මගේ මුද­ල්ව­ලින් කොට­සක් සාහි­ත්‍ය­ කට­යු­ත්ත­කට යෙද­වී­මෙන් මම ලොකු තෘප්ති­යක් ලබ­නවා | සිළුමිණ

මගේ මුද­ල්ව­ලින් කොට­සක් සාහි­ත්‍ය­ කට­යු­ත්ත­කට යෙද­වී­මෙන් මම ලොකු තෘප්ති­යක් ලබ­නවා

ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ පසුගිය 06 වැනි බ්‍රහස්පතින්දා පැවැත්වුණේ විසිවැනි වතාවට ය. සාහිත්‍ය මාසයේ පැවැත්වෙන සාහිත්‍ය සම්මාන උත්සව අතරින් ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ කරුණු කීපයක් නිසා වැදගත් වේ.‍ ඉන් එක් කාරණයක් වන්නේ සෙසු සාහිත්‍ය උත්සව මෙන් නොව මෙය ගොඩගේ පොත් ප්‍රකාශන අධිපති දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතාගේ තනි වියදමෙන් පැවැත්වීම ය. අනෙක් කාරණාව වන්නේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම පළ වන කෘති සඳහා සම්මාන පිරිනමමින් රාජ්‍ය සාහිත්‍ය උත්සවයට විකල්පයක් වශයෙන් වර්ධනය වූ එක ම සාහිත්‍ය උලෙළ මෙය වීම ය.

 

ලංකාවේ සාහිත්‍ය සම්මාන උලෙළ රාශියක් පැවැත්වෙන යුගයක තනි පුද්ගලයකු විසින් පවත්වනු ලබන සම්මාන උලෙළක් ලෙස ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ හැඳින්විය හැකියි. මෙවැනි සාහිත්‍ය උලෙළක් පැවැත්වීමට ඔබ තීරණය කළේ ඇයි?

ඇත්තටම මේ අදහස මට ඉදිරිපත් කළේ ප්‍රවීණ ලේඛකයකු වන සේන තෝරදෙණිය. එය හොඳ යෝජනාවක් නිසා මම එකඟ වුණා. ඊට පසුව එහි සංවිධාන කටයුතු සේන තෝරදෙණියට ම බාර දුන්නා. ඔහු ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරාවත් සම්බන්ධ කරගෙන සම්මාන උලෙළේ සියලු ම කටයුතු සිදු කළා. සාහිත්‍යවේදීන්ට සම්මාන පිරිනැමීම ඉතා හොඳ දෙයක්. එය ලේඛකයන්ට හොඳ උත්තේජනයක්. සාහිත්‍ය උන්නතිය වෙනුවෙන් එය හොඳ කටයුත්තක් නිසා මම නොකඩවාම මේ සම්මාන උලෙළ පවත්වනවා. එය මෙහෙයවන්නේ කමිටුවක් මඟිනුයි.

 

ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ මුලින් ම සීමා වුණේ ගොඩගේ පොත්වලට පමණයි. නමුත් දැන් සෑම ප්‍රකාශකයකුගේ ම පොත්වලට එහි දොරටුව විවර වී තිබෙනවා. ඔබ එවැනි තීරණයකට එළැඹුණේ කවර කාරණාවක් නිසාද?

අපි අවුරුදු කීපයක් ගොඩගේ පොත්වලට විතරක් සම්මාන දෙන විට බොහෝ ලේඛකයන්ගෙන් ඉල්ලීම් ගලාගෙන ආවා ඔවුන්ට සම්මාන නැහැ නේද කියලා. ඊට පස්සේ ඔවුන්ට අසාධාරණයක් වෙනවා නේද කියලා හිතලා සියලු ම පොත් ප්‍රකාශකයන්ගේ පොත් සම්මාන සඳහා ගත්තා.

 

මෙවර පැවැති ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ සඳහා සමීක්ෂණයට ලක්වූ පොත් සංඛ්‍යාව කොපමණද?

සිංහල මාධ්‍යයෙන් නවකතා 122 යි; කෙටිකතා 77 යි; පද්‍ය 102 යි; යොවුන් නවකතා 28 යි; පරිවර්තන නවකතා 26 යි; ශාස්ත්‍රීය කෘති 75 යි; පුවත්පත් තීරු ලිපි සංග්‍රහ 13 යි. දෙමළෙන් සිංහලට පරිවර්තන කෘති 3 යි. සිංහලෙන් දෙමළට පරිවර්තිත කෘති 01 යි. දෙමළ මාධ්‍යයෙන් නවකතා 09 යි; කෙටි කතා 12 යි; පද්‍ය 32 යි‍. ඉංග්‍රීසි මාධ්‍යයෙන් නවකතා 07 යි; කෙටිකතා 01 යි; පද්‍ය 14 යි.

 

ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන සඳහා පොත් තෝරාගැනීම සිදුවන්නේ කුමන නිර්ණායක යටතේද?

මුලින් ම අදාළ වර්ෂය තුළ පමණක් ප්‍රකාශයට පත්වූ කෘති විය යුතුයි. දෙවනුව ශ්‍රී ලාංකේය සමාජයට සංස්කෘතියට හානිදායක වන ආකාරයේ තොරතුරු ඇතුළත් නොවිය යුතුයි. ඊට අමතරව භාෂාව පිළිබඳව අවධානය යොමු කරනවා.

 

මේ කටයුත්තට සමීක්ෂණ මණ්ඩලය තෝරාගැනීම සිද්ධ වෙන්නේ මොන ආකාරයටද?

සාහිත්‍යවේදීන් සහ විද්‍යාර්ථීන් තමයි සමීක්ෂණ මණ්ඩලයට තෝරා ගන්නේ. අපි ප්‍රථම සාහිත්‍ය සම්මාන උලෙළට පොත් තෝරා ගැනීම සඳහා පාඨක ඡන්ද ක්‍රමයක් යොදාගත්තා. ඒත් ලේඛකයන් විසින් ම කූපන්පත් මිටි ගණන් දානවා අපට අතට ම අහුවුණා. ඇත්තට ම එහිදී ලේඛකයන් අවංක වුණේ නැහැ. ඊට පසුව එය ඉවත් කරලා සමීක්ෂණ මණ්ඩලයකට පොත් තේරීම බාර කළා. ඒ සමීක්ෂණ මණ්ඩලයෙන් පොත් තෝරාගත් පසුව උත්තරීතර මණ්ඩලය විසින් එ් ලේඛකයන්ව වාචික සම්මුඛ පරීක්ෂණයකට භාජනය කළා. එතනදී ගොඩාක් ලේඛකයන් සම්මුඛ පරීක්ෂණයේදී හොඳින් කතා කළේ නැහැ. ඒ ක්‍රමය අසාර්ථක වුණා. ඒ නිසා දැන් සමීක්ෂණ මණ්ඩලයෙන් පොත් තෝරාගැනීම පමණයි සිද්ධ වෙන්නේ.

 

ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළ ඔබේ තනි දායකත්වය යටතේ පැවැත්වෙන්නක්. ඊට ඔබේ බලපෑමක් නැති බවට පොදු ජනතාව විශ්වාස කරයිද?

මම මෙයට දායක වෙන්නේ අර්ථපතිත්වයෙන් පමණයි. ඒ හැර කිසිම මැදිහත්වීමක් නැහැ. ඊට හොඳ ම උදාහරණය තමයි සම්මානයට පාත්‍ර වන පොත් මගේ ප්‍රකාශන ම නොවීම. හොඳ ම නවකතාව, හොඳ ම කෙටිකතාව, හොඳ ම කවිය මේ හැම සම්මානයක් ම ලැබුණේ ගොඩගේ පොත්වලට නෙමෙයි. සම්මාන උත්සවය අවසානයේදී හැමදාම මට අහන්න සිද්ධ වෙන්නේ “මේ සැරෙත් අපේ පොතක් නැහැ නේද” කියලා විතරයි.

මෙවර පැවැති 20 වැනි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළේ ලේඛකයන්ගේ නමට සම්මාන දුන් බවට විවේචනයක් එල්ල වෙනවා. ඒ පිළිබඳ ව ඔබේ අදහස කුමක්ද?

එහෙම විවේචනයක් තිබෙනවා නම් එයට පිළිතුරු දිය යුත්තේ සමීක්ෂණ මණ්ඩලයයි. ප්‍රශංසා වගේම විවේචනවලට පිළිතුරු දිය යුත්තේ ඔවුන්. ඒ විදිහේ විවේචන, අදහස් උදහස් සහ යෝජනා තිබෙනවා නම් අපට දන්වන්න. එවිට අපිට පුළුවනි ඒ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න.

 

මේ සාහිත්‍ය සම්මාන උලෙළේ ‘නවක නිර්මාණ දායකත්වය’ යන කාණ්ඩය යටතේ නවකතා, යොවුන් නවකතා, කෙටිකතා සහ කාව්‍ය යනුවෙන් සම්මාන 4 ක් පිරිනැමෙනවා. ඒ පිළිබඳව යම් අදහසක් ප්‍රකාශ කරනවා නම්?

මේ කාණ්ඩය යටතේ සම්මාන දෙන්න පටන් අරගෙන දැන් අවුරුදු 4 ක් විතර වෙනවා. එය අප ආරම්භ කළේ නවක ලේඛක ලේඛිකාවන් හඳුනාගන්න. එය ඉතා සාර්ථක වෙලා තිබෙනවා. ප්‍රවීණයන් අතරේ නවකයන්ට තරග කිරීම අමාරු වන අවස්ථා තිබෙනවා. ඒත් ඔවුන් අතර ඉතා දක්ෂ සිටිනවා. ඒ නිසයි අපි මෙවැනි කාණ්ඩයක් යටතේ ඔවුන් ඇගයීමට ලක් කරලා දිරිමත් කරන්නේ.

 

එහෙත් මේ කාණ්ඩය හඳුන්වා දීමට පෙරදීත් එදා නවකයකු වශයෙන් සිටි ලක්ශාන්ත අතුකෝරළ කවියා සම්මානයට පාත්‍ර වුණා නේද?

ඔව්. 2010 දී ඔහු ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා. අද සම්මානනීය ලේඛකයන් වී සිටින ප්‍රවීණ සාහිත්‍යවේදීන් එදා ගොඩගේ සම්මානයෙන් පිදුම් ලැබූ අය තමයි. 2010 දී ලක්ශාන්ත අතුකෝරළට සම්මානය ලබාදීමත් සමඟ එය නූතන කවියේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. ඔහු වැනි දක්ෂ නවකයන් මතුවන අවස්ථා තිබෙනවා. ඒත් ඊට අමතරව නවකයන් අතරින් දක්ෂයන් හඳුනා ගැනීම තමයි අපේ අරමුණ. ඒ නිසයි මෙම අංගය ඇතුළත් කළේ.

 

විවිධ ප්‍ර‍භේද යටතේ සම්මාන පිරිනැමෙන ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන සඳහා වැඩි වශයෙන් ඉදිරිපත් වෙන්නේ කවර පොත්ද? ඊට බලපාන හේතුව කුමක්ද?

නවකතා තමයි වැඩිපුර පළ වෙන්නේ. ඊට බලපෑ ප්‍රධාන හේතුව හැටියට මම දකින්නේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය.

එ් ප්‍රදර්ශනයට ලක්ෂ ගණන් සහභාගි වෙනවා. ඔවුන් ලක්ෂ ගණනක් පොත් මිලදී ගන්නවා. පොත් කියවීම කොහොම වුණත් පොත් මිලදී ගැනීමේ සංස්කෘතියක් ඇති වුණා. ඒ නිසා ලේඛකයන් නවකතා ලිවීමට වැඩි වශයෙන් පෙලඹී සිටිනවා. ඒ විතරක් නොවෙයි. අද කවි පොත්, කෙටිකතා පොත් හැම දෙයකම පොත් වැඩි වශයෙන් ප්‍රකාශයට පත් වෙනවා.

 

එක් කාණ්ඩයක් නොව විවිධ කාණ්ඩ යටතේ සම්මාන පිරිනැමෙන ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උලෙළ තනි පුද්ගලයකු විසින් අඛණ්ඩව පවත්වන විට බරපැන ඇතුළු වෙනත් ගැටලු පැන නඟින්නේ නැතිද?

මම ගොඩගේ සම්මාන උලෙළ විතරක් නෙවෙයි. ජ්‍යෙෂ්ඨ ලේඛක ප්‍රණාම උලෙළ පවත්වනවා. කාණ්ඩ 4ක් යටතේ අත්පිටපත් තරගය පවත්වනවා. මේ සියල්ලට ම වසරකට රු. ලක්ෂ 50ක් පමණ වැය වෙනවා. සාහිත්‍ය පොතපත ප්‍රකාශයට පත් කරන පුද්ගලයෙකු හැටියට මගේ මුදල්වලින් කොටසක් සාහිත්‍ය කටයුත්තකට යෙදවීමෙන් මම ලොකු තෘප්තියක් ලබනවා. මෙය මගේ සතුට. මේ වැඩවලට තවම නම් කිසිම ගැටලුවක්, බාධාවක් මතුවෙලා නැහැ.

 

Comments