මම ලියන්නෙ මගේ ම පසු­තැ­වීම | සිළුමිණ

මම ලියන්නෙ මගේ ම පසු­තැ­වීම

 

 ‘‘බෝදිලිමා’’ සමඟ පාඨක ප්‍රජාව හමුවට පැමිණි ඔහු දෙවනුව ‘‘මම, මම සහ මම’’ කවුදැයි පාඨකයාට හඳුන්වා දෙයි. අනතුරුව හෙතෙම: ‘‘මාගම් සෝලිය’’, ‘‘ලොවීනා’’, ආදරණීය වික්ටෝරියා’’ සහ ‘‘රැජින’’ ගැන අපිට බොහෝ දේ කියා දෙයි. ‘‘COLOMBO’’ ඔහුගේ නවතම කෘතියයි.

මතු දැක්වෙන්නේ එ් කෘතිය පාදක කරගනිමින් මොහාන් රාජ් මඩවල සමඟ කළ සාකච්ඡාවකි.

 

‘‘COLOMBO’’ යනුවෙන් හැඳින්වෙන්නේ එක්තරා ආකාරයක සංකේතයක්; සංකල්ප රූපයක්. මෙන්න මේ සංකේතය හෙවත් සංකල්ප රූපය ඔබ හඳුනාගන්නේ කෙසේ ද?

‘‘COLOMBO’’ යන සංකේතය එක් එක් ආකාරයට අර්ථකථනය කරන්න පුළුවන්. ඒ අතුරෙන් ප්‍රධාන අර්ථකථන දෙකක් පවතිනවා. මීට වසර පන්සියයකටත් කලින් ඒ කියන්නෙ 1505 දි ‘‘COLOMBO’’ යන නම යොදන්නෙ පෘතුගීසින්. ඒ නම ලන්දේසින් හෝ ඉංග්‍රිසින් වෙනස් කරන්නෙ නැහැ.

හතළිස් අටෙන් පස්සෙ වෙනස් වුණෙත් නැහැ. අදත් අපි භාවිත කරන්නෙ ‘‘COLOMBO’’ යනුවෙන්. හේතුව වෙන්නෙ... කොළඹ ඉන්න මිනිස්සු වෙනස් වුණාට කොළඹ වෙනස් නොවීම. එදා කොළඹ කියන්නෙත් හද්ද පිටිසර ගැමියො හිටපු ප්‍රදේශයක්.

48ට පෙර නාගරිකයො වුණේ ඉංග්‍රිසි ජාතිකයන් අනුගමනය කළ, ඔවුන්ගේ බැළ මෙහෙවර කළ සහ ඔවුන්ගේ සරණ ගිය ස්වදේශිකයො. කොළඹ ගැමියො වුණේ ඔවුන්ගෙන් ඉවතට විසිවුණ මිනිස්සු. නමුත් සිදුවෙන්නේ මේ ගැමියො ක්‍රමයෙන් මේ නාගරික පන්තියට ඇතුළත් වීම. මෙන්න මේ සංක්‍රමණයයෙන් කොළඹ මිනිස්සු වෙනස් වුණා. නමුත් කොළඹ වෙනස් වුණේ නැහැ.

මගේ කෘතියේ එක් චරිතයක් වන එළිසබෙත් නමැති පහළ පන්තියේ ගැහැනිය අවසානයේ ඉහළ සමාජ පන්තියට ඇතුළත් වෙනවා. තවත් විදියකින් කියනවා නම් ගැමි ගැහැනියක නාගරික පන්තියට ඇතුළත් වෙනවා; නාගරිකත්වය වැලඳ ගන්නවා.

මෙහි දේශපාලනික වෙඩිල්ල පත්තු කරන්නේ එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරනායක. ඔහු නිර්මාණය කරන; සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු නමැති සංවිධානය තුළින් ඉවතට විසිවෙලා හිටපු ගැමියන්ට සමාජයේ ඉදිරියට එන්න පළමු වාසනාව උදා වෙනවා. හැම ක්‍රියාදාමයක ම හොඳ නරක දෙකක් පවතිනවා. ඔහු ගත් ඇතැම් තීරණත් එහෙමයි.

ඔහු ගත් තීරණ අතරෙන් ‘සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම’ අතිශය බරපතළ කටයුත්තක්. නමුත් එතනදි තව වාසියක් වෙනවා. ඒ මෙහි සිටින එළිසබෙත් වැනි නාගරික සමාජයෙන් ඉවතට විසිවුණ අයට ඉහළ සමාජයට පිවිසෙන්න අවස්ථාව උදා වෙනවා. නාගරික වීමේ සිහිනය හැම ගැමියකුට පාහේ පොදුයි. ඒ නොසිඳන සිහිනය නිසා ‘‘COLOMBO’’ සංකල්පය අපි හැම දෙනා අතරම පවතිනවා.

 

අතීතයේ දී වෙළෙඳ නගරයක් නොවුණ ‘‘කොළඹ’’ වෙළෙඳ නගරයක් වෙන්නෙ විදේශ ආක්‍රමණයත් සමඟ. එකල නාගරික ප්‍රභු පෙළැන්තිය යනුවෙන් කොටසක් හිටියෙ නැහැ. හිටියෙ රජ්ජුරුවන්ගේ වරප්‍රසාද ලත් පිරිසක්. ඒ අනුව මේ කොළඹ ප්‍රභු පෙළැන්තිය බිහිවන්නේ කෙසේ ද?

අපිට අතීතයේ සිට පැවතියේ රජු මූලික වුණ ධුරාවලියක්. එය 1815 වන තුරුම පැවතුණා. එකල රටේ කේන්ද්‍රස්ථානය වුණේ මහනුවර හෙවත් කන්ද උඩරට. මේ ගැටුම 1796 සිට 1815 දක්වා වූ වසර විස්සසකට අධික කාලයක් පැවතුණා. 1505 සිට මුහුදු බඩ සීමාව පිළිවෙළින් පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රිසි ජාතිකයො පාලනය කරන යුගයෙත් පැවතුණේ රජු මූලික වුණ ක්‍රමයක්. මේ ආක්‍රමණිකයන්ගේ අරමුණ වුණේ වෙළෙඳාම.

මේ විදේශිකයො තුන්ගොල්ලොම තමන්ගේ වෙළෙඳාමේ කේන්ද්‍රස්ථානය කරගත්තෙ කොළඹ. රජු නමැති පුද්ගලයාට විදේශිකයන් තරමට වෙළෙඳ ඥානය තිබුණෙ නැහැ. රජුට අවනත නොවන සහ රජුගෙන් පරිබාහිර කණ්ඩායම් කිහිපයක් මේ වෙළෙඳාම සමඟ සම්බන්ධ ව ගොඩනැඟුණා. ඒ පිරිස තමන්ගෙ බලපරාක්‍රමය වැඩි කරගන්න විදේශිකයන් සරණ යන තත්ත්වයක් උදා වුණා. විදේශ ආක්‍රමණිකයන්ට යටත් නොවුණ, ඔවුන් සරණ නොගිය පිරිස් ගැමියො බවට පත් වුණා.

 

දැන් අපිට පැහැදිලියි කොළඹ ප්‍රභු පෙළැන්තිය බිහිවෙන්නෙ ම විදේශ ආක්‍රමණිකයාට ගැතිකම් කිරීමේ ඵලයක් ලෙස බව. මෙන්න මේ ක්‍රියාදාමය ඔබ ‘‘COLOMBO’’ ඇතුළෙ ඉතා සියුම් ව ගොඩනඟනවා. එහි දී කෙදිනක හෝ ඔබේ ම වූ අත්දැකීම් සම්මුඛ වෙනවද?

ඔවු... ‘‘COLOMBO’’ කෘතියේ එන කොරනේල් මගේ ජීවිතයට යම් ආකාරයකින් සම්බන්ධයි. මට කොරනේල් කෙනෙක් මුණගැහෙන්නෙ මගේ ගමේ දී; අම්බලන්ගොඩ දි. මම කුඩා අවධියේ දී ම මගේ මව මිය යනවා. ඒ මොනයම්ම හෝ රෝගී තත්ත්වයක් නැතුව.

එතනදි මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට කොරනේල් රාලහාමි තීන්දු කරනවා. මම කුඩා ම අවධියේ මගේ මවගේ හිස් කබල වෙන් කරපු ආකාරය මට අද වගේ මතකයි. එදා මම මොනතරම් බිය වුණා ද කියනවා නම් අම්මගෙ මිනිය ළඟටවත් ගියේ නැහැ. පසුකාලයකදි මම කොළඹ එනවා උසස් පෙළ කරන්න. එදවස මට ඉගෙනගන්න සල්ලි වුවමනා නිසා මෙන්න මේ කොරනේල් රාලහාමිට ම අපේ ඉඩම උගස් කරනවා. ටික කාලයක් යද්දි තාත්තට මේ ඉඩම බේරගන්න බැරි වෙනවා. එය සින්න වෙන්න ආසන්නයේ දි මම වෙනත් ක්‍රමයකින් ඉඩම බේරාගන්නවා.

කොරනේල් රාලහාමිගේ ආධිපත්‍යය මට ගොඩනඟන්න ඒ අත්දැකීම් පාදක වුණා. ඒ අසුව දශකයේ අවසාන භාගයේ මට හමුවුණ කොරනල්. නමුත් මම කෘතියට පාදක කරගන්නේ එක්දහස් නවසිය විසිගණන්වල කොරනේල් රාලහාමි. ඒ චරිතය ඉතාම බලවත්. මේ තනතුර පිරිනමන්නේ ඉංග්‍රීසි පාලකයො. මේ සඳහා ආසන්නම සුදුසුකම වුණේ ඉංග්‍රීසි පාලකයන්ට ගැතිකම් දැක්වීම පමණයි. ඔවුන් යැපෙන්නෙ මේ ගැතිකම් මත ම යි කිව්වටත් වරදක් නැහැ. කතාවෙ එලිසබෙත් කියන ගැහැනිය මේ පවුලේ බලය සියතට ගන්නවා. මේක මතුපිට කතන්දරය වුණාට මෙය ඉතාමත් දේශපාලනිකයි. එහි යටි අරුත පාඨකයො වටහාගත යුතුයි.

 

අපි දන්නවා කුමාරි ජයවර්ධනගේ ‘‘සොක්කන් ලොක්කන් වූ වගයි’’ නමැති කෘතිය. එය ඉතාමත් ගවේෂණශිලි කෘතියක්. නමුත් ඇය එය ඉදිරිපත් කරන්නේ ගවේෂණාත්මක කෘතියක් ආකාරයෙන් ම යි. නමුත් ඔබ ඒ ඇසුරෙන් ම ගවේෂණයක් කර එය අගනා සාහිත්‍යය කෘතියක් ලෙස ජනගතකර තිබෙනවා කියල මම යෝජනා කළොත්.

මේ කෘතියට ඒ පසුබිම අදාළ වෙන්නෙ නැහැ. නමුත් මම ‘‘ආදරණීය වික්ටෝරියා’’ ලියද්දි කුමාරි ජයවර්ධනගෙ කෘතියේ ආභාසය ලබා ගන්නවා. මට ඒ සංකල්පය ගොඩනැ‍ෙඟෙන්නෙ ම මේ කෘතිය නිසා.

නමුත් ‘‘COLOMBO’’ කියන්නෙ ඉන් ඔබ්බට විහිදෙන කතන්දරයක්. මේ කතාවට කුමාරිගෙ කෘතිය බලපෑමක් කළේ නැහැ. නමුත් ඊට වඩා විශාල ඉතිහාසයට සම්බන්ධ කෘති ප්‍රමාණයක් ‘‘COLOMBO’’ කෘතිය ලිවීම සඳහා පරිශීලනය කළා. මේ කෘතියෙදි මට කියන්න වුවමනා වුණේ ඒ විදියට බිහිවුණ ධනපති පන්තිය පහළ ස්තරයේ වෙසෙන මිනිස්සු ආක්‍රමණය කරණ විදිය යි.

එය කුමාරිගෙ කෘතියේ නැහැ. ඒ වගේ ම අපි තව අවුරුදු දෙසියකින් හෝ තුන්සියකින් මේ රටේ ඉතිහාසය ලිව්වත් පනස් හයේ තීරණාත්මක මොහොත අමතක කරන්න බැහැ. තව තවත් ඉදිරියට ගමන් කරන්නෙත් පනස් හයේ සාධකය ම යි.

80 දශකය අවසානයේ දී ආර්. ප්‍රේමදාස, අනූව දශකයේ මැද භාගයේ දී චන්ද්‍රිකා කුමාරතුංග, දෙදහස් පහේ දී මහින්ද රාජපක්ෂ වගේ ම දෙදහස් පහළොවේ දී මෛත්‍රිපාල සිරිසේන යන හැම දෙනා ම කරන්නෙ එදා බණ්ඩාරනායක කරපු දේ ම ඉදිරියට තල්ලු කරගෙන යෑම. ඒ අය සමාජගත කරන්නෙ ‘‘පොදු ජන නායකත්වය’’ නමැති සංකල්පය. මේ සංකල්පය පුදුම විදියට මිනිස්සුන්ට බද්ධ වෙනවා.

 

මේ කාරණය සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් කරන උදාහරණ මොනවද?

උදාහරණ වුවමනා තරම් තියෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ඡන්දය පාවිච්චි කරද්දි මිනිස්සු හිතුවා මෙයා වලව්කාරියක් කියලා. ජේ. ආර්. ජයවර්ධන මහත්මයාට ඡන්දය දෙන විටත් හිතුවා මෙයා රදළ පෙළැන්තියක කියලා.

චන්ද්‍රිකා මැතිනියට ඡන්දය දෙනවිටත් මේ විදියට ම හිතුවා. නමුත් ආර්. ප්‍රේමදාස මහත්මයා ගැන එහෙම හිතුවෙ නැහැ. එතනින් පස්සෙ මහින්ද රාජපක්ෂ මහත්මයා සහ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගැන වුණත් එහෙම හිතුවෙ නැහැ. ඔවුන් ගැන නිතරම හිතුවෙ ‘‘මේ අපේ ගමේ මිනිහෙක්නෙ. හොඳ සිංහල බෞද්ධයෙක්නෙ’’ යනාදි වශයෙන්. බණ්ඩාරනායක මහත්මයා වලව් පෙළැන්තියක වුණත් ඔහු ගත් සූක්ෂ්ම පියවර වන ‘‘සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු’’ යන සංකල්පය නිසා මිනිස්සු ඔහුටත් රැවටුණා. මේ ක්‍රියාදාමය අනාගතයෙත් නැවත නැවත සිද්ධ වෙනවා. මොකද ‘‘COLOMBO’’ සිහිනය හෙවත් ‘නාගරික සිහිනය’ හැමදාම හැමෝගෙම සිත් තුළ පවතිනවා.

අපි දැනට නාගරිකයෙක් නම් අනාගතයේ දී මීටත් වඩා නාගරිකයෙක් වෙන්න කැමතියි. අපි හිතනවා අපේ ඒ සිහිනය සැබෑ කරන්න පුළුවන් ‘‘අපේ ම මිනිසකුට පමණයි’’ කියලා; ඒ මිනිසා ‘‘ගැමියෙක් විය යුතුයි’’ කියලා. ඒ සිහිනය නිසාමයි අපි දැනටත් පොට වරද්දාගෙන ඉන්නේ. මම මේ ලියන්නේ මගේ ම පසුතැවීම. ඒ නිසාමයි මම මේ කෘතිය ‘‘COLOMBO’’ යනුවෙන් නම් කළේ.

 

ඔබේ ප්‍රකාශය, කෘතිය සමඟ සසඳන විට පැහැදිලි වෙන්නෙ අපි පනස් හයේ දී වහල් යුගය අවසන් කරල ආයෙ ප්‍රවේශ වෙන්නෙත් වහල් යුගයට කියන කාරණය ද?

පැහැදිලිව ම... පනස් හයේ දි බණ්ඩාරනායක පොදු ජන නායකයෙක් වුණ වටපිටාව ටිකක් කල්පනා කරන්න. ඩී. එස්. සේනානායක, සර් ජෝන් කොතලාවල සහ ඩඩ්ලි යන නායකත්ව ත්‍රිත්වය වෙත අවධානය යොමු කරන්න. විශේෂයෙන් ම මේ තිදෙනා අතරෙන් ඩී. එස් සහ කොතලාවල කියන්නෙ ම අධිරාජ්‍ය ගැති සහ අනුගත චරිත. ඒ නිසා බණ්ඩාරනායක කල්පනා කරනවා එතැනින් විතැන් වෙන්නෙ සහ වෙනස් වෙන්නෙ කොහොමද කියල. ඒකට විකල්පයක් විදියට බණ්ඩාරනායක කරන්නෙ තමන්ගෙ ආගම සහ ඇඳුම යන දෙකම වෙනස් කරල ඒ වන විට සමාජයෙන් ඉවතට විසිවෙලා හිටපු සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන බලවේග එකතු කිරීම හෙවත් ඔවුන් ආමන්ත්‍රණය කිරීම.

සරලව ම කියනවා නම් දෘඪතර වහල් යුගයක් අවසන් කරල සුක්ෂම වහල් යුගයක් නිර්මාණය කරන්න බණ්ඩාරනායක මහත්මයා මූලික වුණා. අපි තවමත් ඒ ක්‍රමයේ වහල්ලු. අනාගතයෙත් එහෙම ම වේවි. 

Comments