ගෞරවාන්විත මැදිහත් වීම් සහිත ප්‍රගතිශීලි පරිවර්තනයක අවශ්‍යතාව | සිළුමිණ

ගෞරවාන්විත මැදිහත් වීම් සහිත ප්‍රගතිශීලි පරිවර්තනයක අවශ්‍යතාව

උතුරු පළාත් සභාවේ අමාත්‍යවරයකු පදවියෙන් ඉවත් වීම සම්බන්ධයෙන් උපරිමාධිකරණ නියෝගයක් නිකුත් විය. ප්‍රධාන අමාත්‍යවරයා ඒ නියෝගයට අවනත නොවීය. යුද සමයේ වූ මිනිස් ඝාතනයන්ට අදාළ වාර්තා සපයන ලෙස රජයේ හමුදාවලට අධිකරණ නියෝග ලැබී ඇතත් රජයේ හමුදා මුනිවත රකිමින් අධිකරණ නියෝගවලට පිටු පා සිටී. එසේම සිදුව ඇති මිනිස් ඝාතන සම්බන්ධයෙන් රජයේ හමුදා නායකයන්ට චෝදනා එල්ල වන අතර, ඒ සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීම් සිදු වන්නේ අවම වශයෙනි. යම් යම් කාරණා සම්බන්ධයෙන් පොලිස් කොමිසම පොලිස්පතිවරයාට නියෝග නිකුත් කරන අතර, ඔහු ඒ කිසිවක් ක්‍රියාත්මක නොකර සිටී.

මේ සිදුවීම් පසුගිය කාලය තුළ රාජ්‍ය ක්‍රියාවලිය සමීපව නිරීක්ෂණය කළ විට දක්නට ලැබුණු විශේෂ ලක්ෂණ කිහිපයකි. මේ සිද්ධි හේතුවෙන් රටේ ජනජීවිතයට බලපෑමක් නොවුවද, රාජ්‍යයේ ක්‍රියාවලිය හෑල්ලුවට ලක්ව ඇති බව කිසිවකුගේ හෝ අවධානයට ලක් නොවීම නීතියේ ආධිපත්‍යයට සිදුව ඇති වින්නැහිය මොනවට කියාපාන ලකුණකි. රාජ්‍යයේ ඉහළ ක්‍රියාකාරිත්වය තුළ නීතියට ආධිපත්‍යයක් නැති බවක් මේ නිසා නිරීක්ෂණය වේ. එසේම රාජ්‍ය ක්‍රියාවලිය අර්බුදයට ලක්ව ඇති බවක්ද නිරීක්ෂණය වේ.

මේ අරාජිකත්වය ඇති වන්නේ ආවාට-ගියාටම නොවේ. රාජපක්ෂ හිතෛෂීන් කල්පනා කරන්නේ තම නායකයා බලයට පත් වුව හොත් මේ අරාජිකත්වයට විසඳුමක් ලැබෙන බවය. වාමාංශිකයන් කල්පනා කරන්නේ සමාජවාදි යුතෝපියාව ජයග්‍රහණය කරන තෙක් මේ අරාජිකත්වය රටේ පවත්නා බවය. එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙමින් සමාජයේ, ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයේ හා රාජ්‍ය පාලනයේ උත්සන්න වූ උභතෝකෝටිකය මෙලෙස අර්බුදයක් හැටියට එළියට පනිමින් පවතී.

රාජ්‍යයේ මෙවැනි අර්බුදවලට විසඳුම් සඳහා දේශපාලන මුහුණු-මාරු කෙසේ වත් සාර්ථක පිළිතුරක් සපයන්නේ නැත. මේ සඳහා අවශ්‍ය වන්නේ බරපතළ දේශපාලන ප්‍රතිසංස්කරණය. එහෙත් ගැටලුව වන්නේ ඒ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා රාජ්‍යයට අදාළ කිසිවකුට අවබෝධයක් නොවීමය. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන ආයතන තුනම රටේ දේශපාලන ක්‍රමය සම්බන්ධයෙන් ව්‍යූහාත්මක අවබෝධයක නොසිටිමින්, එකිනෙකා පරයා ක්‍රියා කරමින් සිටී. අනෙකාට ගරු කරමින් සාමූහික ක්‍රියාකාරිත්වයක් පිළිබඳ මේ උත්තරීතර ආයතන තුනටම අවබෝධයක් ඇති බවක් පෙනෙන්නට නැත.

එසේම මේ ආයතන තුනෙහි පෝෂණ කලාපයක පිහිටි ජනමාධ්‍ය හා වෘත්තීයවේදි සංවිධාන පවා වෙළෙඳපළ තුළ ලාභය උපරිම කරගැනීමේ සටනක නිරතව සිටී. ඔවුන්ට සමාජ වගකීම පිළිබඳ අබමල් රේණුවක අවබෝධයක් ඇති බවක් නිරීක්ෂණය නොවේ. එනිසා ඔවුහු මේ සමාජ අර්බුදය විනිවිද දක්නට හැකියාවක් නැතිව අයාලේ යමින් සිටිති. රාජ්‍යය අර්බුදයට යමින්, එය කඩාවැටීමේ ගමන ආරම්භ කර ඇති බවට හාංකවිසියක හැඟීමක් නැති ජනමාධ්‍ය හා වෘත්තීයවේදි සංවිධානවලින් මීට වඩා බරපතළ සමාජ දායකත්වයක් ලැබේයැයි විශ්වාස කිරීම අර්ථවිරහිතය.

සමස්තය යළි ව්‍යූහගත වීම හා ආකෘතිගත වීම සිදු විය යුතුය යන අර්ථයෙන් බැලූ විට රාජ්‍යයේ මේ අන්දමින් අර්බුදයට තල්ලු වීම ප්‍රශස්තය. දේශපාලන අවකාශය තුළ රාජ්‍යය අර්බුදයෙන් ගලවාගැනීමට පොදු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් නොවීම පාලක පන්තියේ දුර්වලතාව පිළිබඳ ප්‍රශ්නයකි. රාජ්‍යය අර්බුදයකින් තොරව පවත්වාගෙන යෑමට පාලක පන්තිය අපොහොසත් වීම යනු සමාජක්‍රමයේ පරිවර්තනයක ප්‍රබල මොහොතක් විය හැකිය. ඒ මොහොත කරා වේගවත්ව සමාජය තල්ලු වේ නම් සමාජ පරිවර්තනය ඉක්මන් විය හැකිය.

සමහර අවස්ථාවල ක්‍රමයේ ව්‍යූහාත්මක වෙනසක් වෙමින් යම් පරිවර්තනයක් සිදු කරගැනීමට අභ්‍යන්තර ගාමක බලය ප්‍රමාණවත් නොවේ. එවිට අනිවාර්යෙන්ම බාහිර බලයක දායකත්වය අවශ්‍ය වෙයි. එම දායකත්වය දැනුම, මිලිටරි බලය, දේශපාලනය ආදි විවිධ වේශයන්ගෙන් පැමිණිය හැකිය. ශ්‍රී ලාංකික සමාජයට යම් සමාජ පරිවර්තනයක් කරගැනීමට නම් ඒ බාහිර බලය අනිවාර්යයෙන් අවශ්‍ය මොහොතක් ලෙස මේ මොහොත හඳුනාගත හැකිය.

වැඩවසම් සමාජ ක්‍රමයක ගැලී සිටි ශ්‍රී ලාංකික සමාජයට ප්‍රජාතන්ත්‍රවාදි සංස්කෘතික දැනුම ලැබුණේ අධිරාජ්‍යවාදි ආක්‍රමණයෙනි. බලය බෙදීම පිළිබඳ මාරාන්තික ප්‍රතික්ෂේප කිරීමක සිටි ශ්‍රී ලාංකික සමාජය යම් තරමකින් හෝ රාජ්‍යය ප්‍රතිසංවිධානය කරගත්තේ ඉන්දියාවේ ප්‍රබල බලපෑමෙනි. රාජ්‍යයට අභියෝගයක් වූ කොටි සංවිධානය සමූලඝාතනය කරදැම්මේ ගෝලීය දේශපාලනයේ සහායෙනි. එනිසා බාහිර බලපෑම්වල සහාය ලබාගැනීම ශ්‍රී ලාංකික සමාජයට අමුත්තක් නොවේ.

ඒ බාහිර මැදිහත් වීම ගෞරවාන්විතව පැමිණෙන්නේ නම් එය පිළිගැනීමට, ප්‍රගතිශීලි පරිවර්තනයක් සඳහා වූ භෞතික අවශ්‍යතාව ලාංකික සමාජය තුළ නොඉවසිල්ලෙන් බලා හිඳී.

අබරන්

Comments