝ බැටළු පට්ටියක් ද ගෙන ගමනට සූදානම් වෙයි.

සෙමනේරියේ දී ඔහු ලතින් හා ස්පාඤ්ඤ භාෂා උගත් හෙයින් කියවන්නට දැන සිටි අතර ඔහු කියැවීමට පොතක් ද රැගෙන යයි.

අන්දාලුසියාවට යන ඔහු එහි පැරණි නටබුන් පල්ලියක රැය ගත කරයි. තමාට ඊජිප්තුවේ පිරමිඩ් ඇති පෙදෙසේ දී නිධානයක් හමුවන බව දෙරැයක දී ම ඔහු සිහිනෙන් දකියි.

සිහිනය විභාග කරන ජිප්සි ගැහැනියක එලෙස නිධානයක් ලැබෙන බවත් එය ගැනීමට ඊජිප්තුවට යා යුතු බවත් කියයි. පසුදා ඔහුට තමා සලෙම් හි මෙල්චියෙදෙක් රජු ලෙසින් හඳුන්වා දෙන වෘද්ධයෙක් හමු වෙයි. ඔහු තරුණයාට ඊජිප්තුවට යා යුතු ආකාරය පිළිබඳ උපදෙස් දෙයි. ‘අමතක කරන්න එපා ඔයා කරන කියන හැමදේ ම යොමුවෙලා තියෙන්නේ එකම අරමුණකට මිසක් වෙන දේකට නොවේය කියන එක. ඒ වාගේම මඟ සලකුණුවලින් කියැවෙන දේත් අමතක කරන්න එපා. ඔක්කොටම වඩා අවසානය එළැඹෙන තුරු කොයිම වෙලාවකදීවත් ඔයාගෙ ඉරණම සොයාගෙන යන ගමන අමතක කරන්න එපා’

සමුදුර තරණය කොට අප්‍රිකාවට පැමිණෙන තරුණයා මිතුරු වෙසින් එන සොරකුට මුළා වී බැටළුවන් විකුණා ලබා ගත් සියලු මුදල් ඔහුට දෙයි. තමන් රැවටුණු බව වටහා ගන්නා ඔහු පළිඟු සාප්පුවක වැඩ කොට මුදල් උපයා ගනියි.

වසරක පමණ කාලයක් එහි ගත කරන ඔහු වෙළෙන්දාගෙන් සමුගෙන පිරමිඩ් වෙත යා හැකි තවලමකට එක් වෙයි.

තවලමේ දී ඔහුට රසඥයකු සොයා යන ඉංගිරිසියකු හමු වෙයි. ඉංගිරිසි මිනිසා රසඥයා සොයන්නේ ඊයම් රත්රන් බවට පත් කළ හැකි ක්‍රමය අසා ගන්නට ය.

එහෙත් රසඥයා හමු වන්නේ සන්තියාගෝට ය. ඔවුහු ක්ෂෙම භූමියකට සේන්දු වෙති. එහිදී සන්තියාගෝට ෆාතිමා නම් තරුණියක මුණ ගැසෙයි. ඔවුහු එකිනෙකා කෙරේ ආලයෙන් බැඳෙති.

ඔහු යුද්ධයක් එන බවට අනාවැකියක් කියා ක්‍ෂෙමභූමිය පාලනය කරන ගෝත්‍රික සභාවෙන් තෑගි ද ලබයි. තවලම වෙනස් අතකට යන අතර ඔහු රසඥයා සමග පිරමිඩ් ඇති දෙසට යයි.

මේ ගමනේ දී රසඥයා ඔහුට උව­‍ෙදස් සමූහයක් දෙයි. අතරමග හමුවන පූජකාරාමයක දී රසඥයා රන් නිපදවයි. ඔහු ඉන් හතරෙන් පංගුවක් තරුණයාට දෙයි.

අවසානයේ ඔවුහු පිරමිඩ් කරා පැමිණෙති. එහිදී ඔහු නැවතත් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසු වේ.

තමා නිධානයක් සොයාගෙන පිරමිඩ් වෙත යන බවත් එය සිහිනයක් අනුව කරන්නක් බවත් ඔහු කොල්ලකරුවන්ට පවසයි. එවිට ඒවා විශ්වාස කරන්නේ මොට්ටයන් බවත් ස්පාඤ්ඤයේ ගම්බද පෙදෙසක පල්ලියක නිධානයක් ඇති බව තමාට සිහිනෙන් කියා ඇති බවත් ඒත් තමා එය විශ්වාස නොකළ බවත් කොල්ලකරුවන්ගේ නායකයා කියයි. ඒ තමා සිහිනය දුටු අන්දා ලුසියාවේ පල්ලිය බව තරුණයා වටහා ගනියි.

හනික ආපසු එහි එන ඔහු අල්තාරය අසල හාරා රන්කාසි පෙට්ටියක් සොයා ගනියි.

තමාගේ අරමුණ කරා යන කෙනෙක් එය සාක්‍ෂාත් කැර ගැනීමට නම් සොබාදහම සමග ඒකාත්මික විය යුතු යැයි කොයියෝ වරින්වර අපට සිහිපත් කැර දෙයි. තරුණයා මුලින් සිටින්නේ නිධානය තිබූ තැන ය. මරු කතර ගෙවා දිගු ගමනක් යන ඔහු නිධානය ලබා ගන්නේ ගමන ආරම්භ කරන තැනින්ම ය.

‘“නුඹ හූනියම්කාර නාකියා” කොලුවා අහස දෙසට හැරී කෑ ගෑවේ ය. “නුඹ මුළු කතාව ම හොඳට ම දන්නවා. මට ආපහු එන්න ඉඩ ලැබෙන විධියට නුඹ රත්තරං කෑල්ලක් පවා අර ආශ්‍රමයේ තියල ආවා. වැරහැලි එල්ලාගෙන ආපු මාව දැක්කාම අර පූජකයත් හිනා වුණා. මාව ඒකෙන් ගලව ගන්න නුඹට පුළුවන්කමක් තිබ්බෙ නැද්ද?”

“නෑ” සුළඟේ දැවටී ආ හඬකින් පිළිතුරු නිකුත් වනු ඔහුට ඇසිණි. “මං ඒ ගැන කීවා නම් කවදාවත් නුඹ පිරමීඩ දැක බලා ගන්නේ නෑ. ඒවා හරිම ලස්සන දේවල්. හොඳයි නැද්ද?” ’

තමා මේ නවකතාව ලියා අවසන් කරන ලද්දේ සති දෙකක් තරම් කෙටි කාලයක් ඇතුළත යැයි කොයියෝ පවසා ඇත.

දෘෂ්ටාන්තයක් හෙවත් රූපක කතන්දරයක් ලෙස සැලකෙන මේ කෘතියේ තරුණයකුගේ ජීවිතයට මග පෙන්වන උපදෙස් අන්තර්ගත ය. මෙය පෘතුගීසි බසින් පළ වූ මුල් දවස්වල එතරම් අලෙවියක් තිබී නැතත් ඉංගිරිසියට පරිවර්තනය වීමෙන් පසු ඒ ඇසුරෙන් ලොව පුරා භාෂා 80කට පමණ පරිවර්තනය වී ඇති අතර පිටපත් මිලියන 150ක් පමණ අලෙවි වී ඇති බව සඳහන් ය. එයට අන්තර්ජාතික සම්මාන 115ක් හිමි වී ඇති බව ද ඒ සමඟ ම කියැවේ.

චූලානන්ද සමරනායකගේ පරිවර්තනයක් වන ‘සන්තියාගෝ නම් සැරිසරන්නා’ විදර්ශන ප්‍රකාශනයක් ලෙසින් 2003 වසරේ පළමුවරට මුද්‍රණයෙන් නිකුත් විය. 2016 වසරේ එහි අටවන මුද්‍රණය නිකුත් වූ අතර මේ එ් මුද්‍රණයේ පිට කවරයයි.

Comments